එංගලන්ත හිටපු ක්‍රිකට් ප්‍රබලයකු ඇෆ්ගනිස්තාන පිලට රිංගයි

0
15

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ටතම පිතිකරුවකු වූ ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව එළැඹෙන අගෝස්තු මාසයේදී ක්‍රියාත්මක වීමට නියමිත තරග 5කින් යුත් ඇෆ්ගනිස්තාන විස්සයි-20 පිලේ අයර්ලන්ත තරග සංචාරයේ සිට ට්‍රොට් මෙම නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව ඇත. මේ වන විට 41 හැවිරිදි වියේ පසුවන ජොනතන් ට්‍රොට් මෙයට පෙර එංගලන්ත ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු, එංගලන්ත ලයන්ස් සහ වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස කටයුතු කර තිබිණි.

2018 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ට්‍රොට් ටෙස්ට් ක්‍රිකට් තරග 52කදී, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 68කදී සහ විස්සයි-20 තරග 7කදී එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත.