ඇමරිකාවෙත් කළේ මෙහෙමයි

0
198

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ නිසා පොලිසිය හා ආරක්ෂක අංශ යොදාගෙන විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ජනාධිපතිවරයා විදේශ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ට පවසා තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි විරෝධතාකරුවන් ආරක්ෂක අංශ විසින් පහරදී පලවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ.

කැනඩාව, ප්‍රංශය, බි්‍රතාන්‍ය, ජපානය, ඕස්ට්‍රේලියාව යන රටවල තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් පිරිසක් මෙන්ම යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයන් පිරිසක්ද මෙම හමුව සඳහා සහභාගි වී ඇත. අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත් වන බව ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ජනාධිපතිවරයාට මෙහිදී පෙන්වාදී ඇත.

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද සිය විරෝධය දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බව  කැනේඩියානු මහ කොමසාරිස්වරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත දන්නවා තිබේ. වටිනා ලියකිවිලි රැසක් ඇති ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධානතම ගොඩනැඟිල්ල බවත් එම ගොඩනැඟිල්ලෙන් ඉවත් වන ලෙස ඉකුත් 14, 16 හා 21 යන දිනයන්හිදී අරගලකරුවන්ට දැනුම්දීමක් කළ නමුත් එම පරිශ්‍රයෙන් ඉවත්ව යෑම ප්‍රතික්ෂේප කළ නිසා රට තුළ පවත්නා නීතියට අනුකූලව ආරක්ෂක අංශ යොදාගෙන ඔවුන් එසේ පලවා හැරීමට ක්‍රියා කළ බවද ජනාධිපතිවරයා එහිදී තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හමුවේ පවසා තිබේ.

ඇමරිකාවේ කැපිටල් ගොඩනැඟිල්ල එරට විරෝධතාකරුවන්ගෙන් මුදාගැනීම සඳහා ඇමරිකානු ආරක්ෂක අංශ නීත්‍යනුකූලව කටයුතු කළ ආකාරයෙන්ම මෙරට ආරක්ෂක අංශ යොදාගෙන ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගත් බවද ජනාධිපතිවරයා එහිදී එම පිරිස හමුවේ පවසා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ සංගමය මඟින් නිවේදනයක් නිකුත් කර ඇතත් එය එම සංගමයේ වත්මන් සභාපතිවරයාගේ මතය විය හැකි නමුත් එය එම සංගමයේ සමස්ත මතය නොවන බවද ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

තමන් වැඩ බලන ජනාධිපතිවරයාව සිටින අවස්ථාවේ තම පෞද්ගලික නිවෙස ගිනිබත් කළද ඒ අවස්ථාවේදී මෙම කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවුඩයක් හෝ නිකුත් නොකිරීම සම්බන්ධයෙන් තමා විමතියට පත්වන බවද ජනාධිපතිවරයා එහිදී එම තානාපතිවරුන් හා කොමසාරිස්වරුන් හමුවේදී පවසා ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සාමාජිකයකු වන තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සෑම විටම කටයුතු කරන බවද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

කුමුදු උපුල් ශාන්ත, සවනි ශේශාධි