ඇතැම් ප්‍රදේශවලට ඉදිරි දිනවල වැසි

0
14

ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු මැද, නැඟෙනහිර සහ උෟව පළාත්වලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

ඒ අනුව නැඟෙනහිර, උෟව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද (25දා) මි. මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඊට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

මුහුදු ප්‍රදේශ ගත් විට පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැ. කි. මී. 50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකිය.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු උස මීටර් 2.0 – 2.5 ඉහළ යෑමේ හැකියාවක් පවතින බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් ඉල්ලීමක් කෙරේ.

චන්දන ලක්මාල්