ආණ්ඩුවට එරෙහිව පුළුල් සන්ධානයක්

0
20

ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ වෙනුවෙන් මේ වනවිටත් දේශපාලන පක්ෂ නායකයන් හා නිලධාරීන් සමඟ සාකච්ජා කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් “මව්බිම” ට පැවසීය. වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ ඒකරාශී කොටගත් පුළුල් පෙරමුණක් වෙනුවෙන් සාකච්ජා කොට සැලසුම් සකස් කෙරෙන බවද හෙතෙම කීය.

ඒ අනුව මර්දනකාරී පිළිවෙතට විරෝධය පළ කරමින් ඉදිරි සතිය තුළදී උද්ඝෝෂණ, වෘත්තීය ක්‍රියාමාර්ග ඇතුළු විරෝධතා සැලසුම් කෙරෙමින් පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

පසුගිය සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පක්ෂයේ නිලධාරී මණ්ඩලයද, සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සමඟද සාකච්ජා කළ බවත්  ඔහු පැවසීය. එමෙන්ම ඊයේ දිනයේදී කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් සමඟද සාකච්ජා කළ බවත් ඉදිරියේදී අනෙකුත් දේශපාලන පක්ෂ සමඟද සාකච්ජා කරන බවත් හෙතෙම කීය. වර්තමාන ජනපති ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිටම දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කරමින් ජනමතය යටපත් කිරීමට කටයුතු කරන බවට ජෝසප් ස්ටාලින් චෝදනා කළේය.

රනිල් වික්‍රමසිංහ කිසිදු ජන මතයක් නැත්තෙක් බවත් ඔහුට ඇත්තේ පාර්ලිමේන්තුවේ 134 දෙනකුගේ කැමැත්ත පමණක් බවත් ඔහු පැවසීය. පාර්ලිමේන්තුව තුළ ඔහුට ඇති කැමැත්ත ජන සමාජය තුළ නොමැති නිසා මර්දනය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයිද හෙතෙම කීය. රටේ මහජනතාව රනිල් වික්‍රමසිංහටද ධුරයෙන් ඉවත් වන්නැයි පැවසුවද ඔහු කූට උපක්‍රම මඟින් ජනපති පුටුවටම පත් වූවා මිස ජනතාවගේ කිසිදු ප්‍රසාදයක් දිනා ගත් අයකු නොවන බවද ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

සවනි ශේශාධි