අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ පොලිස් නිලධාරීන්ට නඩු පවරනවා

0
45

ජනාධිපති ලේකම් කාර්යාලය අවට සිටි අරගලකරුවන් සිකුරාදා (22දා) අලුයම ඉවත් කරන අවස්ථාවේදී එල්ල කළ ප්‍රහාරයේ වගකීම පොලිසිය බාරගෙන තිබෙන බැවින් මේ සතිය තුළදී පොලිස් නිලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් නඩු පවරන බව නීතිඥ මනෝජ් නානායක්කාර පැවැසීය.

ඒ අනුව පොලිස්පතිවරයාගේ සිට සියලු පොලිස් නිලධාරීන් මෙම ප්‍රහාරයේ වගකීම බාරගත යුතු බවත්, ඉදිරියේදී ඔවුන්ට මානව හිමිකම් නඩුවලට මුහුණදීමට සිදුවනු ඇති බවත් නානායක්කාර මහතා සඳහන් කළේය.

ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී නාවික හමුදා භටයන් හා පොලිස් නිලධාරීන් අරගලකරුවන්ට පහරදෙන ආකාරය නොදුටු බව කී හෙතෙම කුමන පදනමක් යටතේ පොලිසිය මෙම ප්‍රහාරයේ වගකීම බාර ගත්තේ දැයි ගැටලුවක් ඇතිවන බව ප්‍රකාශ කළේය.ජනතාව වෙත පහරදීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයෙන් හෝ අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් පොලිසියට හෝ ත්‍රිවිධ හමුදාවට අවසරයක් දී නොමැති බවත්, හදිසි නීතිය හෝ කුමන තත්ත්වයක් යටතේ වුවද ලී, පොලු, විදුලි කේබල්, උදලු මිටවල් පාවිච්චි කිරීමට පොලිසිය අවසර නොමැති බවත් මනෝජ් නානායක්කාර මහතා පැවැසීය.

නීතිවිරෝධී රැස්වීමකදී අරගලකරුවන් අත්අඩංගුවට ගත් බවට පොලිසිය සඳහන් කළද එවැනි රැස්වීමක් නොතිබූ බවත්, ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිටි කිසිවකු අත්අඩංගුවට නොගත් බවත් පැවසූ හෙතෙම යකඩ කූරුවලින් ඇන, පොලු මුගුරුවලින් පහරදී ප්‍රහාරය සිදුකරන ආකාරය ඇතුළත් වීඩියෝ හා ඡායාරූප සාක්ෂි තිබෙන බව සඳහන් කළේය.

කුලී හමුදාවට පලිහක් විදියට නිල ත්‍රිවිධ හමුදාව යොදාගෙන එල්ල කළ මෙම  ප්‍රහාරයට ආරක්ෂක අංශයේ ඉහළම නිලධාරියෙක් සහ පාවෙන ආයුධ ගබඩා තබාගනිමින් ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළ ව්‍යාපාරිකයෙක් සම්බන්ධ බව හෙතෙම ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධව ඔප්පු කළ හැකි සාක්‍ෂි තිබෙන බව පැවසූ නානායක්කාර මහතා මෙම ප්‍රහාරය එල්ලවූයේ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමට නොව දේශපාලන වුවමනාවක් මත  බව සඳහන් කළේය.

බීමතින් හෝ යම් මත්ද්‍රව්‍යයක් භාවිත කර, යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඟලා  ප්‍රහාරයට පැමිණි පුද්ගලයන්ගේ කිසිදු අනන්‍යතාවක් තහවුරු නොවන ආකාරයට ඇඳුම්වලින් නම, පදක්කම්, බැජ් ගලවා තිබූ බවද හෙතෙම ප්‍රකාශ කළේය. ආරක්ෂක අංශවලට සමාන නිල ඇඳුම් ඇඟලාගෙන සිටි කුලී හමුදාව අරගලකරුවන් බිම පෙරළා පහරදීම් සිදුකරන විට ඇතැම් පොලිස් නිලධාරීන් අරගලකරුවන් බේරා ගැනීමට යම්  ප්‍රයත්නයක් දැරූ බවද ඔහු පැවැසීය.

ජනාධිපති ලේකම් කාර්යාල භූමියෙන් අරගලකරුවන් ඉවත්වන දිනය කවදා දැයි පොලිස් නිලධාරීන් විමසා තිබුණද එම ස්ථානයෙන් ඉවත් වන්නැයි කිසිදු අවස්ථාවක අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් හෝ දැනුම්දීමක් නොකළ බවද මනෝජ් නානායක්කාර මහතා කීය.

ජනාධිපති ලේකම් කාර්යාල භූමියෙන් 22දා දහවල් ඉවත්වන බවට ඊට පෙර දින කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට සහ මාධ්‍ය මඟින් රටටම දැනුම් දුන් බවද හෙතෙම පැවැසීය.

අරගලකරුවන් පොලිසිය කුපිත වන ආකාරයට හෝ පොලිසිය අරගලකරුවන් කුපිත වන ආකාරයේ දෙයක් නොකළ බවත්, පිටස්තර පුද්ගලයන් පොලිසියට යම් යම් දේ ප්‍රකාශ කිරීමට ගත් උත්සාහයන්වලදී අරගලකරුවන් එය වැළැක් වූ බවත් නානායක්කාර මහතා සඳහන් කළේය.

අරගලකරුවන් අසභ්‍ය වචන භාවිත කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අසත්‍ය ප්‍රකාශයක් සිදුකර තිබෙන බවත්, කරුණාකර යන්න, පොලිසිය මෙතන රැ‍ෙඳන්න එපා වැනි වචන අරගලකරුවන් පාවිච්චි කළ ආකාරය පොලිසිය මුදාහැර ඇති වීඩියෝ පටවල පවා සඳහන් වන බවත් හෙතෙම පැවැසීය.

වෙනත් පාර්ශ්වයක් සිදුකළ පවකට කර ගැසීමට පොලිසියට සිදුව ඇතැයි කී නානායක්කාර මහතා පොලිසිය අහක යන දෙයක් තමන්ගේ කරපිටට ගැනීමට තරම් අසරණ වීම ගැන  පුදුම වන බව ප්‍රකාශ කළේය.

අමිත් මධුරංග ගමගේ