අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ දේශපාලන පත්වීම්වලට විරෝධයක්!

0
29

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු සභාපතිනි ප්‍රියංගනී අමරබන්දු හා නම් කරන ලද හිටපු අධ්‍යක්ෂවරයා වූ කණිෂ්ක ද සිල්වා අද (25දා) යළි පත් කිරීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් අන්තරායකර ඔෟෂධ පාලක ජාතික මණ්ඩලයේ ජාතික එකමුතුව විරෝධය පළ කිරීමට සූදානමින් සිටී.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ බලය පෙන්වමින් මෙම ඉහළ නිලධාරීන් දෙදෙනා සේවකයන් පීඩාවට පත් කළ බවත් ආයතන තුළ සේවකයන්ගේ භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කර තිබූ බවත් එම එකමුතුවේ සභාපති තරිඳු පේරුසිංහ පැවැසීය.

වසර 37කට අධික කාලයක් ගැටලුවකින් තොරව සාමකාමීව පවත්වාගෙන ආ අන්තරායකර ඔෟෂධ පාලක ජාතික මණ්ඩලයට ප්‍රියංගනී අමරබන්දු හා කණිෂ්ක ද සිල්වා පත්වී ආ දින සිට සේවකයන් බිය වද්දමින් දැඩි මර්දනයක් දියත් කළ බවද සභාපතිවරයා සඳහන් කළේය.

හිතවත් කිහිප දෙනකු ළං කරගනිමින් අවිධිමත් තීන්දු තීරණ ගැනීම හේතුවෙන් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන බන්ධනාගාරවල තත්ත්වයට පත්ව ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

ආයතනය තුළ මාරුවීම් හා උසස් වීම් ක්‍රියාපටිපාටි නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවත්, සේවක විරෝධය මධ්‍යයේ පිටස්තර පුද්ගලයන් ගෙනැවිත් තනතුරුවල පිහිටු වූ බවත් තරිඳු පේරුසිංහ කීය.

ආණ්ඩු මාරුව සිදුවන අවස්ථාවේදී අන්තරායකර ඔෟෂධ පාලක ජාතික මණ්ඩලයේ තනතුරුවලින් ඉල්ලා අස් වූ ප්‍රියංගනී අමරබන්දු හා කණිෂ්ක ද සිල්වා පෙර තනතුරු දෙකට නැවතත් පත් කිරීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න තීරණය කර තිබෙන බවද හෙතෙම පැවැසීය.

මෙම පත් කිරීම සම්බන්ධව සේවක පිරිස විරුද්ධ බවත්, ආයතනයට සුදුසු පුද්ගලයන් පත්කර එවන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පේරුසිංහ මහතා වැඩිදුරටත් සඳහන්  කළේය.  

අමිත් මධුරංග ගමගේ