තෙල් පෝලිමකදී මාළු කපන පිහියකින් පොලිස් නිලධාරීන්ට පහර දුන් අයෙක් අත්අඩංගුවට

0
166

කුරුණෑගල, ගෝනගම පිරවුම්හලේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඔවුන්ට පිහියකින් පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 40ක් වන නිකදලුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, පොලිස් නිලධාරීන් රාජකාරී යෙදී සිටින අවස්ථාවේදී පුද්ගලයෙකු බීමත්ව නියමිත පෝලිමට පිටතින් පැමිණ ඔහුගේ යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට යාමේදී ඊට විරුද්ධවූ පොලිස් නිලධාරීන් සමග ආරවුලක් ඇති කර ගෙන ඇති බව ය.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු අසල තිබූ මාළු වෙළෙඳ සලකට ගොස් මාළු කපන පිහියක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහර දී ඇත.

ඉන් ගැලවීම සඳහා නිලධාරීයෙකු සතුව තිබූ අත් විලංගුවකින් සැකකරුට පහරදී ඇති අතර එහිදී සැකකරුගේ හිසට තුවාල සිදු වී තිබේ.

සැකකරු පහරදීමට රැගෙන ආ මන්නා පිහිය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර පිළියන්දල, මඩපාත ඉන්ධන පිරවුම්හලේදී පෙරේදා රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන කහපොල, මඩපාත ප්‍රදේශයේ පදංචිකරුවෙකි.

ඉන්ධන නිකුත් කිරීමට අවසර නොලද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අවස්ථා දෙකකදී හරවා යවා ඇති අතර ඉන් පසු එම පුද්ගලයාගේ අංකයට අනුව එදිනට ඉන්ධන නිකුත් කිරීමට නොහැකි ලොරි රථයකින් පැමිණ ඉන්ධන ඉල්ලා සිට ඇත.

එහිදී එම රථයට ඉන්ධන ලබා දීමට නොහැකි බව පොලිස් නිලධාරීන් දන්වා සිටීමත් සමග ඔහු පිටව ගොස් ඇත.

පසුව එම පුද්ගලයා නැවත වරක් එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණ රාජකාරී යෙදී සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකුට දැති ඉවත්කර මුවහත් තබා තිබූ අත්කියතකින් පහර දීමට තැත් කර ප්‍රකෝපකාරී ලෙස හැසිරීමේදී එහි රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිට වැඩිදුර විමර්ශන සිදු කරයි.