දුම්රියෙන් තල්ලු කර බීමත් මගීන් දෙදෙනෙක් නියාමකවරයෙකුගේ දිවි අහිමි කරති

0
399

අද (ජූලි 23) අලුයම ධාවනය වෙමින් පැවති දුම්රියක සිටි බීමත් මගියෙකු කළ පහර දීමකින් දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකු දුම්රියෙන් ඉවතට විසි වී මිය ගොස් තිබේ.

කොළඹ – කොටුව සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය තුළ මෙම සිද්ධිය ඇති වී ඇත.

එම දුම්රියේ පුද්ගලයින් දෙදෙනෙකු මත්පැන් පානය කරමින් ගමන් කර ඇති අතර එහි රැඳී සිටි අනෙක් මගීන් ඒ පිළිබඳව දුම්රිය ආරක්ෂක අංශයට පැමිණිලි කර තිබේ.

එහිදී මත්පැන් පානය කරමින් සිටි දෙදෙනා දුම්රිය ආරක්ෂක නියාමකවරුන් විසින් මැදිරියෙන් පිටතට රැගෙන යනු ලබන අවස්ථාවේදී දොරටුව අසලදී එක් අයෙකු නියාමකවරයෙකුට පා පහරක් එල්ල කිරීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට විසි වී ඇත.

අනතුරුව, මගීන් විසින් බීමත් පුද්ගලයින් දෙදෙනා අල්ලා දුම්රිය ආරක්ෂක අංශය වෙත භාර දෙනු ලැබ තිබේ.

පොලිසිය සඳහන් කළේ, වේයන්ගොඩ පොලිස් වසමේ, වදුරව ප්‍රදේශයේදී අදාළ සිදුවීම හටගෙන ඇති බව ය.

අදාක නියමකවරයාගේ සිරුර වදුරව දුම්රිය ස්ථානයේ සිට මීරිගම දෙසට මීටර් 100ක් පමණ දුරින් තිබියදී හමුවී ඇත.

සැකකරුවන් 31 සහ 23 වන වියේ පසුවන නොච්චියාගම සහ අනුරාධපුර පදිංචිකරුවෝ වෙති.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් මීරිගම පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය විමර්ශන සිදු කරයි.