ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් කළ හේතුව පොලිසිය පැහැදිලි කරයි (VIDEO)

0
518

ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි අරගලකරුවන් ඊයේ (ජූලි 22) අලුයම ඉවත් කළේ, එහි ජනාධිපතිවරයාට රාජකාරී කිරීමේ සුදුසු පරිසරයක් සකසා ගැනීම සඳහා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

අද (ජූලි 23) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය සහ අගමැති කාර්යාලය මේ වන විට රාජකාරී කිරීමේ හැකියාවක් නොපවතින බව ය.

එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට රාජකාරී කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි අරගලකරුවන් ඉවත් කළ බව ඔහු පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන බවට අරගලකරුවන් විසින් අවස්ථා කිහිපයකදී දැනුම් දෙනු ලැබ තිබුණ ද ඒ සම්බන්ධයෙන් වූ විශ්වාසය කඩවීම මත එම ස්ථානයෙන් ඔවුන් ඉවත් කිරීමට සිදු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තව ද ඔවුන්ට ඉවත් වන ලෙස පොලිසිය විසින් 9 වතාවක් ඔවුන්ට දැනුම් දෙනු ලැබ තිබුණ ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් වීමට නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

රජයේ පොදු දේපළකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි රැඳී සිටිය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඔහු ප්‍රකාශ කළේ, විරෝධතා දැක්වීම සඳහා ගාලු මුවදොර පිටියේ සම්පූර්ණ නිදහස ලබා දී තිබුණු බව ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම සඳහා ඒ අවට ස්ථාපනය කර තිබුණු තාවකාලික කූඩාරම් කිහිපයක් ඉවත් කිරීමට සිදු වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය