හොරාකන දේශපාලකයන් අල්ලන්න විගණනයටත් බැරිද?

0
232

මේ වනවිට අරගලය දින සියය පසුකර ඇති අතර අරගලකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වන්නේ දේශපාලකයන්ගේ දූෂණ හා වංචාවන්ය. ඔවුන් මෙන්ම බහුතරයක් ජනයා පිළිගන්නා පරිදි බොහෝ දේශපාලකයන් දේශපාලනයට පැමිණෙන්නේ කිසිදු සුඛෝපභෝගී වත්කමක් නොමැතිවය. නමුත් දේශපාලන ව්‍යාපාරය ධන උල්පතක් කරගන්නා ඔවුන් පරම්පරා ගණනකට මුදල් උපයයි. මෙකී විෂමාචාරයන් වළකාලීමට බොහෝදෙනා යෝජනා කරනුයේ විගණනයි.

මේ තුළ විගණනය පිළිබඳව විශාල කතිකාවතක් ඇති වී තිබේ. ජ්චජඥඡධධඬ ඇතුළු විවිධ සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජනමාධ්‍ය තුළද විගණනය ගැන කතිකා වන අතර අරගලකරුවන් ඇතුළු විවිධ පාර්ශ්වයන් තුළින් දේශපාලකයන් සඳහා විගණනය අනිවාර්යය කළ යුතු බවට මතයක් ඉදිරිපත් වෙමින් පවතී.

සමාජ මාධ්‍යවල පළවන බොහෝ මත අධ්‍යයනයේදී වැටහෙන්නේ සමාජයේ බහුතරයක් තුළ විගණනය යනු කුමක්දැයි නිසි අවබෝධයක් නැති බවයි. අනෙකුත් දකුණු ආසියානු කලාපීය රටවලට සාපේක්ෂව පහළ මූල්‍යමය සාක්ෂරතාවක් පවතින රටක් ලෙස මෙරටෙහි ජනතාව විගණනය පිළිබඳ අඩු අවබෝධයක් පැවතීම ගැන පුදුමවිය යුතුද නැත. කෙසේ වෙතත් මේ පිළිබඳව බහුතර ජනතාවක් උනන්දු වීම මෙන්ම බහුතරයක් විසින් විගණනය ඉල්ලා සිටීම හා අනුමත කිරීමද ඉතා යහපත් ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය.

විගණනය යන්න 11 වැනි සියවසටද පෙර සිට පැවැත එන බවට සාක්ෂි පවතී. විගණනය යන පදය ‘සවන් දීම’ යන තේරුම ඇති Audire යන ලතින් වචනයෙන් සකස් වූ බව කියැවේ. මුල් කාලයේ ගණකාධිකාරීවරුන් විසින් කියවන ගිණුම්වලට සවන් දී ඒවායේ වැරැදි ඇත්දැයි පරීක්ෂා කිරීම විගණකගේ කාර්යභාරය විය. එබැවින්ම විගණනය යන්න ගිණුම්කරණය තරම්ම පැරැණි වෘත්තියක් ලෙස සැලකේ.

මෙසපොතේනියාව, ග්‍රීසිය, රෝමය වැනි යුරෝපීය රටවල මෙන්ම ඉන්දියාව වැනි ආසියානු රටවලද ඉහත සඳහන් කළ ආකාරයේ විගණනයන් තිබුණු බවට සාක්ෂි පවතී. ඉන්පසුව 11 වැනි සියවසේ ධ් වැනි හෙන්රි රජු රාජ්‍ය ආදායම් සහ වියදම්වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට විගණකවරු පත් කර ඇත. ඉතාලියේ පීසාහි වර්ෂ 1394දී රාජ්‍ය ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට විගණකවරු සිටිය බවට සාක්ෂි පවතී.

කාර්මික විප්ලවයත් සමඟම 1845දී බි්‍රතාන්‍ය රජය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ගෙන් කොටස් හිමියන්ට සිදුවන අසාධාරණකම් වැළැක්වීම සඳහා සමාගම් ගිණුම් විගණනය අනිවාර්යය කිරීමට තීරණය කළද එහිදී විගණනය සඳහා අවශ්‍ය ප්‍රමිත, සුදුසුකම්, පළපුරුද්ද හෝ ආචාරධර්ම පිළිබඳ නීති සම්පාදනයක් වී නොමැත. විගණනය වඩාත් ඔපමට්ටම් වී ප්‍රමිතීන් හා අනෙකුත් නීතී රීතිද සමඟ පසුකාලීනව ව්‍යාපාර ලෝකය හමුවට පැමිණ ඇති ආකාරය අද වනවිට අපට දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේද රාජ්‍ය විගණනය සඳහා දිගු ඉතිහාසයක් පවතී. එහි ආරම්භය 1799 දක්වා අෑතට දිවයන අතර එවකට පැවති බි්‍රතාන්‍ය අධිරාජ්‍ය විසින් මෙරට ප්‍රථම විගණකාධිවරයා ලෙස තෝමස් ෆෙර්ස්ර් (Thomas Frazer) මහතාව පත් කරන ලදී. වර්ෂ 1959දී වරලත් ගණකාධිකාරී ආයතනය පිහිටුවීමත් සමඟ විගණනය සඳහා වෘත්තිකයන් බිහිකිරීමේ ක්‍රියාවලිය රට තුළ ආරම්භ වූ අතර අද වනවිට විගණනය පිළිබඳ පාඨමාලා සිදු කරන ප්‍රධානතම ආයතනයක් ලෙස  වරලත් ගණකාධිකාරි ආයතනය සැලකිය හැකිය.

විගණනය යනු සහතිකවීමේ ක්‍රියාවලියකි. එනම් යම් විෂය කරුණක් සම්බන්ධයෙන් අපේක්ෂිත පරිශීලකයන්ගේ විශ්වසනීය බව වැඩි කිරීම සඳහා එකී විෂයකරුණ පිළියෙල කළ පාර්ශ්වය නොවන ස්වාධීන පාර්ශ්වයක් විසින් පරීක්ෂා කිරීම් සිදු කර තම මතය පල කිරීමයි.

විගණනයේ මූලික අංග ලෙස විෂයකරුණ, තෛ්‍රපාර්ශ්වීය බැඳීම, නිර්ණායකයක් පැවතීම, විගණන සාක්ෂි එක්රැස් කිරීම සහ විගණන වාර්තාවක් ලබාදීම හැඳින්විය හැකිය.

විගණනයේ යම් විෂය කරුණක් පැවතීම අනිවාර්යය වේ. එය යම් ක්‍රියාවලියක්, භාණ්ඩයක් හෝ ලේඛනයක් විය හැකිය. ISO සහතිකකරණය මෙන්ම SLS සහතිකකරණයද සිදුවන්නේ විගණනවල ප්‍රතිඵල ලෙසය. ISO සහතිකකරණයේදී විගණනය කරන්නේ යම් මූල්‍ය නොවන ක්‍රියාවලියක් වන අතර SLS සහතිකකරණයේදී යම් භාණ්ඩයක ගුණත්වය පිළිබඳව විගණනය සිදු කරයි. මීට අමතරව අභ්‍යන්තර පාලන පද්ධතියක ගුණත්වය හෝ කාර්යක්ෂමතාව, සේවක සංඛ්‍යාව, වාර්ෂික නිෂ්පාදන ප්‍රමාණය, ආයතනයක මූල්‍ය නොවන තොරතුරු ආදියද විගණනයන් සිදු කර විගණන වාර්තා ලබාදීම සිදු වේ. ඉහත සඳහන් කළ සියලු විෂය කරුණු මූල්‍ය නොවන විෂය කරුණු වේ.

අද වනවිට බොහෝ පිරිස් කතා කරනුයේ මූල්‍ය විගණනය ගැනය. එනම් විගණනයේ විෂය කරුණ වන්නේ මූල්‍ය තොරතුරුය. මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් හෝ අනාගත අයවැයක් මීට කදිම උදාහරණ වන අතර මූල්‍ය විගණනය ඉතා ජනප්‍රිය විෂයක් බවට පත්වෙමින් පවතී.

තෛ්‍රපාර්ශ්වීය බැඳියාව යනු පාර්ශ්ව තුනක් අතර ඇති වන බැඳීමක් වන අතර මෙය නොමැතිව විගණනයක් සිදු නොවන බවට සිද්ධාන්තයක් පවතී. අදාළ පාර්ශ්වයන් තුන වන්නේ විෂය කරුණ සකස් කළ පාර්ශ්වය, විගණන වාර්තාව පරිශීලනය කරන පාර්ශ්වය හා විගණකවරයාවේ. මෙලෙස පාර්ශ්ව තුනක් නොමැති නම් විගණනයේ මූලික අරමුණු ඉටු නොවේ. උදාහරණයක් ලෙස මූල්‍ය ප්‍රකාශන කට්ටලය සකස් කළ පාර්ශ්වයම විගණනය සිදු කළහොත් මූල්‍ය ප්‍රකාශන කට්ටලය පරිශීලකයන්ගේ විශ්වාසනීයත්වය වැඩි කිරීමට එය හේතුවක් නොවේ. එසේම මූල්‍ය ප්‍රකාශන කට්ටලය සකස් කළ පාර්ශ්වයම එය පරිශීලනය කරයි නම් එවැනි අවස්ථාවක මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ විශ්වාසී බව වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැත.

විගණනය සඳහා නිර්ණායකයක් පැවතිය යුතු ලෙස සලකනු ලබන්නේ පරීක්ෂා කරනු ලබන මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ හෝ වෙනත් විෂය කරුණක ගුණත්වය මැනීම සඳහා සැසඳීමට යම් නිර්ණායකයක් හෝ මට්ටමක් පැවතිය යුතු නිසාය. උදාහරණයක් ලෙස ඔබගෙන් යම් පුද්ගලයකු පිළිබඳව වෙනත් පුද්ගලයකු විසින් ‘ඔහු හොඳද?’ කියා විමසුවහොත් ඔබට ඍජු පිළිතුරක් දීම අපහසු වේ. මේ විමසන්නේ ඔහුගේ අධ්‍යාපනය ගැනද? ඔහුගේ ගුණයහපත්කම් ගැනද? ඔහුගේ පෙනුම ගැනද? මේ කුමන ගුණාංගය ගැන විමසුවද ඔහු හොඳ වෙන්නේ කුමන සීමාවෙන් පසුවද? වැනි ගැටලු රාශියක් ඔබට පැන නැඟෙනු ඇත.

මේ ලෙසම මූල්‍ය ප්‍රකාශනයක් ගැනද කිසියම් පුද්ගලයකු නිවැරැදිද කියා විමසුවහොත් ඍජු පිළිතුරක් ලබාදීම අපහසු වනු ඇත. නමුත් මූල්‍ය ප්‍රකාශන කට්ටලය ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුව සකස් කර ඇද්දැයි විමසූ විට ඊට ඍජු පිළිතුරක් දීමට හැකිය. මෙහිදී නිර්ණායකය වනුයේ ගිණුම්කරණ ප්‍රමිත වේ.

එලෙසම විගණක විසින් යම් වාර්තාවක් ලබාදීම විගණනයේ මූලික අංගයකි. මූල්‍ය ප්‍රකාශන කට්ටලය සම්බන්ධයෙන් තමාගේ මතය පළ කිරීම මෙම වාර්තාවෙන් සිදුවේ. එහිදී විගණකවරයා මූල්‍ය ප්‍රකාශන කට්ටලය සාවද්‍ය ප්‍රකාශවලින් තොර බවට හෝ සාවද්‍ය ප්‍රකාශ අඩංගු බවට මතයක් පළ කිරීම සිදු කරයි.

විගණනයේ තවත් මූලික අංගයක් වන්නේ විගණන සාක්ෂිය. විගණක විසින් තම මතය පළ කිරීම සඳහා පදනමක් ලෙස සාක්ෂි එක්රැස් කිරීම සිදු කළ යුතුය. විවිධ මාර්ග ඔස්සේ තොරතුරු එක්රැස් කර එකී තොරතුරු ලේඛන ගත කිරීම විගණන සාක්ෂි රැස් කිරීම ලෙස මෙහිදී හ¾දුන්වා දෙයි.

සරලව විගණනය මෙසේ හැඳින්විය හැකිය. “ස්වාධීන පාර්ශ්වයක් විසින් මූල්‍ය ප්‍රකාශන කට්ටලය පරීක්ෂා කර බලා එකී මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ ඇති නිරවද්‍යතාව පිළිබඳ තම මතය පළ කිරීම විගණනය වේ.”

විගණනයේ මූලික සිද්ධාන්තයක් වන්නේ විගණනය ඉහළම කාර්යක්ෂමතාවකින් සියලු විගණන ප්‍රමිතීන්ට අනුකූලව සිදු කළද විගණන වාර්තාවට අනුකූල නොවන පරිදි මූල්‍යප්‍රකාශන කට්ටලය සකස් වී තිබිය හැක යන්නයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ විගණක විසින් තෝරාගත් නියැදි පදනම් කරගෙන සමස්ත මූල්‍ය ප්‍රකාශන කට්ටලය පිළිබඳ මතයක් පළ කිරීමය. එනම් විගණක විසින් තෝරා ගත් නියැදියේ වැරැදි හා වංචා නොතිබුණත් නියැදියට තෝරා නොගත් තොරතුරු තුළ වැරැදි හා වංචා පැවතිය හැකි අතර එකී වැරැදි හා වංචා අනාවරණය නොවීමේ අවදානමක් පවතී.

විගණනය යන්න බාහිර හෙවත් ව්‍යවස්ථාපිත විගණනය, අභ්‍යන්තර විගණනය සහ වෝහාරික විගණනය (Forensic audit) ආදී වශයෙන් වර්ග කළ හැකිය.

බාහිර විගණනයේදී මූල්‍ය ප්‍රකාශන කට්ටලය පිළිබඳ ස්වාධීන පාර්ශ්වයක් විසින් තම මතය පළ කරන අතර එමඟින් පරිශීලකයන්ගේ විශ්වාසනීයත්වය වැඩි කිරීම අරමුණ වේ. සමාගම් සඳහා බාහිර විගණනය නීතියෙන් අනිවාර්යය කර ඇත. සමාගමක කළමනාකරුවන් විසින් මූල්‍ය ප්‍රකාශන කට්ටලය සකස් කරනු ලබයි. එහිදී මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ පරිශීලකයන් වන කොටස් හිමියන්ට ආකර්ෂණීය වන ලෙස වංචාසහගතව මූල්‍ය ප්‍රකාශන කට්ටලය වෙනස් කිරීමේ අවදානමක් පවතී. එකී අවදානම අවම කිරීමට කොටස් හිමියන්ට අමතර සහතිකයක් අවශ්‍ය බැවින් ස්වාධීන විගණකවරයකු විසින් එකී මූල්‍ය ප්‍රකාශන කට්ටලය පරීක්ෂා කර බලා තම මතය පළ කරනු ලබයි. එකී විගණන වාර්තාව මූල්‍ය ප්‍රකාශන කට්ටලය ගැන කොටස් හිමියන්ගේ විශ්වාසය වැඩි කිරීමට හේතුවේ. කෙසේ වුවද බාහිර විගණනය අතරතුර විගණක විසින් යම් වංචාවක් අනාවරණය කරගත හොත් අදාළ වගකිව යුතු පාර්ශ්වයන්ට ඒ බව හෙළි කිරීමට ඔහු බැඳී සිටියි.

අභ්‍යන්තර විගණනය මීට වෙනස් වන්නේ අභ්‍යන්තර විගණනයේ විෂයපථය මූල්‍ය ප්‍රකාශන කට්ටලයට සීමා නොවන බැවිනි. එහිදී අභ්‍යන්තර පාලන පද්ධතිය, නීතිමය අනුකූලතාව, වැරැදි හා වංචා මෙන්ම ව්‍යාපාර පද්ධතීන්ගේ පවතින කාර්යක්ෂමතාව පිළිබඳවද පරීක්ෂා කිරීම සිදු කරන අතර ඒවායේ පවතින දුර්වලතා සහ අඩුපාඩු හෙළිදරව් කිරීම සිදු කරනු ලබයි. මෙහිදී බාහිර විගණනයට සාපේක්ෂව වැරැදි හා වංචා සඳහා ප්‍රමුඛතාව ලබාදෙයි.

වෝහාරික විගණනය යනු යම් වංචාවක් සිදු වී ඇති බවට සැකයක් මතු වුවහොත් එකී සැකය තහවුරු කර ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සාක්ෂි ලබාගැනීම සඳහා කරනු ලබන විගණනයයි. මෙහිදී වංචාවක් පිළිබඳ යම් නිමිත්තක් තිබීම අනිවාර්යය වේ.

ඉහත සාකච්ඡා කළ සෑම විගණනයකදීම විගණනයේ මූලික අංග සියල්ලම සම්පූර්ණ වන බව හොඳින් අධ්‍යයනය කරන්නකුට අවබෝධ කරගත හැකිය.

වර්තමානයේ බොහෝදෙනා සාකච්ඡාවට බ¾දුන් කරන ‘දේශපාලකයන් විගණනය’ යන ක්‍රියාවලියේදී මෙකී සියලු ගුණාංග ඇතුළත් කළ හැකි ද යන්න සාකච්ඡා කිරීම ඉතා වැදගත් වේ. බහුතරයක් කතා කරන ‘දේශපාලකයන් විගණනයේ’දී පැහැදිලි  විෂය කරුණක් නොමැති බව පෙනේ. දේශපාලකයා යනු හුදෙක් පුද්ගලයකි. ඔහුව විගණනය කළ නොහැකිය. දේශපාලකයාගේ වත්කම්ද පැහැදිලි විෂයකරුණක් ලෙස සැලකිය නොහැකිය. එකී පුද්ගලයා හෝ වත්කම් විෂය කරුණක් ලෙස ගතහොත් එය කුමකට සාපේක්ෂව නිවැරැදි බව ප්‍රකාශ කළ හැකිද? එනම් පැහැදිලි නිර්ණායකයක් නොමැති බව පෙනේ. එමෙන්ම විගණන වාර්තාවේ පරිශීලකයා වන්නේ කවුද? මහජනතාව, මැතිවරණ කොමිසම, රජය හෝ යම් රාජ්‍ය ආයතනයක්ද යන්න පැහැදිලි නැත. ඒ අනුව පෙනී යන්නේ සරලව ‘දේශපාලකයන් විගණනය’ යන්නට මූලික අංග ඒකරාශී කර පදනමක් සකස් කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි.

රට තුළ පවතින නීති අධ්‍යයනයේදී අපට පෙනී යන්නේ 1988 අංක 74 දරන වත්කම් හා වගකීම් හෙළිදරව් කිරීමේ (සංශෝධිත) පනත තුළ සියලු පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේද මැතිවරණ සඳහා ඉදිරිපත් වන අයැදුම්කරුවන්ගේද වත්කම් හා වගකීම් වාර්ෂිකව හෝ පනත නම් කරන ලද දිනයකදී ඉදිරිපත් කළ යුතු බවයි.

මෙම ලේඛනය අපට විගණනයට යටත් කළ හැකි වුවහොත් එය විෂයකරුණක් ලෙස සැලකිය හැකිය. මෙම ප්‍රකාශනයේ ගුණත්වය තවදුරටත් වැඩි කර ගැනීම සඳහා දේශපාලකයාගේ වත්කම් සහ වගකීම්වලට අමතරව වර්ෂය තුළ ලද ආදායම් හා වියදම්ද ඇතුළත් කළ හැකිය. එමඟින් සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් ලබාගත හැකි අතර එය විගණනය සඳහා යොදාගත හැකි අංග සම්පූර්ණ විෂය කරුණකි.

දේශපාලකයන්ගේ පුද්ගලික මූල්‍ය ප්‍රකාශන කට්ටලය සකස් කළ යුත්තේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලවද එසේ නොමැති නම් ඒ සඳහා විශේෂිත ක්‍රමවේදයක් භාවිත කළ යුතුද යන්න පිළිබඳ මඟපෙන්වීමක් ලබාදීම  අත්‍යවශ්‍ය කරුණකි. මෙම මඟපෙන්වීම විගණනයේදී නිර්ණායකය ලෙස භාවිත කළ හැකිය.

දේශපාලකයන්ගේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය පරිශීලනය කරනු ලබන පුද්ගලයන්ද පැහැදිලිව හ¾දුනා ගැනීම මෙහිදී ඉතා වැදගත් වේ. මහජනතාව යනු ඒ සඳහා එක් හොඳ යෝජනාවකි. මෙම මූල්‍ය ප්‍රකාශයන් මුද්‍රිත මාධ්‍යවල පළකිරීම තුළින් මහජනතාව පරිශීලකයන් බවට පත් කළ හැකිය. නැතහොත් විශේෂිත රාජ්‍ය ආයතනයක් හෝ මැතිවරණ කොමිෂන් සභාව පරිශීලකයා ලෙස පත් කළ හැකිය.

විගණනය කිරීම සඳහා රජයේ විගණන දෙපාර්තමේන්තුව හෝ සුදුසුකම් සහිත විගණකවරු නිර්දේශ කිරීමත් එකී විගණකවරු සඳහා අදාළ ලිපි ලේඛන ලබාදීම අනිවාර්යය කිරීමත් තුළ සාර්ථක විගණන ක්‍රියාවලියක් පිහිටු විය හැකිය.

මෙලෙස දේශපාලකයන්ට අදාළ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් සකස් කර විගණනය සිදු කිරීම තුළින් ඉතිහාසයේ ඔවුන් විසින් සිදු කරන ලද දූෂණ හා වංචා හ¾දුනාගත හැකිද යන ගැටලුව බොහෝ පිරිසක් විමසයි. ප්‍රායෝගිකව එවැනි දෙයක් සිදු කිරීම අපහසු දෙයකි. නමුත් විගණනය සිදු කරන කාලපරිච්ඡේදයට අදාළව එකී පුද්ගලයා අයථා ලෙස මුදල් උපයා ඇත්නම් ඒ බව හෙළිදරව් කිරීම සඳහා මෙම ක්‍රියාවලිය ඉතා වැදගත් වනු ඇත. මෙහිදී  මූල්‍ය ප්‍රකාශන කට්ටලය විගණනය කිරීම ඉතා වැදගත් වන්නේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය සකස් කරන පුද්ගලයාට වැරැදි තොරතුරු ඇතුළත් කර පරිශීලකයන් නොමඟ යැවීමට ඇති ඉඩ ප්‍රස්තාව අවම කිරීම සඳහා ඇති හොඳම අවිය විගණනය බැවිනි.

මෙවැනි විගණනය කළ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තුළින් අනාවරණය කර ගන්නා අයථා ලෙස මුදල් ඉපැයීම් වැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අදාළ නීතිරීති යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි අතර ඒ සඳහාද නීතිරීති යාවත්කාලීන කිරීම රටේ කාලීන අවශ්‍යතාවයකි.

වෝහාරික විගණනය මේ සඳහා ආදේශ කළ හැකිද යන්න සමාජයේ පවතින තවත් ගැටලුවකි. නමුත් එවැනි විගණනයක් සිදු කිරීම සඳහා යම් වංචාවක් පිළිබඳ නිමිත්තක් පැවතිය යුතුය. එකී වංචාව පිළිබඳ නිමිත්ත පදනම් කරගෙන වෝහාරික විගණනය ආරම්භ කළ හැකි අතර එය වංචාව සිදු වූ ආයතනය තුළින් සිදු විය යුතුය. රාජ්‍ය අංශය තුළ සිදු වූ වෝහාරික විගණනයන්ට හොඳම උදාහරණය වන්නේ මහ බැංකු මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයය. ඒ අනුව බලන කළ රටේ සියලුම දේශපාලකයන්ට වෝහාරික විගණනයන් සිදු කිරීම ප්‍රායෝගික නැත.

ඉහත සියලු කරුණු අධ්‍යයනයේදී අපට අවබෝධ වන්නේ දේශපාලකයන්ගේ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම මෙන්ම විගණනය කිරීම තුළින්ද වාසි රැසක් රටට ලබාගත හැකි බවයි. රට තුළ සිදුවන ඉහළ මට්ටමේ වංචා වළක්වා ගැනීමට ඍජු දායකත්වයක් මේ තුළින් ලබාගත හැකිය. තවද යහපත් දේශපාලකයන්ට එල්ල වන අසත්‍ය චෝදනා අවම කර ඔවුන්ගේ කීර්තිනාමය ආරක්ෂා කිරීමටද මෙම ක්‍රියාවලිය පිටිවහලක් වනු ඇත. එබැවින් පවතින නීතිරීති ක්‍රියාත්මක කිරීම මෙන්ම අවශ්‍ය සංශෝධන ගෙන ඒමද අදාළ පාලකයන්ගේ හා බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් වන අතර එය විනයගරුක රටක් ගොඩනැඟීමට විශාල දායකත්වයක් ලබාදෙනු ඇත.

අමිල කල්දේරා