හෙළාදකිති

0
41

ගාලුමුව‍ෙදාර විරෝධතාවට එල්ල කළ හමුදා ප්‍රහාරය හෙළා දකිමින් ආගමික නායකයන් දේශපාලන පක්‍ෂ, ජාතික හා අන්තර්ජාතික තලයේ මාධ්‍ය හා සංවිධාන රැසක් සිය මතය ප්‍රකාශයට පත්කර ඇත.  කාදිනල් හිමිපාණෝ

ගාලුමුව‍ෙදාර අරගලකරුවන්ට කළ ව්‍යවස්ථා විරෝධී ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන හා විනිවිද භාවයෙන් යුතු විමර්ශනයක් කරන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලීමක් කරති.

එම ප්‍රහාරය එල්ල කිරීමට මූලික වූ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් හා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින බවද නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පැවසූහ.

අපමණ දුක් පීඩාවන්ට ලක්ව සිටින අසරණ ජනතාව හා සාමකාමී විරෝධතා පොලිස් සහ හමුදා බලය යොදා මර්දනය කිරීම වහාම නවතා දමන්නැයිද උන්වහන්සේ ජනපතිවරයාට අවධාරණයෙන් කියා සිටී.

ජනපති රනිල් වික්‍රමසිංහ ධුරයේ වැඩ භාරගෙන පැය 24ක් ඉක්මවා යෑමට මත්තෙන් සිවිල් ජනතාව වෙත එල්ල කරන ලද අමානුෂීය හා නීති විරෝධී පහර දීම සම්පූර්ණයෙන්ම හෙළා දකින බවද කාදිනල් හිමියෝ  සඳහන් කරති.

පාර්ලිමේන්තුව තුළ කිසිදු ජනමතයක් නොතිබූ, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට යැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩි ඡන්දයෙන් පමණක් ජනාධිපති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මේ පහරදීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම සම්පූර්ණයෙන් කඩ කර ඇතැයි චෝදනා කරති.

සර්වපාක්‍ෂික එකමුතුව

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් විසිරුවා හැරිම සඳහා අනුගමනය කළ හමුදාමය ප්‍රහාරය තරයේ හෙළා දකින බව විපක්ෂයේ පක්ෂ රැසක් පවසති.

මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු සමඟි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් හා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම් එක්ව “සර්වපාක්‍ෂික එකමුතුව“ මැයෙන් ඉකුත්දා (22දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම විරෝධය පළ කළහ.

මේ මාධ්‍ය හමුවට ඩලස් අලහප්පෙරුම, එම්.සුමන්තිරන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රංජිත් මද්දුම බණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හෂීම්, චන්දිම වීරක්කොඩි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ අතර ගාලුමුව‍ෙදාර අරගලකරුවන්ට පහරදීමට සම්බන්ධ සියලුම දෙනා ස්වාධීන පරීක්ෂණයක් හමුවට ඉදිරිපත් කර නීතියෙන් දැඩි දඬුවම් ලබාදීම රජයේ යුතුකම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. 

නව ජනාධිපතිවරයා පත් වූ සැණින් එල්ල කරන ලද මේ ප්‍රහාරය තුළින් ගම්‍ය වන්නේ ආණ්ඩුව යන දිශානතිය බවද ඔහු කීය.

රට සන්සුන් කිරීමට හා ජාත්‍යන්තර සහයෝගය දැඩි ලෙස අපේක්ෂාවෙන් සිටි මොහොතකදී ගෝල්ෆෙස් අරගලයේ නිරත පිරිස් වෙත පීඩාකාරී මර්දනයක් දියත් කිරීම කිසි ලෙසකත් අනුමත නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේය.

එමෙන්ම මේ අරගලකරුවන් සමඟ ඔවුන් එකඟ වන පිරිසක් සාකච්ජාවට කැඳවා ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලන පදනම සුරක්ෂිත කිරීම ඉතා අත්‍යවශ්‍ය බව ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

 නව ජනාධිපතිවරයෙක් වැඩ ආරම්භ කොට පැය විසිහතරක් යන්නට මත්තෙන් මෙවැනි මර්දනකාරී ක්‍රමවේදයකට එළැඹීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයිද එම නිවේදනයෙන් අවධාරණය කොට ඇත. “රනිල් පන්නමු – පාර්ලිමේන්තුව විසුරුවමු” යන්න ක්‍රියාත්මක වන රටේ ප්‍රමුඛතම සටනට දේශපාලන පක්ෂවල සහාය ලබා දෙන්නැයිද ජාතික වෘත්තීය සමිති  මධ්‍යස්ථානයේ සභාපති, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඉල්ලීමක් කළේය.

අරගලකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහරදුන්,  උද්ඝෝෂණවලට ඇති අයිතිය කප්පාදු කරන, පුරවැසියාගේ සාධාරණ ඉල්ලීම් අවියෙන් හා බැටන් පොල්ලෙන් මැඬලිය හැකි යැයි සිතන රනිල්  වික්‍රමසිංහ ජනාධිපතිගේ මර්දනකාරී ආණ්ඩුව වහාම පන්නා දැමීම අත්‍යවශ්‍ය  කාරණයක් බවට පත්ව ඇතැයිද ලාල්කාන්ත මහතා ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.

නමට පමණක් “ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්” යැයි කියාගනිමින් අවියෙන් ප්‍රශ්න  විසඳන පාලකයෙක් රටක් ඇද දමන්නේ දැඩි ඛේදවාචකයකට පමණක්ම බව ඔහු අවධාරණය කළේය.

එම නිසා සියලු වෘත්තීය සමිති ව්‍යාපාර හා අනෙකුත් බහුජන සංවිධාන මූලික කරගෙන දැවැන්ත අරගලයක් කළ යුතු බවත් තවදුරටත් පැවැසූ ඒ මහතා, ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ එකට එක් විය යුතු බවත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිවරයා ලෙස බලයට පත්වූ පළමු දිනයේදීම විරෝධතා මැඬපැවැත්වීම සඳහා සන්නද්ධ හමුදාවන් හා පොලිසිය යොදා ගැනීම නින්දිත ක්‍රියාවක් බවත් එය මෙරට සමාජ, ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයට බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙන්නක් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සන්නද්ධ හමුදාවන් හා පොලිසිය සිදුකරන අසාධාරණ හා අසමාන ක්‍රියා වහාම නතර කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නීතියේ ආධිපත්‍යයට හා ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන බවට ජනාධිපතිවරයා සහතික විය යුතු බවද එම සංගමය අවධාරණය කරයි. මෙම සිද්ධියේදී සිය වෘත්තීය කටයුතු සඳහා මැදිහත්වීමට ගිය නීතිඥවරුන් දෙදෙනකුට හා මාධ්‍යවේදීන් කිහිපදෙනකු ඇතුළු නිරායුද සිවිල් වැසියන් පිරිසකට සන්නද්ධ අංශ විසින් පහරදී අත්අඩංගුවට ගෙන ඇති බවද එම පහරදීම්වලට හා අත්අඩංගුවට ගැනීම්වලට අදාළ තොරතුරු වීඩියෝ දර්ශන හරහා දැක ගැනීමට ලැබෙන බවද සංගමය පෙන්වාදී තිබේ.

දෙස්-විදෙස් මාධ්‍ය සංවිධාන

ගාලු මුව‍ෙදාර සාමකාමී අරගලකරුවන්ට ඉකුත් 22දා අලුයම එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් දෙස්-විදෙස් මාධ්‍ය සංවිධාන ඇතුළු සංවිධාන රාශියක් නිවේදනය නිකුත් කොට ඇත.

ගාලු මුව‍ෙදාර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව එහි ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හමීඩ් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත.

ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි ජූලි මන්ග් හා බි්‍රතාන්‍ය මහ කොමසාරිස් සාරා ෆල්ටන් මහත්මීන් ට්විටර් පණිවුඩ යොමු කරමින්, බලධාරීන් වහාම සංයමයෙන් කටයුතු කළ යුතු බවත් සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ගැන දැඩි අවධානය යොමු කළ යුතු බවත් අවධාරණය කර ඇත.

රාජ්‍ය බලධාරීන් ප්‍රචණ්ඩ ක්‍රියා නතර කළ යුතු බවත් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත් අය නිදහස් කළ යුතු බවත් කියමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. මේ අතර සාක් මාධ්‍යවේදීන්ගේ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මෙම ප්‍රහාරය දැඩිසේ හෙළා දකින බවය.  මේ අතර වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්ගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර මට්ටම්වලින් ගතහැකි සියලු මැදිහත් වීම් සිදුකරන බවය. ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට අත නොතබන ලෙස දැඩිව කියා සිටින බවද එහි සඳහන්ය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සහ ලේකම් හනා ඊබ්‍රහිම්ගේ අස්සනින් යුතු නිවේදනයක සඳහන්ව ඇත්තේ අරගලකරුවන් එම භූමියෙන් ඉවත් වන බව දන්වා තිබියදී මෙසේ ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

සවනි ශේශාධි, අනුරාධා හේරත්, කුමුදු උපුල් ශාන්ත,  නිර්මාණි ගුණරත්න, විනීතා එම්. ගමගේ