හින්දු කාන්තාවගේ පරමාදර්ශී චරිතය සීතා දේවිය

0
66

දේවි සීතා යනු හින්දු පුරාවෘත්තවල ශ්‍රී මහා විෂ්ණුගේ හත්වැනි අවතාරය වන රාමගේ භාර්යාවයි. සීතා දේවි යනු සංස්කෘත වීර කාව්‍යයක් වන ශ්‍රී වාල්මීකි විසින් රචිත රාමායණයේ ප්‍රධාන චරිතයකි. හින්දු සංස්කෘතියෙහි සීතා ශේ‍ර්ෂ්ඨ නාරි හෙවත් වඩාත් නිර්මල කාන්තාව ලෙස සලකනු ලබන අතර හින්දු කාන්තාවන් සඳහා වන සියලුම කාන්තා ගුණාංගවල ප්‍රතිමූර්තිය ලෙස සැලකේ.

දේවි සීතා සැබවින්ම කාන්තාවකගේ පරමාදර්ශී ආදර්ශය වන අතර සාම්ප්‍රදායක ඉන්දියානු කාන්තාවකගෙන් බලාපොරොත්තු වන සියලුම යහපත් ගුණාංගවලින් සමන්විත වේ. ඇය තම මවුපියන්ට පරමාදර්ශී දියණියක් වූවාය. ඇගේ ස්වාමිපුරුෂයා වන රාමාට පරමාදර්ශී බිරියක් වූ අතර ඇගේ නිවුන් දරුවන් වන ලව සහ කුශ හට පරමාදර්ශී මවක් වූවාය. සීතා දේවියට තම විවාහ ජීවිතයේදී නොයෙකුත් පීඩාවන්ට මුහුණ දීමට සිදු වූ අතර අවසානයේ ඇයගේ ධෛර්යය, නිර්මලකම සහ ධර්මිෂ්ඨකම නිසා ඇය අවසාන ජයග්‍රාහිකාව බවට පත් වූවාය. සීතා දේවියගේ ජීවිත කතාව තුළින් පෙන්නුම් කරන්නේ ශක්තිමත් කාන්තාවක් විය යුතු ආකාරය සහ ජීවිතයේ කිසි විටෙකත් තම ප්‍රතිපත්ති අත් නොහැරිය යුතු බවයි.

සීතා දේවියගේ චරිතය වෙනත් ඕනෑම චරිතයකට වඩා ඉන්දියානු කාන්තාවගේ මනෝභාවයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. වසර දහස් ගණනකට පෙර කවියකු විසින් ලියන ලද එක් මහා වීර කාව්‍යයක් සමස්ත සංස්කෘතියක චින්තනය හැඩගස්වා ගැනීම සහ නැවත සකස් කිරීම එක්තරා විධියක පුදුම සහගත කරුණකි. ඉන්දියානු කාන්තාවකගේ ජීවිතයේ සෑම අදියරක දීම ඇගේ නම සිහිපත් කිරීමට තරම් සබැඳියාවක්, ගෞරවයක් සීතා දේවිය කෙරෙහි පවතී. ඒ නිසාම “සීතා මාතා” යන ව්‍යවහාර භාවිත වේ. බෞද්ධ සාහිත්‍යයෙහි යම් සේ යශෝදරා දේවිය වර්ණනාවට, පිදීමට ලක්වේද එසේම හින්දු සාහිත්‍යයෙහි සීතා දේවිය ගෞරවාදරයට පාත්‍ර වී ඇත. බෞද්ධයෝ යම් සේ යශෝදරා දේවිය පුදත්ද එසේම හින්දු ජනයා සීතා මාතාව පුදති. ඇයව ඉන්දියානු සංස්කෘතික සංකේතයක් ලෙස පිළිගැනීමට තරම් උත්කෘෂ්ට චරිතයක් ලෙස උත්කර්ෂයට නඟා ඇත.

රාම – සීතා වෘත්තාන්තය සංස්කෘත සාහිත්‍යයෙහි එන අතිශයින් ළගන්නා ප්‍රේම වෘත්තාන්තයකි. විවිධ බාධක, දුක්-කරදර මැද වරින් වර අතින් අත අතහැරුණමුත් සිතින් සිත අතනෑර හැම දුක් වේදනාවක්ම දරාගෙන තම අභිලාෂයන් මුදුන් පමුණුවා ගන්නා තුරුම විවිධ කැප කිරීම්, දරා ගැනීම් සිදුකළ ප්‍රේමවන්තයෝ දෙපළකි. වාල්මීකි රාමායණයෙහි ඔවුන්ගේ බැඳීම, ආදරය ගැන හරි අපූරු ප්‍රකාශයක් කරයි. “ඔවුහු එකිනෙකාගේ සිතුවිලි පහසුවෙන් කියවා ගත්හ. දිව සහ තොල් හෝ ඇතැම් විට ඇස්වල කිසිදු ඉඟියක්වත් නොමැතිව හදවත හදවතට කතා කළහ. ඔවුනොවුන්ගේ ආශාව අනෙකා විසින් දැන ගන්නා ලදී. කවුද වැඩියෙන් ආදරේ කළේ කියලා කියන්න අමාරු තරමටම ඔවුනොවුන් එකිනෙකාට ආදරය කළහ.”

රාමායණයෙහි සීතා දේවියගේ චරිතය ගැන විස්තර වන සෑම අවස්ථාවකම පාහේ අපට වටිනා ජීවිත පාඩම් කියා දෙයි. ධර්මයේ වටිනාකම,  ආදරණීයයන්ට ගරු කිරීම, ආදරය කිරීම සහ රැකබලා ගැනීම, යුතුකම් ඉටු කිරීම ඒ අතර ප්‍රධාන වේ.

තම පුත්‍ර භරතට රාජ්‍ය පවරන්නැයි කෛකේයි බිසව විසින් කළ ඉල්ලීම පරිදි දශරථ පියා රාම කුමරුව වසර 12ක් තම රාජ්‍යයෙන් නෙරපා  දැමුවේය. එසේ වනගත වීමට සැරසෙන මොහොතෙහි සීතා දේවියද රාම කුමරු සමඟ වනගත වීමට සැරසෙයි. රාම විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරයි. අවසානයෙහි සීතාගේ දැඩි පෙරැත්ත නිසාම රාම සමඟ සීතාද වනගත වෙයි. එහිදී දෙදෙනා අතර ඇති වූ සංවාදවලින් ප්‍රකට වන්නේ ඇයගේ අසීමිත ස්වාමි භක්තියයි, ආදරයයි.

“පියා, පුතා, මව හෝ මිතුරන් නොවේ ගැහැනියකට පරම අවසානය වන්නේ. නමුත් සෑම විටම ජීවිතයේ මෙන්ම මරණයේදී, ස්වාමිපුරුෂයා කාන්තාවකට අවසානයයි.” (වාල්මීකි රාමායණය 2.27.5)

“මාලිගාවක හෝ යානාවක හෝ අහසේ හෝ වේවා සෙවණැල්ලක් මෙන් ඇගේ සැමියා අනුගමනය කිරීම බිරියකට සෑම විටම වඩා හොඳය.” (වාල්මීකි රාමායණය 2.27.8)

“පියාගේ ගෙදර වගේම සතුටින් මම වනයෙහි වාසය කරමි. තුන් ලෝකෙම වෙන දේ ගැන සිතා කලබල නොවෙමි. මගේ සැමියා සමඟ සිටීම ගැන පමණක් සිතමි.” (වාල්මීකි රාමායණය 2.27.11)

වනගත වී සිටින අතරතුර රාවණ සීතාව ලංකාවට පැහැරගෙන විත් අශෝක වනයෙහි සිර කර තබා ගත්තේය. ඔහු ප්‍රදේශය ආරක්ෂා කිරීමට සහ සීතා පැන යෑම වැළැක්වීමට බොහෝ යක්ෂයන් යොදවයි. ලංකාවේ වහල් භාවයේ සිටි වසරක් පුරාවටම රාවණ ඇය කෙරෙහි ඔහුගේ ආශාව ප්‍රකාශ කරයි. නමුත් සීතා ඔහුගේ ඉල්ලීමට අවනත වීම ප්‍රතික්ෂේප කර ඇගේ නිර්මලත්වය ආරක්ෂා කරයි.

“ස්වභාවයෙන්ම අතිශයින්ම කුරිරු වූ භයංකර රක්ෂාවරුන් විසින් ආරක්ෂා කරන ලද ඇතුළු හිරගෙයක සීමා කර තැබුවද, රාම කුමරුන් හදවතේ තැන්පත් කරගෙන ගමනාන්තය ඔහුම පමණක් බව ඇය සිතුවාය.” (වාල්මීකි රාමායණය 6.118.8)

මේ අතර රාමට හනුමාන් සහ අනෙකුත් වානර සේනා මුණගැසෙන අතර ඔවුන් සීතා දේවිය ලංකාවෙන් ගලවා ගැනීමට සැලැස්මක් සකස් කරයි. බලවත් හනුමාන් මුහුදට උඩින් පැන අශෝක වනයෙහි සිර කරගෙන සිටින සීතා සොයා ගැනීමට සමත් වේ. සීතා හනුමාන් හමුවීම ගැන සතුටු වන අතර ඇයට චූඩාමණී එනම් ඇගේ පෞද්ගලික ආභරණ ආයිතමයක් ලබා දී එය තම සැමියාට දෙන ලෙස ඉල්ලා සිටී.

රාම දකුණු ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කරමින් වානර සේනාවේ සහාය ඇතිව රාම සේතු නම් පාලමක් ඉදිකරයි. රාම පසුව රාවණාට එරෙහිව දරුණු හා ප්‍රචණ්ඩකාරී යුද්ධයක් දියත් කරන අතර අවසානයේ රාවණ රජුව පරාජය කර මරා දමයි. රාම පසුව සීතා ඇගේ දිගුකාලීන වහල් භාවයෙන් මුදා ගනී.

සීතා නැවත ආවේ බොහෝ කලක් වෙන්ව සිටි ආදරණීය සැමියකුගේ උණුසුම් ළය වෙතට නොව ඇයව සැක කරන සැකකාරයකු වෙතටයි. සීතා රාවණ විසින් වහල් භාවයේ තබාගෙන සිටි බැවින් ඇගේ නිර්මලත්වය ලොවට ඔප්පු කිරීම සඳහා ඇයට “අග්නි-පරීක්ෂා” නම් ගිනි පරීක්ෂාව කිරීමට සිදුවේ.

අග්නි පරීක්ෂාව සිදු වන අවස්ථාවෙහි සීතා දේවියගේ පිරිසුදු බව පිළිබඳ ගිනි දේවතාව විසින් මෙසේ ප්‍රකාශ කරයි.

“අහෝ රාම, මනා චරිතයක් ඇති, පවක් කරනවා තියා පව කුමක්ද කියා වත් නොදන්නා නිර්මල චරිතයක් ඇති ඇය, ඇගේ වචනයෙන් වත්, හදවතින් වත්, මනසින් වත්, ඇගේ දෑසින් වත් ඔබට වරදක් කොට නොමැත.” (වාල්මීකි රාමායණය 6.118.6)

අග්නි පරීක්ෂාවෙන් නිර්මල බව ඔප්පු වූ පසුවද සීතාගේ කරදර අවසන් නොවේ. අග්නි පරීක්ෂාවෙන් පිරිසුදු බව ඔප්පු වුවද රටවැසියන්ගේ නොයෙක් නින්දා, අපහාස, චෝදනා, මැසිවිලි නිසා රාම විසින් උපායක් යොදා සීතා දේවිය දරු කුසක්ද සමඟ නැවතද වනයෙහි තනි කර දමන ලදී. ඇය වනයෙහි තාපසාරාමයක වසමින් වනයේදීම දරුවන් බිහි කරමින් ඔවුන් හදා වඩා ගත්තාය. එලෙස අසීමිත දුක් ගැහැට විඳි නමුත් රාම කෙරෙහි තිබූ ආදරයෙහි වෙනසක් නොවීය. වෛර නොකළාය.

රාමායණය බොහෝදුරට රාමගේ ක්‍රියාවන් වටා කේන්ද්‍රගත වී ඇති අතර අනෙක් සියල්ල පසුබිමට තල්ලු කරයි. මෙහිදී සීතා ඇතැම් විට නිශ්ශබ්ද හා යටහත් පහත් චරිතයක් ලෙස සලකනු ලැබේ. නමුත් සීතා යම් යම් ප්‍රතිපත්තිවලට පක්ෂව හෝ විරුද්ධව ප්‍රබල ලෙස කතා කරන අවස්ථා රාමායණයේ ඇත. සීතා තම බලගතු වචනවලින් හනුමාන් පවා යටපත් කරයි. හනුමාන් ඇයව අශෝක වනයෙහි සොයා ගැනීමට සමත් වූ පසු සීතා තම පිටේ තබාගෙන තම ස්වාමියා වෙත ගෙන යෑමට ඉදිරිපත් වේ.

නමුත් සීතා එය ප්‍රතික්ෂේප කරන අතර බියගුලු සොරකු මෙන් පලා යෑමට තමාට කිසි විටෙකත් අවශ්‍ය නොවන බවත්, ඒ වෙනුවට තම ස්වාමිපුරුෂයා රාවණට එරෙහිව සටන් කර ජයග්‍රහණය කිරීමට තමා කැමති බවත් ප්‍රකාශ කරයි. සීතා විසින්ම හනුමාන්ට පවසන පරිදි, “ඔබ මගේ පණිවුඩය රාම වෙත ලබා දුන් විට, එම නිර්භීත මිනිසාට ඔහුගේ වීර රාජකාරිය කිරීමට නීතියෙන් බලකෙරෙනු ඇත.” ඇය රාමට වීරයකු වීමට බල කරන්නේ ඔහු පමණක් ඇයව බේරාගත යුතු බව අවධාරණය කරමිනි.

සීතා මෙහිදී හැසිරෙන්නේ විශ්වාසවන්ත සහ කැපවූ භාර්යාවක් ලෙසය. ඇය තම ස්වාමිපුරුෂයා විසින් ආරක්ෂා කිරීමට සහ රැකබලා ගැනීමට ඇගේ අයිතිවාසිකම් ගැන අවධාරණය කරයි. ඇය ඔහුට ඔහුගේ රාජකාරිය කිරීමට බල කරයි. සීතා, රාමගේ ශක්තිය හා අභිප්‍රේරණ බලය යි. ඇගේ ක්‍රියාවන් මඟින් කතාව ඉදිරියට ගෙන යයි. ඇය නිෂ්ක්‍රිය ගොදුරක් පමණක්ම නොවේ. සීතා යනු සිය සහකරුගේ වීරත්වයට අනුබල දෙන සියුම් ක්‍රියාකාරී බිරියකි. සීතා සමස්ත වීර කාව්‍යයේ චලනය වන බලවේගයයි.

ඇයගේ චරිතයෙන් දැකිය හැකි තවත් වටිනා ගුණාංගයක් නම් ස්වභාවධර්මයට අතිශය ළැදියාවක් දැක්වීමය. ගස්, ගල්, පර්වත, දිය අගල් පණ ඇති වස්තූන් සේ සිතමින් අසීමිත සබැඳියාවකින් යුතුව කටයුතු කළාය. සශ්‍රීකත්වය හා පෘථිවිය සමඟ සීතාගේ නොබිඳුණු ආශ්‍රය රාමායණය පුරාවටම නොකඩවා ‍ෙදා්ංකාර දෙයි. ශාක හා සතුන් කෙරෙහි සීතාගේ ක්‍රියාවන් සහ මනෝභාවයන් නිරන්තරයෙන් බලපෑම් ඇති කරයි. වෘක්ෂලතාදියෙහි අනියම් බිරිය ලෙසද ඇය වරෙක හඳුන්වා ඇත.

රාවණ විසින් සීතා පැහැරගත් විට වනාන්තරයම ඇය නොමැතිකම පිළිබිඹු කරයි. රාමා ඇයව පැහැරගෙන ගිය ස්ථානය බලන විට, “අසල මලානික ගස්, මලානික කුරුල්ලන්, ඔහේ දිගාවී සිටි මුවන් සහ මැලවී ගිය මල්වලින් පෙන්නුම් කරන්නේ ඇය නැති පාළුවයි” (06.58.60). නමුත් ඇය නැවත අයෝධ්‍යාවට පැමිණෙන විට, “පල රහිත ගස් පල හට ගත්තේය, මල් නැති ගස්වල මල් බහුල විය, වියළන ලද ඒවා පැළ විය, කොළවලින් මී පැණි වැගිරුණි” (06.112).

සීතා ස්වභාවධර්මයේ තවත් අංගයක්වන සතුන් කෙරෙහිද ඒ හා සමාන ප්‍රබල බලපෑමක් ඇති කරයි. ඇය අයෝධ්‍යාවෙන් පිටවන විට අලි ඇත්තු සහ ගවයෝ ඔවුන්ගේ කාර්යයන් ඉටු කිරීම නතර කරති (02.36), ඇය පැහැර ගත් විට, සිංහයෝ සහ කොටි ඇගේ සෙවණැල්ල පසුපස හඹා යති (03.50), ගිජුලිහිණියෙක් ඇයව බේරා ගැනීමට උත්සාහ කරයි (03.14), මුවෝ ඇයව රැගෙන ගිය දිශාව රාමාට පෙන්වති (03.60), අවසානයෙහි හනුමාන් ප්‍රමුඛ වඳුරු හමුදාව රාවණා පරාජය කිරීමට සහ ඇයව බේරා ගැනීමට රාමට උපකාර කරයි.

රාමායණයේ සීතාටත්, ද්විතීයික තත්ත්වයක් තිබියදීත්, ඇය හින්දු කාන්තාවන් අතර වඩාත්ම ආදරණීය දෙවිවරුන්ගෙන් කෙනකු බව සැලකිල්ලට ගැනීම අතිශයින්ම වැදගත්ය. ඇතැම් විට ඇය ඔවුන්ගේ ජීවිතයේ එදිනෙදා යථාර්ථය වඩාත් සමීපව පිළිබිඹු කරන නිසා විය හැකිය. ඇය නිහඬ නමුත් බලවත්ය. පිටතින් යටහත් පහත් නමුත් ඇතුළතින් ඉතා ශක්තිමත්ය. මෙම ශක්තිය සඳහා ඇය පිළිගැනීමක් හෝ විපාකයක් අපේක්ෂා නොකරයි. ඇය එය සන්තකයේ තබාගෙන ඇය මත යැපෙන අයගේ ජීවිත යහපත් කිරීමට එය යොදවයි. ඇතැම්විට මෙය කාන්තාවකගේ ශක්තියෙහි විශිෂ්ටතම පාඩම විය හැකිය.

විපත්තිවලදී සීතාගේ විශාල ශක්තිය නූතන කාන්තාවන්ට ආදර්ශයක් සපයයි. වාල්මිකීගේ ආරණ්‍ය ආශ්‍රමයේදී සීතා දේවිය තම නිවුන් පුතුන් වන ලව සහ කුශ ඇති දැඩි කිරීමේදී කළ විශිෂ්ට කාර්යභාරය සියලු මවුවරුන්ට ආදර්ශයකි. මාතා සීතා ස්ත්‍රිත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සලකන්නේ නිකම්ම නොවේ. සීතාගේ ජීවිතය කරදරවලින් හා කැලඹිලිවලින් පිරී තිබුණත් ඇය සිය සන්සුන්කම හා ගෞරවය ජීවිතය පුරාවටම පවත්වාගෙන ගියාය. ඇයගේ වෙහෙසකර ජීවිතය ගෙවීගිය ගමනේ සෑම අවස්ථාවකදීම ඇය පිළිපැද්ද සහ නියෝජනය කළ සාරධර්ම අතීත, වර්තමාන සහ අනාගත ඉන්දියානුවන්ගේ සියලුම පරම්පරාවන් විසින් පූජනීය ලෙස සලකන කාන්තා ගුණධර්ම බවට පරිවර්තනය වී ඇත.

අද අපේ සමාජය තුළ වෙන්වීම, දික්කසාදය සහ තනි මවුපියත්වය වැඩි වැඩියෙන් දක්නට ලැබේ. රාමායණයෙහිද සීතා දේවිය එම ප්‍රශ්නවලට මුහුණ දුන්නාය. සීතා නිල නොවන ලෙස දික්කසාද වූ තනි මවකි. තම ස්වාමිපුරුෂයාගෙන් වෙන්වීම ගැන නොසතුටින් සිටියද, ඇය තම දරුවන්ට තම පියාට ගරු කිරීමට ඉගැන්වූවාය. ඇය ඔවුන්ට වෛරය සහ පළිගැනීම ඉගැන්වූයේ නැත. ඇගේ දරුවන් කැඩුණු පවුලකින් පැමිණි අය බව හෝ ඔවුන්ට එම කාරණයෙන් කිසිම අයුරකින් පීඩාවට පත් වන්නට ඉඩ තැබූයේ නැත. රාම ඔවුන්ගේ භාරකාරත්වය ලබා ගැනීමට උත්සාහ කළේ නැත. එබැවින් ඔහුට ඔවුන්ගේ සමාජ බැඳීම්වලට සරිලන පරිදි ඔවුන්ව ඇති දැඩි කිරීමට හැකි විය. ආරාමයේ සීතා ඔවුන් අනාගත රජවරුන් ලෙස හැදී වැඩිම සහතික කරන බව ඔහු දැන සිටියේය. අපේ සමාජය තුළ ගැහැනු – පිරිමි එකිනෙකාගේ වෛර පිරිමසා ගැනීමට තම දරුවන් ආයුධයක් ලෙස භාවිත කරනු දක්නට ලැබේ. නූතන සමාජයේ අනේක දුක් කරදර මැද දිවි ගෙවන කාන්තාවන්ට සීතා දේවියගේ චරිතයෙන් උකහා ගත හැකි ජීවිත පාඩම් බොහෝමයකි.

රාජකීය පණ්ඩිත

මාවෙල

සීලරතන හිමි