හදවතට සුව සඳහා රන්වන් දුඹුරු තේ එක

0
184

තේ බීමෙන් සිරුරට සැප මෙන්ම සුව ලැබෙන අයුරු සොයමින් සිටි ලංකාවේ පර්යේෂණ විද්‍යාඥයෙක් ලොව මුල්වරට හදවතට සුව සැදෙන නවතම තේ වර්ගයක් හඳුන්වා දීමට සමත්ව සිටී. ඔහු ලංකේශ් බණ්ඩාරය.

කලක් තිස්සේ තේ කර්මාන්තය සහ තේ නිෂ්පාදන පිළිබඳ යෙදී සිටින පර්යේෂණවල එක් ප්‍රතිඵලයක් වශයෙන් සොයා ගත් මේ තේ වර්ගය “Golden brown Tea” ලෙස නම් කර ඇති අතර ඔහු ඒ සම්බන්ධව මුල්වරට මාධ්‍ය කතිකාවකට  එක්වෙමින් ‘මව්බිම’ට අදහස් දැක්වූවේ  මෙසේය.

“මේ සොයා ගැනීම අහම්බයක් නෙවෙයි. කාලයක් තිස්සේ තේ එක්කම ඉඳල, ඒ ගැන පර්යේෂණ කරල ලැබුණ එක ප්‍රතිඵලයක්.

මගෙ ගම කෑගල්ල, අරුක්මුල්ල. කුඩා කාලෙ ඉඳලම මගෙ ෆැමලි බැක් ග්‍රවුන්ඩ් එකත් එක්ක මට වගාව ගැන ආසාවක් ඇති වෙලා තිබුණේ. මගෙ අප්පච්චි වෘත්තියෙන් නීතිඥයෙක්. එයා වගාවටත් හුඟක් කැමති කෙනෙක්. නිදහස් වෙලාවට කරන ඒ වැඩවලට මාවත් එකතු කර ගත්තා.  අප්පච්චි කවදාවත් මට නීති රීති දාලා නෑ. උසස් පෙළ කරලා ඉවර වෙන කාලෙ වගේ වෙද්දී අප්පච්චි තේ වගාවක් කරන්න පටන් අරන් තිබුණා. ඒ එක්කම මමත් මේ පර්යේෂණ වැඩවලට එන්ටර් වුණා. ඉඩමේ පොළොව හදලා තේ පැළ ඉන්දන තැනේ ඉඳල දලු ටික ෆැක්ටි්‍රයට යන තැන වෙනකං හැමදේම මම  දැක්කා. එතැනදි මට මේ ගැන තව උනන්දුව ඇති වුණා.

මගෙ පාසල නුවර ධර්මරාජ විද්‍යාලය. උසස් පෙළ විද්‍යා විෂයන් කරලා

විශ්වවිද්‍යාලයට මම තේරුනේ විද්‍යා  උපාධියට. එතැනදි මගෙ රිසර්ච් එක විදිහට මම තෝර ගන්නෙ ‘තේ පානය මිනිසුන්ගෙ ලෙඩ රෝගවලට බලපාන්නේ කොහොමද’ කියන එක. ඊට අමතරව මම දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  නැනෝ තාක්ෂණය සහ නැනෝ විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධිය කරමින් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ රිසර්ච් ප්‍රොජෙක්ට් එකක පර්යේෂණ විද්‍යාඥයෙක් විදිහට  රැකියාව  කරනවා.

ඔය අතරේ Hand make Tea නිෂ්පාදනය පැත්තටත් යොමු වුණා. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර නැතිව අතින් හදා ගන්නා තේ වර්ග. මේ යටතේ Black Tea,Normal Tea තේ වර්ග  විශේෂයෙන් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන නිෂ්පාදනය කරමින් ඉන්නවා.

මේ හැමදේම අලුත් සොයා ගැනීමට හේතු වුණා. Golden brown Tea කියන නම මගේ අදහසක්. ඒ නමට  හේතු වුණේ මේ තේ වර්ගයේ ගෝල්ඩ් කලර් තේ කැබැලි හා මිශ්‍ර වුණ බ්‍රවුන් කලර් තේ කැබැලි සහිත පෙනුම.

අපි දන්නවා හදවත් රෝගවලට බලපාන එක් හේතුවක් තමයි හදවත් නාළ තුළ  කොලෙස්ටරෝල් තැන්පත් වීම සහ ඒ නිසා එහි  ක්‍රියාකාරීත්වයට බාධා ඇති වීම කියන දෙය. අපි බොන සාමාන්‍ය Black Teaවල LDL වැනි අහිතකර කොලෙස්ටරෝල් වර්ග අඩු කරන Polyphenol කියල සංයෝගයක් තියෙනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්. ඒත්  මේ Golden brown Tea එකේ තියෙන වෙනස තමයි Polyphenolවලට අමතරව තවත් විශේෂ සංයෝග දෙකක්  අඩංගුවෙලා තියෙන එක.

හදවත් රෝගීන්ට යම් යම් ඔෟෂධ වර්ග නියම කරනවනෙ. ඒ ඔෟෂධ හදන්න නොයෙක් රසායනික වර්ග සංයෝග කර ගන්නවා. මේ තේ වර්ගයේ තියෙන්නේ ඒ විදිහට ඔෟෂධ හදන්න ගන්න රසායනික සංයෝග දෙකක් බව මම  විදේශීය විශ්වවිද්‍යාලයක් සමඟ සම්බන්ධ වෙලා  පර්යේෂණාත්මකව ඔප්පු කරල තියෙනවා.

මේ වෙද්දී පේටන්ට් එකටත් ඉල්ලලා තියෙන්නේ. තව ඉදිරි පියවරක් විදිහට මේ තේ විශේෂය ‘බොන තේ’ එකක් වෙනුවට වෙනත් ඉක්මන් විදිහකට ශරීරයට ඇතුළු කළ හැකි ඔෟෂධයක් දක්වා වැඩිදියුණු කිරීමේ අදහසක් තියෙනවා.

මෙතෙක්  මම මේ හැමදේම කර ගෙන ආවෙ කිසිම අනුග්‍රහයක් නැතිව පෞද්ගලික වියදමින්.  මේ පර්යේෂණ කරන්න හොඳ පහසුකම් තියෙන ලැබ් ලංකාවේ නෑ. කෙමිකල්ස් එහෙම ගෙන්න ගන්නත් අමාරු වුණා. ඒ වගේ  ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

අපේ තේ වත්තේ එදිනෙදා වැඩ කරගෙන යද්දී එන ප්‍රශ්නවලට මගෙ දැනුමෙන් පුළුවන් විදිහට විස¾දුම් හොයා ගන්න මම නිතරම උත්සාහ කරනවා. තේ පැළේ ඉඳල කොළය වෙනකම්ම දේවල් ඒකට අයිතියි.

පහුගිය කාලෙ රජයවල් නාශක සහ රසායනික පොහොර ගෙන්වීම නැවැත්තුවනෙ. ඒ වෙලාවෙ මම එක එක කෙමිකල්ස් යූස් කරගෙන වල් නාශක, පොහොර ආදේශක හොයන්න උත්සාහ කළා.

තේ වගාවේ මේ වෙද්දී ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන, පොහොර ප්‍රශ්නය ගැන කතා කරද්දී කියන්න ඕනෙ දෙයක් තමයි සම්පූර්ණයෙන්ම කාබනික පොහොරවලින් මේක කරන්න අමාරුයි කියන එක. ඒක අසාර්ථකයි. පැහැදිලිවම අස්වැන්න අඩු වෙනවා. සාමාන්‍යයෙන්  වැටහිර වගේ ශාක කොටස්වලින් ලැබෙන්නේ 8% අඩු නයිට්‍රජන් ප්‍රමාණයක්. ඒත් තේ ගහක් ලොකු කරගෙන හොඳ ඵලදාවක් ගන්න  නම්  40% වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් ඕනේ. තේ ගහේ  ක්ෂුද්‍ර මුල්වලින් උරාගන්න  සල්ෆර් වගේ සංඝටකත් කාබනික පොහොරවලින්ම ගන්න බෑ.

විශේෂයෙන් විදේශිකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් ඇති අපේ රටේ නැවුම් තේ දල්ලෙන්  රසවත් වන තේ පානයට ගුණවත් බවත් එක් වූ විට එය අතිවිශේෂ වනු ඇත.

රටට ඩොලර් ගෙන්විය හැකි මෙම කර්මාන්තයට රජය මැදිහත් වී කලට වේලාවට රසායනික පොහොර ටික ලබාදීම සහ කර්මාන්තකරුවන්ට සහන ලබාදීම ආදිය විධිමත්ව  සිදුකිරීම කාලීන අවශ්‍යතාවකි. එසේම ලංකේශ් බණ්ඩාර වැනි තරුණ පර්යේෂකයන් අගය කිරීමත් ඔවුන්ට රාජ්‍ය සහ පෞද්ගලික අනුග්‍රහය ලබාදීමත් විය යුතුය.

එය නිසැකවම සුමිහිරි තේ පානයකින් ලැබෙනවා හා සමාන උත්තේජනයක් වනු ඇත.

0710494838  අංකයෙන් ලංකේශ් හා සම්බන්ධ විය හැකිය.

වයලට් ප්‍රියදර්ශනී විතානගේ