සිදත් වෙත්තමුනි ඉම්රාන් ඛාන් මවිතයට පත් කළ ක්‍රිකට් පිටියේ දවස..!

0
64

18 වැනි ශත වර්ෂයේදී සුද්දන් විසින් ආරම්භ කරන ලද

ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වූයේ එහි අවිනිශ්චිත ස්වභාවයයි. අද ලොව පුරා පැවැත්වෙන බොහෝ ටෙස්ට් තරගාවලි අවසන් දිනය

එළඹෙන තුරු දෙපිලෙන් කවුරු දිනාගනීවි දැයි කිව නොහැකිය.

පළමු දින දෙක, තුන ඉදිරියෙන් සිටි පළියට ඔවුන් මැච් එක දිනනවාමයි යන්නෙන් අනාවැකි කීමට අපට තියා ක්‍රිකට් විශාරදයන්ටවත් බැරිය. එයට හේතුව එක් විකට්ටුවකින් නැතිනම් එක හතරේ පහරකින් තරගාවලියක තීරණය කණපිට පෙරළීමට හැකි නිසාය. මෙයට සති දෙකකට කලින් අවසන් වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු දෙවැනි ටෙස්ට් තරගයේදීත් මෙම සතියේ අවසන් වූ පාකිස්තාන් තරගයේත් සිදුවූයේ එයයි. ලංකා පාකිස්තාන් පළමු ටෙස්ට් තරගයේ තරම් දින පහක් තිස්සේ ජය පරාජය දෙපැත්තට ‍ෙදා්ලනය වූ විශිෂ්ට ටෙස්ට්  තරගයක් මෑත කාලයෙහි සිදුවී නැත. පළමු දිනයේ දිනේෂ් ලකුණු 70 ඉක්ම යන විට ලංකාවට මැච් එක ලේසියෙන් දිනන්න පුළුවන් වෙයි කියා සිතුණේය.

නමුත් දෙවැනි දවසේ බාබරා හසාන් ලකුණු 100 ඉක්ම යන විට අපට හිතුණේ වැඩේ නම් කපෝති එයාලා හාරසීයක් ගහලා අපි ඉනිමකින් පරාද කරාවි කියාය. තුන්වැනි දවසේ ලංකා පිල ලකුණු සීයක් ඉදිරියට යන විට අපි ජයපැන් සූදානම් කෙරුවෙමු. නමුත් 4 වැනිදා තරගය ඉවර වනවිට ලබාගැනීමට තිබුණේ තව ලකුණු එකසිය විසි දෙකක් පමණක් නිසාම අනේ හෙට ජයසූරිය විකට් හතක්ම ගනීවි යැයි අපි දෙවියන්ට යාඥා කළෙමු. අන්තිමේදී පස්වැනි දිනයේ අති විශිෂ්ට පිති පිතිහරඹයක යෙදුණු Abdulla Shafigue ගේ දස්කම් නිසා ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක් හිමිවිය. මේ ගැන London Telegraph පත්‍ර කීවේ ශ්‍රී ලංකාවේ පන්දු රැකීම දුර්වල වූ නිසා ප්‍රභාත් ජයසූරිය එක පැත්තකින් විකට් හදද්දී ඔහුට සහාය වීමට අනිත් පැත්තේ තවත් බෝලර් කෙනෙක් නොසිටි නිසාත් ශ්‍රී ලංකාව පරාජය වූ බවයි.

පාකිස්තානය ජයග්‍රහණය සඳහා ලබාගත් ලකුණු 342 ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ එක් කණ්ඩායමක් ලබාගත් දාහතර වැනි ලොකුම ඉලක්කයයි. නමුත් තුන්සියයකට වඩා වැඩි ඉලක්කයක් කරා යෑම පාකිස්තානයට කජු කනවා වගේ වැඩක් බව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අමතක වන්නට ඇත. 2016දී පල්ලෙකැලේදී පැවැති ටෙස්ට් තරගයේදී ද පාකිස්තානය 382 වැනි දැවැන්ත ඉලක්කයක් කරා ගමන් කරමින් විකට් 3ක ජයක් ලැබූ බව අපට අමතක නොවේ. ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ඉලක්කය කරා ගිය කණ්ඩායම වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලයි. 2013දී ලකුණු 418ක දැවැන්ත ඉලක්කයක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාව පරාජය කොට ලෝක වාර්තාවක් පිහිටුවීමට ඔවුනට හැකි විය.

 2009 මාර්තු 3 වැනිදා ලංකා ක්‍රීඩකයන්ට ත්‍රස්තවාදී වෙඩි පහර එල්ල වීමෙන් පසු පාකිස්තානය ක්‍රිකට් ලොවෙන් කොන්විය. අනතුරුව සත්කාරක කණ්ඩායම වශයෙන් ඔවුන්ට ක්‍රීඩා කිරීමට සිදුවූයේ මැදපෙරදිග රටවලය. එනිසාම පාකිස්තානු කණ්ඩායම ඉතාමත් දුර්වල බවට පත්විය. ලංකා ක්‍රීඩකයන්ට වෙඩි තැබීමෙන් වසර දහයකට පසු ශ්‍රී ලංකාවම නැවත වරක් එහි තරගාවලියකට සහභාගි විය. එම තරගාවලියේදී පාකිස්තානය 1-0කින් ජයගත් නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රිකට් ගැසීමට තමන්ගේ රටට පැමිණීම ගැන පාකිස්තාන ජාතිකයෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගිය ගිය තැනදී ගරු බුහුමන් දැක්වූහ.

1981දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව ඔවුන් පළමු වරට පාකිස්තානය සමඟ තරග වැදුණේ 1982 මාර්තුවේදීය. පාකිස්තානයේ පැවැති එම මැච් තුනේ තරගාවලියෙන් ඔවුන් 2-0කින් අපි පරාජය කළේය. නැවත 1985, 1986දී එහි සංචාරය කළ ලංකා කණ්ඩායමට අත්වූයේ ද එවැනිම 2-0ක පරාජයකි. මේ දක්වා රටවල් දෙක අතර කෙරුණු ටෙස් තරග 55න් පාකිස්තානය විසිවරක්ද ශ්‍රී ලංකාව 16 වරක්ද ජය ලබා ඇත. තරග දහනවයක් DRAW වී ඇත. ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට පාකිස්තානය පරාජය කළේ 1986දී මැච් තුනක තරගාවලියකට ලංකාවට පැමිණිවිටය. කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානය විකට් අටකින් පරාජය කරමින් වාර්තාගත ජයක් ලබාගැනීමට ලංකාවට හැකි විය.

නමුත් මෙම තරගාවලියේ වැදගත්ම සිද්ධිය දකින්නට ලැබුණේ 1986 පෙබරවාරි මාසේ මහනුවරදී පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේදීය. ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ක්‍රියාවක් ගැන මුළු ක්‍රිකට් ලොවේම ප්‍රශංසාව අපේ ක්‍රීඩකයකුට හිමිවූයේ එහිදීය. ඔහු අන් කිසිවකු නොව ආනන්ද විද්‍යාලය ටෙස්ට් ක්‍රිකට් ලොවට බිහිකළ ළාබාලම ක්‍රීඩකයා වූ සිදත් වෙත්තමුනිය. ක්‍රිකට් ඉතිහාස පොතට එක්වූ එදා සිදත් වෙත්තමුනි කළ විශිෂ්ට ක්‍රියාව මෙයයි.

1986 පෙබරවාරිවල මහනුවරදී පැවැත්වුණු පළමු වැනි ටෙස්ට් තරගයේදීම ඉම්රාන් ඛාන්ගේ වේගවත් පන්දුව කඩුල්ල මුවා කරගෙන සිටිද්දී සිදත්ගේ කකුලේ වැදුනි. ඒ කාලයේ සිරිත වූයේ අම්පයර්ස්ලා දෙන්නා සත්කාරක රටෙන් පත් කිරීමය.

නමුත් ලංකාවේ අම්පයර්ස්ලා සිදත් Not Out කියා  තීන්දුව දුන්නේ පාකිස්තාන ක්‍රීඩකයන්ට යකා නග්ගවමිනි. නමුත් මොහොතකින් ඔවුන් දුටුවේ අම්පයර්ගේ තීරණයට පිටුපාමින් බැට් එක කිහිල්ලේ ගන්වා ගෙන සිදත් වෙත්තමුනි ක්‍රීඩාගාරයට පා නඟන අයුරුය. සිදත් වෙත්තමුනිගේ උදාර ක්‍රියාව ගැන පසුදා ලන්ඩන් ටයිම්ස් පත්‍රය මෙසේ කීය. 

“තමා Out බව දැන දැනත් පිට්ටනියේ රැඳී සිටින්නට දඟලන ටෙස්ට් ක්‍රීඩකයන්ට ඊයේ ලොව ප්‍රබලතම ටෙස්ට් කණ්ඩායම වූ ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයා සිදත් වෙත්තමුනි දුන්නේ වටිනා ආදර්ශයකි. අම්පයර් වැරැදි බව පෙන්වමින් ඔහු තම හෘද සාක්ෂියට අනුව තරගයෙන් ඉවත් වී ගියේය. මෙවැනි මහත්වරුන් ටෙස්ට් පිටියේ ඉන්නාතුරු ක්‍රිකට් ක්‍රීඩාව ඉහළතම ආචාර සම්පන්න හා විනයගරුක ක්‍රීඩාව වශයෙන් තව තවත් ජන හදවත් දිනා ගනු ඇත.”

සිදත් වෙත්තමුනි එදා කළ ‘ඇවිදීම’ ගැන ලෝකයේ බොහෝ ක්‍රිකට් රටවල් ඔහුට ප්‍රශංසා කළ නමුත් ලංකාවෙන් ඔහුට ලැබුණේ ඇනුම් බැනුම්ය. පැවිලියන් එකට සිදත් ආපසු පැමිණි මොහොතේම umpire not out කිව්වට පස්සේ “තමුසෙ අහවල් මඟුලකටද ආපහු ඇවිද්දේ අපිට හොඳ ස්ටාර්ට් එකක් දෙන්න තිබුණු වෙලේ ඇයි පණ්ඩිතකම් කරන්න ගියේ?” කියමින් ඔවුන් සිදත් වෙත්තමුනිට සෑහෙන්න බැන්නේය. ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීහු ද ආයෙත් ඔහොම ගොන් වැඩ කරන්න එපා කියමින් මේ තරුණ ක්‍රීඩකයාට බැන වැදුණහ.

පසුකලක තම ජීවිත කතාව ලියමින් පාකිස්තාන නායක හා පසුව අගමැති වූ ඉම්රාන් ඛාන් මේ සිද්ධිය ගැන මෙසේ සටහනක් තබා තිබිණි. “සිදත් Not Out කියද්දී ආපහු හැරිලා යන එක ගැන ඉස්සෙල්ලම අපට හරි පුදුම හිතුණා. එහෙම walk කිරිල්ලක් අපි මීට කලින් මැතකදී දැකලා තිබුණෙ නැහැනෙ. ඊට පස්සේ අපේ හිත්වල සිදත් ගැන ලොකු ගෞරවයක් ඇතිවුණා. නමුත් එයා පැවිලියන් එකට ගියාට පස්සේ කැප්ටනුයි අනිත් ප්ලේයර්ස්ලයි ඔක්කෝම වටවෙලා එයාට බැන්නා කියලා ආරංචි වුණාම මට ශ්‍රී ලංකා ටෙස්ට් පිල ගැන ලොකු කලකිරීමක් ඇති වුණා.”

ක්‍රිකට් ලොවේ මහත් ප්‍රශංසාවට ලක් වූ මේ සිද්ධිය ගැන සිදත් වෙත්තමුනි පසු කලෙක මෙසේ කීවේය.

“ආනන්දයේදී පුංචි කාලේ ක්‍රිකට් ගහද්දි අපි ඉගෙන ගත් දෙයක් තමා වංචාවෙන් ක්‍රිකට් ගහලා වැඩක් නැහැ කියන එක. මගේ කකුල් දෙකම විකට් එක ඉස්සරහ. මම එදා 100% අවුට්.”

“I felt it is beneath my dignity to not walk. How could you look the players in the face then.”

“අවුට් බව දැන දැනත් ආපහු ඇවිදින්නේ නැතිව එතැන රැඳී හිටියානම් ඒක මගේ ගරුත්වයට ලොකු හානියක්. මම එදා එහෙම කළා නම් මම කොහොමද මිනිස්සුන්ගේ මූණ බලන්නේ.”

ගාල්ලෙදී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවද ඉන් අනතුරුව  පාකිස්තානය ශ්‍රී ලංකාවද පරාජය කරද්දී එංගලන්තයද නිකං හිටියේ නැත. 

ඕස්ට්‍රේලියාව 4-0කින් හා බටහිර කොදෙව් පිලට 1-0කින් පරාජ වී වලිගය කකුල් අස්සේ රඳවාගෙන පසුගිය මාර්තුවේදී සිය රටට ආ එංගලන්ත පිලද නව නායක බෙන් ස්ටෝක්ස් යටතේ පිට පිට ජය ලබමින් ඉදිරියට යමින් සිටි නවසීලන්තය 3-0ක අන්ත පරාජයක් අත් කර දුන් එංගලන්තය අනපේක්ෂිත ලෙස ඉන්දියාවද පරාජය කරමින් තරගාවලිය 2-2ක් ලෙස සම කළේය. එංගලන්තය දෙවැනි ඉනිමේදී ලකුණු 378 ඉලක්කය කරා පහසුවෙන් ළඟා වූයේ ක්‍රිකට් ලොවේ මහත්මයා ලෙස හඳුන්වනු ලබන Joe Root (142) හා Jonny Bairstow (114) ලබාගත් විශිෂ්ට ශතකයන් යුගලය නිසාය. මෙම ලකුණු 378 ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තය අත්පත් කරගත් දීර්ඝතම ලකුණු ඉලක්කයයි. පිට පිට ටෙස්ට් තරග 4කදී ලකුණු 250ට වඩා වැඩි ඉලක්කයන් කරා ගමන් ගත් ප්‍රථම ටෙස්ට් කණ්ඩායම වශයෙන් එංගලන්තය තවත් ක්‍රිකට් වාර්තාවක් පිහිටුවීය.

ටෙස්ට් ක්‍රිකට් පිටියේදී මේ අන්දමට ශ්‍රී ලංකාව හා එංගලන්තය වාර්තා පිට වාර්තා පිහිටුවමින් ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ ජනාදරය දිනා ගනිද්දී ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පිහිටුවන ලද විශිෂ්ට වාර්තාව ගැනද මෙහි සඳහන් කළ යුතුමය. ලෝක  ඉතිහාසයේ Big Match එකකදී එක් පිලක් ජය නොලැබූ දීර්ඝතම කාලය වූ වසර 69 අපලය දුරු කරමින් කොළඹ නාලන්දාව විකට් නවයකින් ආනන්දය පරාජය කළේය. නාලන්දේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් මේ දිනවල මුහුණුපොතෙන් සුබ පතන අයගෙන් වැඩිදෙනෙක් ආනන්දියන් වීම ඉතා සතුටු කරුණකි. එයින් පෙන්වන්නේ සහෝදරයන්ගේ වාර්ෂික සුහද සංග්‍රාමයෙන් කවුරු දින්නත් පාසල් දෙකේම දරුවන් හා ආදි සිසුන් ඒ ගැන හද පතුලෙන් සතුටු වන බවය. නාලන්දය වසර 69කට පසු ආනන්දය පරාජය කළේ 69 ලක්ෂයක ජනවරමකින් බලයට පත් වූ ආනන්ද ආදි ශිෂ්‍ය ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වූ සතියේම වීම තවත් විශේෂ කරුණක් බව නොකියාම බැරිය.

මෙයට පෙර නාලන්දාව ජයග්‍රහණයේ අත ළඟටම පැමිණියේ 1963 පැවැති මහා තරගයේදීය. එදා නාලන්දාවට ජය ලබා ගැනීමට ලකුණු අටක් පමණක් ගැනීමට ඉතුරුව තිබියදී අම්පයර්ස්ලා Bad Light කියමින් තරගය ඉතා අසාධාරණ ලෙස නැවැත්වීය. ආනන්දයේ කුඩා ළමයකු වශයෙන් එදා අපි පරාජයෙන් බේරීම ගැන මමත් සතුටු වූ නමුත් අම්පයර්ස්ලා දෙන්නා එදා කළේ මහා පල් වැඩකි. ඉන් දශක හයකට පසුව නාලන්දාව අති විශිෂ්ට ජයක් ලබාගැනීම ගැන නාලන්දියන් මෙන්ම ආනන්දියයෝද එක සේ සතුටුවෙති. එය ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කළ යුත්තේත් නැරඹිය යුත්තේත් සහෝදරත්වයෙන් හා සුහදත්වයෙන් බව ලොවට පෙන්වූ කදිම වූ උදාහරණයකි. සාමාන්‍යයෙන් තරගාවලියකදී එක් කණ්ඩායමක් පළමු තරගයෙන් අන්ත ලෙස පරාජයට පත් වුවහොත් එම පිලේ ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය බින්දුවට බසී. දරුණු පරාජයක් ලැබීමෙන් පසු ඊළඟ ටෙස්ට් තරගය සඳහා පිට්ටනියට බැසීමට තරම්වත් බොහෝ ක්‍රීඩකයන් තුළ ධෛර්යයක් ඉතුරු වන්නේ නැත. එසේම බරපතළ පරාජයේ වේදනාව ලැජ්ජාව නිසා කම්පනයෙන් පසුවන ඔවුන්ට දෙවැනි ටෙස්ට් තරගයකට ප්‍රැක්ටිස් කිරීමටවත් හිත දෙන්නේ නැත.

මෙවැනි අවස්ථාවක මානසිකව ඇද වැටී ඇති තම පිලේ සගයන් දහදෙනා දිරිමත් කරමින් ඔවුන්ගේ මනස දින දෙක තුනක් තුළ යථා තත්ත්වයට ගෙන ඒම එම පිලේ නායකයාට පැවරී ඇති බරපතළ වගකීමකි.

“පසුගිය මැච් එකේදී අපි මේ, මේ වැරැදි කළා ඔවුන්ගේ උගුල් බෝලවලට අපි අහු වුණා. අපි ෆුල්ටොස් දැම්මා වැඩියි. දැන් ඒවා අමතක කරලා කොහොම හරි ඊළඟ මැච් එක දිනන්න අපි ප්ලෑන් කරමු කියා” තම සගයන් ධෛර්යවත් කිරීමට හා අපිට ඊළඟ මැච් එක දිනන්න පුළුවන් යන ආත්මවිශ්වාසය ඔවුන් තුළ ඇති කළ හැක්කේ විශිෂ්ට නායකයකුටම පමණි.

ජූලි 12දා ඕස්ට්‍රේලියානු දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට අති විශිෂ්ට ජයක් හිමිවූයේ දිමුත් කරුණාරත්න එවැනි උදාර නායකත්වයක් පිළිබිඹු කළ නිසාය. මෙම ඉරිදා පාකිස්තානය සමඟ පටන් ගන්නා   දෙවැනි ටෙස්ට් තරගයේදීද නායක දිමුත් කරුණාරත්න එවැනිම දක්ෂතාවකින් හා උපායශීලීත්වයෙන් යුතුව තම කණ්ඩායම මෙහෙයවා  මේ තරගාවලිය 1- 1 ලෙස සම කරනු ඇතැයි ලක්ෂ ගණනක ලංකා ක්‍රිකට්  ලෝලියන්ගේ එකම පැතුමයි.

ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන

ලන්ඩන් නුවර සිට