සංගීතය කියන්නේ නිස්කලංකව කළ යුතු වැඩක්

0
70

සිය මධුර මනෝහර ස්වරයෙන් කවදත් රසික සිත් තුළ සොඳුරු මතක සටහන් තබන ජනප්‍රිය ගායන ශිල්පිනි අභිෂේකා විමලවීර පිළිබඳ මේ දිනවල බොහෝදෙනකු කතා කරනවා. ඒ පසුගියදා නිමාවට පත් වූ  සිරස ‘වොයිස් ටීන්ස්’ වැඩසටහනෙහි කිරුළ හිමිකර ගත් ප්‍රනිර්ෂා  ත්‍යාගරාජා නම් දක්ෂ මල් කැකුළ ගායන ක්ෂේත්‍රයට දායාද කළ  විනිශ්චයකාරිය අභිෂේකා වන නිසාය. කොහොමද මේ දවස් ගෙවීගෙන යන්නෙ?

මේ දිනවල රටෙහි පවතින තත්ත්වය සමඟ ඉදිරි වැඩකටයුතු  කරගන්නෙ කොහොමද කියලා කල්පනා කරමින් සිටිනවා. ලංකාවේ  ජීවත් වන අපිට ගන්දබ්බ කාලයක් තමයි මේ උදාවී තිබෙන්නෙ මොකක්ද කරන්නෙ කියලා අපි කාටවත් සිතාගන්න බැහැ. එන විධියකට මුහුණ දෙනවා යනුවෙන් සිතාගෙන අද දවසෙ කරන්නට තිබෙන වැඩකටයුතු කරනවා. ඒ  හැරෙන්නට හෙට ගැන ලොකු බලාපොරොත්තුවක් නම් නැහැ.

පසුගියදා රියැලිටි ඉතිහාසයේ පළමුවැනි වතාවට සිංහල මාධ්‍ය නාළිකාවක,  දමිළ දැරියක් ඔබ ජයග්‍රහණය කරා රැගෙන ගියා. මොකද ප්‍රනිර්ෂා දියණියගෙ ජයග්‍රහණය ගැන සිතෙන්නෙ?

සිදුවුණු දේ පිළිබඳව මට හරිම ආඩම්බරයි. මම  සිතනවා මිනිස්සු වෙනස් වෙමින් සිටිනවා කියලා. අපේ ප්‍රේක්ෂකාගාරය හරිම සබුද්ධිකයි. ගායනය කියන්නෙ මොකක්ද කියලා මිනිස්සු දැන් තේරුම් ගෙන සිටිනවා. එයට සමේ පාටවත්, ජාතියවත්, ආගමවත්  අදාළ නැහැයි කියලා මිනිස්සු ‘වොයිස් ටීන්ස්’ හරහා ඔප්පු කර පෙන්නුවා.

මුල සිටම ඔබේ අදහසක් තිබුණද ඇයව අවසන් වටය දක්වා රැගෙන ආ යුතුයි යන  මතය?

ප්‍රනිර්ෂා පළමු තරග වටයේ මුල්ම ගීතයෙහි පළමුවැනි වචනය කියනකොටම ඉස්සෙල්ලාම හැරුණු කෝච් මම. අපි හැරෙන්නෙ ළමයින්ට සින්ග් කරන්න පුළුවන් කියලා සිතෙන තැනදි. ඇතැම් ළමයින්ගෙ ගීත අවසානයේදී හැරෙන මොහොතවලුත් තිබෙනවා. මම හැරුණු සෑම දරුවෙක් පිළිබඳවම  මුල සිටම බලාපොරොත්තුවක් තිබුණා. මට බලාපොරොත්තුවක් තිබුණෙ නැති ළමයින් දෙසට මම හැරුණෙ නැහැ. ඉතින් ප්‍රනිර්ෂා සම්බන්ධයෙනුත් මට ඇයව හදා ගන්නට පුළුවන් කියන ලොකු බලාපොරොත්තුවක් තිබුණා.

‘වොයිස් ටීන්ස්’ තරගාවලියේ ගීත ගායනා කිරීමට නොහැකි දරුවන් විනිශ්චය මණ්ඩලය විසින් ඉදිරියට රැගෙන ආ බවට ඇතැම් අය චෝදනා කළා. ඒ පිළිබඳ ඔබේ අදහස?

ඒ පිළිබඳව මට කිසිම දෙයක් කියන්නට බැහැ. විවිධ මිනිසුන්ට විවිධ දේවල් කියන්නට පුළුවන්. කෝච් කෙනෙක් විධියට මම මගේ වගකීම ඉෂ්ට කළා කියලා මම විශ්වාස කරනවා.

විනිසුරුවරියක් ලෙස තරගය නිමා වූ පසුත් දරුවන්ගෙ ඉදිරි සංගීත ජීවිතය වෙනුවෙන් ඔබ සකස් කළ සැලසුම් තිබෙනවාද?

ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න අවශ්‍ය මම නෙවෙයි මගෙ කණ්ඩායමේ දරුවන්. අපිට එහෙම  මඟක් දුරකට පැමිණ දරුවෙක්ව අතහරින්නට බැහැ. ප්‍රනිර්ෂා ගත්තත් එක්තරා දුරකට පමණයි මගේ ළමයෙක් වෙන්නෙ. ප්‍රනිර්ෂාගේ වගකීම තියෙන්නෙ ඇයගෙ මවුපියන්ගෙ අතේ සහ ඇයගේ අතේ. නමුත් මේ සංගීත ක්ෂේත්‍රය තුළ බණ්ඩාරවෙල සිටින අවුරුදු දහ තුනක දමිළ දරුවකුට ඉන්න පුළුවන්ද කියන එක ගැටලුවක්. ලංකාවේ තිබෙන තත්ත්වය සමඟ කොළඹ සිට රාජගිරියට යන්නත් අද ප්‍රවාහනය ඉතා  අපහසුයි. එහෙම අපහසුතා සමඟ බණ්ඩාරවෙල ඉඳන් කොළඹට එන එක ලෙහෙසියක්ද? මගේ වගකීම මම ඉටුකළා. මට දැන් පුළුවන් උපදෙස් දෙන්න පමණයි. ඉතුරු කොටස තිබෙන්නෙ ඔවුන්ගෙ අතේ.

අභිෂේකා නිර්මාණ කරන්නෙ බොහොම පරෙස්සමට?

මට මේ ක්ෂේත්‍රය තුළ ලොකු තරගයක් නැහැ. මේ කාලේදී මම මෙහෙම දෙයක් කරනවා කියන අභියෝගයකුත් ඇත්තටම මට නැහැ. මම ගීත ගායනා කරන්නෙ, ගීත ලියන්නෙ මගෙ ආසාව වෙනුවෙන්. ඒ නිසා මම කරන දේ මම කාලයක් අරගෙන නිස්කලංකව සිදුකරනවා. ඒ වගේම මගේ ප්‍රේක්ෂකාගාරය මගෙන් බලාපොරොත්තු වන යම් වෙනස්  විධියක් තිබෙනවා. ඒ නිසා එයට එරෙහිව ගොස් මම වැඩකටයුතු කරන්නෙත් නැහැ. කුඩා දරුවෙක් හෝ මගෙ  වැරැද්දක්  දැකලා එය පැවැසුවොත් මම එයට ඇහුම්කන් දෙනවා. ඒ වගේම මම ඒ වැරැද්ද පෙන්වලා දෙන කෙනාට ගරු කරනවා.

ඒ කියන්නෙ ඔබේ නිර්මාණවලට විවේචන එල්ල වන අවස්ථා නැතිම තරම්?

විවේචන හරිම අඩුයි. දාහක් පමණ හොඳ කියන විට එක්කෙනෙක් හරි නරක දෙයක් කිව්වොත් ඒ නරක දේ කිව්වේ කවුද? ඇයි එහෙම කිව්වේ මොකක්ද එයට හේතුව කියලා මුලින්ම හොයනවා. එහෙම හොයපු නිසා තමයි අද මම විවේචනයන් නැති මට්ටමටම පැමිණ තිබෙන්නෙ. අපි හොඳ ගැන කතා කරනවට වඩා අපේ අඩුපාඩු ගැන කතා කරනකොට තමයි අපේ දුර්වලතා අවම වෙන්නෙ.

අභිෂේකා විමලවීර කියන ගායන විශාරදවරිය පසු ගෝල පරම්පරාවක් බිහිකරමින් සිටිනවා. ඒ ගැනත් කතා කරමු?

ඔව්. මම මගේ දරුවන්ට නිතරම කියන දෙයක් තමයි සෙමින් ගමනක් යන්න. සංගීතය කියන්නෙ තරගකාරී දෙයක් නෙවෙයි. සංගීතය කියන්නෙ නිස්කලංකව කරන්න ඕනේ වැඩක්. සංගීතය ඇතුළෙ තරගයක් හදා ගත්තොත් මුලින්ම වැටෙන්නෙ කලාකාරයා. එවිට අපට තරග කරන්න බැහැ. ‘වොයිස් ටීන්ස්’ කියන්නෙ තරගයක්. නමුත් තරගය තුළ තරගය අමතක කරලා ගීත ගායනා කරන්න කියලා මම මගේ දරුවන්ට ඉගැන්නුවා. මගේ කණ්ඩායමේ සෑම දරුවෙක්ටම ප්‍රේක්ෂකයෝ ආදරය කළා. ඒ ආදරය කරන්න ප්‍රධානම හේතුව තමයි ඔවුන් තරගය අමතක කර ගීත ගායනා කිරීම.

ලැබුණු අත්දැකීම් සමඟ හිමි අහිමි වීම් ඔබට දැනෙන්නෙ කොහොමද?

මේ ලෝකයේ හිමිවීම් කියලා දෙයක් නැහැ. තිබෙන්නෙ හිමි කර ගැනීම්. මේ ලෝකයේ අහිමිවීම් කියලා දෙයක් නැහැ. තිබෙන්නෙ අහිමි කර ගැනීම්. අපිට යම් කිසි දෙයක අවශ්‍යතාවක් තිබෙනවා නම් අපිට ඒ දේ ලබා ගන්න පුළුවන්. ඒකට මහන්සි වෙන්න ඕනෑ අපිමයි. තමන්ට දෙයක් අවශ්‍ය නම් ලැබීම්, නොලැබීම්, හිමිවීම්, අහිමිවීම් කියලා දෙයක් නැහැ. තිබෙන්නෙ හිමි කර ගැනීම් සහ අහිමි කර ගැනීම් පමණයි. ඒ වගේම මගේ ජීවිතේ හැමදේම තීරණය කරන එකම කෙනා මම විතරයි.

රටෙහි ඇති වී තිබෙන අර්බුදය සමඟ අපි සිටින්නෙ බොහොම අවිනිශ්චිත තත්ත්වයක. ඒ පිළිබඳ ඔබේ අදහස කතා කළොත්?

ඇතැම් දේවල් දශක ගණනක් ගියත් වෙනස් වෙන්නෙ නැහැ.  ඒ වගේම දශක ගණනකට වෙනස් කිරීමට  නොහැකි වුණු  දේවල් වෙනස් කළ හැකි  ඇතැම් දවස් තිබෙනවා. මේ කාලය මම දකින්නෙත් එවැනි සංක්‍රාන්තික අවධියක් ලෙසයි. ඉතින් මේ මොහොතේ අපිට ලංකාවේ අනාගතය අංශක එකසිය අසූවකින් හරවන්න පුලුවන් බව මම විශ්වාස කරනවා.

මේ ගැටලු සමඟ මවක් ලෙස දුවගේ අනාගතය තනන්නට දරන  වෑයම  කොහොමද?

මේ වෙලාවෙ ලංකාවේ සෑම මවකගේම පියකුගේම එකම අභියෝගය තමයි මේ ගැටලුව. එහෙත් ඒ කිසිම ගැටලුවකට උත්තරයක් පේන මානෙකවත් අපිට නැහැ. තමන්ගෙ ජීවිත එක්ක මිනිස්සු ලොකු අරගලයක් කරනවා. මේ සටන කොයි තරම් දුරට සාර්ථක වෙනවාද කියන දෙය සමඟ තමයි මේ සෑම දෙයක්ම තීරණය වන්නේ.

ගායන දිවියේ ඉදිරි බලාපොරොත්තු කොහොමද?

ඉදිරියේදී  ගීත කිහිපයක් පැමිණීමට නියමිතයි. ඒත් මේ උද්ගතව තිබෙන ප්‍රශ්න සමඟ මිනිස්සු සින්දුවක් අහන්න පුළුවන් තත්ත්වයක නැහැ. ඒ නිසා එම ගීත කිහිපය එළිදක්වන දිනය පිළිබඳව තවම අදහසක් නැහැ.

මීළඟට එළිදක්වන ගීතයෙහි තේමාව පිළිබඳවත් රසිකයන් හට ඉඟියක් දෙමු?

හැම තිස්සෙම ඊළඟ පියවර රහසක් විධියට අපි තියාගමු නේද? මම ඒ ගැන ඉදිරියේදී කියන්නම්.

සචිනි බස්නායක