සංගීතයෙන් රටට විදේශ විනිමය ගේන්න පුළුවන්

0
39

ලංකාවේ නාමය ජාත්‍යන්තර තලයේ බබළවමින් එය සන්නාමයක් දක්වා දියුණු කරගත් ඔවුන් අපි කවුරුත් ආදරය කරන ජය ශ්‍රී  කණ්ඩායම් නායක රෝහිත ජයලත් මෙවර හදගැස්මට අප එකතු කරගත්තා. පියමැන්නේ, සුන්දරියේ, සුදුඇඳුමින් වගේ තොල් අග නිතරම මිමිණෙන ගීත ගොන්නක හිමිකරුවන් වූ ජය ශ්‍රී කණ්ඩායම ඔවුන් ගැන ඔබ නොදත් බොහෝ දේ අපට පැවැසුවා. මේ ජය ශ්‍රී සමඟ පැවැත්වූ සාකච්ඡාවයි.  කොහොමද මේ දිනවල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ?

අපි දෙන්න මේ සැරේ ලංකාවේ ගොඩක් කල් සිටියා. මේ මාස 8කට වැඩි කාලය තුළ අපි ගොඩක් දේවල් අත්වින්දා. එය හොඳ අත්දැකීමක්! ඉතින් අපේ දෙවැනි ගෙදර ඔස්ටි්‍රයාවේ වියානා නගරය. අපි වියානාවට බැස්ස විතරයි ලොකු වෙනසක් පේනවා. මේ අවුරුද්දෙත් ලෝකයේ ජීවත් වෙන්න ඉතාමත් සුදුසුම නගරය ලෙස පළමු තැනට අපි අවුරුදු 34ක් වගේ ජීවත්වෙන වියානා නගරය තේරිලාලු. ලංකාවෙන් මේ වගේ දියුණු රටවලට යනකොට “අනේ අපේ රට මේ වගේ හදාගන්න බැරි ඇයි?” කියන ප්‍රශ්නයට හිත දුකෙන් කලකිරෙනවා. අපිට ස්වභාවධර්මයේ දායාදත්, උපරිම සුන්දරත්වයත් තිබෙනවා. නමුත් අපිට අපේ රට හදාගන්න බැරි  ඇයි? මේ රටේ දේශපාලනය ඇතුළු මුළු සිස්ටම් එකම චේන්ජ් වෙන්න ඕනි. කොහොම වුණත් අපේ ජය ශ්‍රී සම්පූර්ණ සංගීත කණ්ඩායම ඉන්නේ වියානාවල. ඉතින් සමර් සීසන් එකට අපි කණ්ඩායම මේ රටෙත්, යුරෝපයේත් සන්දර්ශනවලට සහභාගි වෙන්න තමයි සූදානම්  වෙන්නේ.

කණ්ඩායමේ ආරම්භය ගැන සඳහන් කළොත්?

පුංචි කාලයේ සිටම අපිට සංගීත පිස්සුව තිබුණා. ඉතින් අපේ අම්මා තාත්තා ඇතුළු අනෙකුත් සමීපතමයන්ගේ උදවු ඇතිව මුලින්ම ආරම්භ වුණේ සෙරන්ඩිබ් සංගීත කණ්ඩායම. එවිට මම SLIA ආයතනයේ Architecture හදාරනවා. ඉන්පසුව වැඩිදුර අධ්‍යාපනයට ඔස්ටි්‍රයාවට පැමිණ Academy of Fine Arts විශ්වවිද්‍යාලයේ Architecture හදාරා අවසන් කළා. ඒ අතරතුර සංගීතය දිගටම කළා. 1993 වසරේ ඔස්ටි්‍රයානු නිෂ්පාදකවරුන් සමඟ SONY MUSIC CON.-DOM ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා ජාත්‍යන්තර යුරෝපීය ගීත දර්ශකවලට පවා ඇතුළත් වුණා. එලෙස ජාත්‍යන්තර ගීත දර්ශකයකට ගිය මුල්ම ශ්‍රී ලාංකිකයන් වන්නේද අපයි. ඉන්පසුව අපි ගීත සහ ඇල්බම් කිහිපයක් නිකුත් කළා. ඒ අතරින් U R my Sunshine (උඩපල ගත්තත් වට්ටක්කා), ගීතය ලංකාවෙත් ජනප්‍රිය වුණා. ඉන් පසුව 1994-95 BMG Ariola ආයතනයට සම්බන්ධවීමට ආරාධනා ලැබුණම පෙර ගිවිසුම් අනුව අපිට වෙන නමක් සොයන්න වුණා. එතැනදී තමයි ජය ශ්‍රී නම බිහිවෙන්නේ.

සංගීතය පිළිබඳව විදේශිකයන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. ඒ ගැන සඳහන් කළොත්?

ඔව්. අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ අතරින් Decadance (Bailamos – O3 Beachmania song), ROOTSMAN රෙගේ කණ්ඩායම විශේෂයි. ඒ වගේම Dele Rootsman අප්‍රිකානු සංගීතඥයගෙන් අපි Reggae music, African beats ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. එවකට ඩෙලේ, මෝසෙස්, ශිරාන්, රුවන්, කුවට් සමඟ අපි වියානාවේ හොඳම afro-reggae සංගීත කණ්ඩායමක් වුණේ ඒ ලබාගත් දැනුමින් සහ අත්දැකීම්වලින්.

මොඩ් ගොවියා, සුන්දරී වැනි ගීත ඇල්බම් ගොඩනැඟෙන්න පසුබිම හැදුණේ කොහොමද?

අපි වියානාවල සිටින විට අරුණ ඔහු සිදු කරමින් සිටි Club ප්‍රසංග කලාවෙන් විඩාපත්වෙලා අපව සොයාගෙන පැමිණියා. ඉන්පසුව මම ලියූ ගීතද සමඟ එකමුතුවෙන් ගී තනු හදලා වයලා හොඳ ටීම් එකක් විධියට කටයුතු කළා. ඒ අනුව 1999 මොඩ් ගොවියා ගීත ඇල්බමය ද, 2002 සුන්දරී ගීත ඇල්බමය ද නිකුත් කළා.

විදේශ රටවල සාමාජිකයන් සමඟ ගනුදෙනු කරන විට ඒ අත්දැකීම කෙසේද?

අපේ ජය ශ්‍රී කණ්ඩායමේ තුන්දෙනෙක් ලංකාවේ. රොහාන් (Bass), සුමල් (Drums), මම රොහිත rohitha (riddim Guitar + Asian Percussion), නයිජීරියාවෙන් මෝසෙස් (Latin + African Drums and Percussion), බංග්ලාදේශයෙන් පාර්වේස් සහ බිඩු (keyboards), හර්බි (Lead Guitar) මේ තමයි අපේ කණ්ඩායම. අපි කට්ටිය සියලුම දේ එකට බෙදා හදාගෙන එකමුතුවෙන් සංගීතය කරන්නේ, තම තමන්ගේත් වෙන වැඩත් කරමිනුයි. අවුරුදු 25ක් වගේ එකට ඉන්නවා කියන්නේ ලේසි නැහැ. එයට හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනෑ. ඉතින් අපි අපිව දන්නවා. ඉතින් ඊරිසියාව, ක්‍රෝධය නොමැතිව අපි ගමන යනවා.

ඔබලාගේ fashion එක රස්තාෆාරි හුරුවක් තිබෙනවා. ජය ශ්‍රී ඇත්තටම රස්තාෆාරියන්ද.?

“රස්තාෆාරි” කියන්නේ ඉතියෝපියාවෙන්, බ්චඩ දෙවියන්ගෙන් මිනිස් ලොවට ඉපදුණු හයිලි සෙල්ලාසි රජු පුදමින්, ලොවට ප්‍රසිද්ධ වුණ ආගමක් වැනි ඉතාමත් සාමකාමී දෙයක්. රස්තාෆාරියන්ලට තිබෙන්නේ මස් මාංස අනුභවයෙන් තොර, භාවනාව සමඟ පරිසරය සමඟ බැ‍ෙ¾දන ජීවන රටාවක්.

නමුත් අපරාදේ අපේ සමහරුන් එය සහ රෙගේ සංගීතය විලාසිතාවක් හැටියට විතරක් අරගෙන, dreadlocks, reggae colours, ගංජා මුල්කරගෙන රස්තියාදුකාර මිම්මකට ඇදල දාලා තිබෙනවා. හැමදෙයින්ම ධනාත්මක දේ පමණක් අපි ගන්න ඕනෑ. ඉතින් අපි සම්පූර්ණ රස්තාෆාරියන් නොවුණත් අපි සරල ජීවිතයක් ගෙවන නිසා ඒවැනි අනන්‍යතාවක් ගොඩනැඟිලා ඇති.

ඔබලා ජාත්‍යන්තරය සමඟ ගොඩක් ගනුදෙනු කරන පිරිසක්. ඉතින් ඔබ සිතනවාද සංගීතය මඟින් රටට විදේශ විනිමය ගේන්න පුළුවන් කියලා?

ඔව්. අනිවාර්යයෙන් පුළුවන්. අපේ ගීත, සංගීතය පිටරටවලට ප්‍රසිද්ධ කරලා විකිණීමෙන්, අපේ සංගීතඥයන්, සංගීත  කණ්ඩායම් පිටරටවල චාරිකා යෑමෙන් අපේ ගීත පිටරටවල රූපවාහිනි, ගුවන්විදුලිය මඟින් ප්‍රචාරය වීමෙන් විදේශ විනිමය රටට ගේන්න පුළුවන්. ඇත්තටම සංගීතය කියන්නේ රටකට විදේශවිනිමය ගෙන ආ හැකි වැදගත්ම අංගයක්!! එය නවීන ක්‍රමවේද එක්ක ලෝකයට ඉදිරිපත් කරන්න ඕනෑ. ලෝකයේ අනෙකුත් ආයතන එක්ක සම්බන්ධ වෙන්නත් අවශ්‍යයි.

කණ්ඩායමේ ස්ව නිර්මාණ ගැන සඳහන් කළොත්?

අපි ජය ශ්‍රී හැටියට දැනට අපේම ඇල්බම් 4ක් නිකුත් කරලා තිබෙනවා. මොඩ් ගොවියා, සුන්දරී, සාමය – PEACE, LOVE ආදරය. තව වෙනත් ප්‍රොජෙක්ට්ස් සේරම එක්ක අපේම ස්ව නිර්මාණ සිංහල සහ ඉංග්‍රීසි ගීත සියල්ල 100කට ආසන්නයි. මේ සියල්ල ඔස්ටි්‍රයාවේ ඒම්ර් ආයතනයේ ලියාපදිංචි කරලා තිබෙන්නේ.

ජාත්‍යන්තර වශයෙන් කණ්ඩායමක් ගොඩනඟන්න අමාරුයි. නමුත් ඔබ එය සාර්ථක කරගත්තා. මෙරටින් එයට ලැබුණු ඇගයීම් ගැන ඔබ සතුටුද?

ලංකාවේ රසික රසිකාවියන්ගෙන් නම්  අපිට ලොකු ආදරයක්, ඇගයීමක් ලැබිලා තිබෙනවා. අපට එය ඇති! අප ජාත්‍යන්තරයෙන් සම්මාන කිහිපයක් දිනලා තිබෙනවා. අපේ රටෙනුත් SLBC SLO Reggae Category Award, Derana Video Music Awards, Austrian World Music Award 2003 සම්මානය ද, Austrian Grammy Amadeus සම්මානය ද ලැබිලා තිබෙනවා. අපි කොහොමත් සංගීතය කරන්නේ අපේ ඇතුළාන්තයේ තියෙන දේ ආදරයෙන් ප්‍රේක්ෂකයාට දෙන්න මිසක් ඇගයීම් ලබන්න බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි.

අනාගත බලාපොරොත්තු මොනවාද?

අලුත් ගීත සහ වීඩියෝ කරගෙන යනවා. අපේ JAYASRI Merchandising එකෙන් දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයට උදවු කරන දේවල් කරගෙන සාමයෙන් සතුටින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

දුමිදු ලංකා බණ්ඩාර