ලංගම යළි ට්‍රැක් එකේ

0
11

ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හෙට (25දා) සිට නැවතත් සුපුරුදු පරිදි ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස පැවැසීය. ලංගම සතුව පන්දහසකට අධික බස් රථ සංඛ්‍යාවක් පවතින බවත් එහෙත් පසුගිය දින කිහිපය පුරාම අමතර කොටස් නොමැතිවීම නිසා ධාවනය වූයේ රථ තුන්දහසකටත් අඩුවෙන් බවත් ඔහු සඳහන් කළේය.

ටයර් ඇතුළු අමතර කොටස් මිල ඉහළ යෑමත් සමඟ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා ටයර් සපයන සමාගම ප්‍රසම්පාදන ගිවිසුමෙහි එකඟ වූ මිලට වැඩි මිලක් ඉදිරිපත් කිරීමත් සමඟ ටයර් මිලදී ගැනීම ප්‍රමාද වූ බවත් හෙතෙම කීය.  

අදාළ සමාගමේ මිල ගණන්වලට මිලදී ගැනීම් කිරීමට භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව පසුගිය සිකුරාදා (22දා) සිට ඩිපෝවලට ටයර් බෙදාහැරීම ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර ලංගම ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නොදීම නිසා හෙට දිනයේ සිට නැවත වරක් බස් රථ සංඛ්‍යාව 1500ට වඩා අඩු වෙනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවැසීය.

ලංගම ඩිපෝවල කාර්යාල කටයුතු දෛනිකව සවස 5.00ට අවසන් කරන අතර එම නිසා සීමිත බස් සංඛ්‍යාවකට පමණක් ඉන්ධන ලබාගැනීම නිසා පොදු ප්‍රවාහනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

මිතුන් ජයවර්ධන