රාජපක්ෂ සෙවණැල්ලක් ගැන සජිත් කියයි

0
83

“රාජපක්ෂ සෙවණැලි  ආණ්ඩුව” විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට එරෙහිව එල්ල කළ ප්‍රචණ්ඩ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.  නව ජනාධිපතිවරයා දිවුරුම් දී දිනයක් යන්නට මත්තෙන් මෙම ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ  ඔහුගේ ඉදිරි පාලන තන්ත්‍රයේ ස්වභාවය  යැයි විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙය රාජපක්ෂ වියරුවටත් වඩා උග්‍ර වියරුවක් බවද එහි පෙන්වා දී තිබේ.

රාජපක්ෂලාගේ පොහොට්ටු ආණ්ඩුවට සුපුරුදු ම්ලේච්ඡත්වය සහ නිල ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් එදින අලුයම් කාලයේදී සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බියගුලු ප්‍රචණ්ඩ  ප්‍රහාරයක් එල්ල කොට ඇතැයිද, එය වාර්තා කිරීමට පැමිණි දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන් රැසකටද, ආබාධිත රණවිරුවන්ට ද එම අමානුෂික ප්‍රහාරයට මුහුණ දීමට සිදු වී ඇති අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ම්ලේච්ඡ පන්නයේ නිල ප්‍රචණ්ඩත්වයක් බවද සඳහන් කොට ඇත.

දිවුරුම් දී පැය 24ක් යන්නට මත්තෙන් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති අතර එයින් ගම්‍ය කිරීමට උත්සාහ කරනුයේ ඔහුගේ ඉදිරි පාලන තන්ත්‍රයේ ස්වභාවය නම් ඔහුට සිහිපත් කොට දිය යුත්තේ බලගතු ආණ්ඩුද ජන බලයෙන් ගෙදර යවා ඇති බවය.

අරගලකරුවන් අත්පත් කරගෙන තිබූ  සියලු ස්ථාන ආපසු ලබාදෙමින් සිටියදීත්, ඒ අතරතුර අළුයම් කාලයේ ආරක්ෂක අංශ විසින් “ඉහළ අණ අනුව” මේ බියගුලු ප්‍රහාරය එල්ල කොට ඇත.

තමන්ට සිතැති රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම පිළිබඳව හටගත් වියරුවකින් අදාළ පහරදීමට අණ දුන්නාද යන්න අප නොදන්නා නමුත් එය එසේ නොවේ යැයි සිතන්නට කිසිදු හේතුවක් නැත.  රටේ ජනතාවට අරගල කිරීමේත් විරෝධතා දැක්වීමේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අපි හැම විටම ගරු කරමු. රාජ්‍ය  දේපළ සහ පොදු දේපළවලට හානි නොකර, ප්‍රචණ්ඩත්වය වෙනුවට ශිෂ්ටත්වය තුළ කරන අරගල වෙනුවෙන් අපි නිරන්තරයෙන් පෙනී සිටිමු.

එක් අතකින් වර්තමාන ජනාධිපතිවරයාට බලයට පත් වන්නට මාවත සැකසෙන්නේ ගෝල්ෆේස් ඇතුළු මේ රටේ ජනතාව කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය. අදාළ අරගලය ඔහුට ජනාධිපති වීමට කිසිසේත්ම අනුබල දෙන්නක් නොවුවත් ඒ හරහා ඔහු බලය ලබා ගත්තේය. ඇතැම්විට රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අදාළ ජන අරගලය හේතු වීම පිළිබඳව ඔහු තුළ කෝපයක් ඇතිවූවා විය හැක. රටක් ලෙස ශිෂ්ට සම්පන්නව නැඟී සිටීමට තිබූ සෑම අවස්ථාවක්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව විසින් විනාශ කර දැමූ අතර වෙනසකට ඇත්තේ, එය රාජපක්ෂ වියරුවටත් වඩා උග්‍ර වියරුවක් බවට පත්ව තිබීමය. 

මේ රට වැටී ඇති බරපතළ අගාධයේ තරම තේරුම් ගන්නවා වෙනුවට තමන්ගේ බල න්‍යාය පත්‍රය පමණක් අරමුණු  කොටගෙන කටයුතු කරන මේ “රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව” මාධ්‍යවේදීන් සතු නිදහසද අතිශයින්ම අමානුෂික ලෙස උල්ලංඝනය කොට ඇත. එසේ නම් නිරායුධ ජනතාවට, ආබාධිත සෙබළුන්ට, සිවිල් පුරවැසියන්ට සිය අවි බලය යොදාගෙන පහර දීමට කටයුතු කළ  නිල හා  නොනිල සියලු දෙනාට එරෙහිව පරීක්ෂණ සිදුවිය යුතු අතර මේ මිලේච්ඡ ප්‍රහාරයට අණ දුන් සියලු දෙනා පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්විය යුතුය.

මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව අප දැඩි කම්පනයට පත්වන අතර, එම ප්‍රහාරයටම උරුම පිළිකුලෙන් යුතුව අපි එය හෙළා දකිමු. අපේ රට ගෝත්‍රික තැනකට තල්ලු කිරීමට “උත්සාහ කරන රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුවට එරෙහිව” මුළු රටම නැඟී සිටින දිනය වැඩි අෑතක නොවන බවද අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

නිර්මාණි ගුණරත්න