රනිල් UNO මහ පුටුවට යයිද?

0
246

අන්තෝනියෝ ගුටරෙස්ගෙන් පසු එක්සත් ජාතීන්ගේ මහලේකම් තනතුර දකුණු ආසියාවට ලබා ගැනීමේ සිහිනයක් එක්තරා ශ්‍රී ලාංකිකයකුට තිබේ. හෙතෙම ඒ සඳහා පූර්ව සුදුසුකම් එකිනෙක සාක්ෂාත් කර ගනිමින් සිටී. හේ අන් කිසිවකු නොව ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහ කිසිවකු අපේක්ෂා නොකළ අන්දමට තමන් විසින්ම අසීරුවෙන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ කපාගත් කෙටි මාර්ගයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනාධිපති පුටුවට පැමිණියේය. ඒ සඳහා ඔහුට කෝටි දෙකහමාරක් ජනතාවගේ කැමැත්ත අවශ්‍ය නොවීය. උරගා බැලිය යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ 225 කගේ කැමැත්ත පමණි. තමාට  සිටි ප්‍රබල සතුරන් සියල්ල එක් මොහොතකදී මිතුරන් කරගන්නට රනිල් සමත් විය.

රනිල් වික්‍රමසිංහ මෙයට පෙර 6 වතාවක් අගමැති තනතුරට පත්ව තිබේ. එහෙත් එකදු වතාවක් හෝ ධුර කාලය සම්පූර්ණ කර ගැනීමට ඔහුට නොහැකි විය. බලය අල්ලා ගැනීම සඳහා ගණදෙවි නුවණ ඇති මේ මිනිසා බලයෙන් වැඩ කිරීමට හෝ බලය පවත්වා ගැනීමට සමතෙක් නොවන බවට සමාජය තුළ මතයක් මුල්බැස තිබේ. මෙවර ඒ මතය බිඳින්නට ඔහු අසමත් වුවහොත් ඔහුට හිමි වන්නේද ගෝඨාභය රාජපක්ෂට හිමි වූ කසළ බඳුනමය.

1998දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන ඇමැති මංගල සමරවීර “රනිල්ට බෑ” යනුවෙන් විපක්ෂ නායක රනිල්ට විරුද්ධව ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. වසර කිහිපයකට පසුව මංගල ප්‍රකාශ කළේ “රනිල්ට බෑ” යනුවෙන් තමා ප්‍රකාශ කළේ රනිල්ට පුළුවන් බව අන් සියල්ලන්ටම වඩා හොඳින් තමා දැන සිටි නිසා බවය. රනිල් වික්‍රමසිංහට “මිස්ටර් බීන්” යන අන්වර්ථ නාමය පටබැන්දේද මංගල විසිනි. එහෙත් මංගල සමරවීර රනිල්ට සිටි හොඳම මිතුරන්ගෙන් කෙනෙකි. මංගල සමරවීරට සිටි හොඳම මිතුරා රනිල් වූ අතර හොඳම මිතුරිය චන්ද්‍රිකා වූවාය. රනිල්, චන්ද්‍රිකා දෙදෙනා කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයේ ආදි නැටුම් ශිෂ්‍යයෝය.

මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ හැඳින්වූයේ “වැඩ බැරි ටාසන්” ලෙසය. එජාපය පරාජයට පත්වූ ප්‍රාදේශීය සභා මැතිවරණ, පළාත් සභා මැතිවරණ ආදී වශයෙන් එකිනෙක ගණන් හදා මැතිවරණ 29ක් එක දිගට පරාජය වූ එජාපයේ “වැඩ බැරි ටාසන්” ලෙස රනිල්ට ලේබල් ගැසූ මහින්ද අදහස් කළේ එජාප පාක්ෂිකයන් මානසිකව වට්ටන්නටය. දැන් බලන විට පෙනී යන්නේ පක්ෂය වැටුණාට පාක්ෂිකයන් වැටුණාට රනිල් වැටී නැති බවය. මහින්ද වැටී ඇති බවය.

මේ මොහොතේ ශ්‍රී ලංකා දේශපාලනයේ හොඳම ගේම්කාරයා නැත්නම් නූල් සූත්තරකාරයා කවුදැයි ඇසුවොත් නොපැකිළව දෙන පිළිතුර රනිල් වික්‍රමසිංහ බවය. බොහෝ දෙනා ගේම්කාරයන් ලෙස සලකන රාජපක්ෂලාට රනිල් වික්‍රමසිංහ සමඟ හැරෙන්නටවත් බැරි බව ඔහු මෙවර ඔප්පු කර තිබේ. වරක් ජනාධිපති ප්‍රේමදාස ප්‍රකාශ කළාක් මෙන් ප්‍රේමදාසට නොදෙවැනි වන්නට රනිල් දේශපාලනයෙන් තෙම්පරාදු වී තිබේ. දෙදෙනාගේ වෙනස රනිල් කිසිවිටෙක තම තෙම්පරාදු භාවය ගැන ප්‍රකාශ නොකොට හීන් සීරුවේ වැඩ පමණක් පෙන්වීමය.

ගෝඨාභය රාජපක්ෂ දැවී යෑමෙන් පසු අන්තිමයා වශයෙන් පිටියට පැමිණි රනිල්, රාජපක්ෂලාත් බේරා සජිත්ගේ සජබ නන්නත්තාරකොට, එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් පමණක් තිබූ එජාපයද ගොඩ දමා ගත්තේය. මෙවර රනිල්ගේ ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ ගැහැනියක පිරිමියකු කිරීම හැර අන් සියල්ල කළ හැකි යැයි කියූ ජේ. ආර්. ජයවර්ධනගේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා වැඩි බලතල සහිත ව්‍යවස්ථාවක්ද ඇතිව රනිල් විධායක ජනාධිපති තනතුරට පත්වීමය.

20 වැනි ව්‍යස්ථා සංශෝධනය තුළින් එම තත්ත්වය ඇති කර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ අලි සබි්‍ර විසිනි. දැන් ගෝඨාභය වේදිකාවෙන් බැස ගොස් හමාරය.

රනිල් වික්‍රමසිංහ මෙරට දේශපාලනයේ ප්‍රකට රෝයල් කල්ලියේ සාමාජිකයෙකි. අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන රෝයල් කල්ලියේ රනිල්ගේ සමීපතමයෝය. 1949 මාර්තු 24දා උපන් රනිල්ගේ පියා නීතිඥ එස්මන්ඩ් වික්‍රමසිංහය. මව නලිනි විජේවර්ධනය. මවගේ පියා ලේක්හවුස් පුවත්පත් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධනය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලද රනිල් වික්‍රමසිංහ 1972දී නීතිඥයකු ලෙස දිවුරුම් දී ඇත.

රනිල් වික්‍රමසිංහ දේශපාලන කරළියට ඇදී ඒම පිළිබඳ බොහෝ අය නොදන්නා ඉතිහාසයක් තිබේ. 1946 එක්සත් ජාතික පක්ෂය ආරම්භ වූ තැන් පටන් පක්ෂයේ සංයුක්ත කොටස් අතර ගැටුමක් තිබිණ. සුළු ජාතික කොටස් හැරුණු විට සේනානායක, බණ්ඩාරනායක, ජයවර්ධන, කොතලාවල පවුල් අතර ගැටුම පැවතිණ. 1951දී බණ්ඩාරනායක පක්ෂය හැරයෑමෙන් පසු සේනානායක, ජයවර්ධන පවුල් අතර ගැටුම තවදුරටත් පැවැතියේය. අගමැති ඩඩ්ලි සේනානායකගේ මරණින් පසුව එම ගැටුම අවසන් වූ අතර ජේ. ආර්. ජයවර්ධන එජාප නායකත්වයට පත්විය.

ජේ. ආර්. එජාප නායකත්වයට පත්වීමත් සමඟ නොපමාව පක්ෂය තුළ පවුල් බලය තහවුරු කිරීමට පියවර ගත්තේය. ඔහු ප්‍රථමයෙන් සිදුකළේ  ස්වකීය නෑනා වූ නාලිනීගේ ස්වාමිපුරුෂයා එස්මන්ඩ් වික්‍රමසිංහත් ඔහුගේ පුත්‍රයා වූ රනිල් වික්‍රමසිංහත් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත්කර ගැනීමය. ඩඩ්ලි සේනානායකගේ අභාවය සිදුවන විට රනිල් වික්‍රමසිංහ එජාපයේ කොතැනකවත් සිටියේ නැත.

රනිල් එජාප කෘත්‍යාධිකාරී සභාවට ඇතුළත් කර ගත් වහාම ඔහුට බියගම ආසනයේ සංවිධායක ධුරය ලබා දුන්නේය. බියගම මන්ත්‍රිවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඉතා කෙටි කාලයක් තුළ එනම්, 1977 ජූලි මාසයේදී විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දුන්නේය. එම වසරේම ඔක්තෝබර් මාසයේදී තරුණ කටයුතු ඇමැති තනතුර දක්වා රනිල්ව ඔසවා තබන ලද්දේ ඔහු මෙරට ළාබාලම ඇමැති බවටද පත් කරමිනි. ජේ.ආර්.ගෙන් පසුව ඔටුන්න හිමි කුමරා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරියට ගන්නට ජේ. ආර්.ට ඕනෑකම තිබිණ. එහෙත් රණසිංහ ප්‍රේමදාස කරළියට අවතීර්ණ වීම නිසා එය දශකයකින් පස්සට ගියේය.

කෙසේ වුවද පසුව ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, සිරිල් මැතිව් ආදීන්ගේ උග්‍ර බල ගැටුමකින් පසුව රනිල් වික්‍රමසිංහට නියමිත ඉලක්කයට ළඟා වන්නට හැකි විය. 1980 දී රනිල් අධ්‍යාපන ඇමැති ධුරයට පත්විය. අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ඔහු විසින් ගෙනෙන ලද අධ්‍යාපන ධවල පත්‍රිකාව මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ බරපතළ උදහසට ලක්විය.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතයේ බරපතළම කළු පැල්ලම එක්වූයේ 1989දී කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් සිටිමින් එවකට රට තුළ පැනනැඟී තිබුණු තරුණ කැරැල්ල මර්දනය සඳහා බටලන්ද නිවාස ක්‍රමය තුළ පිහිටුවා තිබූ රැඳවුම් ස්ථානයක වගකීම දරමින්  බලය අනිසි ලෙස යෙදවූ බවට  චෝදනා එල්ල වීමය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1994දී බටලන්ද කොමිසම නමින් කොමිසමක් පත්කළ ද ඊට අධිකරණ බලය ලබා දුන්නේ නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවක් නිකුත් වුවද ඒ සම්බන්ධයෙන් අධිකරණ කෘත්‍යයක් සිදුවී නැත.

ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ස්ථාවරය වූයේ එක්සත් ශ්‍රී ලංකාවක් මත පදනම් වූ දේශපාලන විස¾දුමක් තුළින් ජන වාර්ගික සාමය ඇති කරගත හැකි බවය. රනිල් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹෙන්නටත් සාම සාකච්ඡා සඳහා අවතීර්ණ වන්නටත් ඔහුගේ පාලන කාලය තුළ දැඩි වෙහෙසක් ගත්තේය.  2002 පෙබරවාරි 15 වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ය දෙපාර්ශ්වය අතර සටන් විරාම ගිවිසුමක් අස්සන් තබන ලදී. රනිල්ගේ මැදිහත් වීමෙන් වසර 18 කට පසු ඒ – 9 මාර්ගය නැවත විවෘත කරන්නට හැකි විය. එහෙත් 2004 පෙබරවාරි 15 ජනාධිපතිනි චන්ද්‍රිකා  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ රනිල්ගේ අගමැති ධුරය අහෝසි විය.

2005 පරාජයත් සමඟ එජාපයේ අර්බුද පැන නැඟිණි.  ජනාධිපති මහින්ද රාජපක්ෂ සුප්‍රකට සැලුන් ‍ෙදාර හැර දැමීමත් සමඟ එජාපයේ ප්‍රබල නායකයන් රැසක් ආණ්ඩුවට එකතු වී විවිධ වරදාන ලබා ගත්හ. එසේ එජාපය හැරගොස් ආණ්ඩුවේ තනතුරු ලද්දවුන් අතර රෝහිත බෝගොල්ලාගම, කරු ජයසූරිය, එම්.එච්. මොහොමඩ්, මිලින්ද මොරගොඩ, ජී. එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන,  ගාමිණී ලොකුගේ, පී. දයාරත්න, රාජිත සේනාරත්න, මහින්ද රත්නතිලක, නවීන් දිසානායක, හේමකුමාර නානායක්කාර, ධර්මදාස බණ්ඩා, නියෝමාල් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ,  නන්දිමිත්‍ර ඒකනායක, තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා, රවීන්ද්‍ර රන්දෙණිය, අශෝක වඩිගමංගාව ආදීහුද වූහ.

එජාපය දේශපාලනික වශයෙන් බරපතළ පසුබෑමකට ලක්ව තිබූ අතර රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් නෙරපා හැරීම සඳහා එජාපය තුළම කල්ලි කණ්ඩායම් ගණනාවක් බිහි විය. එජාපයේ පැවැත්ම මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැවැත්මට අත්‍යවශ්‍ය දේශපාලන සාධකයක් වූ නිසාම මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරන බවට මතයක් එකල සමාජ ගත වී තිබිණ. මහින්දගේත් රනිල් වික්‍රමසිංහගේත් සමාගමය “කළු කෝපි සාදය” වශයෙන් දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබිණ. රනිල්ට විරුද්ධව සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත දින හදිසියේම පාර වසා දමා කාපට් කිරීමට රජය ක්‍රියා කිරීම කළු කෝපි සාදයේ අතුරු ප්‍රතිඵලයක් විය.

මේ අතීත කතා සියල්ල වර්තමානය වන විට සැබෑව බවට පත්ව තිබේ. වර්තමානයේ රාජපක්ෂ රෙජීමයේ එකම ආරක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව ජනතාවට රහසක් නොවේ. 2017 රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් එළවා දැමීම සඳහා ජනාධිපති සිරිසේන සමඟ එකතුවූ මහින්ද 2022 ආර්ථික අර්බුදයේ කරවටක් ගිලුණු විට පිළිසරණ  අපේක්ෂාවෙන් රනිල් වික්‍රමසිංහට අගමැති තනතුර පිරිනැමීය.

ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් කරා ඔඩු දුවන්නටත්, ආණ්ඩුවට එරෙහි තරුණ ජනයාගේ විරෝධතා ව්‍යාපාර රට පුරා පැන නඟින්නටත් වූ විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ එකම ගැලවුම්කාරයා ලෙස මහින්ද සමඟ හිට ගන්නට රනිල්ට සිදුවිය. ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස වූයේ ආර්ථික අර්බුදය උපයෝගී කරගනිමින් අවසාන වටයේදී රනිල් ජය කණුව වෙත ළඟා වනු ඇති බවය.

තරුණ අරගලය වඩාත් තීව්‍ර වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලාගිය අතර ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අවසානයේ තරුණ අරගලකරුවන් අතට පත්විය. මේ අල්ලපනල්ලේ ක¾දුළුගෑස් දුමාරය ඉවත් වූ පසු බලන විට අගමැති රනිල් වැඩබලන ජනාධිපති පුටුවේ අසුන්ගෙන සිටියේය. කිසිවකු අපේක්ෂා නොකළ පරිදි එජාපයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයා දැන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයාය.

ලංකාවේ සිදුවන්නේ කුමක්දැයි වටහාගන්නට අපොහොසත් වූ ඉන්දියාව ඉකුත් සතියේ සර්වපාක්ෂික සමුළුවක් කැඳවා ලංකාව සම්බන්ධයෙන් පැය ගණනාවක් සාකච්ඡා කළේය. ලංකාවේ සිදුවන දේශපාලන පරිවර්තනයන් පිටුපස ඉන්දියාව සිටින බවට නැඟෙන චෝදනාව ප්‍රතික්ෂේප කළ ඉන්දීය ආරක්ෂක ඇමැති ජයසංඛර් ලංකාවේ සිදුවන  පරිවර්තනයන් දෙස බලා සිටිනවා මිස ඊට කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජාත්‍යන්තරයට ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් හොඳින් පදම් වී ඇති බවත් තෙම්පරාදු වී ඇති බවත් කියන්නට වෙනත් අටුවා ටීකා වුවමනා නැත. දැන් ජනතාව බලා ඉන්නේ ජනාධිපති රනිල්ගේ වැඩකිඩ දෙසය. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ දිග පළල ගැන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් තවදුරටත් කල් මරන්නට ඔහුට ඉඩක් නැත. රටම පවතින්නේ ලොක්ඩවුන් තත්ත්වයකය. ඉන්ධන අර්බුදය නිසා පාසල්, විශ්වවිද්‍යාල, රෝහල්, රජයේ කාර්යාල තවමත් වසා දමා තිබේ. රටේ මිනිසුන් බහුතරයක් දිවා රෑ පෝලිම්වල නිරාහාරව නිදිවරති. රනිල් වික්‍රමසිංහම දෙසතියකට පෙර පැවැසූ වචනවලින් කියනවා නම් ජනතාව කුසගිනි නිවා ගන්නේ දිනකට එක වේලකිනි.

මේ මොහොතේ සමාජයේ දැවෙන ප්‍රශ්නවලට විස¾දුම් ඉදිරිපත් කළ යුතු එකම මිනිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඔහු ගනු ලබන පියවර කෙරෙහි රටම බලා සිටී. ඔහු අරගලකරුවන්ට මර්දන අණපනත් තුළින්, සහ තුවක්කුවෙන් පිළිතුරු දෙනු ඇතැයි සමාජ මතයක් ගොඩනැඟී තිබිණි.

තමන් ෆැසිස්ට්වාදයට විරුද්ධ බවත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන්ට පක්ෂ බවත් ප්‍රකාශ කළ රනිල් පැය 24ක් යන්නට මත්තෙන් සිකුරාදා අලුයම ගෝල්ෆේස් අරගලකරුවන්ට ආරක්ෂක හමුදා යොදවා පහර දුන්නේය. සති අන්තයේ ජාත්‍යන්තර මාධ්‍ය ජනාධිපතිවරයාගේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක්කේය. ඔහු 80 දශකයේ එ.ජා.ප. පාලනය පිළිබඳ මතකය නැවතත් අලුත් කරමින් සිටී.

රනිල් වික්‍රමසිංහ අරගලකරුවන්ගේ විරෝධය දක්ෂ ලෙස කළමනාකරණය කරන බවටත් අරගලය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක රාජපක්ෂවරුන්ගේ අත්අඩංගුවෙන් මිදීම සඳහා ඔහු සීරු මාරුවට යොදා ගන්නා බවටත් රනිල් සම්බන්ධයෙන් අනාවැකි කියූ දේශපාලන විචාරකයෝ සිකුරාදා අලුයම ප්‍රහාරයෙන් අන්දුන් කුන්දුන් වූහ. රනිල් වික්‍රමසිංහ ඔහුට පුරුදු පරණ පාරේම ඉදිරියට ගියොත් ඔහුගේ එක්සත් ජාතීන්ගේ මහ පුටුවට යන සිහිනය බොඳ වීම වැළැක්විය නොහැකිය.

බුද්ධිසිරි ධර්මප්‍රිය