රනිල්ගේ කරත්තය යන්නේ දකුණට

0
53

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය කරත්තයක දමාගෙන දක්ෂිණාංශික පැත්තට හරවා ගමන් කරන බව පෙනෙන්නට ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

අමාත්‍ය මණ්ඩලයට පත්කර තිබෙන අය පරිණත දක්ෂ මෙන්ම අත්දැකීම් බහුල අය වුණත් කරත්තයට දමාගෙන ජනාධිපතිවරයා තමන්ව ගෙන යන්නේ  කුමන පැත්තටදැයි ඔවුන් නොදන්නා බවද ඒ මහතා පැවැසීය.

ජනාධිපතිවරයාගේ ගමන් මඟ දක්ෂිණාංශික නිසා තමන්ගේ හිතේ තියෙන ඇමරිකා එක්සත් ජනපද ගමන්මඟ ඔස්සේ ඔහු යන බවට සැකයක් මතුවෙන බවද කී මන්ත්‍රිවරයා කරත්තය එසේ දක්ෂිණාංශික පැත්තට රැගෙන යනවා නම් අමාත්‍යවරුන් කෙතරම් දක්ෂ වුණත් වැඩක් වන්නේ නැති බවද සඳහන් කළේය.

අන්තර්කාලීන ආණ්ඩුවක් හදන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ නමුත් ඒ අන්තර්කාලීන ආණ්ඩුව කොහෙද තියෙන්නේ කෙතරම් කාලෙකටද යන්න පිළිබඳව ගැටලුවක් පැන නඟින බවද පැවැසීය.

මීට පෙර ඇමැතිකම් දැරූ පිරිසකටම ඇමැතිකම් ලබාදී ඔවුන්ව කරත්තයේ දමාගෙන ගමන් කිරීමට ජනාධිපතිවරයා සූදානම්ව සිටින බවත් ඔහු ගමන් ගන්නේ කොහාටද යන්න පිළිබඳව ඉදිරි කාලයේදී කාට කාටත් දැකගැනීමට හැකිවනු ඇති බවද නානායක්කාර මහතා වැඩිදුරටත් පැවැසීය.

අමාත්‍ය තනතුරු භාරගන්නා ලෙසට ජනාධිපතිවරයා ආරාධනාවක් කළේද යන්න පිළිබඳව ‘මව්බිම’ ඇසූ විමසුමකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා කියා සිටියේ තමන්ට එවැනි දැනුම්දීමක් නොකළ බවය.

කුමුදු උපුල් ශාන්ත