මේක කුරිරු මිනිස්සු ඉන්න සොඳුරු රටක්

0
156

ජීවත්වීම කියන්නෙත් කලාවක්. ටිකක් ගැඹුරින් සිතා බැලුවොත් මේ ලෝකේ තිබෙන හැමදේමත් කලාවක්. ඒ විධියට ලෝකය දිහා කලාත්මකව බලන්න පුලුවන් ඇස් දෙකක් මිනිහෙක්ට ලැබෙනවා කියන්නේ මොනතරම් භාග්‍යක්ද? ඇසට ඇසක් කියූ නීතිරීති නෙමෙයි මේ ලෝකයේ දේවල් ප්‍රාණවත් කළේ සහ වෙනස් කළේ. ලෝකය වෙනස් කළේ සොඳුරු මිනිස්සු. පවතින හැමදේම වේගයෙන් චලනය වෙනවා. ඒ වේගයෙන් චලනය වෙන සියල්ල එකතු කරල ප්‍රබල විධියේ නිර්මාණයකින් මිනිස්සු ඇද බැඳ තබා ගන්නවා කියන්නේ සරල දෙයක් නෙමෙයි. ඉතින් අද හදගැස්ම හා එක්වන්නේ අධ්‍යක්‍ෂ හසුන් සමීර. අධ්‍යක්ෂවරයා කියන දේ පැත්තකින් තිබ්බොත් ඔබව ඔබ හඳුන්වන්නේ කොහොමද?

අපි හැමෝම පෘතග්ජන මිනිස්සු. අධ්‍යක්ෂවරයා කියන්නේ මැවුම්කරුවෙක් තමයි. නමුත් නිර්මාණකරුවා හෝ අධ්‍යක්ෂවරයා කියන දෙය ගත්තම මම හිතන විධියට ඒකෙ තියෙන සැබෑ අරුත අපිට මුණගැහෙන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් වීම මත. ආර්ට් පීස් එක පවා මුණගැහෙන්නේ එහෙම. අධ්‍යක්ෂවරයා සහ සාමාන්‍ය මිනිසා කියන දෙය එකක් විධියට තමයි මම දකින්නේ. අනික් දෙය මේවා බෙදා වෙන්කරන්න බැහැ. මේක හැඟීම් සමඟ කරන ගනුදෙනුවක්. මේක හැමෝටම නැති විශේෂ මැජික් එකක්. රූප කියවීම හැමෝටම කරන්න බැහැනේ. මම අධ්‍යක්‍ෂ භූමිකාවෙන් පිටත සාමාන්‍ය මනුස්සයෙක්.

මේ දවස්වල ඔබේ වැඩකටයුතු මොනවාද?

මේ දවස්වල මගේ ඇස් කියන ටෙලි නාට්‍ය සතියේ දිනවල 7.30 ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙනවා. තවත් නාට්‍යයක වැඩකටයුතු සිදුවෙමින් පවතිනවා. ඔහොම තමයි මේ දවස් ගෙවී යන්නේ.

මුලින්ම ඇස් ගැන කතාකරමු?

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය අයාලේ ගසා ගෙන යන බවක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. ඉස්සර ටෙලි නාට්‍ය කොච්චර හොඳද වගේ අදහසක් තමයි ප්‍රේක්ෂකයා තුළ තිබෙන්නේ. ඒ කාලයට සාපේක්ෂව තමයි ඒ. අද ඒවා පෙන්නුවොතින් මිනිස්සු කියයි මේ නිර්මාණ මොනවද කියලා. ඇස් කියන්නේ මේ යුගයේ මාස් ඕඩියන්ස් එකට කරපු වැඩක්. මේක තාරුණ්‍යය බේස් කරගෙන හදපු වාණිජමය වැඩක්. අපි අනිවාර්යෙන්ම බහුතර ප්‍රේක්‍ෂකයාට කතා කරන්න ඕනේ. මේ ලැබෙන ප්‍රතිචාර සමඟ ‘ඇස්’ කියන්නේ සාර්ථක නිර්මාණයක් කියල මම හිතනවා.

චලෝ කියන්නේ ප්‍රේක්ෂකයා ඔබව වැලඳ ගත්ත ආදරණීය නිර්මාණයක්. චලෝ ගැනත් කතා කරමු?

චලෝ කියන ටෙලි නාට්‍ය මට මා ගැනම විශ්වාසයක් හදපු නිර්මාණයක්. ඉස්සරහට මම වැඩක් කළොත් ඒක මිනිස්සු වැලඳගනී කියන ආත්ම විශ්වාසය මට චලෝ හරහා වර්ධනය වුණා. චලෝ කියන්නේ දුෂ්කර පළාතක ෆුට්බෝල් ටීම් එකක් වටා ගොඩනැඟුණු කතාවක්නේ. මේක බහුතර ප්‍රේක්‍ෂකාගාරයේ පොදු විඥානයට මාර විධියට මුල් බැස්සා. ඒ නිසාම තමයි මිනිස්සු මේක වැලඳගෙන තාමත් මේ ගැන කතා කරන්නේ. වැඩක් කියන්නේ ප්‍රේක්ෂකයට දැනෙන, හැඟෙන දෙයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වැඩක් නැහැ. මම හිතන්නේ අපි මේ තුළම ඉඳන් තමයි නිර්මාණ කාර්ය ඉටුකරන්න ඕනේ. මම හිතන්නේ දැන් ඒ පරිච්ඡේදය ඉවරයි. දේවල් ඉවර වුණොත් තමයි අලුත් දේකට යන්න පුළුවන් වෙන්නේ. නාවත් දිගට ඇදෙනව කියන්නේ සියල්ල ඉවර වෙනවා. නිමා විය යුතු තැන දේවල් නිමා විය යුතුයි නැත්නම් පැවැත්මක් නැති වෙනවා.

ඔබ දේශපාලනය ඔබේ නිර්මාණයට එකතු කරගන්න විධිය ගැන කියනවා නම්?

දේශපාලකයා සැමවිටම කලාකරුවාට පසුපසින් සිටිය යුතුයි කියලා මම සිතනවා. හොඳ කලා කෘතියකට රටක් වෙනස් කරන්න පුලුවන්. මේ ක්‍ෂේත්‍රය ලස්සනට ගුණාත්මක විධියට නිර්මාණය කළොත් ලෝකයට අපිව විවර කරන්න පුළුවන් විධිය හිතාගන්නවත් බැහැ. දේශපාලකයා කියන්නේ අපි පත්කරලා එවන නියෝජිතයෙක්. එයා අපේ සේවකයෙක්. ඒගොල්ලන්ව මම දකින්නේ රැඟුම්කරුවන් පිරිසක් විධියට. පොලිටික්ස් නිකන් රියල් එක ඇතුළේ කරන ගොන්පාර්ට් රංගනයක් වගේ. දේශපාලනය නිර්මාණයක් තුළ කතා කළ යුත්තේ සියුම්ව. ඒත් ඒ සියුම්දේ ප්‍රබල විධියට දැනෙන්න ඕනේ.

හසුන් සමීරට මොකක්ද ක්‍රීඩාවත් සමඟ තිබෙන බැඳියාව?

ක්‍රීඩාවට මම හරිම කැමැතියි. මම හිතන්නේ නැහැ නැවත ක්‍රීඩාව සම්බන්ධ කරගත්ත නිර්මාණයක් බිහිවෙයි කියලා. ක්‍රීඩාව සහ කලාව මම දකින්නෙත් එකම දෙයක් විධියට. ක්‍රීඩාව කියන්නෙත් කලාවක්. ඒක විශාල විෂයක්. මිනිස්සු ක්‍රීඩාවේ ආර්ට් එක හරියට හ¾දුනාගෙන නැහැ. මොහොමඩ් අලී එක සැරයක් කිව්වා මම සමනලයකු සේ පාළුව ඇවිත් මී මැස්සකු සේ දෂ්ට කරමි කියලා. මොහොමඩ් අලී සුදු හමට එරෙහිව සටන් වදින වෙලාවෙදි එයාගේ යාළුවෝ කිව්වේ පාර අතුගාන ගෑනු වෙනුවෙන් ගහපන්, වීදි ගණිකාව වෙනුවෙන් ගහපන් උඹේ පන්තියේ දුක්විඳින මිනිස්සු වෙනුවෙන් සටන් වදින්න කියලා. ක්‍රීඩාව තුළ තිබෙන දරාගැනීම, විශ්වාසය, බැඳීම්, ශක්තීන් සමඟ බලන විට කලාව සහ ක්‍රීඩාව කියන්නේ එකක්. මෙහෙ ඒකට වුණේ හාත්පසින්ම වෙනස් දෙයක්. කලාකාරයොයි, ක්‍රීඩකයොයි දෙගොල්ලම දේශපාලනයට ආවා. මේ ක්ෂේත්‍ර එකිනෙකට ජෑම් වුණේ නැත්නම් මේ අර්බුදය පේන තෙක් මානෙක නොපෙනෙන්න තිබුණා.

මේ තිබෙන තරගකාරී ටෙලි නාට්‍ය රැල්ල හමුවේ ඔබට තිබෙන අභියෝග මොනවාද?

සෑහෙන ලොකු අභියෝගයක් තිබෙනවා. අපි යම් කන්ටෙන්ට් එකක් නිර්මාණය කරද්දී දරන්න වෙන ප්‍රයත්නය ඉතා බරපතළයි. අපි මොඩර්න් වෙන්න ඕනෙ. අපි ප්‍රේක්ෂකයාගේ ඇස ඉල්ලන වර්ණ රසායනයක් ලබාදෙන්න ඕනේ. මේව ඇත්තටම අධ්‍යක්ෂවරයා හොයල බලන දේවල් නෙමෙයි. ඒවට වෙන රටවල්වල වෙනම ටීම්ස් පවා ඉන්නවා. අපි ඉන්නේ මොනතරම් පල්ලෙහාද. මට මගේ කාර්යටත් එහා කාර්යභාරයන් ගොඩක් කරන්න වෙලා තිබෙනවා. අපිට අපේ ජොබ්ස් පැටලිලා තිබෙන්නේ. ඒ වගේම පවතින රැල්ල හමුවේ අපිට අභියෝග ගොඩක් තිබෙනවා.

සමස්ත අර්බුදය ගැන ඔබේ අදහස කුමක්ද?

ලංකාව සිටින්නේ අතිශය දරුණු අර්බුදයක. නමුත් මේ මොහොත තමයි මොහොත. අපි ඉන්නේ උත්තර නැති ප්‍රශ්නයක. අපේ ගමේ එක කාලෙකට වතුර හිඳෙනවා. වතුර ගේන්න මිනිස්සු ගව් ගණන් දුර ඇවිදන් යනවා. අන්තිමේදී වැව හිඳෙනවා අඩිය පේන මට්ටමටම ඉරිතළනවා. වතුර බින්දුවක්වත් නැතිවෙලා අන්තිම මාළුවත් කොකා ඩැහැගෙන යන මොහොතත් ආවට පස්සේ සියලු දේ ඉවරයි. නමුත් ඊට පස්සේ ගමේ මිනිස්සු එකතුවෙලා පොළොවේ ළිං හාරලා අඟුරු කුඩු ඉහලා, මල් තබලා වතුර අවශ්‍යතාව සපුරගන්නවා. ඒවගේ තමයි මේ අර්බුදයත්. අපි මේක නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.  මේ සිදුවුණු දේශපාලනික විපර්යාසය කියන්නේ වෙස්වලාගත් ආශීර්වාදයක්.

පාලකයා වෙස්වළාගෙන සිටි සිය සළු පිළි ගැලවිලා ගිය නිසා මම මේකට කැමැතියි. මම කැමැති නැහැ මේක විනාශය කරා යනවට. මම මේක සුබවාදී දෙයක් ලෙස දකින්නෙ. මේ යුගයේදී හැමදෙනාම ඒකාවන්ව එකතුවෙලා වැඩකටයුතු කළොත් හොඳ නිර්මාණවලට තමන්ගේ දායකත්වය ලබා දුන්නොත් ඊළඟට බිහිවෙන යුගය ස්වර්ණමය යුගයක් වෙයි. මේ රටවල් කවදාවත් හදන්න බැහැ කියන එක පට්ටපල් බොරුවක්. හැමදේම සුබවාදීව දකින්න පුරුදු වෙන්න ඕනේ. මේ යුගය සමඟ පොරබදල හොඳ නිර්මාණයකට හිත යොදවල ක්ෂේත්‍රයක් විදිහට මේක දියුණු කිරීම තමයි වැදගත්. මේක කුරිරු මිනිස්සු ඉන්න සො¾දුරු රටක්. අපි පටලගෙන තිබෙන්නේ හැමදේම. අපිට පුළුවන් මේක සො¾දුරු මිනිස්සු සිටින සො¾දුරු රටක් කරන්න.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?

මම දැනට ටෙලිනාට්‍ය දෙකක වැඩවලට සූදානම් වෙනවා. ඒ නිර්මාණ වෙනස්ම විධියේ නිර්මාණ වෙයි කියල සිතෙනවා. මගේ සිහිනය තමයි සිනමාකරුවෙක් වීම. මට සිනමාව ගැන තිබෙන්නේ ගැඹුරු අදහසක්. ඇත්තටම ඒක බරපතළ විෂයක්. මම මේ හැමදෙයින්ම ඒක පිළිබඳව බරපතළ විධියට හදාරනවා. ඒක තමයි මගේ සිහිනය. මම ඒ වෙනුවෙන් අරගල කරනවා.

ගිහාන් සචින්ත