මැරුණත් අපි යන්නේ සුබ නැකැතින්මයි

0
614

නැකත, සුබ මූර්ති යන නමින්ද හඳුන්වනවා. මේ සුබ වෙලාවල් කියන එක හුඟක් අතීතයේ ඉඳන්ම ඉන්දියාවේ ජේ‍යාතිෂයේ පැවැතුණු සංකල්පයක්. ඒ කියන්නේ යම්කිසි කාර්යයක් කිරීමට හොඳ වේලාවක් සොයාගත යුතුයි කියන එක. බොහෝ අය දැන් සෑම කාර්යයකටම සුබ වෙලාවක් හොයාගන්න සිරිතක් ඉන්දියාවේ වගේම ලංකාවෙත් පැතිරිලා. හැම කාර්යයක් සඳහාම සුබ වේලාවකින් එය ආරම්භ කළ යුතුයි කියලා මතයක් තිබෙනවා. විශේෂයෙන්ම බෞද්ධ ජනතාව අතර. මේ නිසා දරුවකුගේ උපතේ සිට සිදුවන සියලුම ප්‍රධාන ක්‍රියා සඳහා, එම ක්‍රියා ආරම්භ වන අවස්ථාව තීරණය කරන්න එයට සුබ වෙලාවක් යොදා ගන්නවා.

උදාහරණයක් වශයෙන් මුලින්ම දරුවාගේ කොණ්ඩය කපා දාන්න සුබ නැකැතක් හොයනවා. දරුවාට මුල්වරට ආහාර කවන විට සුබ නැකැතක් හොයනවා. ඊළඟට දරුවාට මුල් වරට අකුරු කියවන විට සුබ නැකැතක් හොයනවා. දරුවා මුලින්ම පාසලට යන විට  ගෙදරින් පිටත් වෙන්න  සුබ නැකැතක් හොයනවා. ඊට පසුව තමන්ගේ ජීවිතයේ නොයෙක් නොයෙක් හොඳ කටයුතුවලදී, විභාගවලට යන වෙලාවෙදි සුබ වෙලාවල් හොයලා ඒ වෙලාවට තමයි ගෙදරින් පිටත් වෙන්නෙ.

ඊළඟට තමන්ගෙ තරුණ කාලයේ විවාහ වන විටත් විවාහ වන දිනය නැකැත් තිබෙන සුබ දිනයක් විය යුතුයි කියලා මතයක් තිබෙනවා. ඒ වගේම එදිනට සිදුවන විවාහ චාරිත්‍ර, පෝරුවට නැඟීම, පෝරුවෙන් බැසීම යන හැම අවස්ථාවේදිම සුබ වේලාවක් හදාගෙන ඒ අනුව තමයි කටයුතු කරන්නේ. අන්තිමට විවාහ වෙලා පිටත් වෙන වෙලාවටත් නැකැතක් හදලා තිබෙනවා. සමහර ප්‍රදේශවල කෙනෙක් මියගියාට පසුව මියගිය කෙනාගේ මෘත දේහය ගෙදරින් පිට කරලා සුසාන භූමියට රැගෙන යන්නත් සුබ වෙලාවක් බලනවා. ඒක ගෙදර අයට සුබ වෙලාවක් එහෙම නැත්නම් ගෙදර අයට අසුබයක් වෙයි කියලා හිතනවා. නැකැත් කියන ඒවා සෑම කාර්යයක් සඳහාම පුදුමාකාර ලෙස බද්ධ වෙලා තිබෙනවා.

මේ නිසා සුබ නැකැතක් හොයන එක පැවරිලා තිබෙන්නේ ජේ‍යාතිෂවේදීන්ටයි. ඒ ජේ‍යාතිෂවේදියෝ අවශ්‍ය කාරණාවට සුබ වෙලාව හෙවත් සුබ නැකැතක් ජේ‍යාතිෂයේ තිබෙන ක්‍රම අනුව හොයලා දන්වනවා. ඒ සඳහා ඒ අය සාමාන්‍යයෙන් ලොකු මුදලක් අය කරනවා. විශේෂයෙන් මඟුල් නැකැත් වැනි දේවල් හදන්න. මෙහි ඉතිහාසය දිහා සොයා බැලීමේදී ඉන්දියාවේ ජේ‍යාතිෂය ආරම්භය වූ මුල් යුගයේදී මෙය භාවිත කරන්නට ඇත්තේ ගොවිතැන් කටයුතු සාර්ථක කරගැනීමට, ගොවිතැන් ආරම්භ කිරීමට බව සමහර දෙනා කියනවා. ගොවිතැන් කටයුතුවලින් පස්සේ තමයි මිනිස්සු වෙනත් වෙනත් කටයුතු සඳහා සුබ නැකැත් යොදා ගන්න ඇත්තේ.

මුල් කාලවලදී සමහර බෝග වර්ග වගා කරන්න හොඳම කාලය මොකක්ද කියලා හොයනකොට සුබ නැකැතක් බලා තිබෙනවා. ජේ‍යාතිෂය නැකැතක් කියලා කියන්නේ, අහසේ ඒ අය බෙදා තිබෙනවා ග්‍රහයන් ගමන් කරන මාර්ගය නැතහොත් චන්ද්‍රයා ගමන් කරන මාර්ගය කොටස් විසිහතකට. එම කොටස් විසිහතෙන් එකක් තමයි නැකැතක් කියලා කියන්නේ. ඒවා ඒ කාලෙදී නම් කරලා තිබෙන්නේ අහසේ යම්කිසි තරුවක් මුල්කරගෙන කොටස් විසිහතකට බෙදලා තිබෙනවා. ඒ නැකැත් විසිහතට බෙදන්න කලින් ග්‍රහයන් ගමන් කරනවා වගේ පෙනෙන පථය ලග්න යනුවෙන් කොටස් ‍ෙදාළහකට බෙදා තිබෙනවා. නැකැත කියන්නේ මේ චන්ද්‍රයා යම්කිසි වෙලාවක අහසේ සිටින කොටසට ලබාදී තිබෙන නම. චන්ද්‍රයා තමයි නැකතේදී වැදගත් වන්නෙ.

චන්ද්‍රයා හොඳ ස්ථානයක සිටින වෙලාවට අපි කරමින් සිටින කාර්යයන් සඵල වෙයි කියලා හිතන එක තමයි මුලින්ම කරලා තිබෙන්නේ. ඊට පසුව ඊට අතිරේක වශයෙන් වෙනත් ග්‍රහයන් සිටින ස්ථානත් සැලකිල්ලට අරගෙන සුබ වෙලාවක් හෙවත් නැකැත් සාදා තිබෙනවා. චන්ද්‍රයා උපයෝගී කරගෙන නැකැත පමණක් නෙවෙයි ලග්නයත් හොයලා  තිබෙනවා. ඒ සියල්ලම හොඳට තිබෙන වෙලාව තමයි නැකැත ලෙස භාවිත කරනු ලබන්නේ. මුලින්ම  ගොවිතැන් කරන කාලයේ වගාකරුවන්ට වගා සඳහා ඒ අය චන්ද්‍රයාගෙන් හොඳ කාලයක් හොයාගෙන තිබෙනවා. අමාවකෙන් පස්සේ ඇති වන කාලය පොළොවෙන් ඉහළ පලදාව තිබෙන බෝග වගා කරන්න සුදුසු බව ඒ  අය සලකා තිබෙනවා. උදාහරණයක් වශයෙන් නිවිති, ගෝවා, තක්කාලි, මෑ වැනි බෝග. ඉන්පසු පුර පසළොස්වකයෙන් පසු කාලයේ මුල් ආශි්‍රතව ඵල හටගන්නා රාබු, කැරට් වැනි බෝග වගාවට සුදුසුයි කියලා හිතලා තිබෙනවා.

ඒ වගේම ඒ කාලයේ මතයක් තිබිලා තිබෙනවා අටවකෙන් පසුව අනෙක් කාලවල වගා නොකළ යුතු කාලයක් ලෙස. ඒ කාලයේදී පොහොර වර්ග සෑදීමට යොදා ගෙන තිබෙනවා. රාශිවලටත් මෙය සම්බන්ධ කළ විට චන්ද්‍රයා යම්කිසි ලග්නවල ඉන්නව නම් ඒ අනුව වඩා සුදුසු බෝගය හොයන්න ඒ අය නැඹුරු වෙලා තියෙනවා. ඒ සඳහා තිබෙන මතය වන්නේ යම්කිසි කාලයක හෝ වකවානුවක චන්ද්‍රයා කටක, මීන, කුම්භ කියන රාශියක සිටිනවා නම් පත්‍ර ආහාරයට ගන්නා බෝග වගාවට සුදුසු බව. චන්ද්‍රයා සිටින්නේ වෘෂභ, කන්‍යා, මකර යන රාශිවල නම් මුල් ආහාරයට ගන්නා බෝග වගාවට සුදුසු බවත්, චන්ද්‍රයා සිටින්නේ මිථුන හෝ තුලා, කුම්භ යන ලග්නයක නම් ඒවා නිසරු කාල ලෙස සලකා ඒ කාලවල වගා කරයුතු සිදු කර නෑ.

ඒ වගේම මේෂ, සිංහ, ධනු ලග්නවල චන්ද්‍රයා සිටින විට නිසරු කාලය ලෙස සලකා වගාවන් සිදුකර නැහැ. මේ විධියට මෙය දියුණු වෙලා වෙනත් ග්‍රහයන් ඉන්නවද කියා නිරීක්ෂණය කර ඒ අනුවත් මෙය තවදුරටත් දියුණු වෙලා තිබෙනවා. වෙනත් ග්‍රහයන් මෙම වෙලාවට බලපානවා, ඒ අනුවත් වෙලාව ගණනය කාලය වෙනස් වනවා, ඒ නිසා සුබ වෙලාවකදී වෙනත් ග්‍රහයන්ගේ බලපෑමත් සලකා බැලිය යුතු බවට මතයක් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව එම පථය ගන්නා වෙලාවෙදි ගුරු, ශුක්‍ර, රවි, චන්ද්‍ර, වගේ ග්‍රහයන් සුබ ග්‍රහයන් ලෙස සලකලා තිබෙනවා. ඒ වගේම කුජ, ශනි ග්‍රහයන් නරක ග්‍රහයන් ලෙසත් සලකා තිබෙනවා. මෙම ග්‍රහයන්ගේ බලවත් කාලවලදී චන්ද්‍රයා සිටියයොත් එය සුබ කාලයක් විධියටත්, නපුරු ග්‍රහයෙක් සිටියොත් එම කාලය අයින් කරලා සුබ කාලයක් ලබා ගන්නවා.

ඒ වගේම විශේෂ යෝග යනුවෙන් මතයක් පැවතුණා. යෝග යනුවෙන් හැඳින්වෙන්නේ ග්‍රහයන් කිහිපදෙනකුගෙන්ම හොඳක් ලැබිලා ඇති වන තත්ත්වය එක් එක් කාර්යයන් සඳහා යෝග්‍ය බවයි. හුඟක් වෙලාවට මවුපියෝ කැමැතියි දරුවට අකුරු කියවන වෙලාව ඉතාමත්ම හොඳ වෙලාවක් වෙනව නම්. එවැනි ශාස්ත්‍රීය කටයුත්තක් ආරම්භ කරන විට ජේ‍යාතිෂයේදී කියනවා සරස්වතී යෝගයේදී එම කාර්යය සිදුකළොත් එයට යොමුවන දරුවාට විශාල සාර්ථකත්වයක් ලැබෙන බව කියනවා. සරස්වතී යෝග ඇති වන ග්‍රහ පිහිටීම් හුඟක් ජේ‍යාතිෂයේදී දක්වලා තිබෙනවා.

නිදසුන් වශයෙන් ජේ‍යාතිෂයේදී දැක්වෙනවා බදාදා දිනයක උදේ කන්‍යා ලග්නය තිබෙන වෙලාවෙ කන්‍යා ලග්නයේ රවි සහ බුධ සිටියොත් ඒ වගේම බුධ ඉන්නෙ කන්‍යා ලග්නයේ මැද කොටසෙ නම් ඒ වෙලාවෙදී සරස්වතී යෝගය තිබෙන වෙලාවක් බව. එහෙම වෙලාවට අධ්‍යාපනය වැනි ශාස්ත්‍රීය කටයුතු ආරම්භ කළහොත් එයින් නිපුණත්වයක් ලබාගත හැකි බවට ජේ‍යාතිෂය තුළ මතයක් පවතිනවා. ඒ නිසා හුඟක් මවුපියෝ තමන්ගේ දරුවන්ට අකුරු කියවන්න එවැනි සුබ යැයි සිතන නැකැත් භාවිත කරනවා.

සමහර වෙලාවල් තිබෙනවා ජේ‍යාතිෂය තුළ කියනවා මේ වෙලාව අසුබයි, මේ වෙලාව ගන්න එපා, මේ ග්‍රහයා මෙතැන හිටියොත් අසුබයි, එසේත් නැතිනම් බ්‍රහස්පතින්දා දවස මේ වැඩේට හොඳ නෑ, සිකුරාදා උදේ හොඳ නෑ වගේ මත තිබෙනවා. ඒ වගේම ජේ‍යාතිෂයේ දක්වනවා සමහර අසුබ වෙලාවල්වල තිබෙන ග්‍රහයෝගවලින් වන විපාක සේරම නැති වන ග්‍රහ පිහිටීම් තිබෙන බව. ඒවා ‍ෙදා්ෂ ලෙස හඳුන්වනවා. ‍ෙදා්ෂ භංග වන වේලාවලුත් ජේ‍යාතිෂයේ දක්වා තිබෙනවා.

උදාහරණයක් වශයෙන් ජේ‍යාතිෂය තුළ කියනවා දවල් කාලයට හිරු හිටියොත් එකොළහේ, රාත්‍රිය කාලයට චන්ද්‍රයා හිටියොත් එකොළහේ, සියලුම ‍ෙදා්ෂ භංග වෙනවා කියලා. එකොළහ කියන්නේ ඒ වෙලාවට තිබෙන  ලග්නයේ ඉඳලා ගැන්නාම එකොළොස් වැනි ලග්නය. ඒ වගේ ‍ෙදා්ෂ භංග වන වෙලාවලුත් ජේ‍යාතිෂය තුළ දක්වා තිබෙනවා. ඒ වගේම ඒ අය කියනවා බුධ ලග්නයේ ඉන්නව නම්, සිකුරු ලග්නයේ ඉන්නව නම්, බ්‍රහස්පති ඉන්නව නම් ඒත් සියලුම ‍ෙදා්ෂ භංග වන බව. මෙවැනි ඉතා සංකීර්ණ ක්‍රමවලින් හැම දේම සලකා බලලා තමයි ජේ‍යාතිෂවේදියෝ නැකැතක් හදන්නේ.

අපි බැලුවොත් ජේ‍යාතිෂවේදියෝ පරිශීලනය කරන පොතක් වන සෑම වර්ෂයක් පාසාම මුද්‍රණය කරන පංචාංග ලිතේ සුබ නැකැත් කවදද තියෙන්නේ කියලා  මාසෙකට සුබ දවස් වශයෙන් තියෙන්නේ දෙකක් තුනක් විතරයි. ඒ වගේම ඒවා දිහා බැලුවම පේනවා ඒගොල්ලො හුඟක් කල් ඉඳන්ම සුබ නැකැත් යොදාගෙන ඒවා මුද්‍රණය කර තිබෙන බව. සාමාන්‍යයෙන් මිනිසුන්ට බලා ගන්න සමහරවිට ජේ‍යාතිෂවේදියෝ ළඟට යන්නේ නැතිවම පංචාංග ලිත ගත්තාම තමන්ට අවශ්‍ය කාර්යය සඳහා සුබ වේලාවක් බලා ගන්න පුළුවන්.

එහි සෑම කටයුත්තකටම සුබ වේලාවක් සඳහන් කර තිබෙනවා. ගොවිතැන් කිරීමට, ගමන් යෑමට, අකුරු කියවීමට, විවාහ වීමට, මහණ වීමට  යනාදී විවිධ කාර්යයන් සඳහා සුදුසු වෙලාවන් දක්වලා තිබෙනවා. ඒව තමයි මිනිස්සු සුබ වෙලාවල් කියලා හිතන්නේ.  මේ සුබ  වෙලාවල්වලට අතිරේකව තිබෙනවා සුබ දිශාවලුත්. ළමයකුට අකුරු කියවනව නම් මේ වෙලාවට මේ දිශාවට යොමු වෙලා අකුරු කියවන්න කියලා තිබෙනවා. සුබ දිශාව හොයන ක්‍රම දෙකක් ජේ‍යාතිෂවේදියෝ භාවිත කරනවා. එක් ක්‍රමයක් වන්නේ චන්ද්‍රයා අනුවයි. චන්ද්‍රයා මේෂ, සිංහ, ධනු යන ලග්නවල සිටිනව නම් නැඟෙනහිර සුබ දිශාවක් ලෙස සලකනවා. වෘෂභ, කන්‍යා, මකර ලග්නවල සිටියොත් දකුණු දිශාව හොඳයි යැයි සලකනවා. මිථුන, තුලා, කුම්භ, මීන ලග්නවල සිටියොත් බස්නාහිර දිශාව යෝග්‍ය  බව සලකනවා. කටක, වෘශ්චික උතුරු දිශාව යෝග්‍ය  බවට යොදා ගන්නවා.

ඒ අනුව සුබ දිශාව සොයන එක ක්‍රමයක් එය. සාමාන්‍යයෙන් ජේ‍යාතිෂවේදියෝ ළඟට ගොස් හෝ පංචාංග ලිත භාවිත කරමින් එක් එක් කාර්යයට සුබ වෙලාවක් බලාගන්න පුළුවන්. එතැනදී ජේ‍යාතිෂවේදියෝ සුබ වේලාවක් කියනවා. පංචාංග ලිතක් බැලුවම පේනවා සමහර වෙලාවල්වලට පරස්පර කටයුතු සඳහාත් එකම දවස, එකම වෙලාව, එකම දිශාව තිබෙන බව. උදාහරණයක් වශයෙන් විවාහ වෙන්න තියෙන දවසේදීම ඒ වෙලාවටම, ඒ දිශාව බලාගෙනම මහණ වෙන්න පුළුවන් කියලත් සුබ නැකැත ලෙස දක්වලා තිබෙනවා. නමුත් ඒවා මිනිස්සු විවේචනයට ලක්කරන්න උත්සාහ කරන්නේ නෑ. මොකද සුබ නැකැතක් පිළිබඳ ඉතාම තදබල විශ්වාසයක් මිනිස්සු තුළ තිබෙන නිසා. මේ විධියට නැකැත හදනවට අමතරව සාමාන්‍ය මිනිසුත් කාල හෝරාව භාවිත කරලා පහසුවෙන් නැකැතක් සකසා ගන්නවා.

මිනිස්සු හිතනවා දවසකට හෝරාව ලෙස එක් එක් ග්‍රහයට වෙන් කළ කාලයක් තිබෙනවා කියලා. එය නිර්මාණය කර තිබෙන්නෙත් ජේ‍යාතිෂවේදියෝ විසින්මයි. ජේ‍යාතිෂවේදියෝ හිතනවා උදෑසන ඉර පායපු වෙලාවේ සිට පැයෙන් පැයට එක් එක් ග්‍රහයන්ගේ නමින් යම් කාලයක් වෙන් කරල තිබෙනවා කියලා. නිදසුනක් වශයෙන් ඉරිදට උදෑසන 6 සිට රවි හෝරාව ලෙස සලකනවා. 7 සිට 8 දක්වා ශුක්‍ර හෝරාව නැති නම් සිකුරුගේ හෝරාව, 8 සිට 9 දක්වා බුධ හෝරාව, 9 සිට 10 දක්වා චන්ද්‍ර හෝරාව, 10 සිට 11 දක්වා සනි, 11 සිට 12 දක්වා ගුරු හෝරාව, 12 සිට 1 දක්වා කුජ, 1 සිට 2 දක්වා රවි හෝරාව, 2 සිට 3 දක්වා නැවතත් ශුක්‍ර හෝරාව, 3 සිට 4 දක්වා බුධ, 4 සිට  5 දක්වා චන්ද්‍ර, 5 සිට 6 දක්වා ශනි හෝරාව, මේ ආකාරයට එකම පිළිවෙළට පැයෙන් පැය ගතවනවා. එම පිළිවෙළ වන්නේ රවි, ශුක්‍ර, බුධ, චන්ද්‍ර, ශනි, ගුරු, කුජ යන පිළිවෙළට නැවත නැවත ගමන් කරනවා. හැම දවසකම ඉරිදට පළමුවැනි පැය තිබෙන්නේ රවිට. ඊළඟට සඳුදා පළමුවැනි පැය තිබෙන්නේ චන්ද්‍රයට. අඟහරුවාදාට තිබෙන්නේ කුජට. බදාදාට තිබෙන්නේ බුධට. බ්‍රස්පතින්දාට තිබෙන්නේ ගුරුට. සිකුරාදාට තිබෙන්නේ සිකුරුට. සෙනසුරාදාට තිබෙන්නේ ශනිට. එතැන් පටන් නැවතත් එකම චක්‍රයට පැයෙන් පැයට එක එක අයට වෙන් කරලා තිබෙනවා. මේකෙදී හොඳ ග්‍රහයකුගෙ හෝරාවෙන් යමක් කිරීම සුබදායක යැයි සිතනවා.

ඒ නිසා ගුරු හෝරාව විවාහය යෝග්‍ය බව සැලකෙනවා, ශුක්‍ර හෝරාව ගමන් බිමන් යන්න, බුධ හෝරාව අකුරු ශාස්ත්‍රය ආරම්භයට, ශනි මහණ වීමට, කුජ සටන්වලට නඩුවලට, රවි ප්‍රධානින් මුණගැසීමට, චන්ද්‍ර සුබ කටයුතුවලට, හොඳයි කියලා මතයක් තිබෙනවා. ඒ නිසා ඕනෑම  දවසක කොයි වෙලාවද සුදුසු, කොයි පැයද සුදුසු කියලා මේ ක්‍රමය අනුව හොයා ගන්න පුළුවන්. පංචාංග ලිත තුළත් මෙම හෝරාව සොයන ක්‍රමය තිබෙනවා. මේ වගේම මෙම හෝරාව තවත් කුඩා කොටස්වලට වෙන් කරන්න අවශ්‍ය නම් එම කුඩා කොටසක් පංචම හෝරාව ලෙස නම් කරනවා. සෑම හෝරාවක්ම විනාඩි 12 බැගින් වූ කොටස් 12 කට වෙන් කරන්න පුළුවන්. එම කොටස්වලටත් එක් එක් ග්‍රහයින්ගෙ නම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන හෝරාවේ තිබෙන ගුණවලට වඩා සූක්ෂ්ම ලෙස ගුණ ලබාගන්නත් මෙම පංචම හෝරාව වැදගත් වෙනවා. ඒ වගේම විනාඩි 12ක සෑම පංචම හෝරාවක්ම විනාඩි හතරෙ ඒවා තුනකටත් වෙන් කරලා තව සූක්ෂ්ම හෝරාව ලෙසත් හඳුන්වනවා. මේ අනුව වඩාත් සුදුසු හෝරාව, මෙම හෝරා ශාස්ත්‍රය අනුව යොදා තිබෙනවා. නමුත් මෙහිදී ග්‍රහයන්ගෙන් පිහිටීම හොයන්නෙ නෑ. එයට යොදා ගන්නේ හෝරාව අනුව වෙනමම ශාස්ත්‍රයක්. මේව තමයි සාමාන්‍යයෙන් සුබ වෙලාව සොයන්න භාවිත කරන ක්‍රම ලෙස සැලකෙන්නේ.

ජේ‍යාතිෂය පිළිබඳව දන්න අය සඳහා තව තව හෝරා සෑදීමේ ශාස්ත්‍රය අඩංගු වෙනමම පොත්පත් තිබෙනවා. නැකැත් සෑදීමේ නොයෙක් නොයෙක් පොත්පත් තිබෙනවා ඒ පිළිබඳව පරිශීලනය කර වැඩිදුරටත් ඉගෙන ගන්න. එය ජේ‍යාතිෂයේ වෙන්ම අංගයක්. ඒවා නවතින්නේ නෑ. මොකද මිනිසුන්ගෙ නැකැත් පිළිබඳව  විශ්වාසයන් දිගටම පෙරදිග රටවල, ඉන්දියාව වගේ රටවල  තිබෙන නිසා.

රාහු කාලය කියන එක හුහක් ප්‍රචලිතයි. නමුත් මෙය සුබ මූර්තියක් නෙවෙයි. රාහු කාලය ලෙස සැලකෙන කිසිම කටයුත්තක් සඳහා නොයෙදිය යුතු වෙලාවක්. සෑම දවසකම ජේ‍යාතිෂවේදියෝ පැයකුත් විනාඩි තිහක් රාහු කාලය ලෙස වෙන් කර තිබෙනවා. මේ රාහු කාලයේදී ජේ‍යාතිෂවේදියෝ කියනවා කිසිම සුබ කටයුත්තක් කරන්න සුදුසු නැහැ කියලා. රාහු කාලයක් ලෙස හැඳින්වුවාට කේතු කාලයක් ලෙස දෙයක් නෑ. අනෙක් ග්‍රහයන්ට තිබෙන හෝරාවට මොකුත් නෑ. නමුත් රාහුට තිබෙනවා රාහු කාලය. රහු කාලය පිළිබඳව සලකන විශාල පිරිසක් ලංකාව තුළ ඉන්නවා. හුඟක් වෙලාවට වාණිජ ක්‍ෂේත්‍රයේ ඉන්න අය රාහු කාලය බලලා සුබ කටයුතු, ව්‍යාපාර ආදිය  කරන්නෙ නෑ. මේ විධියට තමයි සාමාන්‍යයෙන් රාහු කාලය තිබෙන්නේ. එතැනදී සූර්යයා උදාවන වෙලාවෙ හරියටම හොයා ගන්න වෙනවා. මොකද අපි කිව්වොත් රාහු කාලය තිබෙනවා කියලා ඉර පායන විට යම්කිසි වෙලාවක එවිට නිවැරදිව රාහු කාලය හොයා ගන්න සූර්යයා පායපු වෙලාව කීයද කියලා බලන්න වෙනවා.

එසේ නොමැති ඉතා නිරවද්‍යව රාහු කාලය ගණනය කරන්න අමාරුයි. පංචාංග ලිත තුළ රාහු කාලය තිබෙන වෙලාවල් දක්වලා තිබෙනවා. සාමාන්‍යයෙන් පැවැසුවහොත් ඉරිදට පාන්දර 4.30 සිට 6 වන තෙක් රාහු කාලය තිබෙනවා.

සඳුදාට 7.30 සිට 9.00 වන තෙක්, අඟහරුවාදාට 3.00 සිට 4.30 වන තෙක්, බදාදට දවල් 12.00 සිට 1.30 වන තෙක්, බ්‍රහස්පතින්දාට සවස 1.30 සිට 3.00 වන තෙක්, සිකුරාදට රාත්‍රි 10.30 සිට 12.00 වන තෙක්, සෙනසුරාදට 9.00 සිට 10.30 වන තෙක් මේ විධියට දවසකට පැය එක හමාරක් රාහු කාලය තිබෙනවා. සූර්යයා පායන්නේ යම්කිසි දවසක 6.30ට නම් මේ වෙලාව තව විනාඩි පහළොවකින්  එහා මෙහා කරගන්න සිදුවනවා. රාහු කාලය කිසිම වැඩකට යෝග්‍ය නොමැති කාලයක් ලෙස ජේ‍යාතිෂය තුළ පැහැදිලිවම දක්වා තිබෙනවා.

ඒ නිසා නැකැත් හදන අයත් අනෙක් ග්‍රහ පිහිටීම් අනුව නැකැතක් යම්කිසි වෙලාවක තිබුණොත් ඒ වෙලාව රාහු කාලය නම් ඒක ගන්නෙ නෑ. ඒ නිසා රාහු කාලයේ විශේෂ වැදගත්කමක් තිබෙනවා. නැකැත් හදන අයත් මේ රාහු කාලය බලලා තමයි නැකැත ස්ථිර කරන්නෙ. ඒ අය හදපු ග්‍රහ පිහිටීම් අනුව තිබෙන කාලය මෙම රාහු කාලයට අයිති නම් එය හොඳ වෙලාවක් ලෙස සලකන්නෙ නෑ. ඒ වගේම කොයිතරම් මෙය ප්‍රචලිතද කියනව නම් ඉන්දියාවේ දිනපතා පුවත්පත්වල රාහු කාලය පවතින වෙලාව සඳහන් කරනවා. එය දැන ගන්න හුඟක් අයට ඕනකමක් තිබෙනවා. ලංකාව තුළත් රාහු කාලය පිළිබඳව සලකන බව එදිනෙදා අද්දැකීම් තුළින් සමාජයේ සිදුකරන ක්‍රියාකාරකම් තුළින් දකින්න පුළුවන්.

පොදු වශයෙන් නැකැත් සඳහා පුද්ගලයන් නැඹුරු වීම දිහා බැලුවම පේනවා බෞද්ධ ආගමේ මේවාට විරුද්ධව තමයි බුදුන් දේශනා කර තිබෙන්නේ. බ්‍රහ්මදාල සූත්‍රයේ ඒ පිළිබඳව දක්වලා තිබෙනවා. මිථ්‍යා විශ්වාස, ග්‍රහ බලපෑම, තරු පිළිබඳව විශ්වාස කරන්න එපා කියලා. ඒ වගේම තව සිද්ධියක් තිබෙනවා බුදුන් යම්කිසි දවසක භික්ෂුවකට කතා කර තිබෙනවා. යම් දිනයක පැමිණෙන ලෙස පණිවුඩයක් යවා තිබෙනවා. ඒ වුණත් ඒ භික්ෂුව බුදුන් මුණ ගැහෙන්න පැමිණිලා නෑ.  එයට හේතුව පිළිබඳව ඇහුවම ඒ භික්ෂුව කියා තිබෙන්නෙ එම වෙලාව අසුබ වෙලාවක් නිසා ආවෙ නෑ කියලා. ඊට පසු බුදුන් කියලා තිබෙනවා “තාරකාවලට කුමක් කළ හැකිද?”  කියා.

නියම වෙලාවට නියම කාර්යය නොකිරීම නිසා පරිහානියට පත්වන බව දේශනා කර තිබෙනවා. ඒ ආකාරයේ තත්ත්වයක් උඩ මේ බෞද්ධාගමට කොයිතරම් දුරට හින්දු මත පැතිරිලා තිබෙනවාද කියන එක අපිට හිතාගන්න බෑ. ඒ වගේම අපේ රට දිහා බැලුවම ඉතිහාසය දිහා බැලුවමත් පේනවා රාජ්‍ය පාලනය සඳහා ඡන්දයක් පැවැත්වෙනව නම්, තමන් ගෙදරින් පිටවන වෙලාවක් බලලා පිටවන බව පුවත්පත්වල පවා වාර්තා වෙනවා. එහෙම කළත් ඒ අය පැරදිලත් තිබෙනවා. ඒ තරම් දුරට ලංකාව තුළ ජේ‍යාතිෂය පැතිරිලා තිබෙනවා.

සුබ වෙලාවක් කියන එක විද්‍යාත්මකව සොයාගෙන නෑ. සූර්යයා වටේට ගමන් කරන ග්‍රහයින් පෘථිවිය සමඟම ගමන් කරනවා. ඒවා ගමන් කරන්නේ යම්කිසි නියත වේගයකින් කාලයකට අනුව. ඒ වගේම අපි අහස දිහා බැලුවම පෙනෙන දර්ශනය සැබෑ දර්ශනය නොවන බව අපි දන්නවා. ජේ‍යාතිෂවේදීන්ගේ මතය වන්නේ මේ ලෝකය පැතලියි, ලෝකය වටේට සූර්යයා ඇතුළු ග්‍රහයන් ගමන් කරනවා, තරු පද්ධතියත් පෘථිවිය වටා ගමන් කරන බවයි.

ඒ අනුව තමයි ඒ අය පෘථිවිය කේන්ද්‍රයක් කරගෙන පලාපල හදන්නේ සහ ග්‍රහයන් සිටින ස්ථානය අනුව සුබ අසුබ යනාදිය ප්‍රකාශ කරනු ලබන්නේ. නමුත් එසේ පිහිටීමක් කොහෙවත්ම නෑ. යම්කිසි ග්‍රහයෙක් යම්කිසි තරු පද්ධතියක් පසුබිම් කරගෙන ඉන්නව නම් සහ එය අපේ ඇසට පෙනෙනවා නම් එය ඡායාවක් පමණයි. නමුත්  එතැන එම ග්‍රහයා නෑ. ග්‍රහයා තුලා කියන පසුබිමේ සිටියොත්, අපිට පෙනුනට තුලා කියන තාරකා සමූහය ග්‍රහයා ඉන්නවාට වඩා ආලෝක වර්ෂ සීයක්, දෙසීයක් හෝ ඊටත් වඩා වැඩි ගාණක දුරකින් තමයි තරු තිබෙන්නේ.

එතරම් අෑත තිබෙන තරු සමූහයකින් ග්‍රහයන්ගේ පථය අනුව කොහොමද හොඳ කාල, නරක කාල කියන්නෙ? විද්‍යාත්මක පදනමක් කියන දේ නොදන්නා නිසා, මෙතරම් විද්‍යාව දියුණු යුගයක පවා තවමත්  ග්‍රහයන් කියන්නේ මොනවාද, ඒවා ගමන් කරන්නේ කොහොමද, ඒව තියෙන තැන වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතුවට ඒවායෙන් වන පලාපල කියලා එකක් නෑ. දුර අනුව පමණයි ගුරුත්වාකර්ෂණ වෙනස් වෙන්නෙ. හොඳ වෙලාවක් කියන එක විද්‍යාත්මකව තිබෙන්න බැරි දෙයක්. නරක වෙලාව, හොඳ වෙලාව මන–කල්පිතව මිනිසුන්ගෙ මවා ගැනීම පමණයි. ඒ නිසා ඒවා පිළිබඳව සැලකීම නිෂ්ඵල දෙයක්. එයින් සිදුවන්නේ තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේදී සිදුකිරීමට නොහැකි වීම පමණයි.

රමෝද් ජයවර්ධන

සමාජ විද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර