මාකෝස්ලාගේ දුෂ්ට අතීතය වළලන්න දෙන්න බෑ

0
196

වරක් බලයේත් ඒ හා බැඳුණු වරප්‍රසාදවලත් රස දැනුණු පාලකයන්ට මෙන්ම ඔවුන්ගේ දරු පවුල්වල උදවිය නැවත බලය ඩැහැගැනීමට බොහෝවිට උත්සාහ කරනු දැකගත හැකිය. අප රටේද ඒ සඳහා නිදසුන් ඕනෑ තරම් තිබුණද මේ කතාව පිලිපීනයෙනි. පිලිපීනයේ ධනය සොරාකෑ ජනතාව පීඩාවට පත් කළ කෘෘර ඒකාධිපති පාලකයකු ලෙස ලොවම හඳුනාගත් ෆර්ඩිනඩ් ඊ. මාර්කෝස්ට (ජේ‍යෂ්ඨ) අවසානයේ සිය බිරිය වන ඉමෙල්ඩා මාර්කෝස් සමඟ 1986දී රටින් පලායන්නට සිදුවිය.

දෛවයේ සරදමකින් මෙන් ඉකුත් මැයි මාසයේ පැවැති මැතිවරණයෙන් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ජනාධිපති ධුරයට පත්වීමට ජේ‍යෂ්ඨ මාර්කෝස්ගේ පුත් කනිෂ්ඨ මාර්කෝස් නොහොත් බොංබොංට හැකිවිය. ජනතාවගෙන් බහුතරයකට අතීතය අමතක වූවාක් මෙන් මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ එම ජනතාව හදිසියේ සිහි එළඹියාක් මෙන් කලබලයටත්, භීතියටත් පත්ව සිටින බව CNN පුවත් සේවය වාර්තා කර තිබේ.

පිලිපීන ජනතාව දැන් මෙසේ බියට පත්ව ඇත්තේ වත්මන් පාලකයා වන ජනාධිපති කනිෂ්ඨ මාකෝස් නොහොත් බොංබොං සිය පියාගේ දුෂ්ට මර්දනකාරී පාලන සමය පිළිබඳව ඇති තොරතුරු වෙනස් කිරීමට ඉඩ ඇති බවට මතුවූ සැකය හේතුවෙනි. 1965-1986 දක්වා පැවැති ජේ‍යෂ්ඨ මාර්කෝස්ගේ පාලන සමයේ තොරතුරු ඉතිහාසයෙන් මකා දමාවිය යන බියෙනි.

ජනතාවට දුෂ්ට පාලකයන් කළ කී දෑ අමතකව ඔවුන්ගේ ජාන පරම්පරාව ඉදිරියට ගෙන යන දූ පුතුන් බලයට ගෙන එන්නාක් සේම සත්‍ය ඉතිහාසය වසන් කිරීමද හැමදාම සිදුවන්නකි. රටක ඉතිහාසය විකෘති වීමක් පිළිගැනීමට බොහෝදෙනා මැළිවෙති. එහෙත් අප රටම නිදසුනකට ගත්විට අප දන්නා ඉතා මෑත ඉතිහාසය පවා යුද ජයග්‍රහණය සම්බන්ධ සත්‍ය පවා නොයෙක් හේතු කාරණා මත වෙනස්ව ඇති බව වටහා ගැනීම අසීරු නැත.

කනිෂ්ඨ මාකෝස් හෙවත් බොංබොංගේ පදවි ප්‍රාප්තියත් සමඟ ඔහුගේ පියාගේ දුෂ්ට, ඒකාධිපති පාලන සමය ගැන සත්‍ය සටහන් අකා මකා දැමීමේ උත්සාහයක් ගැන බියක් පිලිපීන ජනතාව තුළ ඇතිවීම එහෙයින් සහේතුකය. මේ බිය නිසාම ජේ‍යෂ්ඨ ෆර්ඩිනැන්ඩ් ඊ. මාර්කෝස්ගේ ඒකාධිපති පාලන සමය ගැන ලියැවුණු පතපොත එක්රැස් කරගෙන සුරක්ෂිත කිරීමේ නව ප්‍රවණතාවක් පිලිපීනය තුළ මතුව තිබෙන බව CNN පුවත් සේවය පෙන්වා දෙයි.

කැත්ලීන් මැග්රමො විසින් CNN පුවත් සේවයට ලියා ඇති Filipinos are buying books to preserve the truth about the Marcos regime යන සිරස්තලයෙන් යුතු ලිපියෙන් ඇය පෙන්වා දෙන්නේ ජේ‍යෂ්ඨ මාකෝස්ගේ 21 වසරක පාලනය ගැන ලියැවුණු පොත් මිලදී ගන්නා පිලිපීන ජනතාව පිලිපීනයේ සත්‍ය ඉතිහාසය සුරක්ෂිත කරගැනීමේ දැඩි පරිශ්‍රමයක ඕනෑකමින් නිරතව සිටින බවයි.

ජේ‍යෂ්ඨ මාකෝස්ගේ දුෂ්ට පාලන සමය ගැන ලියැවුණු පොත් කියැවීමට ඔහුගේ පුතුගේ ආගමනය සමඟ පිලිපීන ජනතාවට හුදු කැමැත්තක් ඇතිවී නම් ඔවුන් කියැවීම සඳහා ගන්නේ එක් පොතකි. නමුත් දැන් පිලිපීන ජනතාව එවැනි පොත් මිලදී ගන්නේ එකවර පොත් 2කට වැඩි ගණනකි. එසේ නැතිනම් 5ක් හෝ 10කි. ජේ‍යෂ්ඨ මාකෝස්ගේ පාලන සමය පිළිබඳ ලියැවුණු පොතපත සඳහා ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර පොත් ප්‍රකාශකයන් එම පොත්වල නව මුද්‍රණ එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බවද ලේඛිකා කැත්ලීන් මැග්රමෝ සඳහන් කරයි.

ඇටීනියෝ ඩී. මැනිලා විශ්වවිද්‍යාලයීය ප්‍රකාශන ආයතනයේ ප්‍රධානි ඇල්මිරා මැන්ඩ්‍රරියාඕට අනුව පිලිපීන ඉතිහාස පොත් සඳහා ඉහළ ඉල්ලුම මැයි 09දා මැතිවරණයෙන් කනිෂ්ඨ මාකෝස් ජයගැනීමත් සමඟ ඇතිවූවකි.

ඒකාධිපතිත්වයට එරෙහි විවේචන ඇති සාහිත්‍ය තහනමට ලක්කරයි යන බියක් එකපාරටම ජනතාවට ඇති වුණා. එනිසා ඔවුන් මේ පොත් මිලදී ගන්නේ පුළුවන් වෙලාවේ මිලදී ගෙන ඒවා සුරක්ෂිත කිරීමටයි යනුවෙන් අල්මිරා CNN පුවත් සේවයට කියා ඇත.

ඒකාධිපති මාර්කෝස්ගේ පාලනය යටතේ පැවැති පිලිපීනයේ අඳුරු යුගය සහ යුද නීතිය ගැන ලියැවුණු මාතෘකාවලින් යුක්ත වූ පොත් 10ක් පමණ එම විශ්වවිද්‍යාලයීය පොත්හලින් මේ වනවිට විකිණී අවසන් බවද ඇය කියයි.

වැඩි වශයෙන්ම විකිණුනු Ricardo Manapat විසින් රචිත Some are smarter than others. The History of Marcos ‘Crony Capitalism’ Primitivo Mijares විසින් රචිත ‘The Consugal Dictatorship Of Ferdinard and Imelda Marcos යන ග්‍රන්ථයත් මෙන්ම Liwayway Areeo Bautista විසින් රචිත ‘Canal de la Reina’ යන ග්‍රන්ථයද මේ වන විට නැවැත මුද්‍රණයට භාරදී ඇති බවද අල්මීරා පවසා ඇත.

ජූනියර් මාකෝස් බලයට පත්වී දින කිහිපයක් ගත වෙද්දී Adarna House නමැති පිලිපීන කලාකරුවකු සතු ප්‍රකාශන ආයතනය මාර්කෝස් රෙජීමය ගැන ලියැවුණු පොත් 5ක් එකට බැඳ නැවත කිසිදා නොලැබෙන එකතුවක් යන අරුත දෙන # Never Again Bundle නමින් 20%ක මට්ටමක් සහිතව සිය පාඨකයන්ට ඉදිරිපත් කළේය. දින කිහිපයක් යද්දී එම පොත් කට්ටලයේ විකිණීම් අහස උසට ඉහළ ගිය අතර පෙර ඇණවුම් පොරොත්තු ලේඛනයද ඉහළ යන්නට විය. ඔවුන්ට එම පොත් කට්ටලය ලබාදීමට සති අටක් පමණ යා හැකි බවට ප්‍රකාශයක් නිකුත් කිරීමට එම ප්‍රකාශන සමාගම පසුව කටයුතු කර තිබිණි.

එම ප්‍රකාශන සමාගමේ පොත් කට්ටලය පාඨක ආකර්ෂණය දිනාගත් ආකාරයටම පිලිපීන බුද්ධි සේවාවේ අවධානයද යොමු කරගෙන තිබුණු බව CNN ලේඛිකා කැත්රින් කියයි.

පිලිපීන ජාතික බුද්ධි සේවා සම්බන්ධීකරණ නියෝජිතායතනයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් පෝල් මොන්ටියාගුඩෝ ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ‘පිලිපීන ළමයින් රැඩිකල් කිරීමට කටයුතු කරනවා’ යනුවෙන් Adarna House ප්‍රකාශකයන්ට චෝදනා කර තිබිණි.

හොංකොං හි වාසය කරන එම ප්‍රකාශන සමාගමේ ගනුදෙනුකාරියක වන වැනීසා ඇය සිටින නගරයේ කණ්ඩායමක් සමඟ මාකෝස්ගේ පාලන සමය ගැන ලියැවුණු පොත් ඇණවුම් කිරීමට කටයුතු කර ඇත. මාකෝස්ගේ දේශපාලන නඩය ඔවුන්ගේ නම් සුද්ද කර ගැනීමට ඉතිහාස පොත් වෙනස් කිරීමට හෝ මාධ්‍ය ඉලක්ක කිරීමට බලනු ඇති බව ඇය CNN පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

අපට දැනුවත් වීමට මෙන්ම යුක්තිය සඳහා සටන් කිරීමට අපට ඇති පුංචි මාර්ගයක් තමයි මෙම පොත් ඊළඟ පරම්පරාවට ලබාදීම යැයි ඇය පවසා ඇත්තේ ඇයගේ කණ්ඩායම් ඇණවුමේ පළමු කොටස ජුනි මාසයේදීම ලැබුණු බව කියමිනි.

කනිෂ්ඨ මාර්කෝස්ගේ ආගමනයත් සමඟ නිදහස් මතධාරීන් අතර භීතියක් පැතිරෙමින් තිබේ. කනිෂ්ඨ මාකෝස් වැඩ භාර ගැනීමට දිනකට පෙර නොබෙල් සම්මානලාභී මාරියා රෙසා ඇයගේ Rappler නම් පුවත් සේවය වසා දැමුවේ ආණ්ඩුව එය වසා දැමීමට නියෝග කළ බව කියමිනි. ඉතිහාස මහාචාර්යවරයකු වන මිෂෙල් පැන්ටේද කනිෂ්ඨ මාර්කෝස් ඔහුගේ පියාගේ අඩිපාරේ ගමන් කරමින් ඉතිහාසඥයයන්, විද්වතුන් සහ මාධ්‍යවේදීන්ගේ කටයුතු නීති විරෝධී බවට පත් කරනු ඇති බවත් ඉතිහාස පොත් නැවත ලිවීමට කටයුතු කරනු ඇති බවටත් සැක පහළ කරයි.

පිලිපීන අභිලේඛන විද්‍යාඥයකු වන කාර්මෙලො ක්‍රිසන්ටෝ මානව හිමිකම් උල්ලංඝනය වූවන්ගේ අනුස්මරණ කමිටුවේ ප්‍රධානියාද වන අතර ජේ‍යෂ්ඨ මාකෝස්ගේ ඒකාධිපති පාලනය ගැන සාක්‍ෂි දරන දැනට ජීවත්වන පුද්ගලයන් 11,103කගේ සාක්කි ඩිජිටල්කරණය කොට සුරක්‍ෂිත කිරීමට යොමුව සිටී.

මෙසේ පිලිපීනයේ බොහෝ දෙනා අද ස්වේච්ඡාවෙන්ම ඉදිරි පරම්පරාව සඳහා සත්‍ය ඉතිහාසය සුරක්‍ෂිත කිරීමට වෙහෙස දරන්නේ ඒකාධිපතිත්වයේ දුෂ්ට මුහුණුවර ඔවුන් දැක ඇති බැවිනි. මෙම පිලිපීන ජනතාවට සත්‍ය ඉතිහාසය රැක ගැනීම සම්බන්ධයෙන් බියක් ඇති කර ඇත්තේද ජනාධිපති පදවියට පත්වූ කනිෂ්ඨ මාර්කෝස් හෙවත් බොංබොංමය.

ඉකුත් 2020 වසරේ ඔහු ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදී ඔහුගේ මවුපියන්ගේ දූෂිත ම්ලේච්ඡ පාලන යුගය ගැන ලියැවී ඇති පාඨශාලා පොත් හා ලියැවිලි සංශෝධනය කිරීමේ අභිලාෂය පැහැදිලිව සඳහන් කර ඇත.

‘අපි ඒ යුගය ගැන වසර ගණනාවක් තිස්සේ කතා කරනවා’ යැයි කියූ කනිෂ්ඨ මාර්කෝස් බලයේ සිටි පාලකයන්ට චෝදනා නඟා ඇත්තේ ඔහුගේ පියාගේ මරණයෙන් පසු දරුවන්ට බොරු උගන්වමින් සිටිනවා’ යැයි කියමිනි.

මානව හිමිකම් සංවිධානයන්ට අනුව 1965-1986 දක්වා පැවැති මාර්කෝස් පාලන සමය තුළ දස දහස් ගණන් මිනිසුන් වධහිංසාවන්ට, අනීතික සිරදඬුවම්වලට සහ ඝාතනයන්ට ලක් වූයේ ඇත්ත කතා කිරීමේ හා ඇත්ත තේරුම් ගැනීමේ වරදටය.

නැඟී ආ ජන විරෝධය මැද 1986දී රටින් පලාගිය මාර්කෝස් 1989දී මියගියේ අමෙරිකාවේදීය.බොහෝ සුඛෝපභෝගී බඩු බාහිරාදිය එකතු කිරීම ගැන ජනතා කෝපයට පාත්‍රව සිටි ඔහුගේ බිරිය ඉමෙල්ඩා මාර්කෝස්ද ඔහු සමඟම මවුබිමෙන් පලාගියාය. මේ වන විට ඇය 93 හැවිරිදි වියේ පසුවන අතර පිලිපීනයේ මැනිලා නුවර වාසය කරන්නීය.

රු කාරියවසම්