මහරහතුන් දස දහසක් වැඩසිටි උතුම් පුදබිම දිඹුලාගල සෙනසුන

0
17

මෙවර සංසාර අතිරේකය තුළින් අප ඔබ වෙතට ශ්‍රී ලංකාවේ අති සුන්දරතම ස්ථානයක පිහිටා තිබෙන තවත් එක් ආරණ්‍යය සේනාසනයක් පිළිබඳව විස්තර කීමටයි මේ සූදානම. මෙම ආරණ්‍ය සේනාසනය නමින් ඓතිහාසික දිඹුලාගල  ආරණ්‍ය සේනාසනයයි” මෙම ආරණ්‍ය සේනාසනය ජනී ජනයා අතර වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ “මහරහතුන් වහන්සේලා දස දහසක් වැඩ සිටි ආරණ්‍ය සේනාසනය” යන නමිනි.

මේ ආදී විශේෂිත වූ ඓතිහාසික වටිනාකම් රාශියක් නිසාවෙන් එදා සිට අද දක්වාම මෙම ආරණ්‍ය සේනාසනය බෞද්ධ _අබෞද්ධ සියල්ලෝම අතරම මහත් කීර්තියටත් ගෞරවයටත් පත්ව තිබේ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය තුළ යෝගාවචර භික්ෂුන් වහන්සේලා සඳහා භාවනා කුටි සක්මන් මළු, විහාර මන්දිර, ආගන්තුක භික්ෂුන් වහන්සේලා සඳහා නිවාස, පත්තිරිප්පුව, ඝන්ඨා කුටි, ස්තම්භකය, පිරිත් මණ්ඩප්ප. දාන ශාලාව, මුළුතැන්ගෙය, පිරිවෙන් ශාලා. ලැඟුම් හල් යන අංගයන් වර්තමානය වන විට තවත් වැඩි දියුණුකොට ඉදිකිරීමට කටයුතු සංවිධානය වෙමින් පවතී.

වැව් බැඳි රාජ්‍ය යන විරුදාවලිය ලත් අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි කීර්තිමත් පුදබිමක් වන දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 23ක් පමණ දුරින් මහවැලි ගඟෙන් එතෙරවයි. පොළොන්නරුවේ සිට මනම්පිටිය දියකාන හරහා ගමන්කොට ඉතාම පහසුවෙන් මෙම ස්ථානයට ළඟාවිය හැකියි. මෙම මාර්ගය දිඹුලාගල නගරය පසුකොට සිරිපුර දෙහිඅත්තකණ්ඩිය හරහා මහියංගණය දක්වා විහිදී යයි.

පොළොන්නරුව ප්‍රදේශයට අභිමානයක් සුන්දරත්වයක් එක් කරන්නා වූ දිඹුලාගල කන්ද පුරාණයේදී උදුම්බරගිරි හා ධූමරක්ඛ පව්වත යන නම්වලින් ද හැඳින්වූ බව මහා වංශයේ සඳහන් වේ.

එදා මෙන් අදටත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පූජනීය භූමියකි. දැනටද දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් මෙම ස්ථානයට පැමිණීමද සුවිශේෂී සලකුණකි.

පෙර සඳහන් කළ පරිදි එකල අතීතයේදී ධූමරක්ගල පර්වතය උඳුම්බරගිරි නමින් හැඳින් වූ ඓතිහාසික පුලතිසි පුරවරයේ ඉතාම අභිමානවත් ආකාරයට නැඟී සිටි දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනුයේ අපවත් වී වදාල මාතර කිතලගම ශ්‍රී ශීලාල කර සංඝ පීතෘවරයාණෝය.

මෙම දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටුවීමට පෙර මෙම ස්ථානයේ කඳු පාමුල අවට වට පිටාවේ පිහිටා තිබූ ලෙන්වල වාසය කළ ඇත්තෝ වූයේ අපගේ ආදී වාසීන්ය.  එවකට ආදී වාසී නායක තැන වන මිල්ලානාගේ වාසභවන වූයේ වත්මනේදී ජනී ජනයාගේ වැඳුම් පිදුම්වලට ලක්වන බුද්ධ මන්දිරය පිහිටා ඇති ලෙනය.

අතීත ජනකතාවලට අනුව භාෂා 18ක් පමණ ඉගැන්වූ ස්ථානයක් වන ඓතිහාසික නාමල් පොකුණ රජමහා විහාරය පිහිටා ඇත්තේද මෙම කඳු පන්තිය මධ්‍යයේමය.

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අද වන විට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජනවර්ගයන්ගේ වන්දනීයත්වයට පත්ව ඇත.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විශාල ගල්ලෙන් කුටියක් තුළ විශාල පිරිත් මණ්ඩපය පිහිටා ඇති අතර 1995 මැයි 26 වැනි දින දිඹුලාගල ස්වාමින්වහන්සේ ත්‍රස්තවාදී වෙඩි පහරින් අපවත් වූයේද මෙම ස්ථානයේදීය.

විවිධ ආගමික කුල දරුවන් පැවිදි කරවූ පුණ්‍ය භූමියක් ලෙසත්, භාෂා 18ක් පමණ ඉගැන්වූ ඉපැරැණි විශ්වවිද්‍යාලයක් ලෙසත් මෙම ආරණ්‍ය සේනාසනය වන්දනීයත්වයට පත්වේ.

දිඹුලාගල කඳු පර්වතය තුළ කිසි දිනෙක නොසිඳෙන ඔෟෂධ දිය පොකුණේද ඇති බව පුරා වෘත්තවල සඳහන් වේ. ගිලන් වූ රෝගීන් සහ ගිලන් වූ භික්ෂූන් වහන්සේලා සුවපත් කිරීමද  එදවස මෙම ස්ථානයේදී සිදුව ඇත. තවද ගල් කටාරම් කෙටූ ලෙන් 500ක් පමණ ඇති බවද තවදුරටත් පුරාවෘත්තවල සඳහන් වේ.

එසේ නම් පින් කැමැති ඔබටද දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගැනීමට හැකියාව ඇත. නමුත් එහිදී තැනට සුදුසු ආකාරයට සුදුසු සුදු ඇඳුමකින් සැරසී මෙම ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගන්නා ලෙසත් ඔබට මතක් කොට සිටිය යුතුයි. තවද බණ භාවනා ආදිය සඳහා සම්බන්ධ වීමටත් අනෙකුත් වැඩසටහන් පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමට ඔබත් කැමැති නම් පහත දුරකථන අංකයන් මඟින් තොරතුරු දැනගත හැකියි.

දුරකථන අංක

027 5684701 _ 077 5360279

දිනූෂා මනෝරි නිශ්ශංක