මහජන සාමය කඩකරන්න කිසිවිට ඉඩදෙන්නේ නෑ

0
34

අන්අයගේ අයිතිවාසිකම්වලට බාධා වන අයුරින් ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී විරෝධතාවන්වල යෙදීම නිසා මහජන සාමය කඩවන ලෙස සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට බාධාවන අයුරින් කටයුතු සිදුකරන්නේ නම් එවැනි අවස්ථාවලදී මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කිසිවිට පසුබට නොවන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

පොලිසිය යනු සමාජයේ නීති ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන ආයතනයක් බවත් එයට අභියෝග කිරීම තුළ සමස්ත සමාජයේම නීතිය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක්වන බවත් ඒ තුළ සාමය අගයන නීතිගරුක පුද්ගලයන්ට අගතියක් වන අතර ශ්‍රී  ලංකාවාසී සියලු මහජනතාවගෙන් පොලිසිය නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ විරෝධතා දැක්වීම සාමකාමීව දක්වා නීතියේ රාමුව තුළ කටයුතු කරන ලෙස බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රැඳී සිටි නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මෙසේද සඳහන් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති විරෝධී ලෙස රැඳීසිටි පිරිස 2022.07.22 දින අලුයම් කාලයේදී ඉන් ඉවත් කිරීම ශ්‍රී  ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් සිදුකරන ලදී.

එම අවස්ථාවේ එහි රැඳී සිටි පිරිස් ගොඩනැඟිල්ලෙන් පිටතට යැවීමට කටයුතු කරන ලද අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපස ප්‍රධාන ‍ෙදාරටුව හා එම ‍ෙදාරටුවට බාධා කරමින් අවට  රැඳී සිටි පිරිසද එම ආකාරයට ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයට බාධාවක් වන අයුරින් පදික වේදිකාවේ තාවකාලිකව ඉදිකර තිබූ කූඩාරම්ද ඉවත් කිරීමට කටයුතු කරන ලද අතර මෙහිදී සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගැනීමද සිදුවිය.

මෙම විරෝධතාකරුවන් පිරිස 2022.07.09 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රැඳී සිටිමින් එය ඔවුන්ගේ පරිශ්‍රයක් බව හඟවමින් එම ස්ථානයට යන ආරක්ෂක නිලධාරීන්ට පවා බාධාකරමින් පරිභව කරමින් කටයුතු කළ අතර පොලිස් නිලධාරීන් පවා ඔවුන් සිටින ස්ථානවලට ගිය අවස්ථාවලදී එම නිලධාරීන්ටද ඔවුන් සිටින ස්ථානවලින් ඉවත්වෙන ලෙසට දැනුම්දෙන අවස්ථාද දක්නට තිබිණි. රාජ්‍ය පාලනයේදී ඉතාම වැදගත් මෙන්ම භාරදුර කාර්යයක් ඉටුකරන කාර්යාල පද්ධතියක් මෙම විරෝධතාකරුවන් විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන තිබිණි. රටේ මහජනතාවගේ අවශ්‍යතාවන් සඳහා විවිධ තීන්දු තීරණ ගනු ලබන කාර්යාල පද්ධතියෙන් සාමකාමීව ඉවත්වන ලෙසට අදාළ නීත්‍යනුකූල බලධාරීන් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියද නොයෙකුත් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් ඔවුන් විසින්ම දින වකවානු නියම කරමින් මෙම ස්ථානයේ රැඳී සිටීමට උත්සාහ කරන බව ආරක්ෂක අංශයන් වෙත නිරීක්ෂණය විය.

කෙසේ වුවද 2022.07.14 දින කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාත්, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් III භාර සහකාර පොලිස් අධිකාරිවරයාත් 2022.07.18 වැනි දින නැවත වරක් කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාත්, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් III භාර සහකාර පොලිස් අධිකාරිවරයාත් කොටුව වැඩබලන ස්ථානාධිපතිවරයාත් මෙම විරෝධතාකරුවන් හමුවී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සාමකාමීව ඉවත් වන ලෙසට ඉල්ලා සිටියද එම අවස්ථාවලදී ඉවත්ව යෑම ප්‍රතික්ෂේප කරමින් ආවේගශීලීව ජේ‍යෂ්ඨ නිලධාරීන් වෙත ප්‍රතිචාර දක්වා තිබිණි.

එම ගොඩනැඟිල්ල තුළ රජයට අයත් වටිනා දේපළ සහ ලියකියවිලිවලට හානි සිදුවන බව තවදුරටත් නිරීක්ෂණය වෙමින් තිබූ අතර එම පිරිස් ඉවත් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට පවා සාමයට ලැදි ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබිණි.

සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් පසු වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් නොතිබූ බැවින් මේ ආකාරයට විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කරන ලද අතර විරෝධතාවේ යෙදීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පුරවැසියකුට ලබාදී ඇති අයිතිවාසිකම්වල සීමාවන් හැඳිනගෙන නීත්‍යනුකූලව සහ සාමකාමීව විරෝධතාවේ යෙදෙන ලෙසට ඔවුන්ට දැනුම් දෙන ලද අතර තර්ජනය කරමින් බලපෑම් කරමින් ප්‍රචණ්ඩත්වය හෝ කලහකාරීත්වය මුදාහරිමින් මහජන සාමයට බාධා හා හිරිහැර වන අයුරින් කටයුතු කළහොත් මහජන සාමය පවත්වා ගැනීම සඳහා ඊට එරෙහිව නීත්‍යනුකූලව ක්‍රියාකිරීමට සිදුවන බවද අවධාරණය කරන ලදී. එසේම විරෝධතාව දැක්වීමේදී අන් අයගේ මතයන්ට ගරු කරමින් රාජ්‍ය දේපළ ආරක්ෂා වන ආකාරයට කටයුතු කළ යුතු වන බවත් එසේ නොවන අවස්ථාවන්වලදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මැදිහත් වන බවත් පොලිස් මූලස්ථානය කියයි.

මෙම විරෝධතාකරුවන් ඉවත් කිරීමේදීද ප්‍රතිවිරෝධය දැක්වූ විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට සිදුවූ අතර නීත්‍යනුකූලව කටයුතු කරන්නේ නම් කිසිදු විරෝධතාකරුවකුට එරෙහිව බලය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් නැති බවද මූලස්ථානය පෙන්වා දෙයි.

යම් ස්ථානයකට ඇතුළුවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීමට සාමාන්‍ය නීතිය යටතේ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පරිදි බලය පැවැරී ඇති අතර වර්තමානයේ පවතින හදිසි නීති රෙගුලාසි යටතේ පොලිස් නිලධාරීන්ට මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ටද එම බලය පැවරී ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන් වෙත පැවරී ඇති නෛතික බලතල ප්‍රකාරව එසේ නීති විරෝධීව රැඳී සිටි නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් පොලිස් මූලස්ථානය අවධාරණය කර සිටී.

කීර්ති මෙන්ඩිස්