මරණයේ නගරයට ඔබ සාදරයෙන් පිළිගනිමු

0
606

1986 වර්ෂයේ අප්‍රේල් 26 වැනි දින යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ දරුණුම න්‍යෂ්ටික අනතුර සිදු වෙලා වසර 36ක් වෙනවා. මේ මහා විනාශයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන සෝවියට් සමූහාණ්ඩුව. චර්නොබිල් සහ Pryp ‘yat’. ප්‍රදේශය වර්තමානයේ අයත් වෙන්නෙ බෙලරුස් සහ යුක්රේනයට. චර්නොබිල් න්‍යෂ්ටික පිපිරුම ඉතිහාසයේ සිදු වූ දරුණුතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකෙන අතර අද පවා ශාක, සත්ත්ව හා මිනිසුන්ට එහි ප්‍රතිවිපාක තිබෙනවා. චර්නොබිල් සැලැස්මේම මරණීය වැරැද්දක් තිබුණා කියලා තමා කියන්නෙ.

මේ වැරැද්ද සහ චර්නොබිල් ප්‍රධානීන්ගේ දැඩි නොසැලකිල්ල නිසා 56 දෙනකුට සෘජුවම ජීවිත අහිමි වුණා. විකිරණවල බලපෑමට ලක් වූ 2,00,000ක පමණ පිරිසක් ඇතැම් වාර්තාවලට අනුව 3,36,000ක් පමණ බලපෑමට හසු වූ ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා. චර්නොබිල්හි මෙටි්‍රක් ටොන් 30න් යුරේනියම්වලින් 190%ක්ම වායුගෝලයේ පැවැතුණා. මිලියන 6.7ක පමණ පිරිසක් විවිධ රටවල මේ විකිරණ නිරාවරණයට ලක් වූ බව ගණනය කර තිබෙනවා. මේ පිරිස් තුළ ඇති දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් පිළිබඳව තවමත් කරුණු හදාරමින් පවතිනවා.

සෝවියට් රුසියාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 10%ක් විතර සපුරපු න්‍යෂ්ටික බලාගාරයක් තමයි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය. අදටත් මේ බිමේ වර්ගකිලෝමීටර් 2,600ක් ජනශූන්‍යයි. තව අවුරුදු 3,000ක් විතර යනතුරු තත්ත්වය එහෙමයි.

චර්නොබිල් බලාගාරය කියන්නෙ නම් දෙවැනි පරම්පරාවෙ මුල බිහිවුණ බොහොම පැරැණි බලාගාරයක්. මෙහි රිඇක්ටර්ස් 4ක් තිබෙනවා. අනතුර සිද්ධ වෙන අවස්ථාවේ තව 2ක් හදන්න හිටියට අනතුරින් පස්සෙ නැවතුණා. RBMK – 1000 වර්ගයේ ප්‍රතික්‍රියාකාරක නිර්මාණය වන්නේ සෝවියට් දේශය ඇතුළත විතරයි. බලාගාරය භයානක අඩියකට වැටෙන්නෙ නිර්මාණාත්මක ‍ෙදා්ෂ සහ චර්නොබිල් බලාගාරයේ ක්‍රියාකරුවන්ගේ නොසැලකිලිමත් භාවය නිසා මිසක් සාමාන්‍ය කම්කරුවන් නිසා නෙවෙයි. හරියටම කිව්වොත් ලොක්කන්ගෙ අහංකාරකම තමයි මාරයාව වෙත ඔවුන් ගෙනයන්නෙ. පිපිරීම සිදුවුණේ බලාගාරයේ 4 වැනි ප්‍රතික්‍රියාකාරක තුළ.

පිපිරීම සිදුවුණේ පරීක්ෂණයක් කරන අතරතුර. බලාගාරයේ 4 Rector එක වැඩ ඉවර කරන්න ඕන කාලෙට කලින් වැඩ ඉවර කරලා ඒකෙන් පස්සේ බලාගාරය බලගන්වන්න හදිසියේම අත්හදා බැලීමේ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම තමයි පිපුරුමට මූලික හේතුව. සෝවියට් දේශයට විදුලිය ලබා දෙන අතරතුර තමයි මේ අත්හදා බැලීමේ පර්යේෂණ සිදු කළේ.

පුපුරණ අවස්ථාව වෙනකොට මෙහි බලය මෙගාවොට් 33,000 දක්වා ඉහළ ගිහින් තිබුණා. 4 ප්‍රතික්‍රියාකාරකය නිර්මාණය කරලා තිබුණේ මෙගාවොට් 3,200 නිෂ්පාදනය කරන්න විතරයි. දාම ප්‍රතික්‍රියාවේ වේගය නිසා හරය තුළ අධික තාපයත් මේ නිසා හුමාලය නිපදවීමත් වැඩි වුණා. අධික පීඩනය හරියට ඔරොත්තු දීමට නොහැකි අවස්ථාවේදී අලුයම 1:23:45 චර්නොබිල් බලාගාරයේ 4 ප්‍රතික්‍රියාකාරකය පුපුරා ගියා. පිපිරුම නිසා ප්‍රතික්‍රියාකාරකයේ ආවරණය ගැලවිලා ගියා.

ඔක්සිජන් ප්‍රතික්‍රියාකාරකය තුළට ගමන් කිරීම නිසා හයිඩ්‍රජන් සහ රත් වුණ ග්‍රැපයිට් එක්ක මිශ්‍ර වෙලා දෙවැනි විනාශකාරී පිපිරීම සිදු වුණා. අන්තිම තුරුම්පුව විධියට සිදු කරන්න තිබුණේ හදිසි අවස්ථාවක බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කිරීමට තිබූ AZ-5 බට්න් එක. මේකෙදි සිදුකරන්නේ Rector එක ඇතුළතට මේ න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාව නතර කිරීමට බෝරෝන්වලින් හදපු පාලක පටි යැවීම.

ඒත් ඒ පටිවල තුඩු නිර්මාණය කරලා තිබුණේ මේ දාම ප්‍රතික්‍රියාව වේගවත් කරන ග්‍රැපයිට්වලින්. ඉතින් මේ අවස්ථාව වෙනකොට 4 ප්‍රතික්‍රියාකාරකය තුළ දාම ප්‍රතික්‍රියාව පාලනය කරගන්න බැරි නිසා තමයි මේ බට්න් එක එබුවේ. ඒකෙන් ඇති වුණේ තත්ත්වය තවත් දරුණු කරපු එක විතරයි. අවසානයේදී ප්‍රතික්‍රියාකාරකය පුපුරලා ගියා.

පිපිරීම වෙනකොට 4 වැනි ප්‍රතික්‍රියාකාරකය තුළ යුරේනියම් ඉන්ධන ටොන් 180ක් විතර පැවැති බව තමයි පවසන්නේ. එය මුළු ප්‍රමාණයෙන් 95%ක් පමණ වෙනවා. මෙය යුරේනියම් ඉන්ධන ඇතුළු යකඩ සහ ලෝහ අධික උෂ්ණත්වය නිසා ද්‍රව බවට පත් වෙලා ප්‍රතික්‍රියාකාරකය යට ප්‍රසිද්ධ “අලියාගේ පාදය” එහෙම නැත්නම් Elephantzs Foot කියලා හඳුන්වන ඝන ලාව ගොඩක් බවට පත් වෙලා තිබෙනවා. මෙය තමයි දැනට ලෝකයේ තියෙන භයානකම වස්තුව. මෙහි විකිරණ ප්‍රමාණය ඉතාමත් විශාලයි. සරලව කිව්වොත් විනාඩියක් මේකට නිරාවරණය වීම පපුවේ ලබා ගන්නා ඔ කිරණ ජායාරූපයක බලය වගේ මිලියන ගුණයකට සමාන වෙනවා.

මේ අනතුරෙන් පසු කිලෝමීටර 30ක පමණ අරයකින් යුක්ත වෘත්තාකාර ප්‍රදේශයක් “තහනම් කලාපයක්” (Exclusion zone) ලෙස නම් කර සීමා කර තිබෙනවා. ඒ ප්‍රදේශයේ මානව කටයුතු සීමා කර ඇති අතර වාසය කිරීම, ව්‍යාපාර කිරීම තහනම්ය. මේ හා සමාන කලාපයක් බෙලෝරුසියාවේද පවතිනවා.

මේ ප්‍රදේශය තවත් කලක් යනතුරු සාමාන්‍ය කටයුතු සඳහා භාවිතයට නොගෙන සීමා කිරීමට සිදුවී ඇත්තේ එහි ඇති විකිරණ බලපෑම් නිසා. පිපිරීමෙන් පස්සේ ප්‍රතික්‍රියාකාරක 3 බලශක්ති අවශ්‍යතාවන් නිසා ක්‍රියාත්මක කළා. 3 වැනි ප්‍රතික්‍රියාකාරකය 2000 වසර වන තෙක් ක්‍රියාත්මක වූ අතර 2000දී එය සම්පූර්ණයෙන්ම වසා දැම්මා.

චර්නොබිල් බලපෑම් නිසා ඇති වූ දිගුකාලීන රෝගාබාධ ගැන වරින්වර වාර්තා වෙනවා. පිළිකා වැනි රෝග මේ අතර ප්‍රධානයි. විකිරණ කාන්දුවීම්වලට ලක් වූවන් අතර තයිරොයිඩ්, පිළිකා, ලියුකේමියාව හා උපත් විකෘති තත්ත්ව චර්නොබිල් අනතුරෙන් පසුව සුලබ වුණා. විශේෂයෙන් යුක්රේනයේ හා බෙලෝරුසියාවේ පිළිකා හා ළමා මරණ වර්ධනයක් ඇතිවී තිබූ බව වාර්තා වුණා. එක් අමෙරිකානු අධ්‍යයනයකට අනුව උපත් විකෘති සුලබ වීමට අඩු විකිරණ බලපෑම්වලට දිගු කලක් තිස්සේ නිරාවණය වීම හේතු වෙන්න පුළුවන්. විස වලාව චර්නොබිල් සිට 1500km දුරින් පිහිටි ස්වීඩනයට පවා දැනෙනවා.

ගිනි නිවන භටයන් 28ක්, සහන සේවකයන් සහ ඔපරේටර්වරු ඇතුළු 56 දෙනකුට සෘජුව ජීවිත අහිමි වෙනවා. යුක්රේන සහ බෙලරුස් වැසියන් 4,000කට පමණ තයිරොයිඩ් පිළිකා වැලඳෙනවා. වනාන්තර විනාශ වෙනවා. සතුන් විනාශ වෙනවා. වර්ගකිලෝමීටර් 2,600ක භූමියක් තවත් දීර්ඝ කාලයකට ජීවත් වීමට නුසුදුසු වෙනවා. අනතුරට වගකිවයුතු තිදෙනාට වසර 10ක සිර දඬුවම් ලැබෙනවා.

පරමාණුක විකිරණවල බලපෑම අධ්‍යයනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ විද්‍යාත්මක කමිටුවට අයත් විද්‍යා විද්‍යාඥයන් ප්‍රකාශ කළේ න්‍යෂ්ටික සිද්ධියෙන් විකිරණවලට නිරාවරණය වීමෙන් ළමයින් හා නව යොවුන් දරුවන් 6,000කට වැඩි පිරිසකට තයිරොයිඩ් පිළිකාව වැලඳී ඇති බවයි. ඒ අනුව තවත් කලක් යනතුරු මේ බලපෑම් දැකිය හැකි වෙතැයි යන්න මේ පර්යේෂකයන්ගේ අදහසයි.

මේ වන විට චර්නොබිල් විනාශයෙන් වසර 36කට ආසන්න කාලයක් ගත වෙලා. එහෙත් ඇති වූ බලපෑම්වල ප්‍රතිඵල තවත් කලක් ගත වනතුරු දැකගත හැකි බව විශ්වාස කෙරෙනවා. විශේෂයෙන් පාරිසරික බලපෑම් ගැන සිදු කරන ලද අධ්‍යයන මේ අතර වඩාත් වැදගත්.

වසර කිහිපයකට පෙර පළ වූ ඇතැම් වාර්තාවල චර්නොබිල් තහනම් කලාපය වනජීවීන්ට නිදහස් ප්‍රදේශයක් බවට පත් කර තිබෙනවා. ඒ මේ කලාපයේ මානව ක්‍රියාකාරකම් සීමා වී තිබූ නිසා මේ කලාපයේ වනජීවීන්ට සැලකිය යුතු තරම් බලපෑමක් ඇති වී ඇති බවත් මෑත දී පළ වූ පර්යේෂණ වාර්තා මඟින් අවධානය යොමු කර තිබුණා.

චර්නොබිල් අනතුරෙන් පසු රටවල් ගණනාවක විශාල වගාබිම් ප්‍රදේශයක් විකිරණශීලී ද්‍රව්‍යවල බලපෑමට හසු වීම නිසා අත්හැර දැමීම හෝ වගා කටයුතු සීමා කිරීම හෝ සිදුවුණා.

විකිරණවල බලපෑමට ලක් වූ යුරෝපා රටවල ගොවිබිම් විශාල ප්‍රමාණයක් විකිරණ නිසා විස සහිත වෙලා. මේ නිසා ඇතැම් ප්‍රදේශවල වගා කිරීම් නවතා දමා ඇති අතර තවත් ගොවිබිම්වල නිපදවනු ලබන ආහාරමය නිෂ්පාදන විකිරණශීලීතාව සඳහා පරීක්ෂාවට ලක්කිරීම සිදු වෙනවා. එය ආරම්භ කළේ අනතුර සිදු වූ කාලයේදී. මීට ශාක ආහාර වර්ග මෙන්ම සත්ත්ව ආහාරද ඇතුළත් වෙනවා. එවැනි ප්‍රදේශවල සිදුකරන පරීක්ෂාව වසර 2020 දක්වා දිගු කිරීමට යුරෝපා කොමිසම 2009 වසරේදී තීරණය කළා. එවැනි ප්‍රදේශවල නිපදවනු ලබන ආහාර ද්‍රව්‍යවල ඇතුළත් සීසියම් ප්‍රමාණය අවසර දී ඇති මට්ටම ඉක්මවා තිබුණා.

මේ ප්‍රදේශයේ වසන ජීවීන්ට ඇති වූ බලපෑම් කලින් සිතුවාට වඩා බරපතළ බව පෙන්වා දී තිබුණා. පක්ෂි විශේෂ ඇසුරින් සිදුකරන ලද මේ අධ්‍යයනය අනුව විශේෂ සුලබතාව හා ගහන ඝනත්වය යන සාධකවල පැහැදිලි අඩු වීමක් සිදුවී තිබුණා. චර්නොබිල් බලාගාරය අවට පිහිටා ඇති තහනම් කලාපයේ වන සත්ත්ව ගහනය අඩු වෙමින් පවතින බව පර්යේෂණ මඟින් සනාථ වී තිබෙනවා. මේ අධ්‍යයනය මඟින් 2006-2009 අතර කාලය තුළ විවිධ සත්ත්ව කාණ්ඩ නවයක ජීවීන්ගේ සුලබතාව ගණනය කර ඇති අතර විකිරණ බලපෑමක් නොතිබූ සමාන ප්‍රදේශයක දැකිය හැකි තත්ත්වය සමඟ සංසන්දනය කර ඇත. මෙහිදී හෙළි වූ පරිදි ඇතැම් ජීවීන්ට විකිරණශීලීතාව මඟින් සැලකිය යුතු බලපෑමක් ඇති වී තිබෙන බවට සාධක තිබෙනවා.

නිදසුනක් ලෙස ඇතැම් පක්ෂීන් ගේ විවිධ ආබාධ දැකිය හැකියි.

මෙම විනාශයේ දිගුකාලීන බලපෑම් විශ්ලේෂණය කළ යුතුයි. වනාන්තරයට සහ අවට සත්ත්වයන්ට ක්ෂණික බලපෑමක් ඇතිවන අතර එහිද විමර්ශනය අදටත් සිදුකෙරෙමින් පවතිනවා. අනතුරෙන් පසු කිලෝමීටර 10ක පමණ භූමි ප්‍රදේශයක් “රතු වනාන්තරය” ලෙස නම් කළා. මෙයට හේතුව බොහෝ ගස් රතු පැහැයට හුරු දුඹුරු පැහැයට හැරී වායුගෝලයේ ඉහළ විකිරණ අවශෝෂණය කර මියයෑමයි.

වර්තමානයේදී අපි මුළු බැහැර කිරීමේ කලාපයම නිශ්ශබ්දතාවකින් පාලනය වන නමුත් ජීවීන්ගෙන් පිරී තිබෙනවා. බොහෝ ගස් නැවත වර්ධනය වී ඉහළ විකිරණවලට අනුවර්තනය වී තිබෙනවා. මේ සියල්ලට හේතුව න්‍යෂ්ටික බලාගාරය වටා මානව ක්‍රියාකාරකම් නොමැති වීමයි. ලින්ක්ස් සහ බේස්මන්ට් වැනි සමහර විශේෂවල ජනගහනය වැඩි වී ඇති බව එය ඇස්තමේන්තු කර ඇත. අවට සංචිතවලට වඩා 2015දී බැහැර කිරීමේ කලාපයේ වෘකයන් හත් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා.

1991දී දෙවැනි ප්‍රතික්‍රියාකාරකද 1996දී පළමුවැනි ප්‍රතික්‍රියාකාරකද වසා දැම්මා. මේවායේ පැවැති යුරේනියම් ඉන්ධන සියල්ලම ඉවත් කරලයි තිබෙන්නේ. චර්නොබිල් අනතුර නිසා පරිසරයට මුදා හැරී විකිරණ අපද්‍රව්‍ය ඉවත් කිරීමට තවත් වසර ගණනාවක් යනු ඇතැයි කියලා තමයි කියන්නේ. ඒ වගේම දැන් වෙනකොට මේ 4 වැනි ප්‍රතික්‍රියාකාරක වටා වානේ යකඩවලින් විශාල ආවරණයක් හදලා ඒක සීිල් කරලා තියන්නේ. මේක හදන්න ඇමරිකන් ඩොලර් බිලියන 1.7ක් වැය වෙලා තිබෙනවා. මේකට රටවල් 24ක් පමණ සහයෝගය ලැබුණා. මේ අලුත් ආවරණය මඟින් තවත් අවුරුදු 100ක් යන තෙක් විකිරණ අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින එක නතර කරන්න පුළුවන් කියලා තමයි යුක්රේන රජය කියන්නේ.

මේ වන විට ඇතුළත සියලුම විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු වන පරිදි කොන්ක්‍රීට් සහ වානේ විශාල ප්‍රමාණයක් ආවරණය කර ඇත. විකිරණ ප්‍රසාරණය වීම වැළැක්වීම සඳහා මෙම පරණ ව්‍යුහය වළලනු ලැබීය. මීට වසර කිහිපයකට පෙර 2016දී එය විකිරණශීලී ද්‍රව්‍ය තවදුරටත් නොපෙනෙන පරිදි නව බහාලුමක් සමඟ ශක්තිමත් කර තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ වායුගෝලයේ විකිරණ පවතිනවා. මෙම හේතුව නිසා විකිරණ තවදුරටත් විමෝචනය නොවන පරිදි ප්‍රතික්‍රියාකාරක හරය ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් වෙනවා. අධීක්ෂණය බහාලුම් සහ පිරිසුදු කිරීම අවම වශයෙන් 2065 දක්වා අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම නගරය අතහැර දැමූ අවතාර නගරයක් බවට පත්ව ඇති අතර වර්තමානයේ එය විකිරණශීලී වැටීම් රටා අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාගාරයක් ලෙස භාවිත කරනවා.

ලෝකයේ මේ වන විට න්‍යෂ්ටික තාක්ෂණය ආයුධයක් බවට පත් කර අවසන්. ඒ භයානක මොහොත කිසි කලෙක උදාවෙනවා දකින්න ඔබත් මමත් කැමති නැහැ. එවන් මිහිපිට අපායක් කිසි කලෙක උදානොවීමට රාජ්‍ය පාලකයන් තීරණ ගත යුතුමයි.

න්‍යෂ්ටික පිපිරීමක් සාම්ප්‍රදායික බෝම්බ පිපිරීමකින් වෙනස් වන්නේ ඒ තුළ සාමාන්‍ය ප්‍රහාරයකට වඩා දහස් සංඛ්‍යාත ඇතැම් විට මිලියන සංඛ්‍යාත ශක්තියක් හා බලයක් අන්තර්ගත වන නිසා. දෙවර්ගයෙම ප්‍රහාර රඳා පවතින්නේ පිපිරීමේ හෝ කම්පනය තරංගවල විනාශකාරී බලපෑම මතය. න්‍යෂ්ටික පිපිරීමක දී ඇති වන උෂ්ණත්වය සාම්ප්‍රදායික පිපිරීමකට වඩා අතිශයින්ම බලවත්ය. පිපිරීමකදී නිකුත් වන ශක්තිය ආලෝකය හා තාපය ස්වරූපයෙන් විමෝචනය වෙනවා. එම ශක්තිය පිලිස්සුම් තුවාල ඇති කිරීමට මෙන්ම ගිනි කුණාටු ඇති කිරීමට තරම්ද බලවත්ය.

න්‍යෂ්ටික අවියක ශක්තියෙන් 85%ක් පමණ කම්පන හා තාප ශක්තිය ජනනය කරනවා. ඉතිරි 15%ක න්‍යෂ්ටික විකිරණ ලෙස මුදා හරිනවා. ඉන් 5%ක් ආරම්භක න්‍යෂ්ටික විකිරණවලින් සමන්විතයි. පිපිරීම සිදුවී මිනිත්තුවක් හෝ ඊට ආසන්න කාලයක් තුළදී නිකුත් වෙනවා. එය ගැමා කිරණ හෝ නියුට්‍රෝන නමින් හ¾දුන්වනවා. ඉතිරි 10. යම් කාලපරාසයක් තුළදී විමෝචනය වන අවශේෂ න්‍යෂ්ටික විකිරණ වෙනවා.

සංකීර්ණ ජාත්‍යන්තර ජාලය තුළ කිසිදු රාජ්‍යයකට තනිව පැවැත්මක් නෑ. රාජ්‍යයන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් හා තීරණ අනෙක් රාජ්‍යයන්ටද සෘජුව හා වක්‍රව බලපානු ලබනවා. යුක්රේන හා රුසියානු අර්බුදයද මේ තත්ත්වය කියාපානු ලබනවා. වර්තමානය වන විට එම මතභේදකාරී තත්ත්වය යම් පමණකින් සමනය වී පැවැතුණද එමඟින් ගැටුම අවසන් වූවා යැයි පැවැසිය නොහැකිය. මේ ගැටුමේ ඇති බරපතළකම වන්නේ යුක්රේනය හා රුසියාව න්‍යෂ්ටික බලවතුන් වීමයි. යම් ලෙසකින් මේ දෙපාර්ශ්වය අතර ගැටුමක් උද්ගත වුවහොත් න්‍යෂ්ටික ප්‍රහාරයකට යෑමේ ඉතා ඉහළ හැකියාවක් පවතී. ඒ නිසාම න්‍යෂ්ටික ප්‍රහාරයකින් විය හැකි බලපෑම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වන අපද අවබෝධයෙන් සිටිය යුතු කාලය පැමිණ ඇත.

සොනාලි දිලංකා