මං අල්ලපු 58 වැනි නයා මට දෂ්ට කළා

0
237

විෂඝෝර සර්පයකු දුටු හැටියේ බොහෝදෙනා කලබල වී පොල්ලක් සොයන්නේ “විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා” යන කියමනද මතක් කරමිනි. මේ මහ පොළොවේ වෙසෙන හැම සතකුටම ජීවත්වීමට සම අයිතියක් ඇති බවත්, ආගම දහමින්ද සත්ත්ව අහිංසාව පුරුදු පුහුණු කර ඇති බවත් ඒ මොහොතේ මිනිස් සත්ත්වයාගේ හිතට නොඑයි. හිතට එන එකම හැඟීම වන්නේ සර්පයා කෑමෙන් තමන් මියයනු ඇත යන භීතියයි.

එහෙත් එබඳු විෂඝෝර සර්පයන්ගේ දිවි බේරාගෙන ජීවත්වීමට සුදුසු වනගත පරිසරයකට උන් යොමු කරන්නට කැපවන්නේ එහෙමත් කෙනෙකි. සර්පයන් පමණක් නොව බඹරුන්, දෙබරුන් පවා මිනිස් වාසයෙන් බේරාගෙන ගොස් වනයට මුදාහරින සත්ත්ව ලෝලියකු ලෙස ජාත්‍යන්තරයේ පවා ඇගැයුමට ලක්ව ඇති වසන්ත කුමාර නරසිංහ එවැනි උදාර මිනිසෙකි.

වසන්ත හා ඔහුගේ ක්‍රියාකාරකම් අලළා වාර්තා චිත්‍රපටයක්ද නිපදවී තිබේ. එහි අධ්‍යක්‍ෂවරයා වන්නේ ලෝකයේ රටවල් ගණනාවක ජන ජීවිතය අලළා වාර්තා චිත්‍රපට කිහිපයක් නිමවා ඇති ජර්මන් ජාතික ජන් ස්ටොකල් (බ්චද ඉබධජඬත)ය.

ඉකුත් දිනෙක අපි මේ උදාර ශ්‍රී  ලාංකිකයා හමුවුණෙමු. ඔහු සිය කතාව පටන් ගත්තේ මෙලෙසිනි.

මම හා හා පුරා කියලා සර්පයෙක් ඇල්ලුවේ මීට අවුරුදු 28කට ඉස්සර 1994දී. ඒ කාලේ මම හිටියේ යුද්ධ හමුදාවේ. දවසක් මම සහෝදර සෙබළ පිරිසක් එක්ක කඳවුරේ තිබුණු උළු වගයක් ඉවත් කරමින් හිටියා. ඒ වෙලාවේ සෙබළු “ඔන්න පොළඟෙක්” කියලා කෑගැහුවා. බලනකොට මගේ වම් කකුලෙ බූට් එක උඩයි පොළඟ හිටියේ. මං එක පාරටම උෟව අරගෙන මගේ කරේ දාගත්ත. ළඟ හිටපු කට්ටිය බයේ දිව්වා. ඒගොල්ලො සූදානම් වුණේ පොළඟව මරල පුච්චල දාන්නයි. මං උෟව කරේ දාගෙන ගිහින් කැලෑවට අතෑරියා. එහෙම තමයි මං විෂඝෝර සර්පයෝ අල්ලන්න පටන් ගත්තේ.

ඒ කාලෙ මං වැඩ කළේ ජාතික ආරක්‍ෂක බළමුළුව කියන ස්වේච්ඡා සංවිධානයේ. අවුරුදු හතකින් පස්සේ මගේ සේවා කාලය අවසන් වෙලා මම ගමේ පදිංචියට ආවා. ඊට පස්සේ ගැර¾ඩියෙක්, නයෙක්, මාපිල්ලෙක්, කරවලයෙක් වගේ ඕනෑම සර්පයෙක් ගෙදරකට ආවයි කියලා දැනගත්තම මම උෟව හොයාගෙන ගිහින් අල්ලලා කැලේට අතෑරියා.

හැබැයි මම අල්ලපු 58 වැනි නාගයා මට දෂ්ට කළා. උෟ තමයි මාව කාපු පළමු වැනිම නයා. මාව රෝහල්ගත කෙරුණත් මට ප්‍රතිවිෂ එන්නත් කරන්න අවශ්‍ය වුණේ නෑ. මොකද මට කිසිම අමාරුවක් දැනුණෙ නැහැ. ඉතින් මට දැනුණා මේ සත්ක්‍රියාව කිසිම උපද්‍රවයක් නැතිව දිගටම කරගෙන යන්න මට පුළුවන් කියලා.

අපේ පළමු ශික්ෂාපදයත් ‘මම ප්‍රාණ ඝාතයෙන් වළකිත්වා” කියන එකයි. ඒකෙන් කියවෙන්නේ හැම සතාටම ජීවත්වීමේ අයිතියක් තිබෙනවා කියන එකයි. ඒ අයිතිය උදුරා ගන්න අපට අයිතියක් නැහැ. මම විෂඝෝර සර්පයන් වගේම බඹරුන්, දෙබරුන් වුණත් මිනිස් වාසයෙන් ඉවත් කරගෙන ගිහින් රජයේ රක්‍ෂිතයකට ගෙනගොස් දමනවා. එහෙම කරන්නේ මිනිසාත් සත්ත්වයාත් යන දෙදෙනාම ආරක්‍ෂා කර ගැනීමටයි.

මම මොන තරම් වැදගත් වැඩක යෙදිලා හිටියත් ‘නයෙක් ඇවිත්’ කියලා ඇමතුමක් ආවොත් කර කර හිටිය වැඩේ නවත්තලා නයාව අල්ල ගන්න යනවාමයි. කොච්චර දුරද, වැස්සද, පෑවිල්ලද කියන එක මම තකන්නේ නෑ. අසනීප තත්ත්වෙක හිටියත් යන්න පුළුවන් නම් යනවමයි.

දවසක් මම වයඹ රේඩියෝවෙ සංගීත වැඩසටහනකට සහභාගි වෙලා හිටපු වෙලාවක ඇමතුමක් ආව ‘වසන්ත මහත්තයා, අපේ ගෙදරට නයෙක් ආවා! ඉක්මනට එන්න’ කියලා. සංගීත වැඩසටහන පැත්තක තියපු මම පාර අහගෙන ඒ පුද්ගලයාගේ ගෙදරට යන්න පටන් ගත්තා. යන ගමන් ‘මේ ළඟ එනවා’ කිය කිය බොරු කිව්වෙ ඒ අය නයාව මරයි කියලා බයටයි.

සමහරු කියනවා ‘අල්ලපු සර්පයො රක්‍ෂිතවල දාන්න එපා! ගෙවල්වලට එයි’ කියලා. ජනාවාසවලට එන්නත් බැරි නම් කැලෑවේ ඉන්නත් එපා නම් ඒ සත්තු ජීවත් වෙන්නේ?

මේ වැඩෙන් මම කිසිම අන්දමක ආර්ථික වාසියක් ලබන්නෙ නෑ.

අවස්ථා දෙකකදී නාගයො දෙන්නෙක් මට දෂ්ට කරලා තියෙනවා. ඒ අවස්ථා දෙකේදීම විනාඩි විස්සක් සිහිසුන් වුණා. බඹරු දෙබරු ප්‍රහාරවලින් මට හානියක් වෙලා නෑ. මේ සත්තු අල්ලන්න මට තාක්‍ෂණික උපකරණයක් නෑ. අඩුම තරමේ ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක්වත් නෑ. මට තියෙන එකම දේ සතුන් කෙරෙහි පවතින මෛත්‍රිය පමණයි. හිතමු මට නාගයෙක් දෂ්ට කළා කියලා. දෂ්ට කළාට මම උෟව අතඅරින්නේ නෑ. සතා මට දෂ්ට කරන්නෙ මාත් එක්ක තියෙන තරහට නෙවෙයි. තමන්ගෙ ආරක්‍ෂාවටයි. සතාට තුවාල වෙලා තියෙනවා නම් උෟට බේත් කරලා කැලෑවට මුදාහැරියට පස්සේ තමයි මම රෝහලකට යන්නේ. නයෙක් මට දෂ්ට කළාට මගෙ හිතට බියක්, චකිතයක් දැනෙන්නේ නෑ. සතා කෙරෙහි තියෙන මෛත්‍රි සහගත හැඟීම හිතෙන් ඉවත් වෙන්නෙත් නෑ. සතාව ආරක්‍ෂා සහිත තැනකට නිදහස් කළ යුතුය යන සිතුවිල්ල පමණයි තිබෙන්නෙ. වසන්ත හෙළි කළේය.

වසන්ත ගැන වාර්තා චිත්‍රපටයක් බිහිවූ කතාවද සිත්ගන්නාසුලුය.

වසන්ත කුමාර නරසිංහ සිය චරිතාපදානය වාර්තාමය චිත්‍රපටයක් වූ අයුරු විස්තර කළේ මෙසේය.

දෙදහස් දහඅටේ ජූලි විසිහත් වැනිදා (2018.07.27) මට කුලියාපිටිය මූලික රෝහලෙන් පණිවුඩයක් ආවා සැත්කම් කාමරයේ තියටරේ උඩ පොළඟෙක් ඉන්නවා කියලා. මම ඉක්මනින්ම ගිහිල්ලා පොළඟාව ඉවත් කළා. එම සිදුවීම අයි.ටී.එන්. නාළිකාවේ ප්‍රවෘත්තියක් හැටියට වාර්තා කෙරුණා. ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේත් පළවුණා. එම ප්‍රවෘත්තිය ස්වර්ණවාහිනියේ රංගනද සිල්වා පත්තරේ විස්තරේටත් කිව්වා. ඒ ප්‍රවෘත්තිය දැකපු ඉතාලි ජාතික ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු සහ ලුනියා ෆිල්ම් ආයතනයේ හිමිකරු ලූකා කිරිල්ලෝ මහතා දැක තිබෙනවා. ඔහු දෙදාස් දහ අටේදී මා සොයාගෙන ලංකාවට ආවා. සති දෙකක කාලයක් රැඳී ඉඳිමින් මා සර්පයන් අල්ලා මුදාහරින හැටි රූගත කළා. ඔහු වීඩියෝ දර්ශන රැගෙන ඉතාලියට ගියා. ඒ දර්ශන එකතු කර තමයි කෙටි චිත්‍රපටයක් හදා ප්‍රදර්ශනය කළේ. ලූකා කිරිල්ලෝ මහතා පවසන ආකාරයට පාප්වහන්සේත් එය නරඹා තිබෙනවා. මාගේ සත්ක්‍රියාව ලෝකයටම පෙන්වීමට අවශ්‍ය බව පාප්වහන්සේ කියා තිබෙනවා. පාප්වහන්සේගේ එම අනුමැතිය ඇතිව ලූකා කිරිල්ලෝ මහතා නැවතත් රූගත කිරීම් සඳහා දෙදාස් විසි දෙක වර්ෂයේ මැයි මස විසි වැනි දින මා සොයාගෙන ආවා. ලෝකයේ විෂඝෝර සර්පයන් සමඟ ගනුදෙනු කරන පුද්ගලයන් ගැන මා ගවේෂණය කළා. ඒ අයගෙන් සමහරු විවිධ උපක්‍රම භාවිත කරනවා. තවත් අය සතුන්ට හිංසාකාරී වන අයුරින් ක්‍රියා කරනවා. තවත් අය මුදල්වලට සතුන් අල්ලනවා. ඔබ වගේ සුවිශේෂී කෙනෙක් මට මුණගැහුණේ නෑ කියලා ඔහු මට කීවා. වසන්ත කුමාර නරසිංහ කියන විස්මිත පුද්ගලයාගේ චරිතාපදානය වාර්තාමය චිත්‍රපටයකින් ලෝකයටම ගෙනයෑම තමන්ගේ අරමුණ බවත් ඔහු පැවැසුවා. ලූකා මහත්මාගේ චිත්‍රපටයේ මගේ සියලුම දර්ශන ස්වාභාවිකයි. කිසිම දර්ශනයක් චිත්‍රපටයට අවශ්‍ය නිසාම කරලා නැහැ. මාගේ චරිතාපදානය තමයි චිත්‍රපටය පුරාම දිව යන්නේ. මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන බව තමයි ලූකා කිරිල්ලෝ මහතා පවසන්නේ. එය ලංකාවේ සිනමාශාලා දෙකක ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

මාගේ චරිතාපදානය ලෝකය පුරා ප්‍රචලිත වීමේ ගෞරවය හිමිවන්නේ ලංකාවට අපේ රට බෞද්ධ රටක්. අහිංසාව අගයන රටක්. සිත බෞද්ධ දර්ශනයෙහි පිහිටුවා කෙරෙන මේ සත්ක්‍රියාව නිසා ලෝකයා අපේ රට දෙස ආදරයෙන් බලන්නට පෙලඹේවි. උසස් මිනිසුන් සිටින රටක් කියන ඇගයීම අපේ රටට ලැබේවි. මා කිසිම දෙයක් අපේක්‍ෂා නොකළත් මා නොසිතූ ලෙස විශ්ව ශක්තිය මට සියලු දේ ලබාදී තිබෙනවා.

මට අත දෙන බොහෝ දෙනෙක් ඉන්නවා. විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති හේනේගෙදර සිද්ධාර්ථ නායක හිමිපාණන් වහන්සේ සහ අකරවත්තේ සුධම්ම හිමිපාණන් වහන්සේ දෙනම තමයි මගේ පිටුපස සිටින ආශීර්වාදය. ශ්‍රී  ලංකා යුද  හමුදාව, ශ්‍රී  ලංකා පොලිසිය, කුලියාපිටිය මූලික රෝහලේ අධ්‍යක්‍ෂ ප්‍රභාත් වීරරත්න මහතා සමඟින් කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය, දේශීය වෛද්‍යවරුන්, වෛද්‍ය රෝහණ කෑරගල, හෙට්ටිපොළ පොලිසියේ හිටපු ස්ථානාධිපති ආනන්ද රාජපක්‍ෂ මහතා ආදරයෙන් සිහිපත් කරනවා. මා ගැන සියලු තොරතුරු ලූකා මහත්මා වෙත දන්වා තිබෙන්නේ මාගේ ගමේ උපන් දැනට ඉතාලියේ නාපෝලි ප්‍රදේශයේ පදිංචිව සිටින මාගේ හිතවතා මැක්සි රේමන් ඩයස්. ඔහු තමයි සියලුම සබඳතා ගොඩනැඟුවේ. ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක ප්‍රේමසිරි වැවේගෙදර මහතා තමයි මගේ පිටුපස සිටින යෝධ සෙවණැල්ල. කපිල ඉලංගකෝන්, චාමර විමලරත්න, ශ්‍රී නාත් ප්‍රසන්න, ධම්මිකා බාලසූරිය යන මාධ්‍යවේදී මහත්ම මහත්මීන් මට අත්වැලක් වුණා. චමින්ද පතිරණ මල්ලි, ඔහුගේ බිරිය නිම්මි සහ දිල්මිත් පුතු, මාගේ ආදරණීය බිරිය සහ මගේ ආදරණීය එකම පුතුත් නමින් සඳහන් නොකළ බොහෝ දෙනකුත් මට ශක්තියක් වුණා.

ලුනියා ෆිල්ම් ආයතනයේ හිමිකරු, සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්‍ෂ ලූකා කිරිල්ලෝ මහතා වසන්ත කුමාර නරසිංහ චරිතාපදානය අන්තර්ගත ‘ද ස්නේක් චාමා’ චිත්‍රපටය පිළිබඳව දැක්වූයේ මෙබඳු අදහසකි.

වසන්ත කුමාර නරසිංහ වගේ කෙනෙක් මට ලෝකයේ කිසිම රටකින් මුණගැහුණේ නෑ. වසන්ත කියන්නේ විස්මයක්. ඒ විස්මය ලොවට ගෙනයෑම මගේ අරමුණයි. මා වසන්ත කුමාර නරසිංහ නම් උතුම් මිනිසා වෙනුවෙන් ඔහුගේ චරිතාපාදනය ලොවටම ගෙනයනවා ‘ද ස්නේක් චාමා’ ඔස්සේ. මෙම වසරේ දෙසැම්බර් මාසයේ මෙම චිත්‍රපටය ලෝකයේ සියලුම දෙනාට නැරැඹිය හැකියි. මමත් ලංකාවට ආදරෙයි. ඒ මිනිසුන්ගේ මනුස්සකමට ගොඩක් ආදරෙයි.

‘ද ස්නේක් චාමා’ වාර්තාමය චිත්‍රටයේ වසන්ත කුමාර නරසිංහ මහතාට ‘මව්බිමේ’ උණුසුම් සුබ පැතුම්!

සටහන සහ ඡායාරූප

පඬුවස්නුවර – හිරුණි මෙන්ඩිස්