බොලිවුඩ් පුරයේ මුස්ලිම් ආගමනයේ කූටප්‍රාප්තිය… ශාරුක් ඛාන්

0
213

බොලිවුඩ් පුරයේ තරු නිවී දිලෙයි. අද පායන තරුව හෙට දිනයේ පායා තිබූ බවට සලකුණක්වත් නැත. යථාර්ථය එය වුවද සූර්යයා මෙන් සදා බැබළෙන්නෝ ද මෙහි වෙති. ඉකුත් ජුනි 25 වැනිදා සිය සිනමා දිවියේ තිස් වැනි වසර පූරණය කළ ශාරුක් ඛාන් හෙවත් බාඩ්ෂා (අධිරාජයා) එවැන්නෙකි. ශාරුක් යන නමේ අරුත රජුගේ මුහුණය.

මවුපියන් දෛවෝපගතව ඔහුට දී ඇත්තේ ඔහුට වඩාත් ගැළපෙන නාමයය. රජ ඛාන් (කිං ඛාන්) යනු ඔහුට ඇති තවත් ආරූඪ නාමයකි. ශාරුක්ගේ ජනප්‍රිය භාවය ගැන පොතක් ලියූ ස්‍රායානා භට්ටාචාර්ය ශාරුක්ගේ තිරසර ජනප්‍රියභාවය ගැන සහ සිනමා දිවියට තිස් වසරක් ගතවී ඇතත් තවමත් ලොව දැවැන්තම තරුවක්ව සිටින්නේ ඇයිදැයි යන්න විග්‍රහ කරමින් පොතක් ලිව්වාය. ස්‍රායානා ලෝක බැංකුවේ දකුණු ආසියාව සඳහා වූ සමාජ ආරක්ෂණ සහ කම්කරු ඒකකයේ ආර්ථික විද්‍යා විශේෂඥවරියකි.

ඉන්දියාව යනු ජනප්‍රිය තාරකාවන් මෙන් සෑදූ පඹයන්ට ද ඇලුම් කරන, වන්දනා කරන, එවන් පඹයන් සමඟ හෝ ඡායාරූප ගෙන සතුටු වන රසික පිරිසක් සිටින රටකි. එරට නළුවන්ට සමාන රුවක් ඇති අය පවා ප්‍රබල තරු නියෝජනය කරමින් අනුකරණය කරමින් ජීවනෝපාය සරිකර ගනිති. එහෙත් එක් රැයකින් සියල්ල වෙනස් වී ඒ රසිකයන් විසින්ම ඒ පඹයන් ගිනි තබා විනාශ කිරීමටද හැකිය. එවන් සමාජයක භාරතයේ පමණක් නොව අන්තර්ජාතිකවද මිලියන ගණනින් රසික පිරිස් ශාරුක්ට වන්දනාමාන කරන්නේ, සෙනෙහස දක්වන්නේ ඇයි? ඔහුගේ සිනමාපට වාගේම පිළිතුර ද ප්‍රේමණීයය. භාවාතිශයය.

ශාරුක් සැමවිටම පෙන්නුම් කරන්නේ ඉන්දියාවට සහ දකුණු ආසියානු උප මහද්වීපයට අවශ්‍ය හොඳම දේය. ස්‍රායානා දශක දෙකකට වැඩි කාලයක් පුරා කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ඔහු කාන්තාවන්ට ආදරය කරන විලාසය බොහෝදෙනාගේ සිත්ගෙන ඇති බවය. තිරයේ පිරිමියකු හඬන්නේ කලාතුරකිනි. එහෙත් ශාරුක් නොබියව තම චරිතයේ හැඟීම් නිරූපණය කරන්නේය.  දිල්වානියා දුල්වාලේ ලේ ජායෙන්ගේ සිනමාපටයේ ශාරුක් මුළුතැන්ගෙයි වැඩට උපකාර වන ආකාරය දැකීමට රසිකාවන් ඉතා කැමැතිය. සිනමා පෙම්වතකුගෙන් රසිකයන්, රසිකාවන් සරාගී පෙමකට වඩා බොහෝ දේ බලාපොරොත්තු වෙයි. ශාරුක් සිය චරිතවලින් ඔවුන්ගේ සිතුවිලි සැබෑ කිරීමට අවස්ථාව උදාකර දී ඇත.

කබි කුෂි කබි ගම් සිනමාපටයේ ශාරුක්, කාජල් ඇසුරු කරනවාක් මෙන් තමන් ඇසුරු කරනවාට බොහෝ තරුණියන් කැමැතිය. එසේ නොලැබෙන විට එය තිරයෙන් හෝ දැක රසිකාවන් සෑහීමකට පත්වෙයි.   

ඉන්දියානු ආර්ථිකයේ නැග්මත් සමඟ උදාවූ වාසනාව

ශාරුක් අනූව දශකයේදී සිනමාවට අවතීර්ණ වන්නේ ඉන්දියාව ලෝක ආර්ථිකයේ අවධානයට යොමු වූ කාලයකය. වර්ධනය වන ඉන්දියානු ආර්ථිකය මෙන්ම නළුවකු ලෙස ඔහුගේ තත්ත්වයද වැඩිදියුණු විය.

ඉන්දියානු වෙළෙඳපොළ වෙනස් වී විදේශ ආයෝජකයන්ට වැඩි ඉඩ ප්‍රස්ථාවන් ලබාදීමත් සමඟ නව මාධ්‍ය ජාලා ව්‍යාප්ත විය. මෙවැනි මාධ්‍ය මඟින් ශාරුක්ගේ සිනමාපට, සිනමා ගීත, සාකච්ඡා නිවෙසේ සිටම නැරැඹීමට අවස්ථාව උදාවිය. මින් පෙර තරුවලට නොලැබුණු අවස්ථාවක් ශාරුක්ට ලැබිණි. නිදහස් ඉන්දියානු ආර්ථිකය සමඟ නව පාන වර්ග, මෝටර් රථ වැනි දේ වෙළෙඳපොළට එක්වූ අතර ඒවා වැඩි ගණනක සන්නාම තානාපති වූයේ ශාරුක් ඛාන්ය.

දැන්වීමක් සඳහා කරන රූගත කිරීමකට ශාරුක් දිනකට ඉන්දියානු රුපියල් කෝටි 3.4ක 4ක මුදලක් අය කරන්නේය. නිෂ්පාදන 40ක පමණ ඔහු සන්නාම තානාපති වශයෙන් ක්‍රියා කරයි. භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට පමණක් නොව ලෝක සංචාරක ව්‍යාපාර සඳහාද ඔහු යොදාගනියි. ඩුබායි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ශාරුක් සන්නාම තානාපති ලෙසින් යොදා ගැනිණි. රූපවාහිනි මාධ්‍යයෙන් දිනකට පැය හතරක්වත් ඔහුගේ දැන්වීම් විකාශය කෙරෙයි. මේ අනුව සාමාන්‍ය දිල්ලි පවුලක තරුණයකු කිසිදු සිනමා නෑකමක් නැතිව නව නිදහස් ඉන්දියානු ආර්ථිකයේ නැග්ම සමඟ වෘත්තීය සාර්ථකත්වයද වර්ධනය කරගත්තේය.

මුසල්මානුවකු වීම

ශාරුක් යනු මුස්ලිම් ආගමිකයෙකි. හින්දු ජාතිවාදී දේශයේ මුසල්මානුවකු සුපිරි තරුව වන්නේ කෙසේදැයි සිතුණා ද ශාරුක් වැන්නන්ට එය ගැටලුවක් නොවෙයි.

බොලිවුඩයේ තරු අතර සියයට 27ක් සිටින්නේ මුස්ලිම් ජාතිකයන්ය. එහෙත් ඉන්දියානු ජනගහනයෙන් මුස්ලිම් ජාතිකයන් සිටින්නේ සියයට 12ක් පමණි. වර්තමානයේ ඛාන්වරු ගණනාවක් බොලිවුඩයේ රඟති. ශාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන්, සායිෆ් අලි ඛාන්, ෆර්ඩීන් ඛාන් ඉන් කිහිප දෙනෙකි. අතීතයේද මුස්ලිම් තරු බොලිවුඩ් තිරයේ බැබළිණි. ඒ අතරින් මොහොමඩ් යූසුෆ් ඛාන් සුවිශේෂීය. දේවිකා රාණි නම් විශිෂ්ට නිළිය විසින් ඔහු සිනමාවට හඳුන්වා දී ඇත්තේ දිලිප් කුමාර් නමිනි. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට හා පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන්ට  බොහෝ කාරණා සම්බන්ධයෙන් එකඟ විය නොහැකිය. එහෙත් දිලිප් කුමාර් මියගිය විට මෝදි මෙන්ම ඉම්රාන්ද එක්ව ශෝක විය. ඉන්දියානුවන් සේම පාකිස්තානුවන් ද එකසේ සංවේගයට පත් විය. දිලිප් යනු ඉන්දියානුවන් දුටු පළමු චරිතාංග නළුවාය.

මේ අග්‍රගණ්‍ය රංගවේදියා තමන්ගේ සමකාලීන නළුවන් වූ රාජ් කපූර්, දේව් ආනන්ද් පරදමින් රසිකයන්ගේ හදවත දිනාගත්තේය. ඔහු ඉපදුණේ ඉන්දියාව බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති කාලයක 1922 පෙෂාවෝර් හිදීය. රංගනයට බොම්බේ පුරවරයට පැමිණි ඔහු සිය සිනමා චරිත මඟින් සියලු හින්දු ජාතික නළුවන්ට යථාර්ථවාදී රංගනය හ¾දුන්වා දුන්නේය. දිලිප් හින්දි තිරය ජයගත් පළමු මුසල්මානුවා වන්නේය. නිදහස ලැබූ පසු ඉන්දියානුවන් සාම්ප්‍රදායික නොවී නව දෘෂ්ටියකින් බැලීමට හුරුවීම එකල මුස්ලිම් නළුවන්ට හිමිවූ වාසියකි.

දිලිප්ගේත් ශාරුක්ගේත් සමානකම් කිහිපයක් තිබෙයි. දිලිප් යනු ශාරුක්ගේ සිනමා වීරයෙකි. ශාරුක්ගේ පිය පාර්ශ්වයේ නෑයන් අදටද පදිංචි වී සිටින්නේ පෙෂාවෝර්වලය. ඔහු ටෙලි නාට්‍ය රංගනයට පිවිසි අලුත වැඩි දෙනෙක් ශාරුක්ගේ රංගනය දිලිප් හා සමාන කිරීමට පුරුදු වී සිටියහ.  

දිලිප්ගේ පරපුරෙන් පැවත එන ශාරුක්ට තම මුස්ලිම්භාවය අවාසියක් වූ අවස්ථාවක් ලෙස පුතු ආර්යන් මත්ද්‍රව්‍ය චෝදනාවකට සිරභාරයට ගැනීම සඳහන් කළ හැකිය. නරේන්ද්‍ර මෝදි රජය මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ අන්තවාදී ක්‍රියාපිළිවෙතකි. ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීම රටේ ජනප්‍රිය, සාර්ථක මුස්ලිම් නියෝජනයට එල්ල කළ පහරක් ලෙස වැඩිදෙනෙක් අර්ථ දැක්වූහ. ඉන් ශාරුක්ගේ රංගනයට, සන්නාම තානාපතිකම්වලට අනිටු බලපෑම් ඇති විය. මෝදි රජය එසේ කළද රසිකයන් ශාරුක් පහළට ඇද නොදමා ඉහළටම ඔසවා තබන්නේය.

ශාරුක් දකුණු ආසියාවේම සුපිරි පෙම්වතාය. ඔහු සියලුම දකුණු ආසියාතිකයන්ට ගැළපෙන පෙම්වතාය. ඔහුට සිටින ගෝලීය රසික සංඛ්‍යාව බිලියනය ඉක්මවයි.

ඔහු භාරත සිනමාවේ සාම්ප්‍රදායික පෙම්වතාට වඩා ඔබ්බට ගිය තරුවකි. ශාරුක් නම් සිනමා පෙම්වතා, පෙම්වතාට අමතරව කාන්තාවට මිතුරකු, පියකු ලෙසින්ද සමීප වෙයි. ඔහු රඟන චරිත කෙතරම් සංවේදීද කිවහොත් රසිකයන් ක¾දුළු ගංගා වගුරවයි.

බි්‍රතාන්‍යයේ CNN මාධ්‍ය සේවාව ලොව වඩාත් ජනප්‍රිය නළුවා ශාරුක් ඛාන් බවට වාර්තා කර තිබිණි. ශාරුක් වැඩිම මුදලක් අය කරන නළුවන්ගෙන් කෙනෙකි. ඔහු මේ වනවිට සිනමාපට 80කට වැඩි ගණනක රඟපා ඇත. දිනා ඇති ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන ගණන 14කි. ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානයත්, ප්‍රංශ රජයෙන් Ordre des Arts et des Lettres සහ Legion of Honour සම්මානයත් හිමිකර ගෙන තිබෙයි. 2014 වසරේදී බොලිවුඩයේ රජු ශාරුක්ට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මාන හිමිවූයේ ඉන්දියානු සිනමාවට සිදු කළ අතිමහත් සේවයටය.  ඔහු ලෝක සිනමාවේ වඩාත්ම සාර්ථක නළුවන්ගෙන් කෙනෙකි. ටයිම් සඟරාවේ කවරය තම රුවෙන් සැරසීමට වරම් ලැබූ ප්‍රථම ඉන්දීය නළුවා ශාරුක් ඛාන්ය. ටයිම් සහ නිවුස්වීක් සඟරා මඟින් ඔහු ලොව ප්‍රබලම නළුවකු ලෙස නම් කර ඇත.    

2018දී ඔහු රඟපෑ සීරෝ සිනමාපටය ආදායම් වාර්තා පිහිටුවීමටවත් විචාරක පැසසුම් ලැබීමටවත් සමත් නොවීය. එහෙත් රසිකයන් බලාපොරොත්තු අත්හැර නැත. 2023 වසරේ ශාරුක්ගේ සිනමාපට ගණනාවක්ම තිරගත වීමට නියමිතය. පතන්, ජවාන්, දුන්කි සිනමාපට ඒ අතරින් ප්‍රධානය. ශාරුක්ගේ සිනමා පටයක් තිරගත වනතුරු වසර ගණනක් බලා සිටින  රසිකයන්ට එතරම් සුබ පුවතක් තවත් නැත.  

සාර්ථක ව්‍යාපාරිකයෙක් – සමාජ සේවකයෙක්

ශාරුක් හා ඔහුගේ බිරිය ගෞරී Red Chillies Entertainment සමාගමේ හිමිකරුවන්ය. අසෝක, චල්තේ චල්තේ, ඕම් ශාන්ති ඕම් මේ සමාගමෙන් නිපදවූ  ආදායම් වාර්තා පිහිටවූ සිනමාපට දෙකකි. මීට අමතරව ශාරුක් ක්‍රිකට් සමාගම් ගණනාවකම හිමිකරුවෙකි. Indian Premier League, Kolkata Knight Riders, Caribbean Premier League සහ Trinbago Knight Riders ක්‍රිකට් කණ්ඩායම්වල සම හිමිකරුවෙකි. මීට අමතරව ඔහුට රූපවාහිනි නිවේදනයට, ප්‍රසංග වේදිකා ඉදිරිපත් කිරීමට නිතර ආරාධනා ලැබෙයි. මේ නිසා මාධ්‍ය ශාරුක් හඳුන්වන්නේ සන්නාම ශාරුක් ලෙසය.

2021 වසරේ ශාරුක්ගේ ශුද්ධ වටිනාකම (net worth) අමෙරිකානු ඩොලර් මිලියන 750කි. මේ අපූරු නළුවා නිහඬවම සමාජ සද්කාර්යයන්හි නිරත වෙයි. සෞඛ්‍ය සේවාවන්ට හා ආපදා අවස්ථාවන්ට ඔහු නිතරම මුදලින් උපකාර කරයි. දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට දුන් සහයෝගයට ඔහුට යුනෙස්කෝවෙන් 2011දී Pyramide con Marn සම්මානය හිමි විය. ලෝක ආර්ථික ෆෝරමයෙන් 2018දී ක්‍රිස්ටල් සම්මානය හිමිවූයේ ළමා හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙනි.

මුස්ලිම් බැතිමතකු වූ ශාරුක් හින්දු – මුස්ලිම් ආගම් දෙකම ඇදහීමේ නිදහස දරුවන්ට ලබාදී ඇත. නිවෙසේ ආගම් දෙකටම පූජස්ථාන දෙකක් තිබෙයි. භාරතයේ හින්දු අන්තවාදීන් රජ කළත් බොලිවුඩ් සිනමාව එවැනි තැනක් නොවෙයි. අතීතයේ සිටම හින්දි ජාතිකයන් සහ මුස්ලිම් ජාතිකයන් එක්ව රඟපායි. එක්ව සිනමාපට නිර්මාණය කරයි. සිනමාපටයක් නිර්මාණය කරද්දී සිනාසෙන්නේ, හඬන්නේ එකටය. එනිසා දිලිප් කුමාර්. ශාරුක් ඛාන් වැනි විශිෂ්ට රංගධරයන් දකුණු ආසියාවෙන් ලොවට බිහිවිය. 

අන්තර්ජාලයෙනි

චම්පිකා දීපානි රණසිංහ