බුදු දහම ඉදිරියේ විද්‍යාව අතදරුවෙක්ද?

0
692

බුද්ධාගම යනු ලෝකයේ සුළුතරයක් අදහන ආගමකි. බුදු දහම යනු ඊටත් වඩා සුළුතරයක් අනුගමනය කරනා දහමකි දර්ශනයකි. බුදු දහම මේ වන විට ලෝකයට දැනුම් පද්ධතියක් හර, පද්ධතියක් ලෙස දායාද වී වසර 2500ක් ඉක්මවා ගොසිනි. නමුත් කාලයත් සමඟ “සියල්ල අනිත්‍යය” යන බුදු දහමේ නියමය බුදු දහමටද ආරෝපණය වී ඇත. ඒ අනුව වසර දහස් ගණනක් තිස්සේ පරිණාමයට ලක් වූ බුදු දහමට එක්වූ මිථ්‍යා විශ්වාසවල සත්‍යය විමසා බලමු . බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද? මාර්ගයක්ද?

ඇතැමුන්ගේ උප්පැන්න සහතිකයේ ආගම ලෙස සටහන් වන තැනට යෙදෙන්නේ බුද්ධාගම කියාය. ඔවුන්ගෙන් කවුරුන් හෝ විමසුවහොත් ඔබේ ආගම කුමක්ද කියා ඔවුන් කියන්නේ බුද්ධාගම කියාය. නමුත් බොහෝ අවස්ථාවල ඔබගෙන් බුද්ධ දර්ශනය පිළිබඳ විමසීමක් කරන්නේ නැත. හේතුව නම් අප කුඩා කල සිට හුරුපුරුදු වූ අධ්‍යාපනයේ පවතින්නේද “බුද්ධාගම” කියාය. බුද්ධාගම යනු පසුකාලීනව විවිධ අභිචාර ක්‍රම වේගයෙන් ඇතුළු වෙමින් පරිණාමය වූ කොටසකි. එය බොහෝ විට ඇදහීමක් දක්වා ගිය අංශයකි.

බුදු දහම යනු මුල් කාලයේ සිටම පැවැත ආ ධර්ම – විනය සම්ප්‍රදාය වේ. එයට බුදු හිමි විසින් දේශිත කරුණු සේම පසුකාලීන විද්වතුන් එක් කළ කරුණුද පවතී. බුදු දහම යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට ප්‍රථම බුදු/බුද්ධ යනු කුමක්දැයි සොයා බැලිය යුතුය. බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් හෙබි යැයි බුදු දහමේ දේශිතය. සර්වඥතාව යනු සියල්ල පිළිබඳ දැනුම, ඥානය, අවබෝධය ලෙස අපට සැලකිය හැකිය. ඒ අනුව බුදු දහම යනු සියල්ල පිළිබඳ දහමකි. එනම් බුද්ධිමත් වූ දහම බුද්ධ දහම නම් විය.

බුදු දහම ආගමක්ද නැතිනම් දර්ශනයක්ද නැතිනම් මේ ද්විත්වයමද එසේත් නැත්නම් මේ කිසිවක්ම නොවේද යන්න විවිධ අවස්ථාවල මිනිසුන්ම විග්‍රහ කර ගනී. ආගමක් හා දර්ශනයක් අතර වෙනස්කමක් පවතී. ලෝකයේ ආගම්, වාද, සංකල්ප හා දර්ශන දහස් ගණනක් නිර්මාණය වෙමින් පැවතෙමින් විනාශ වෙමින් ගමන් කරනු ලබයි. ආගමක් හා දර්ශනයක් වෙනස් වෙන්නේ ඵලයට හේතුවක් නොවිමසා අනුගමනය කරනා අවස්ථාවේදීයි. ආගමක් ලෙස සලකන්නේ ඇදහීම වැනි දෙයකි. එහිදී යම් සිදුවීමක් සිදුවේ නම් එසේ වීමට හේතුව විමසන්නේ නැති තරම්ය. බොහෝ විට හේතුවක් පිළිබඳ හරිහමන් පැහැදිලි කිරීමක් හෝ නොමැත. ප්‍රශ්න කිරීමේ අයිතියක් පවා සමහරවිට නොමැත. නමුත් දර්ශනයකින් සිදු වන්නේ අනුගමනය කිරීමය. එහිදී මේ දේ වෙනවා නම් වීමට හේතුව මෙයයි කියා තිබෙන නිසා අනුගමනය කරයි. නමුත් විමසීමක් කරන්නේ නැත. ප්‍රශ්න කිරීමට ස්වයං වාරණයක් යොදාගෙන ඇත.

බුදු දහම ගැන සැලකූ විට එය ස්වයං වාරණ නොමැති ප්‍රශ්න කිරීමේ පූර්ණ අයිතිය ඇති නියතයකි. නියතයක් යනු ප්‍රශ්න කළද නොකළද නියතය නියතයම වේ. ඇදහුවද අනුගමනය කළද නොකළද නියතය නියතයක්ම වෙමින් ක්‍රියාත්මක වේ. එනම් නියත ධර්මතාවකි. නමුත් වර්තමානයේදී ලංකාවේ බුදු දහම වියැකී බුද්ධාගම ඇදහීම සිදු වන බව පෙනේ.

බුදු දහම විද්‍යාත්මකව ඔප්පු වෙනවාද?

බුදු දහම යනු විද්‍යාත්මකව ඔප්පු කළ හැකි දහමක් බව බොහෝ අවස්ථාවන්හිදී පෙනී ගොස් ඇත. බුදු දහම යනු “සත්‍යය” පෙන්වූ දහමක් වේ. එනම් සත්‍ය යනු ස්වභාවධර්මයේ රටාවය. එය ඕනෑම පුද්ගලයකු තමාට දැනෙන හා අවබෝධ වන ප්‍රමාණය අනුව විග්‍රහ කරනු ලැබේ. නමුත් යථාර්ථය තුළදී එය කෙතරම් වෙනස් වේ දැයි එය පිළිබඳ අවබෝධයක් නොමැතිව කිව නොහැකිය. නමුත් ගෞතම බුදු හිමි එසේ “අවබෝධය” ලබාගත් පසු දේශිත කරුණු ත්‍රිපිටක තුළ තැන්පත් වූ බැවින්ද අප උපතින් “බෞද්ධ” වූ නිසාද අපි එම දර්ශනය පිළිගෙන සිටින්නෙමු. ඒ අනුව ස්වභාවධර්මය ක්‍රියා කරන ආකාරය මිනිසාට පැහැදිලි කර දුන් දර්ශනයකි බුදු දහම.

විද්‍යාවට සීමාවක් නම් කළ නොහැකිය. විද්‍යාව ලෙස අප රාමුගත කළ කොටස යනු යම් දෙයක ස්වභාවය පෙන්වන යම් ක්‍රමවේදයකි. පංචේන්ද්‍රිය ගෝචර සාක්ෂි මත පදනම්ව පරීක්ෂණය, නිරීක්ෂණය හා නිගමනය යන පියවර ඔස්සේ තීරණය කරන දැනුම් පද්ධතියකි. අද අප විද්‍යාව ලෙස සලකනු ලබන්නේ නවීන තාක්ෂණික ක්‍රමවේද මත පදනම්ව පංච ඉන්ද්‍රීය ගෝචර සීමාවේදී යමක ස්වභාවය පෙන්විය හැකි ක්‍රමවේදයකට වුවද විද්‍යාව යනු මෙයමයි කියා ඉරි ගසා වෙන් කළ නොහැකිය.

එය අප විසින් අප සඳහාම පනවා ගත් ක්‍රමයකි. නිවැරදි අදහස නම් විද්‍යාව පංච ඉන්ද්‍රිය ගෝචර සීමාවකට කොටු කළ නොහැකි බවය. උදාහරණයකට මිනිසාගේ ශ්‍රවණ පරාසය හර්ට්ස් 20 – 20,000ද පෙනීමේ පරාසය නැනෝමීටර් 390 – 760 වේ. මේ හේතුව නිසා අපට ගැමා, අධෝරක්ත වැනි කිරණ පරාසයන් පියවි ඇසින් දැකිය නොහැකිය. එසේම ග්‍රහලෝකවල, භූමිකම්පාවල, කුඩා සතුන්ගේ ශබ්ද  වැනි දෑ ශ්‍රවණය කළ නොහැකිය. ඒ අනුව ගැමා වැනි කිරණ ප්‍රභේද නැතැයි කීම හෝ අනෙක්වාට ශබ්ද ඇති කළ නොහැකි යැයි යම් පුද්ගලයෙක් තර්ක කරන්නේ නම් එයද මුළාවකි.

මේ පරාසයන් අනුව පෙනී යන දේ නම් මිනිසා සිටින්නේ ඉතා සීමිත වපසරියකය. මෙයට වඩා මිනිසාගේ පරාසයන් සීමිත විය හැකිය. මිනිසාට නොදැනෙන ගන්ධයන්, රසයන් පවා තිබිය හැකිය. ඒ අනුව පංච ඉන්ද්‍රිය ගෝචර සීමාව ඉතා පටුය. ඒ අනුව බුදු දහම යනු ලෝකෝත්තර දහමකි. නවීන විද්‍යාව යොදා ගන්නේ ලෞකික දියුණුවටය. නමුත් බුදු දහම තුළ ලෝකෝත්තර ගමනට උපකාර කර ගත හැකි ලෞකික දෑද සඳහන්ව ඇත. මිනිස් ඇසට නොපෙනෙන ප්‍රාණීහු, අභ්‍යවකාශයේ සැකැස්ම, විශ්වයේ ප්‍රසාරණය, විශ්වයේ නිර්මාණය, පිටසක්වළ ජීවය, පෘථිවි නිර්මාණය, පරිණාමවාදයේ කොටස්, අණුක ජීවය වැනි දෑ නවීන විද්‍යාවේ තාක්ෂණික ක්‍රම ඔස්සේ යම් පමණකට තහවුරු කරගෙන ඇත. සමහර විට අනාගතයේදී අප නොසිතන බොහෝ දෑ තහවුරු කරනු ඇත. ගැටලුව ඇත්තේ තාක්ෂණික උපකරණ නොපැවතීම බව පෙනේ.

 නමුත් සිඟාලෝවාද සූත්‍රය වැනි ඒවා තුළ එකිනෙකා කෙරෙහි යුතුකම් ඉටු කළ යුතු ආකාරය දක්වා ඇත. එමෙන්ම වසල සූත්‍රය තුළ මිනිසුන්ගේ ස්වභාවය ප්‍රායෝගිකව ගත යුතු ආකාරය දක්වා ඇත. නියාම ධර්ම තුළ ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන ආකාරය වැනි බොහෝ දෑ දක්වා ඇත. ඒ අනුව ලෞකික ජීවිතය වෙනුවෙන් සාමාන්‍ය ජීවිතය ගෙනයෑමට අවශ්‍ය බොහෝ දෑ දක්වා ඇත. එනම් වර්තමානයේ ඔබ හට උපදේශන සේවාවලින් ලබාගත හැකි සමහර උපදෙස් පවා අඩංගු වේ.           

බුදු දහම ඉදිරියේ විද්‍යාව අත දරුවෙක්ද?

බුදු දහම යනු ලෝකෝත්තර එනම් නැවැත්මේ දහමකි. සීමිත ප්‍රමාණයක් වෙනුවෙන් නොව සමස්තයක් වෙනුවෙන් සැකසී ඇති ක්‍රමවේදයක් විග්‍රහ කිරීමකි. එනම් සංසාරය නම් සංකල්පයකි. විද්‍යාව ලෙස අප සලකන නවීන විද්‍යාව යනු ලෞකික එනම් පැවැත්මේ දහමකි. සීමිත ප්‍රමාණයක් වෙනුවෙන් නිර්මාණය කරගත් දැනුම් පද්ධතියකි. එනම් මේ භවය වෙනුවෙන් පමණක් ගොඩනැඟූ ක්‍රමවේදයකි. එනම් මරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ 100%ක අර්ථකථනයක් ලබාදිය නොහැකි තත්ත්වයක් ඇත. උපකල්පන මත පමණක් පිහිටයි. “විද්‍යාව“ට අනුව මෙය කොටස් දෙකකි. නමුත් බුදු දහම අනුව එකකි. අප විසින් ගොඩනඟාගත් දෙයක් සමඟ ස්වභාවධර්මය සැසඳීමකි. ලෞකික අදහසක් හා ලෝකෝත්තර අදහසක් එකිනෙක සැසඳීම නිෂ්ඵල ක්‍රියාවකි. මක්නිසාද යත් විද්‍යාවට හා බුදු දහමට යන දෙකටම අනන්‍ය වූ තොරතුරු සඳහන්ව ඇත්තේ සීමිතවය.

කවුරුන් හෝ ධ්‍යාන ලැබීම, නිර්වාණය, භාවනා කිරීම, රහත් වීම, කර්මය, පුනර්භවය වැනි පංච ඉන්ද්‍රීය ගෝචර නොවන දෑ විද්‍යාත්මකව ඔප්පු කළාද යැයි ඇසීම අදට ප්‍රඥා ගෝචර නැත. මක් නිසාද යත් නවීන විද්‍යාව තුළ තවම එවැන්නක් ඔප්පු කිරීම මඟින් එය සත්‍යක්ද අසත්‍යක්ද යන්න දැනගැනීමට නිශ්චිත ක්‍රමවේද නොමැති නිසාය. මේවා සත්‍ය හෝ අසත්‍ය බව ප්‍රකාශ කළ හැක්කේද එවැනි දේවල් අත්දැකපු කෙනෙක්ටම පමණි. කළ හැක්කේ මාර්ගය පෙන්වීම පමණක් වන අතර ඒ ඔස්සේ ගමන් කොට එය හ¾දුනාගෙන ඔප්පු කර ගත හැකිය.

නවීන විද්‍යාවේ සඳහන් කරන පරමාණුව, තරංග, කිරණ, විකිරණ, නියුරෝන, පරිගණක ක්‍රමලේඛ, ඉලෙක්ට්‍රොනික දත්ත තැන්පත් කිරීම සියැසින් දුටුවන් නැත. කනට ඇසුණු පුද්ගලයන් හෝ නොමැත. ඇත්තේ මෙය නිසා මෙය වන්නේය කියා පෙන්වීම පමණි. ඒ සඳහා දර්ශක අති විශාල ප්‍රමාණයක් යොදාගෙන ඇත. ඇත්ත ඇති සැටියෙන් පංචේන්ද්‍රියෙන් අත්විඳිය නොහැකිය. නමුත් විද්‍යාව තුළ ලෞකිකත්වය දියුණු කරගෙන සාර්ථක වීමට දැවැන්ත දැනුමක් ගබඩා කොට ඇත.

එහි ප්‍රයෝජන සාර්ථකව අද වන විට අපි ඉහළින්ම ලබන්නෙමු. එසේ හෙයින් නවීන විද්‍යාව ලෞකිකත්වයේ ඉදිරියට වේගයෙන් ඇදෙන අතර බුදු දහම යනු ලෝකෝත්තර ස්වභාවයේ ඉදිරියටම ඇදුණු දැනුම් පද්ධතියකි. ඒ අනුව අන්ත දෙකක් ඔස්සේ විද්‍යාව හා බුදු දහම දිවෙයි. විද්‍යාව අනුව බුදු දහමේ බොහෝ කරුණුවලට එතරම් පිළිගැනීමක් නොමැත. සාධනය කළ නොහැකිය. නමුත් බුදු දහම තුළ විද්‍යාවේ සමහර කරුණු සාධනය වී ඇත. නමුත් සමහර කරුණු ගැන සඳහනක් නොමැත. එයට හේතුව නම් බුදු දහම ලෝකෝත්තර අංශය ශක්තිමත් කිරීමය. ඒ අනුව බුදු දහම ඉදිරියේ විද්‍යාව අතදරුවෙක් නොවේ. එසේම විද්‍යාව ඉදිරියේ බුදු දහම අසත්‍යද නොවේ.            

පුනරුප්පත්තියද? පුනර්භවයද?

පුනරුප්පත්තිය යනු නැවත ඉපදීමයි. බොහෝ බෞද්ධයන් පවා පුනර්භවය කියන වචනයට වඩා පුනරුප්පත්තිය නම් වචනය සමඟ බැඳී සිටියි. මෙය හින්දු සංකල්ප සමඟ මිශ්‍රව පැවත ආ අද සමාජයේ හ¾දුන්වන නැවත ඉපදීම වේ. මෙහි අදහස වන්නේ මම මම ලෙසම නැවත ඉපදීම වේ. එනම් කිසිදු වෙනස්කමක් නොමැතිව මියගිය පසු නව ශරීරයක තාවකාලිකව ඉපදීමය. නැවත මියගොස් නැවත ඒ අයුරින්ම නොනවත්වා ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යෑමය. එහිදී මේ භවයේ සිදු කරන දෑ මේ භවයට සීමා වේ. නව භවයේදී ඒ භවයේ සිදුකරන දෑ පවතී. බුදු දහම පුනරුප්පත්තිය ප්‍රතික්ෂේප කරනු ලැබේ.

පුනර්භවය යනු භවය නැවත හට ගැනීම වේ. භවය නැවත හට ගැනීමට කර්මය හේතු වේ. කර්මයට හේතුව ක්‍රියාව වේ. එනම් ක්‍රියාව නොමැති නම් නැවත භව හට ගැනීමක් නොමැත. නැවත හට ගැනීමක් නොමැති නම් කර්මයක් නොමැත. බුදු දහම පෙන්වා දෙන්නේ පුනර්භවය අවසන් කිරීමය. සිදුහත් කුමරා ඉපදීමෙන් පසු ප්‍රකාශ කළ පාඨයේ කියවෙන්නේ “නත්ථිදානෝ පුනබ්බවෝති“. එනම් නැවත භව හට ගැනීමක් නොමැති බවය. පෙර භවයන් පිළිබඳ තොරතුරු ප්‍රකාශ කරනා බොහෝ අය ප්‍රකාශ කරන්නේ පුනර්භවයේ යෙදීමක් ගැනය. එනම් සංසාරයේ එක් භවයක විස්තරය. සංසාරය නම් චක්‍රය තුළ ගමන් කරනා සත්ත්වයා හට පුනර්භවයක් හිමි අතර කර්ම විෂය අචින්ත්‍ය බව බුදු දහමින් පවසයි. මෙය නොසෙවිය යුතු විෂයක් ලෙසත් පරක් තෙරක් සොයාගත නොහැකි බවත් සඳහන් වේ. ඒ අනුව පුනරුප්පත්තිය ලෙස දෙයක් නොමැති අතර ඇත්තේ පුනර්භවය නම් දෙයක් විය හැකි බව කිව හැකිය.

කර්මය විශ්වාස කරනවාද?

කර්මය යනු ක්‍රියාවන්හි ප්‍රතිඵලයකි. කර්මය නිර්මාණය කරන්නේද තමන් කරනා ක්‍රියාවන් විසින්මය. එය පිටතින් කෙනකුට ලබාදිය නොහැකි සාධකයකි. ඔබ දැක ඇති උපතින්ම අන්ධ වූ මවුපියන් හට හොඳින් දෑස් පෙනෙන දරු උපත් සිදු වෙනවා. ජීව විද්‍යාත්මකව පමණක් එය විය හැකිදැයි සිතීම අපහසුය. මක් නිසාද විද්‍යාව අනුව අදාළ සාධක සැපයේ නම් ප්‍රතිඵලයේ ‍ෙදා්ෂ සහිත වීම අහඹුතාව පමණක්මද යන්න පැහැදිලි කිරීම අපහසුය. ඒ අනුව කර්මයට අනුව යම් යම් ප්‍රතිඵල සංසාරයේ විවිධ කාලවල ලැබෙන බවට ලොව පුරා විවිධ සාක්ෂි වාර්තා වී ඇත.

ඒ අතර සුවිශේෂී වන්නේ එඩ්ගාර් කේසි නම් බටහිර රටක ජීවත් වූ දෛවඥයා කිවූ තොරතුරුය. සංසාරය පිළිබඳ ඔහු කිවූ තොරතුරු ඔහු විසින්ම “ර්චදර ර්චදඵඪධදඵ” නම් ග්‍රන්ථයේ සටහන් කොට ඇත. එසේම එම ග්‍රන්ථය කන්නිමහර සුමංගල හිමියෝ “සංසාර මන්දිර” නමින් සිංහලයට පරිවර්තනය කොට ඇත. ඔබට එය කියවා තවත් තොරතුරු දැනගත හැකිය. එයට අමතරව ලොව පුරා “අහඹුතාව“ නොව “කර්මය” යැයි “විශ්වාස” කළ හැකි ගවේෂණාත්මක  තොරතුරු ඉදිරිපත්ව ඇත.

හැම එකටම මුල කරුමේ තමයි.

කර්මය අනුව සියල්ල සිදු නොවන බව බුදු හිමි විසින් දේශනා කොට ඇත. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.” මහණෙනි චේතනාව කර්මයට මුල වේ. බුද්ධ දේශනාව තුළ මේ ආකාරයෙන් සඳහන්ව ඇත. එම නිසා අපේ පයට පෑගිලා නොදැනුවත්ව සතෙක් මිය යයි නම් අකුසලයක් රැස් වන්නේ නැත. නමුත් හිතාමතා සතෙක් පාගා මරා දමයි නම් ඔබ හට අකුසල් රැස්වේ. ඊට අනුරූපව කර්මපථය සැකසී සුදුසු අවස්ථාවක ඔබ හටද යම් භවයක හෝ මේ භවයේම ප්‍රතිවිපාකවලට ලක්වීමට සිදුවේ.

එසේම බොහෝ අය තමන්ට සිදුවන අයහපත් ප්‍රතිඵලයන් වෙනුවෙන් ලබාදෙන නිර්වචනය වනුයේ “කර්මය” වේ. නමුත් කර්මය යනු අයහපත් ප්‍රතිඵල පමණක් නොව යහපත් ප්‍රතිඵලවලටද පොදුවේ භාවිත වන නමකි. ඒ අනුව ඔබට ජීවිතයේ සිදුවන සෑම සිදුවීමක්ම පෙර කරන ලද කර්මයක් හේතුවෙන් සිදු නොවන සිදුවීමකි. බොහෝ අවස්ථාවල පුද්ගලයන් අදහාගත නොහැකි ලෙස හදිසියේ මියයෑම හෝ අනතුරුවලට ලක්වූ විට “අනේ පූරුවේ කළ කරුමයක් පඩිසන් දුන්නා” යැයි සමාජයේ කියමනක් පවතී. නමුත් බුදු දහම අනුව “මරණය” සිද්ධවෙන ආකාර අනුව “හදිසි මරණ” යනුවෙන්ද සිද්ධ වන බව කියැවේ. ඒ අනුව සියල්ල කර්මයට අනුව සිදුවන බව පැවැසීම සාවද්‍යය.

මැරුණු ගමන් අපායේ හෝ දිව්‍යලෝකේ යනවාද?   

අප සමාජයේ බොහෝ අය විසින් පවසන කරුණක් වනුයේ මියගිය පසු විගසින් දිව්‍යලෝකයේ හෝ අපායේ යන බවය. ජීවත්ව සිටින කාලය තුළ අයහපත් ක්‍රියා සිදුකළ අය මියගිය විගස අපායේ උත්පත්තිය ලබන බවත් යහපත් ක්‍රියා සිදුකළ අය දිව්‍ය ලෝකයේ උපත ලබන බවත්ය. නමුත් සමහර අවස්ථාවල සමාජයේ මියගිය පසු ගන්ධබ්බයෙක් විධියට පරිසරයේ සැරිසරන බවද කියයි. මෙය මහායාන සම්ප්‍රදාය සමඟ ඉතාමත් වෙනස් ස්වරූපයකින් වර්තමාන සමාජයේ මුල් බැසගත් කතාවක් වේ. මහායාන පැහැදිලි කිරීම නම් මියගිය පසු අපගේ සූක්ෂ්ම ශරීරය වෙනත් උපතක් ලබනා තෙක් සැරි සැරීම නම් වේ.

අන්තරාභවය යන වචනයේද තේරුම භවයක් අතරමැද නම් අදහසකි. නමුත් බුදු දහමේ ගන්ධබ්බයා යන අදහස වෙනස් වූවකි. තාවකාලික භවයක් ලැබීම ගන්ධබ්බ වේ. ඔබ අසා ඇති චුති හා ප්‍රතිසන්ධි සිත් 2ක් පිළිබඳව. එනම් මියයෑමට පෙර ඇතිවන සිත හා ඊට අනුරූපව ඉපදීමට ඇතිවන සිත. ඔබ අසා ඇති සමහරෙක් මෝහන ප්‍රතිකර්ම හා පුනර්භව පැවැසීම්වල ඉපදෙන්න කලින් කළ දේවල් සහ සිටි ස්වරූපය පිළිබඳ තොරතුරු. මේ තමා ඒ තාවකාලික භව. භූතාත්ම වැනි භව. මේ භවය තුළ කර්මය ගෙවූ පසු නැවත ස්ථිර උප්පත්තියක් ලබා ගනී.

ඒ අනුව මරණාසන්නව මේ භවයේදී අකුසල් වැඩියෙන් කළ කෙනෙක්ට ඉතා හොඳ සිතක් පහළ වුවහොත් ඔහු දිව්‍යලෝකයේ පවා උපත ලබයි. වෙනත් සිතක් පහළ වුවහොත් ප්‍රේතයෙක් වුවද විය හැකිය. නමුත් කර්මානුරූපව කෙටි කලකින් ඉන් චුත වී වෙනත් තැනක උපත ලබයි. ඒ අනුව මිනී මරපු පුද්ගලයෙක් මැරුණාම මේ මිනිහා නම් අපායේ තමා යන්නේ කීම එතරම් නිරවද්‍ය නැත.

පන්සිය පනස් ජාතක කතා පොතට වඳිමුද?

බුදු රදුන්ගේ පෙර භව 500 ගණනක් තුළ කළ කී දෑ මේ තුළ අඩංගු වේ. මෙය සත්‍යයක්ද බොරුවක්ද යන්න එකවර කිසිවකුට කිව නොහැකිය. බුදු රදුන්ගේ ධර්මය මතකයේ තබා ගත්තේ ආනන්ද තෙරුන් විසින්ය. ඒ බුදු රදුන් සමඟ වැඩසිටි අවස්ථාවලදීය. එසේ නොසිටි අවස්ථාවල කෙතරම් ධර්ම කරුණු දේශනා කරන්න ඇතිද යන්න පිළිබඳ අප හට අවබෝධයක් නොමැත. ඒ අනුව 84,000ක් වූ ධර්ම ස්කන්ධය යනු ආනන්ද මහ තෙරුන් ශ්‍රවණය කොට මතකයේ තබා ගත් ප්‍රමාණය විය හැකියි. සමහර විටෙක එසේ ශ්‍රවණය කිරීමට අවස්ථාවක් නොලද ප්‍රමාණයක් තිබුණා විය හැකිය. එසේම බුදුහිමි දේශනා නොකළ කොටස් මෙයට වඩා අසීමිත විය හැකිය.

එසේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්ත්වයා ගණනය කළ නොහැකි තරම් භවවල උප්පත්තිය ලබන බවයි. ඒ අනුව බුදු හිමි උපත ලද්දේ මේ භව 500 ගණන පමණක් බව කිසිවකුට උපකල්පනය කළ නොහැකිය. එයට වඩා උපදිනවා නම් මෙය බොරු පොතක් බවද කිසිවකුට කිව නොහැකිය. බුදුහිමි බොහෝ අවස්ථාවල ධර්ම දේශනා තුළදී උදාහරණ වෙනුවෙන් විවිධ වූ ස්වකීය පෙර භවයන් පිළිබඳ තොරතුරු දේශනා කළහ. ඒ අනුව ජාතක කතා පොත යනු ධර්ම කරුණු විග්‍රහයන්හිදී යොදාගත් යම් යම් උදාහරණ පසුකාලීනව බුදුහිමි සහ බුදු දහම කෙරෙහි ජනතාවගේ සිත් පහදවා ගැනීමට හා ආකර්ෂණය වඩ වඩාත් සමීප කර ගැනීමට සංක්‍ෂිප්තව එක් කොට එක් ස්ථානයක ලියවුණු කතා මාලාවක් බව සිතාගත යුතුයි.

රවිඳු බණ්ඩාර