බැට්මෑන් කියන්නේ දුෂ්ටයෙක්ද?

0
565

ගෝතම් නගරයේ ඩාක් නයිට්වරයා වෙන බැට්මෑන් කියන්නෙ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සුපිරි වීරයන්ගෙන් කෙනෙක් වගේම බාල, මහලු කා අතරත් ගොඩාක් ප්‍රසිද්ධ චරිතයක්. බැට්මෑන්ට ලෝකය පුරාම විශාල රසික ප්‍රජාවකුත් ඉන්නවා. ඒ හේතුව නිසාමයි බැට්මෑන් සම්බන්ධයෙන් රසිකයන් අතර අපූරු ෆෑන් තියරි නිර්මාණය වෙලා තිබෙන්නෙ. ඉතින් අපි අද බලමු බැට්මෑන් සම්බන්ධයෙන්  රසිකයන් අතර ගොඩනැඟිලා තිබෙන ප්‍රසිද්ධ ෆෑන් තියරියක් ගැන.

ඔයාලා හැමෝම දන්නවනෙ බැට්මෑන් විදිහට වෙස්වළාගෙන වැඩකටයුතු කරන්නෙ ගෝතම් නගරයේ ඉන්න සුප්‍රසිද්ධම කෝටිපති ව්‍යාපාරිකයා වෙන බෘෘස් වේන් බව. පසු කාලීනව බැට්මෑන්ට උදවු කරන්න රොබින්,  බැට්ගර්ල්, බැට්වුමන්, කැට්වුමන් වගේ කට්ටිය එකතු වුණත් මුල් කාලෙදි බැට්මෑන් තනියෙම තමයි අපරාධවලට එරෙහිව සටන් කළේ. ඉතින් මේ කියන ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයන් බෘෘස් වේන්ට ගෝතම් නගරයේ අපරාධ නැති කරන්න බැට්මෑන් බවට පත්වෙන්නම අවශ්‍යතාවක් නෑ නේද කියලා ප්‍රශ්න කරනවා. එයාල කියන විදිහට නගරයේ ආරක්ෂාව වෙනුවෙන් පෞද්ගලික කුලී හමුදාවක් වුණත් ගොඩනඟන්න තරම් බෘෘස් වේන්ට සල්ලි තිබෙනවා. ඉතින් ඇයි එයා පහසු ක්‍රමයකට අපරාධ නවත්තන්න උත්සාහ නොකර අමාරු ක්‍රමයට බැට්මෑන් බවට පත්වෙලා තමන්ම ගිහින් අපරාධ නවත්තන්න තීරණය කළේ.

ඉතින් මේ රසිකයො කියන විදිහට කෝටිපති බෘෘස් වේන් බැට්මෑන් විදිහට ඇඳගෙන රාත්‍රිය පුරා ගෝතම් නගරයේ ඉන්න  අපරාධකාරයො පස්සෙ එළවලා ගිහින් එයාලව අල්ලගෙන තමන්ගෙ අතින්ම ගුටිබැට දීලා පොලිසියට භාර දෙන්නෙ එයාට තිබෙන පරපීඩක එහෙමත් නැත්නම් අනුන්ට හිංසා කරල සතුටු වෙන අන්දමේ මානසික රෝගයක් නිසාලු. ඒ රසිකයො තවදුරටත් කියන විදිහට තමන් කුඩා කාලෙදි තමන්ගෙ මවුපියන්ව අපරාධකාරයෙක්ගෙ අතින්  ඝාතනය වෙනවා දැකපු පුංචි බෘෘස් වේන්ගෙ හිතේ අපරාධකාරයො ගැන ඇතිවුණු වෛරය වැඩිහිටියෙක් වුණාට පස්සෙ එයා බැට්මෑන් කියන අනන්‍යතාව හරහා අපරාධකරුවන් වෙත මුදා හරිනවා වෙන්න පුළුවන්ලු.

ඒ වගේම බැට්මෑන් විසින් කොච්චර බිහිසුණු අපරාධ කරපු දරුණු අපරාධකාරයන්ව වුණත් මරණයට පත් නොකර පහර දීලා සදාකාලික ආබාධිත තත්ත්වයකටවත් පත් වෙන්න නොදී  පොලිසියට භාර දෙන්නෙ එයාලා ආපහු හිරෙන් පැනලා අපරාධ සිද්ධ කරහම නැවතත් එයාලට පහර දීලා සතුටු වෙන්න වෙන්නැති කියලත් මේ රසිකයන් පිරිස කියනවා. ජෝකර් වගේ කිහිපදෙනෙක් ඇරුණහම ගෝතම් නගරයේ ඉන්න බහුතරයක් මැරයන් මැර ක්‍රියාවල යෙදෙන්නෙ එයාලගෙ නැති බැරිකම් නිසයි. ඒ වගේ අය සුළු සුළු අපරාධ කරද්දි එතනට පැනලා ඒ මිනිස්සුන්ට ගුටි බැට දීලා පොලිසියට භාර දෙනවා හැර එයාලගෙ ජීවිත අපරාධකාරී මාර්ගයෙන් මිදෙන්න යමක් කරන්න මේ සුප්‍රසිද්ධ කෝටිපතියට හැකියාවක් නැතිද කියලත් එයාලා ප්‍රශ්න කරනවා.

මේ කියපු හැම දෙයක්ම එක්ක ඒ රසිකයන් විශ්වාස කරන්නෙ බැට්මෑන්ගෙ ඇතුළෙ සැඟවුණු දුෂ්ටත්වයක් තිබෙනවා කියලයි. ඉතින් එයාලා ඉදිරිපත් කරන ෆෑන් තියරියට අනුව බැට්මෑන් කියන්නෙ සුපිරි වීරයෙක් නෙවෙයි  වීරයෙක් වගේ මවා පාන තවත් එක දුෂ්ටයෙක්.

තරිඳු ලක්ශාන්