පිරිමි හිතන දේවල් ගැහැනුන්ට ඇහුණොත් මොකද වෙන්නේ? Chaos Walking

0
251

බයිබලීය කතන්දර කලාව අනුසාරයෙන් හැදුණු සිනමාපටයක් විධියට 2021 නිකුත් වුණු Chaos Walking හඳුන්වන්න පුළුවන්. ෂානරීය වශයෙන් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන මේ සිනමාපටය ඇමරිකානු සිනමාකරුවෙක් වන Doug Liman ගේ නිර්මාණයක්. 2002දී නිකුත් වුණ “The Bourne Identity” 2008දී නිකුත් වුණ “Jumper” ඒ වගේම  බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා ජොලී රඟපාන 2005දී නිකුත්වුණ “Mr. & Mrs. Smith” කියන සිනමාපට ලීමන්ගෙ විශිෂ්ට සිනමා නිර්මාණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මේ සිනමාපටය පැටි්‍රක් නෙස් කියන කතුවරයගේ The Knife of Never Letting Go, The Ask and the Answer, Monsters of Men කියන විද්‍යා ප්‍රබන්ධ ටිලොජි එකේ පළමු පොතේ අනුවාදයක්.

මොකක්ද මේ Chaos එකක් කියන්නේ. “අප අවට පරිසරයේ ඇති සියලුම වස්තූන් සහ ඒවාට සම්බන්ධ සිද්ධීන් හේතු ප්‍රත්‍යය වශයෙන් එකිනෙකට සම්බන්ධව පවතිනවා. ඒ නිසාවෙන් ඕනෑම සිදුවීමක් යම්කිසි සිදුවීමකට කිසියම් අයුරකින් යම් බලපෑමක් සිදු කරනවා. මෙසේ සියල්ලක්ම අන් සියල්ලකටම සම්බන්ධ වී ඇති නිසා සෑම සිදු වීමක්ම අනන්ත වශයෙන් සංකීර්ණය වූ සම්භාවිතාවක් සහිත වනවා.” මෙන්න මේක තමයි සරලවම Chaos කියන එකේ අදහස. මේක ව්‍යාකූලතා න්‍යාය එහෙමත් නැත්නම් සමනලාචරණය කියලත් හඳුන්වන්න පුළුවන්.  1972දී එඩ්වඩ් ලෝරන්ස් කියන ගණිත සහ කාලගුණ විද්‍යාඥයා තමයි මේ තියරිය හඳුන්වල දෙන්නේ. අපි බලමු මේ Chaos එකත් එක්ක ලීමන්ගේ සිනමාපටයට තිබෙන සම්බන්ධය මොන වගේද කියලා.

සාමාන්‍යයෙන් Chaos කියන තත්ත්වය විශ්වයේ මූලාරම්භයටම දිවයන්නක්. ඒක තමයි ශිෂ්ටාචාර ආරම්භවීමට පෙර විශ්වය පැවතුණු ආකාරය වෙන්නේ. මේක නිතර නිතර සිදුවන නොනවතින ක්‍රියාවලියක්. මේ සිනමාපටයේ ස්ටෝරි ලයින් එක ගැන කතා කරනව නම් මේ කතාව ක්‍රිස්තු වර්ෂ 2257 වගේ අනාගත කාලයක සිදුවන සිදුවීමක්. මේ ලෝකෙ ජීවත් වන පුද්ගලයන් නිතරම නොයිස් නම් රෝගයකින් පෙළෙනවා. මේක පිරිමින්ට විතරක් වැල‍ෙඳන රෝගයක්.

ඔවුන්ට සිතුවිලි පාලනය කරගන්න බැහැ. ඒ වගේම සිතුවිලි නිරන්තරයෙන් ඔවුන් වටා ඕරාවක් විධියට ඔවුන්ගේ වටේ කැරකෙන නිසා ඔවුන්ට පෞද්ගලිකත්වය කියලා දෙයක් ඇත්තේම නැති තරම්. ඇත්තටම මේක හිතෙන දේ ඇහෙන ලෝකයක්. මේ ලෝකෙට අතීතයේ ආපු ස්පාකල් ලෙසින් හැඳින්වෙන මනුෂ්‍යාභයන් එහෙමත් නැත්නම් හියුමොනොයිඩ්, පිරිසක් ස්ත්‍රීන්ව සමූල ඝාතන කරපු කතාවක් තමයි පුරාණ කතාවේ හැටියට තිබෙන්නේ. කොහොම හරි මේ වෙද්දි මේ ලෝකෙ යහතින් ජීවත්වෙලා ඉන්නෙ දිවි ගලවා ගත් පිරිමින්ගෙන් අඩක් පමණයි. මේ කතාවේ ප්‍රධාන චරිතය වන ටොඩ් කියන්නේ මේ ලෝකේ ඉන්න ළාබාලතම තරුණයි.

ඔහු ජීවත් වෙන්නේ බෙන් සහ කිලියන් කියන තමන්ව හදාගත්ත පියවරු දෙන්න එක්ක. මේකෙ නගරාධිපතිවරයා තමයි ඩේවිඩ් ප්‍රෙන්ටස් කියන්නේ. ඩේවිඩ්ට අනෙක් මිනිසුන්ගේ සිතුවිලි කියවන්න පුළුවන්, ඒ වගේම තමන්ගේ සිතුවිලි සඟවා ගන්නත් අනෙක් මිනිසුන්ගේ සිතුවිලිවලට රිංගලා ඔවුන්ගේ මනස ව්‍යාකූල කරන්නත් හැකියාව තිබෙනවා. ඩේවිඩ්ගේ මේ ක්‍රියාකලාපයේ බයිබලයේදී දෙවියන් වහන්සේ එසාකියෙල් නම් තුන්කල් දකින මහා සෘෂිවරයා අමතන අයුරු මතක් කර දෙනවා. “මනුෂ්‍ය පුත්‍රය නැඟිට සිටින්න, මම නුඹ සමඟ කතා කරන්නෙමියි” වදාළ සේක. යනුවෙන් ඔහුගේ සිතුවිලිවලට එබීම ඩේව්ඩ්ගේ දිව්‍යමය බලහත්කාරය විදහා පානවා.

ඒ වගේම මේ සිනමාපටයෙ ටවුන්ස්විලේ පාලනය කරන ඩේවිඩ් සහ ඔහුගේ ලෝකය මත්ස්‍ය රජු හා ඔහුගේ විනාශ වුණු රාජධානිය පිළිබඳ පුරාණෝක්තියට සමාන වෙනවා. මේ පුරාණෝක්තියට අනුව මත්ස්‍ය රජුගේ සොල්දාදුවන් කන්‍යා සොහොයුරියන් පිරිසක් දූෂණය කරනවා. මේ හේතුවෙන් රජු ලිංගික බෙලහීනත්වයට පත්වෙනවා. ඒ වගේම ඔහුගේ රාජධානියටත් සිදු වෙන්නේ ඔහුගේ රාජකීය ශරීරයට සමාන ඉරණමකට මුහුණ දෙන්න. මේ මත්ස්‍ය රජාගේ රාජධානිය දූර්භික්ෂය රජයන, දැවීගිය, අස්වනු පාළු වුණ, මුඩු පිපාසිත දේශයක්. Chaos Walking සිනමාපටයේදී අපිට දකින්න පුළුවන් වෙන්නෙත් එහෙම ලෝකයක් නොවුණත් ආකල්පමය වශයෙන් ඇල්මැරුණු පුරුෂ මූලික වස විසෙන් ඔදවැඩුණු දිස්තෝපියානු ලෝකයක් තමයි පේන්න තිබෙන්නේ.

කතාව ආරම්භ වෙන්නේ ටොඩ්ට වෙනත් ලෝකෙකින් වැටිච්ච යානයක ඉන්න ස්ත්‍රි පරාණයක් හමුවීමත් සමඟ. කවදාවත් ගැහැනියක් නොදැකපු ටොඩ්ට වයොලාව හමුවෙන්නේ එහෙම. වයොලාගේ මුණගැසීමත් එක්ක ටොඩ් හැමදේම ප්‍රශ්න කරන්න ගන්නවා. මේක ඩේවිඩ්ගේ පාලනයට ප්‍රබල බලපෑමක් කියලා හිතන ඩේවිඩ් වයොලාව පැහැර ගන්න උත්සාහ කරනවා. වයොලාව බේරගෙන වෙනත් දේශයක් වුණ ෆාබ්‍රාන්ච් වෙත ඇයව රැගෙන යෑම වටා තමයි මේ කතාව ගොඩනැඟෙන්නේ.

මේ සිනමාපටය මට මතක් කරන්නේ මාගරට් ඇට්වුඩ්ගේ නවකතාවක් වුණ ‘The Handmaid’s Tale’ කියන නවකතාව. ඒකෙදි පෙන්වා දෙනවා පුරුෂ මූලික සමාජයක ගැහැනියකට විඳින්න වෙන දුක් ගැහැට. ටවුන්ස්විලේ කියන දිස්තෝපියානු නගරයෙ ගැහැනු නැහැ. ඒත් අපිට දෙබස් හරහා ගැහැනිය පිළිබඳව මවන දේ සුබදායක නැහැ. මේ සිනමාපටයේ විධියට ඇතැම් තැන්වල ස්ත්‍රී විරෝධී ලක්ෂණ පිළිබිඹු කරනවා. ගැහැනු කියන්නෙ ආත්මයක් නැති පිරිසක් විධියට තමයි නගරාධිපති ඩේවිඩ් ටොඩ්ට කියලා දෙන්නේ. ඒ ඉගැන්වීම මත අපිට නිගමනයකට එළැඹෙන්න පුළුවන් මේ ස්ත්‍රී සමූල ඝාතනයට පිරිමි සම්බන්ධයි කියන දෙය ගැන.  මේ සිනමාපටයේ ඩේවිඩ්ගේ උපදේශකය විධියට ඉන්න පාදිලි උන්වහන්සේට නිරන්තරයෙන් ගින්දර පේනවා ඒ වගේම අවසාන විනිශ්චයක් ගැන නිතර කතා කරන ඔහු පාපයේ අන්ධකාරයෙන් මෝහනය වෙලා තමයි දිවි ගෙවන්නෙ.

මේ සිනමාපටයෙ ඩේවිඩ් කියන්නේ රැඩිකල් ඊනියා විප්ලවවාදියෙක්. ඔහු ආධ්‍යාත්මික ලෝකයක් මවන උමතු පාලකයෙක්. ලීමන් වර්තමානය දකින්නේ පාපයේ ප්‍රතිඵලයක් විධියට. කොටින්ම පාපය නම් ක්‍රියාවේ ව්‍යාකූල ප්‍රතිඵලය තමයි අනාගතය වන්නේ. ඒක බැලූ බැල්මටම අපිට පේන්න තිබෙනව. ඒ වගේම බයිබලයේ එන සොදම් සහ ගොමාරා කියන නගරවලට ටවුන්ස්විලේ සමාන කරන්න පුළුවන්. මොකද මේ නගරයේ ඉන්නේ පිරිමි විතරයි. අනෙක මේ සිනමාපටයේ හැම වෙලාවෙම අශ්වයන්ගේ පිටේ යන අසරුවො නිතර නිතර පෙන්නන එකෙන් හෙළිදරව්වෙ එන සිව් අසරුවන්ගෙ කතාව මතක් කරල දෙනවා.

මිනිස්සු ශිෂ්ටාචාර ගතවීම කියන්නෙ හිතන තරම් සුන්දර දෙයක් නොවෙන බව ලීමන් අපිට මේ හරහා කියලා දෙනවා. ටොඩ් හිතේ හැටියට නිතර නිතර ඇපල් කෑවත් ප්‍රඥාව කියන දෙය මිනිසාට ගැහැනියගෙන් ලැබෙනවා මිසක ඉබේ පහළ වන්නේ නැති බවත් හිතන්න “ලීමන්” අපිට ඉඩ තබනවා.

මේ සිනමාපටය මට හැමවෙලේම අධි යථාර්ථවාදී බ්ලැක් කොමඩි ෂානරයේ ඇනිමේෂන් නිර්මාණයක් වන මිඩ්නයිට් ගොස්පල් මතක් කරලා දෙනවා. මේකේ ටොඩ්ගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නෙ ටොම් හොලන්ඩ්, වයෝලාගේ චරිතයට ඩේසි රෙඩ්ලි රංගන දායකත්වය සපයන අතර, ඩේවිඩ්ගේ චරිතයට පණ පොවන්නෙ මැඩ්ස් මිකෙල්සන්. කොහොම හරි ටොඩ් සහ වයොලා අවසානයේ හෙවන් එක හොයාගනීවිද? වයොලට තමන්ගේ ලෝකෙට යන්න පුළුවන් වෙයිද? බලන්න Chaos Walking.

ගිහාන් සචින්ත