ප්‍රේමය දේව අභිමතයයි

0
26

ප්‍රේමය හෙවත් ආදරය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපට වැටහෙන දෙයක් ඇත. එනම් මිනිසාට ආදරය අත්‍යවශ්‍ය වන බවයි. මනුෂ්‍යයා සියලු අවස්ථාවලදී තමන් කෙරෙහි තවත් අයකුගේ බැඳීමක්, ළැදියාවක් අපේක්‍ෂා කරයි. ප්‍රේමය වූ කලී මෙලොව පැවැත්මට අත්‍යවශ්‍ය වන ස්වාභාවික බලවේගයකි. එම ස්වාභාවික බලවේගය පිළිබඳ පූර්ණ නිර්වචනයක් ඉදිරිපත් කළ නොහැකිය. කොපමණ නිර්වචන ඉදිරිපත් වුවද ඒ සෑම නිර්වචනයකම යම් අන්දමකින් හෝ අඩු බවක්, හිස් බවක් දැකිය හැකිය. එයට හේතුව වන්නේ ප්‍රේමය, දෙවියන් වහන්සේ (God) වෙතින් නික්මෙන නිසාත් උන්වහන්සේව අපට මුළුමනින් බුද්ධිය, තර්කය මඟින් අවබෝධ කර ගත නොහැකිය.

දෙවියන් වහන්සේ අපට තේරුම්ගත නොහැකි අතර තේරුම්ගෙන අවසාන කළ නොහැකි බැව් අප අවබෝධ කරගත යුත්තකි. එබැවින් ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක් නොවේ. ආදරය තුළ වගකීමක්ද ඇත. ප්‍රේමයේ නියමය වන්නේ පරිත්‍යාගයයි. සැබෑ පරිත්‍යාගය තුළ අනෙකා නිදහස් කිරීමක්, උසස් කිරීමක් සිදුවේ. ඒ නිසා අප කිතුනු ප්‍රේමය ආශ්‍රිත සාරධර්ම පිළිබඳව ගවේෂණය කිරීමක් කළ යුතු බව කාලෝචිත කරුණකි.

අතිශයින් උත්තරීතර සාරධර්මයක් වන ප්‍රේමය (Love) පිළිබඳව සොයා බලද්දී ගම්‍ය වන දෙයක් ඇත. එනම් එය සෙසු සාරධර්මවලට වඩා හාත්පසින්ම වෙනස් වන බවයි. ප්‍රේමය තුළින් සෙසු සාරධර්මවලට අර්ථයක්, වටිනාකමක් හා වැදගත්කමක් ලබාදේ. ලොව්තුරු යහපත් බව ආශ්‍රිත මානව ක්‍රියාකාරිත්වයන් ගැන සොයා බැලීමේදී විද්‍යමාන වනුයේ ඒවා සාරධර්ම (Values) මත ර¼දා පවත්නා බවයි. එමඟින් මනු කැල දෙවි¼දාණන් කරා යන්නට මඟ හෙළිදරව් කරයි.

මෙහිලා අප වටහා ගත යුත්තක් ඇත. එනම් සෑම යහපතකම උල්පත ආදරය වන බවයි. වරෙක තෝමස් ඇක්වයිනාස් (Thomas Aquinas) නැමැති කිතුනු දාර්ශනිකයා (Christian Philosopher) ප්‍රේමය, සියලු සාරධර්මයන්හි හැඩගැස්ම වේ යනුවෙන් ප්‍රකාශ කර තිබේ. මතෙව්, මාක් ලූක් යනාදී සුවිශේෂකවරුන් විසින් සියලු පනත් සම්පිණ්ඩනය කර තිබෙන්නේ අප විසින් දෙවිඳුන් හා අසල්වැසියා කෙරෙහි දැක්විය යුතු ආදරය පදනම් කර ගනිමිනි.

ආදරය යන්නෙහි අරුත විවිධ දෘෂ්ටි කෝණවලින් නිරූපනය කිරීමට පැරැණි ගිවිසුම තුළ නානාවිධ වදන් භාවිතයට ගැනිණි. උදාහරණ ලෙස වැඩි ලෙස පරිහරණය කළ ග්‍රීක් වචන කිහිපයක් සඳහන් කිරීමට පුළුවන. ශෘංගාරාත්මක ආදරය Eros, Eran යන වදන්වලින් තහවුරු කෙරිණි. මෙම වදන් තුළින් රාගය මුසු ප්‍රේමයක්ද හැඳින්විණි. ග්‍රීක් බස තුළද ශේ‍ර්ෂ්ඨ ආකල්පයක් එම වචන මඟින් ගම්‍ය වන්නේ නැත. එසේම ශුද්ධ බයිබලයේ (Holy Bible) නව ගිවිසුමෙහිද එම සිතුවිල්ල සහිතව එම පද භාවිත වූයේ නැත.

මිත්‍රයන් අතර තිබෙන අතර සමීප ළෙන්ගතු බව පසක් කිරීම සඳහා Philia, Phileo යන වචන භාවිත විය. නව ගිවිසුම තුළද මෙම වචන පරිශීලනය කෙරේ. අඹු – සැමියන් අතර තිබෙන ආදරය මෙයින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙන්නකි. එලෙසම මවුපියන්, දූ දරුවන් අතර තිබෙන ආදරය මෙමඟින් ධ්වනිත කරයි.

Storge, Stergein යන වචන තුළින් පවුල තුළ මවුපියන්, දරුවන් අතර පවතින ආදරය තහවුරු කරයි. පාවුලුතුමා රෝමවරුන්ට ලියූ ලිපියක මෙම පද යොදා ඇත. පවුලක් සේ ක්‍රියා කළ යුතු අන්දම එයින් විශද වේ. රෝම 12/10 තුළින් එය අනාවරණය කර ඇත.

දෙවියන් වහන්සේ මිනිසා කෙරෙහි දක්වන ආදරය Agape, Agapan යන වචන තුළින් හෙළිදරව් වේ. මෙම වචන පැරැණි ගිවිසුම, නව ගිවිසුම තුළ බහුල ලෙස භාවිත වේ. මෙම ප්‍රේමය මඟින් සනිටුහන් කරන්නේ ආදරය, සිතින් අධිෂ්ඨානයෙන් යුත්තක් වන බවයි. මෙය හදවතින් නික්මෙන හැඟුමක් නොවන බව මතකයට ගත යුත්තකි. මෙහි තිබෙන මූලික ලක්‍ෂණයකි. අපට ආදරය නොකරන අයටත් ආදරය කිරීම. සතුරන්ට පවා ප්‍රේම කිරීම මෙහි ලක්‍ෂණයකි. අව්‍යාජ කිතුනු ප්‍රේමය මෙයින් විකසිත වන්නකි. සමස්ත ශුද්ධ බයිබලය තුළ අඩංගු වී ඇති ප්‍රේමය ක්‍ෂේත්‍ර 3කින් පෙන්වා දීමට හැකිය. එනම් දෙවිඳුන් මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමය, මිනිසා දෙවි¼දාණන්ට දක්වන ආදරය හා මිනිසා විසින් මිනිසුන්ට දක්වන සෙනෙහස ලෙස සඳහන් කිරීමට පුළුවන.

ප්‍රේමය පාදක කර ගනිමින් පැරැණි ගිවිසුම තුළ දෙව්-මිනිස් සබැඳියාව ගොඩනැඟී ඇත. මේ සබැඳියාව පසක් කිරීමට Hen, Hesed (වරප්‍රසාදය, විශ්වාසවන්තභාවය, මෛත්‍රිය), අචඩචථඪද (දයාව), Sedeq, Misphat (සාධාරණත්වය හා  විනිශ්චය), Ement, Emunah (විශ්වාසවන්තභාවය), Yeshuah (ගැලවීම) යන හීබෘෘ වචන යෙදිය හැකිවේ. මේ වදන්වල අර්ථය නිසියාකාර ලෙස තේරුම් ගතහොත් අපට දෙවිඳුන්ගේ ආදරය පිළිබඳව තහවුරු කර ගැනීමට පුළුවන.

මීළඟට අප පැරැණි ගිවිසුමට අදාළව දෙවියන් වහන්සේ ප්‍රේමය හා සම්බන්ධ ලක්‍ෂණ මොනවාදැයි සොයා බලමු. ජුදා ජාතික ජනතාවගේ ඉතිහාසය තුළ දැක්වෙන අන්දමට, දෙවිඳුන් විසින් සිය තෝරාගත් ජනතාව කෙරෙහි පිදුණු ප්‍රේමයක් ලෙසට අර්ථ විග්‍රහ කළ හැකිය. ජෙරම් 31/3 මඟින් එය හොඳින් සනාථ කෙරේ.

එමෙන්ම එම ප්‍රේමය උන්වහන්සේ විසින් ඔවුන් කෙරෙහි දැක්වූ අතිශයින් සුවිශේෂ ප්‍රේමයකි. ද්විතීය නීති සංග්‍රහය 7/7 මඟින් එය තවදුරටත් පැහැදිලි කෙරේ. කාරුණිකත්වය, සමාව දානය කිරීම, ගැලවීම, දායක වීම, පාපයෙන් මුදනසුලු වීම, නිරතුරුවම සරණදායක වීම, යහපත්කම යන ශේ‍ර්ෂ්ඨ ගුණාංග එහි දැකිය හැකිය. ගීතාවලිය 86/5 මඟින් එය අපට ගම්‍ය වේ.

මෙම ආදරය සකල ලෝකවාසී ජනතාව කෙරෙහි දැක්වූ ප්‍රේමයක් බව අපට අවබෝධ කර ගත හැකිය. ප්‍රථමයෙන් ඊශ්‍රායෙල් ජනතාවටද ඉන් අනතුරුව මුළු මානව සංහතිය කරාද මෙය ව්‍යාප්ත විය. ගීතාවලිය 33/5 එය තවත් විශද කරන්නකි. මෙම සෙනෙහසෙහි මනුෂ්‍යයන් විසින් මහෝත්තම දෙවියන් වහන්සේට දක්වන ආදරයද අන්තර්ගතය.

දුරාතීතයේ කළ දේවල් සඳහා දෙවි¼දාණන්ට මානව පරපුර විසින් ප්‍රේම කළ යුතු වන්නේය. එම සෙනෙහස දෙවි සමිඳුන් ඇගැයීම, අපේක්‍ෂාව හෝ සිතුවිල්ලක් පමණක් නොවේ. සේවයක්ම විය යුතුවේ. එමෙන්ම දෙවි මහෝත්තමයාණන්ට ආදරය දැක්වීම හා මෙහෙවර කිරීමකි. උන්වහන්සේගේ ආඥා පිළිපැදීමද මෙයට අයත්ය. උන්වහන්සේ අනුව ගමන් කිරීමද මෙහිලා අයත් වේ. දෙවිඳුන්ට ගරු, බිය පෑම, උන්වහන්සේට ආදරය දැක්වීම කෙරෙහිද සැලකිලිමත් විය යුත්තේය. මෙම දැක්ම ද්විතීය නීති සංග්‍රහය 10/12 මඟින් හෙළිදරව් කෙරෙන්නකි.

අව්‍යාජ ප්‍රේමය යනු දෙවි සමිඳුන්, නිසි අන්දමින් දැන ගැනීමක් පමණක් නොව උන්වහන්සේට ප්‍රේම කරන යහපත් මිනිසා උන්වහන්සේ පිළිබඳව අවබෝධ කරගනී. මෙම සත්‍යතාව යෙසායා 58/2 මඟින් ප්‍රත්‍යක්‍ෂ කරයි. සැබෑ ආදරය අවංක වන අතර කෙතරම් ප්‍රයත්න දැරුවද ප්‍රේමයේ උච්චතම මට්ටමට, මනුෂ්‍යයාට ළඟා විය නොහැකිය. දෙවිඳුන් සහ මනුෂ්‍යයා අතර සෙනෙහසේ සංවාදය වන්නේ ක්‍රිස්තුන් වහන්සේය. දෙවියන් වහන්සේගේ ආදරයේ පරිපූර්ණත්වය මිනිස් පරපුර වෙත ළඟා කරවන්නේ කිතු සමිඳුන්ය. එමෙන්ම මනුෂ්‍යයා විසින් දෙවිපියාණන්ට දැක්විය යුතු ප්‍රතිප්‍රේමය අප අත්දකින්නේ ජේසු සමිඳුන් තුළය. උන්වහන්සේ තුළ එනම් කිතු හිමියන් තුළ මිනිසා දෙවි මහෝත්තමයාණන්ට ආදරය කරයි. එමෙන්ම දෙවි සමි¼දාණන්ගෙන් ආදරය අත්කර ගනී.

දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයේ දීමනාව වන්නේ ක්‍රිස්තුන් වහන්සේය. එය අපට ජුවාම් 3/16 මඟින් නිරූපණය කිරීමට පුළුවන. ජේසු සමිඳුන් විසින් අපට දෙවි පියාණන් ප්‍රකාශ කර ඇත. මේ යථාර්ථය ජුවාම් 1/18 තුළින් තහවුරු කළ හැකි වේ. දෙවි මහෝත්තමයාණන් විසින් තම ජනතාවට (මිනිස් සංහතියට) ස්වකීය ප්‍රේමය ප්‍රකාශ කළේ කිතු හිමියන් තුළිනි. මෙම සජීවී යථාර්ථය අපට රෝම 5/8 මඟින් ධ්වනිත වන්නකි. ක්‍රිස්තුන් වහන්සේ දෙවි පියාණන් වහන්සේගේ සිතුවිල්ලක් මෙන් උන්වහන්සේ තුළ පැවැති බව කිතු සමය නිරූපණය කරන්නකි. කිතු හිමියන්ගේ මුළු ජීවිතයම ස්වකීය පියාණන් වෙනුවෙන් පිදුණු ප්‍රේමයේ හා පරිත්‍යාගයේ ජීවිතයකි. එහි උච්චතම අවස්ථාව ලෙස කල්වරි කඳු මුදුනේ සිදු කළ ජීවිත පූජාවයි.

සකල ජනතාවට ආදරය දැක්වූ කිතු හිමියන්ගේ ජීවිතය මඟින් මානව සංහතියට සිදුවූයේ අනුපමේය, අමිල මෙහෙවරකි. සියලු ජනතාවගේ ශුභසිද්ධිය සඳහා කිතු හිමියන්

සැරිසැරූ බැව් ක්‍රියා 10/38 තුළින් අනාවරණය කිරීමට පුළුවන. අසරණ, පහත්, කොන් කළ ජනතාවට උන්වහන්සේගේ අනුකම්පාව, කරුණාව බඳුන්වූ බව ශුද්ධ ලියැවිල්ල සාක්‍ෂි දරයි. ශුද්ධවර ලූක් 7/22 තුළින් එය වඩාත් ගැඹුරින් තීව්‍ර කෙරේ. සියලු ජනතාවගේ විමුක්තිය සඳහා කිතු හිමියෝ සිය දිවිය පිදූහ. දෙවියන් වහන්සේ ප්‍රේමය වන බැව් 1 ජුවාම් 4/16 තුළින් පෙන්නුම් කෙරේ. ලොව උසස්තම මෙන්ම අද්විතීය වූත් සාරධර්මය වන්නේ ප්‍රේමයයි. මෙය ශුභාරංචිකරුවන් (සුවිශේෂකවරුන්) ඉදිරිපත් කර තිබෙන යථාර්ථයකි. දෙවි පියාණන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුතණුවන් වූ කිතු සමිඳුන් තුළින් ස්වකීය ආදරය සකළ ලෝකයට ඉදිරිපත් කළ සේක. මිනිසා විසින් එකිනෙකාට ප්‍රේම කිරීම ක්‍රිස්තුන් වහන්සේගේ ඒකායන ප්‍රාර්ථනය විය. එය ජුවාම් 13/34 ඉතා පැහැදිලිව සඳහන් වන්නකි.

දේව ආදරය හා අසල්වැසි ප්‍රේමය අතර අනේ‍යාන්‍ය බන්ධනයක් ඇති කර ගනිමින් ක්‍රියා කිරීම කිතුතුමාණන්ගේ අභිලාෂයයි. මෙම යථාර්ථය ප්‍රායෝගික ජීවිතය තුළ අර්ථවත් කරන ලෙස කිතු හිමියන් ප්‍රකාශ කර තිබේ. එය ශුද්ධවර මතෙව් 22/37-39 මඟින්ද විද්‍යමාන වන්නකි. එදා දෙවි පියාණන් ලබාදුන් දස පනතේ සාරාංශය වන්නේ දෙවිඳුන්ට ප්‍රේම කිරීම සහ අසල්වැසියාට ප්‍රේම කිරීමයි. ගලාති 5/14 මඟින් එය තවදුරටත් විශ්ලේෂණය කර ඇත.

සහෝදර දයාව ආධ්‍යාත්මික නැඹුරුතාවකින් යුක්ත විය යුතුය. මෙය පොදු විය යුතුය. සමස්ත එකක් විය යුතු බැව් දැක්වීමට පුළුවන. මේ පිළිබඳව වැඩි වශයෙන් කොරෙන්ති 12/27 තුළින් හෙළිදරව් වේ. අප ආදරය කළ යුත්තේ විශේෂයෙන් අසරණ, දීන, දිළිඳු පුද්ගලයන්ටය. එමෙන්ම මිතුරන්ට පමණක් නොව සතුරන්ටද ප්‍රේම කළ යුතුය. මෙම ප්‍රේමය සේවය කිරීම පදනම් වූ ප්‍රේමයකි. එලෙස අප කටයුතු කිරීම දේව අභිමතයයි.

මලින්ත බෝපෙආරච්චි,

දලුගම,

කැලණිය.