නීලගිරි සෑය පිහිටි අබිරහස් ශක්ති කලාපය ගැන හැංගුණු කතාවක් එළියට

0
36

මහ වනයෙන් වට වූ අතීත රහස් ගබඩාවකි ලාහුගල. කාලයක් මුළුල්ලේ වනාන්තරයේ සැඟව තිබෙන මේ ඓතිහාසික රහස් සහ ඒවා සහතික කෙරෙන සාධක මේ වන විටත් වැනසී යමින් පවතී. අපේ මේ කතාවට වස්තු විෂය වන ස්ථානයද ලාහුගල මහ වනයෙහි පිහිටා ඇත. එය “නීලගිරි සෑය” යි.

නීලගිරි සෑයේ කැණිම් සිදුකිරීමත්, ඒ හරහා මතු වූ පුරාවිද්‍යාත්මක සාධකත් නිසා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළන්නට හැකිව ඇත. ඒ නිසාම වැළලී ගිය අතීත නෂ්ටාවශේෂයන් සොයා යෑමේ කුහුල වැඩිවෙමින් පවතී.

“නීලගිිරිය ඔය තරම් වැදගත් වෙන්නේ කොහොමද? එය හැදුවේ කවුද? කුමන කාලයකද? යන්න බොහෝ දෙනා විමසන්නට පටන් ගැනීමත් නිසා මෙහි ඓතිහාසික ගැඹුර සොයා මතුකර ගැනීම ඉතා වැදගත්ය. බොහෝ පුරාවිද්‍යාත්මක කියැවීම් අනුව එය සාරාංශගත කරන්නේ නම් මෙසේය.

“මේ වගේ ස්ථානයක මේ වගේ චෛත්‍යයක් හුදකලාව හැදෙන්න බැහැ. අනිවාර්යයෙන් මේ හා අවට පරිශ්‍රය ඉතා වැදගත් සාධකයන්ගෙන් පිරුණා වෙන්නට ඕනෑ. ඒ නිසා මෙහි මොකක්දෝ අබිරහස් ගතියක් තියෙනවා. ඒක තමයි පුරාවිද්‍යාඥයන්ට ඉස්පාසුවක් නැතිව සොයා බලන්න උත්තේජකයක් සැපයුණේ”

මෙහි ප්‍රමුඛ පර්යේෂණ කාර්යභාරයක් ඉටුකළ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහසට අනුව නීලගිරි සෑය හුදකලා චෛත්‍යයක් නොවේ. එය අනුරාධපුරයේ මහමෙව්නාව වැනි වනෝද්‍යානයක පිහිටි එක් චෛත්‍යයකි. එසේ නම් තවදුරටත් මේ භූමිය පරීක්ෂා කළේ නම් මේ කතාවේ තවත් යටගියාවන් මතුවන්නට ඕනෑය.

මෙය නිසැක වශයෙන්ම බෞද්ධ ආරාම සංකීර්ණයක එක් ස්ථානයක් ලෙසත්, එම ප්‍රදේශය බෞද්ධාගම ඇදහු ජන සමූහයකගේ කේන්ද්‍රගත වීමක් සහිතව තිබුණු බවට විශ්වාස කළ හැකිය. එය එසේ නම් මේසා දියුණු ඉදිකිරීම් රැසක් සිදුකළ මේ අවට ජීවත් වූ ජනතාව වැනසී ගියේ කොහොමද? කාලයක් තිස්සේ මේ බිම වනාන්තරයට බිලිවූයේ කොහොමද? යන්නත් විමසන්නට සිත්වෙයි.

නීලගිරි සෑය පිහිටි ප්‍රදේශය ගැන ඉතා ගැඹුරින් විමර්ශනය කළ බොහෝ විද්වතුන් මතු වූ අතීතයට එපිටින් ඉන් එහා දැක්මක් සහිත කතා පුවතක් කියා පෑම කුතුහලය අවුළුවන්නක්ව ඇත. ඒ අනුව “නීලගිරිය අවට ප්‍රදේශය එකම ශක්ති කලාපයක්” බවට වූ විස්මයජනක මත කිහිපයකි.

පෘතුගීසි සමයේ ලක්දිවට පැමිණි ප්‍රැන්සිස්කෝ නිගරාධි පියතුමා මෙරට සැඟවුණු ඉතිහාසය ගවේෂණය කළ අයෙකි. ඒ අනුව පියතුමාගේ විශ්වාසය වූයේ “ලංකාවේ අග්නිදිග කලාපය මෙරට ශක්ති කලාපය” ලෙසටය. එම මතයට පියතුමා එළැඹ තිබෙන්නේ එවක මෙම ප්‍රදේශයේ විසූ ජනතාව ඒ බැව් එතුමාට කියා තිබුණු නිසාය. එපමණක් නොව මාතර දිසාව භාරව සිටි ජෝන් ඩොයිලිද මේ කියමන අසා ඒ ඔස්සේ කරුණු සොයා බලන්නට උනන්දුව තිබේ. ඔහු මෙරට ඔත්තු සොයන අතරේ එම කතාවේ ඇත්තද විමසන්නට සැරිසරා තිබේ.

ඇතැම් විට ජෝන් ඩොයිලි තමන්ගේ අධිරාජ්‍යයට අභියෝගයක් විය හැකි හේතු සාධක ගැන උනන්දු වීම පුදුමයට කරුණක්ද නොවේ. ඒ නිසාදෝ තම අධිරාජ්‍යයට තර්ජනයක් විය හැකි මිනිසුන් හා හේතු වනසා දැමීමට උපායශීලීව ක්‍රියා කළා වන්නටද පුළුවන.

ශක්ති කලාපයක වෙසෙන මිනිසුන්ගේ ප්‍රතික්‍රියා විද්‍යාත්මකව හඳුනාගෙන ඒ ඔස්සේ කටයුතු කිරීම ඩොයිලි වැන්නන්ගේ රාජකාරිය වී තිබිණි.

එසේනම් අග්නිදිග ශක්ති කලාපයෙන් මතු වූ මිනිසුන් ජන නායකයන් කවුරුන්දැයි ඔවුන්ට වැටහීමක් තිබිය යුතුය. ශක්ති කලාපයක වෙසෙන මිනිසුන්ගේ වර්ධනයත්, නැඟී සිටීමත් පිළිබඳ තොරතුරු අධ්‍යයනයක් සිදුවූවාට සැක නැත. එනිසා මෙම අදහස තවමත් පණ ගසා අවදිවන එකකි. නීලගිරියෙන් එය වඩාත් ඓතිහාසිකව මතුකර පෙන්වූයේද යන්න සොයා බැලිය යුතුය.

1818 කැරැල්ල ඇතිව තිබෙන්නේද මෙම ශක්ති කලාපය තුළදීය. එය ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව කතරගම දේවාල පරිශ්‍රය හරහා වෙල්ළස්ස පුරා පැතිර ගොස් ඇත. මීට සහභාගි වූ හෙලයන්ගේ වීරත්වයත්, ජන්මයෙන් ලද ආභාෂයත්. ජනගත බැඳීමත් අරගල කරන්නට උත්තේජකයක් සැපයූවාදැයි විමසා බැලිය යුතුය. එසේම මේ ප්‍රදේශයෙන් මතු වූ සෙසු රජවරුන්ටද නීලගිරි කලාපය ඇසුරෙන් අමතර මහා බලයක්. බලවේගයක් ගොඩනැඟී තිබෙන බවත් කියැවෙන්නකි. දුටුගැමුණු රජුට එළාර මරා දමා ලක්දිවට එක්සේසත් කිරීමට හැකි වූයේද මේ ශක්ති කලාපයෙන් ලද ශක්තිය නිසාවෙනැයි කියැවේ. එසේම පළමුවැනි විජයබාහු රජුටත්, මහා පරාක්‍රමබාහු රජුටත් මෙම ශක්ති කලාපය ජය භූමියක්මය. එනිසා එම මතය එකහෙළා බැහැර කළ නොහැකි එකකි.

ජෝන් ඩොයිලිගේ විශ්වාසයට අනුව “මැණික් ගඟත්, කුඹුක්කන් ඔයත් අතර ප්‍රදේශය ශක්ති කලාපය”කි.  ජෝන් ඩොයිලිගේ ඇතැම් ගවේෂණ සටහන් මීට සාක්ෂි දරයි. ඔහු ඒ තරමටම මෙම ප්‍රදේශය ගැන හැදෑරීමක් කිරීමට උත්සාහ දැරීමෙන් එය තහවුරු වේ. තවත් සාක්ෂියක් වනුයේ 1797 ඇඳි ඕලන්ද සිතියමය. එහි මෙම ප්‍රදේශය සුවිශේෂ වැදගත්කමකලා සටහන් තබා ඇති බවක් පෙනෙයි. එනිසා මතුපිටින් අණබෙර ගසා නොකීවාට මේ කියන ශක්ති කලාපයේ විසූ ජනතාව එයින් ඉවත් කර වීම හෝ එම ප්‍රදේශය ජනශුන්‍ය එකක් බවට පත් කිරීම වෙනුවෙන් ඉංගී්‍රසිහුද සියුම් ප්‍රයත්නයක යෙදුණු බැව් පෙනෙයි.  ඉංගී්‍රසීන් යාල වනාන්තර භූමියක් වන්නට ඉඩ හරිමින් “ යාල අභය භූමියක්”  බවට පත් කළේ ඒ නිසා යැයි කියැවෙන මත ප්‍රබලය.  යාල ප්‍රදේශය වන අයනක්ව එහි සතා සිවුපා  මුදාහැර ජනශුන්‍ය වන තැනට කටයුතු කර තිබෙන්නේ ඉතා උපායශීලීව බැව් කියැවේ. එය සාර්ථක වූ අතර වනාන්තරයෙන් මිනිසුන් පිටමං වූ අතර  මේතාක් මේ කියන ශක්ති කලාපය තුළ වූ ඓතිහාසික සාධකද කාලයේ වැලි තලාවට යටව අභාවයට යමින් පවතී.

මේ ශක්ති කලාපයට අයත්වන නීලගිරි සෑයේ කැණිම් තුළින් සැඟවුණු ඓතිහාසික කතාවක අබිරහස් ගොන්නක් මතුවෙමින් පවතී. මෙහි ඇති විශේෂයක් වන්නේ මෙම ශක්ති කලාපය තුළ නීලගිරි සෑය විශාලම චෛත්‍යයක්ද වන නිසාය. ඒ නිසා යටගිය කතාවට එළියක් මැවෙමින් පවතී.

ක්‍රි.ව. 276-302 සමයේ විසූ මහසෙන් රජුගේ දවස “කුලබරිය” මහා විහාරයේ පැවැති අරියවංශ සූත්‍ර දේශනාවකට වැය කිරීමට අවශ්‍ය වුණු කහවණු පූජා කිරීමක් ගැන නීලගිරි සෑ කෑණීමේ කටයුතුවලින් හෙළිදරව් වී තිබේ. එසේම කූටකණ්ණ තිස්ස රජුගේ පුත් උපරාජ භාතික තිස්ස රජුගේ දියණි, මහා රාජිනි චූල සීවලි බිසව, උත්තර සීවලි පර්වත විහාරයට පූජාවක් කළ බවත් හෙළි වී ඇත.

එමෙන්ම දෙවැනි ජෙට්ඨ තිස්ස රජුගේ (ක්‍රි.ව. 300-339) රාජ්‍ය පාලන කාලයේදී භික්ෂුන් වහන්සේලාට පූජාවක් සිදුකළ බවක්ද හෙළි වී ඇත.

මහසෙන් රජුගේ සමයේ “කුලබරිය” කියා හඳුන්වා දී ඇත්තේ නීලගිරියය. ඒ නිසා නීලගිරි විහාරය “කුලබරිය විහාරය” ලෙස නම් කර ඇත. තවත් කතාවකින් කියැවෙන්නේ රාවණ නිරිඳුන්ගේ පවුර රාජ්‍යයක් මෙහි තිබුණු බවය. ඒ අනුව “මහා රාවණ කොටුව“, “කුඩා රාවණ කොටුව” ද තිබෙන්නේ නීලගිරිය අවට මුහුදු ප්‍රදේශයේම බව සිහිගන් කරවීම වටී. එය මෙම මතය විමර්ශනය කරන්නකුට ප්‍රයෝජනවත් වන්නේය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරින්ගේ අදහසට අනුව ලෝකයේ තිබුණු පැරැණිම නැව් සමාගම් හතරක් ගැන කියැවෙන අතර නීලගිරි චෛත්‍ය අවට කලාපයත්, මේ කියන ශක්ති කලාපයත් පිළිබඳ කතාවේ සීමා මායිම් පුළුල් කරවන්නකැයි සිතේ. ඒ නිසා “ලක්දිව අග්නිදිග ශක්ති කලාපය” තුළ ඓතිහාසික නෞකා තොටක් හා නෞකා සමාගම පිළිබඳ කතාව මතුවීමත්, නීලගිරි සෑය සොයා ගැනීමත් නොසලකා හරින්නට බැරිය.  මේ සාධක එකිනෙකට වෙනස්ව ඒ ඒ තැන්හි හුදකලාව තිබුණා වුවද තියුණු පර්යේෂණ උත්සාහයක් හරහා මේ අබිරහස් ගොන්න මතුකර ගන්නටද වෙහෙස දැරිය යුතුය.  එනිසා ඓතිහාසික සාධක හා සත්‍යයන් හරහා නීලගිරියද ඇතුළත් මේ කියන ශක්ති කලාපයේ අබිරහස් අනාගතයේදී නියමානුකූලව හෙළිදරව් වුවහොත් මෙරට ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියැවෙනු ඇත.

සජිත් රෝහිත ලියනගේ

 පර්යේෂණ වාර්තා ඇසුරිනි