දවස් 6ක් තෙල් පෝලිමක දිවා-රෑ අත්දැකීම් මාධ්‍යවේදිනියක් කියයි

0
140

ඉන්ධන හිඟය හේතුවෙන් සුපුරුදු ජීවන රටාවත් ගමනා ගමන පහසුවත් අහිමි වූ අප රටේ අපමණ ජනතාව අතරින් එකකු ලෙස මම ඉකුත් ජුලි 14 වැනිදා බ්‍රහස්පතින්දා බොරැල්ලේ සේනානායක හන්දියේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමට එක්වූයෙමි. පෝලිම කිලෝමීටර් ගණනාවක් අෑතට විහිදී ගොස් තිබුණේ අතුරු පාරවලද කැරකෙමිනි. පෝලිමේ පිළිවෙළට ක්‍රමවත්ව තෙල් ගසන්නේ නම් දෙදිනක් තුළදී මගේ කාරයට තෙල් ගසා ගැනීමට හැකි බව මගේ විශ්වාසය විය. ඒ පෙර වතාවේ අත්දැකීම සැලකිල්ලට ගත් විටය.

ඉකුත් ජුනි මස 23දාද එම ඉන්ධන පිරවුම්හලෙන්ම පෝලිමේ සිට පැය තිස් ගාණකදී ඉන්ධන ලබා ගැනීමට හැකිවූ මා කාර්යාලයට පැමිණියේ ජයග්‍රාහීවය. සතුටු සිතිනි. රටේ ජනතාව පෙළෙන ආර්ථික අර්බුදය හමුවේ ඇතිකරන පීඩනය නිසා වෙනදා අප කිසිසේවත් නොතැකූ සුළු සුළු දේවලින් සතුටට පත්වීමට සිදුව තිබේ.

කිසිවකුගේ උගත්කම, වත්පොහොසත්කම, තනතුර හෝ සමාජ තත්ත්වය මෙහිදී අදාළ නොවේ. එහෙයින් රුපියල් 7000කට සීමාවූ පෙට්රල් ලීටර් 19කුත් ගණනින් මාද සතුටු වීමි. ඒත් ටැංකියේ ධාරිතාවය පිරීමට නම් තව කට්ට දෙකක අඩුවක් තිබිණි.

එතැන් සිට පෝලිමේ දසදුක් විඳ ලබාගත් ඒ පෙට්රල් ටික භාවිත කළේ ඉතා අර පරිස්සමෙනි. බොහෝ විට කාර්යාලයකට ආවේ බසයෙනි. නිවෙසට ගියේද බසයෙනි. වෙනදා කාර්යාලයෙන් සැපයෙන ප්‍රවාහන පහසුකම් ඉන්ධන හිඟය හේතුවෙන් දැන් නැත. රටේ අගනුවර වන කොළඹ වුවද ධාවනය වන්නේ ඉතා අඩු බස්රථ සංඛ්‍යාවකි.

මා පදිංචිව සිටින අත්තිඩියට කොළඹ රොස්මිඩ් පෙදෙසේ ‘මව්බිම’ කාර්යාලයේ සිට ඇත්තේ කිලෝමීටර් 10ක දුරකි. එහෙත් මේ කිලෝමීටර් 10ක දුර කොළඹ – අත්තිඩිය අතර තනි බස් සේවාවක් නැත. බස් දෙකක හෝ තුනක මාරුවෙමින් ගමන් කළ යුතුමය. බස් ගාස්තු ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන ගාස්තුද ඉහළ යෑමට පෙර කාරයට දිනකට දැරූ වියදම මේ වන විට බස් ගාස්තුව ලෙස ගෙවීමට සිදුව ඇත.

පුවත්පතක වැඩ කරන අපට වේලාවකට සේවය නිම කිරීම අසීරු කරුණකි. වැඩ නිමවන වේලාවට නිවෙසට යෑම අපේ හුරුවයි. මේ දිවි පැවැත්මද ප්‍රවාහන ගැටලුවටද විසඳුම් දුන්නේ දුෂ්කරතා මැද වාරික ගෙවා ලබාගත් පුංචි කාරයයි. දැන් ඒ පහසුවද විඳගත නොහැකි තරමට ඉන්ධන අර්බුදය උග්‍රවී තිබේ.

කෙසේ හෝ වැඩ වේලාසන නිමා කරමින් මාර්ග අංක 176 බසයකට ගොඩවුවද එතැන් සිට යෑමට මාර්ග අංක 117 බසයක් ඇත්තේම නැත. එලෙස අසරණ වූ අවස්ථා එමටය. එතැන් සිට අත්තිඩියට ඇති කිලෝමීටර් 4.5ක් පමණ වූ දුර රාත්‍රි 9ත් පසුවී දින තුනක්ම පා ගමනින් අත්තිඩියට ඒමට සිදුවිය. පෙට්රල් පෝලිමට එක්වූ ජූලි 14 දාට පෙර දිනද එවන් දිනයකි. නිවෙසට පා ගමනින් යද්දී රාත්‍රි 10.30 පසුවිය. මඳකට හෝ සහනයක් ලබාගැනීමට මේ දින දෙක තුනක්වත් පෝලිමේ සිට හෝ කාරයට පෙට්රල් ලබාගත යුතුය.

ඒ සිතුවිල්ලෙන් ජූලි 14දා මා බොරැල්ල සේනානායක හන්දියේ පෝලිමේ අග සොයාගෙන ගියෙමි. කලින්දා නුගේගොඩ සිට පයින්ම නිවෙසට ගිය හෙයින් ඇඟට දැනුණු කෙඩෙත්තු ගතිය අවදිවීම පමා කළේය. එහෙයින් පෝලිමට එකකු වූයේ උදේ 11.00ට පමණය. ඒ බොරැල්ල මංසන්ධියෙන් කොටා පාර පැත්තට ඇති රිට්ස් සිනමාහලට ආසන්නයෙනි. වාහන හෙළවෙන පාටක් නැත. මගේ කාරය ඉදිරියේ ත්‍රීවීලරයක සිටි පාල නම් පුද්ගලයාටත් පිටුපස වාහනයේ සිටි නිශාන්තටත් කියා ඔවුන් සමඟ දුරකථන අංක හුවමාරු කරගෙන කාර්යාලය වෙත එන්නට උමං මාර්ගය පසු කළා පමණි. නිශාන්තගෙන් ඇමතුමක් ලැබිණි. ‘මිස් වාහන ඉස්සරහට යනවා මිස් එන්න’ පසුව මා නැවත හැරී ගියෙමි. මා සිටි තැන තිබූ වාහන මංසන්ධිය පසුකර තිබිණි. ඉඩකඩ ලැබෙන තෙක් සිට මංසන්ධියෙන් එහා නවතා ගතිමි. මට හිමි තැන තවත් වාහන 10කට ඉදිරියෙනි. වාහන මෙසේ ඉක්මනින් ඉදිරියට ගොස් තිබුණේ ඇඳිරි නීතිය ප්‍රකාශ කර තිබුණු හෙයිනි. එම දිනය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රටින් පිටව මාලදිවයිනට ගිය දිනයයි. වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමට නියමිත විය. පැනනැඟිය හැකි උණුසුම් තත්ත්වය සමනය කිරීමට ඇඳිරි නීතිය යොදා තිබිණි.

පසුපස වාහනයේ සිටි කේ.ජී. නිශාන්ත නමැති තරුණයා වෛද්‍යවරයකුගේ රියැදුරු ලෙස සේවය කරන්නෙකි. ඔහුව විශ්වාස කළ හැකි බව සිතුණු නිසා මද වේලාවක් පෝලිමේ රැඳී සිට ඔහුට යතුරදී නැවත කාර්යාලයට ආවෙමි. ඒ පුවත්පත සඳහා දවසේ කටයුතු කිරීමටය. නැවත සවස්වරුවේ එහි ගිය මා රාත්‍රි අට පමණ වන තෙක් පෝලිමේ සිටියෙමි. පෝලිමේ ඉස්සරහට ගියේ ඉඳහිට මන්දගාමීවය.

මෙලෙස පෝලිමේ සිටියදී කාරය තුළ සිටීම අතිශය අමාරු කටයුත්තකි. තම සැමියා, සොහොයුරා, පියා, පුතා ඉන්ධන පෝලිමේ සිට තෙල් ගසාගෙන එනතෙක් ගෙදර ඉන්න කාන්තා පාර්ශ්වයේ බොහෝදෙනා තෙල් පෝලිමේ දුක නොහඳුනති. වාහනයේ ඒ/සී ක්‍රියාත්මක කිරීමට නම් එන්ජිම පණගන්වාගෙන සිටිය යුතුය. ඒ සඳහා ඉන්ධන වැයවෙයි. ගස් සෙවණක හෝ ඇඳිරි වැටුණු පසු නම් වාහනය තුළ රස්නය මඳක් අඩුවිය හැකිය. එයත් කාලගුණ තත්ත්වය මත ර¼දා පවතී. ඇතැම් විට රාත්‍රියද ආර්ද්‍රතාව වැඩි තත්ත්ව යටතේ ඇඟට රස්නය දෙයි. අනෙක් අතට ඇඳිරි වැටෙද්දී මදුරු කරදරයද පටන් ගනී. වාහන තුළ වීදුරු වසාගෙන සිටීමට රස්නය නිසා නොහැකි අතර වීදුරු විවර කළ විට මදුරු සේනාව ලේ උරාබීමට කඩා පනී.

පළමු දිනයේ සවස් කාලයේ කාරය තුළ උනුසුම මඟ හැරීමට ‍ෙදාර ඇරගෙන කකුල් එළියට දමා පදික වේදිකාවේ තබාගෙන මුහුණු පොතේ යම් යම් දේ බැලීමට උත්සාහ කළෙමි. ඒ අතර බොරැල්ල හංදියේ විශාල වශයෙන් ගැවසෙන පරෙයි රැලෙන් පරවියන් දෙතුන් දෙනකු පැමිණ මා අසල බිම තිබූ දෑ අහුලාගෙන කන්නට විය. දෙවරක් නොසිතූ මා වාහන පෝලිමේදී ඇතිවිය හැකි පොඩි බඩගින්නට ගෙන ආ අලුත්ම ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට් එකක් කඩා ඒවා පොඩිකර උන්ට දමන්නට වීමි. පරවියන් ගණන වහා වහා වැඩිවන්නට විය. ඒ සමඟම කොහෝදෝ සිට කපුටන්ද එන්නට විය. ගත විඩාබර වුවද ඒ කාලය සිතට සතුටක් ළඟාකර දුන්නේය.

එදින රෑ අටට පමණ බසයෙන් නිවෙසට ගියේ කාරය කාර්යාලයේ තබා පසුදින එන අතර පෝලිමේ සඟයකුට කතා කළෙමි. පෝලිම මඳක් ඉදිරියට ගිය බව ඔහු කීවේය. 15දා දෙවැනි දිනය නිමාවූයේ ETI ආයතනය අභියස සිටියදීය. එදින ෂෙඩ් එක තෙල් ගසා තිබුණේ නැත.

පසුදා සෙනසුරාදා අපගේ කාර්යාලය නිවාඩු දිනයයි. එදා මට බොරැල්ලට ඒමට සිදුවූයේ ඉන්ධන පෝලිමේ අල්ලා ගත් ස්ථානය රැක ගැනීමටයි. අත්තිඩියේ සිට බෙල්ලන්තොටට පා ගමනින් විත් එතැන් සිට කරගම්පිටියට ළඟා වූවත් කරගම්පිටියේ බසයක් ආවේ පැයකටත් අධික කාලයකට පසුවයි. එන අතර දුරකථනය හරහා දැනගත් පරිදි වාහන පෝලිම ගමන් කරමින් පැවැතිණි. ඒ වන විට වෝඩ් පෙදෙසේ පෝලිමක් නොපැවතිණි. මා කාර්යාලයට ගොස් කාරයද රැගෙන බොරැල්ල හරස් පාරෙන් පෝලිමේ අග සොයා ගමන් කළෙමි. පෝලිමේ මගේ ස්ථානය එක පාරටම ලබාගැනීම උගහට විය හැකිය. පෙනෙන විදියට පෝලිම ඉක්මනින් ඉදිරියට යයි. එහෙයින් පෝලිමේ අග වාහනය නැවැතුවේ හදිසියේ කිසිවකු මගේ ඉඩ ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් ඇතිවන තත්ත්වයට විසඳුමක් වශයෙන් කලින්දා මා මගේ වාහනයට පිටුපස හා ඉදිරිපස වාහනවල අංක තහඩු ජංගම දුරකථනයෙන් ඡායාරූප ගෙන තබාගතිමි. ඒ අනුව ඉදිරියට ගිය මට මගේ ස්ථානය හමුවූයේ ඇක්වයිනස් ආයතනය පසුව ඇති ගොඩනැඟිල්ල අබියසදීය.

පෙරදා එනම් පෝලිමේ දෙවැනි දවසේදී මා නැති විට මගේ කාරය ඉදිරියට ගෙනගිය වෛද්‍යවරයාගේ රියැදුරු පෝලිම අතහැර යන බව කීවේය. ඒ කිරිබත්ගොඩ ඉන්ධන පිරවුම්හලෙන් වෛද්‍යවරයාට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාගත හැකි හෙයින් එහි එන ලෙස කියා තිබුණු හෙයිනි. එහෙත් එහි යෑමට එම වාහනයේ ඉන්ධන ප්‍රමාණවත් නොවීය. ඉන්ධන ලීටර් 1 1/2 යතුරුපැදියකින් ගෙන ආ වෛද්‍යවරයාගේ හිතවතකු එනතෙක් රැඳී සිටි ඔහු එම ඉන්ධන ටික පෙට්රල් ටැංකියට දමා ගැනීමෙන් පසු පිටත් විය. පෝලිමේ මුල සිට සිටි විශ්වාසවන්තයකු මට නැති විය.

ඒ අතර පැමිණි කොට මහලු පෙනුමක් ඇති පුද්ගලයකු මගෙන් ඇසුවේ මිස් රෑට ඉන්නවාද යනුවෙනි. මා කීවේ නෑ කියාය. එහෙනම් වාහනය තියලා යන්න ඔහු කීවේය. යතුර කාට හරි දෙන්න. එහෙම කාටවත් දෙන්න බෑනේ මම කීවෙමි. මට දෙන්න. මං වාහන දෙකක් බලාගෙන එකක් මගේ පුතෙකුගේ. අනෙක පුතාගේ යාළුවකුගේ ඔහු කීය. ඔහු පුතාගේත් යාළුවාගේත් හිතෛෂිවන්තයකු වුවත් මට ආගන්තුකයෙකි. මට ආරක්‍ෂාවට ඇති මුරපද වන්නේ මා මව්බිම වැඩකරන බව හා මව්බිම කාර්යාලය ළඟ පිහිටීම පමණකි. ආගන්තුක පිරිමි රැසක් ඉන්න ඉන්ධන පෝලිමක කාන්තාවක වුවද මා නොබියව ශක්තිමත්ව ඉන්නේ මාගේ ඒ සිවිල් බලය නිසාවෙනි.

ඒත් සිවිල් බලය පවා නොතකන වංචනිකයන් බොහෝ විය හැකිය. සමාජයේ පුද්ගලයන් හැසිරෙන ආකාරය පිළිබඳව මා වෙත ඉව සහ නොනැමෙන ඍජු ගතියත් කෙළින් කතාවත් මෙවැනි අවස්ථාවල මා රකින ආයුධ බවට පත්වෙයි. මා කෙළින්ම ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කළෙමි. මම කාර් එක මගේ ඔෆිස් එකේ දාලා යනවා මම කීමි. ආයෙ මෙතැනට දාගන්න බැරිවෙයි ඔහු මා බිය වැද්දුවේය. හා බලමු මං මේ පෝලිමේ ඉස්සරහ සහ පිටුපස අය දන්නවා බැරිවෙන්නෙ නෑ මා කීවෙමි.

කාරය අරන් යෑමට පෙර මා ළඟ තිබූ බිස්කට්වලින් සෑහෙන කොටසක් ෂොපින් උරයක දමා පිටුපස වාහනයක සිටි තරුණයකුට දුන්නෙමි. ඒ ඔහු රාත්‍රිය එහි ගතකරනවා කිව් නිසාවෙනි. ඉදිරියේ වාහනයේ නැවතී මා යන බවත් හෙට එන බවත් කීවෙමි. එහි සිටි චණ්ඩි පෙනුමක් ඇති තැනැත්තකු මිස් නොම්බරය දීලා යන්න නැතිනම් දාගන්න බැරිවෙයි කීවේය. එහෙම කොහොමද මං මගේ වාහනය තිබුණු තැන ඉස්සරහා හා පසුපස අයට මගේ ටෙලිෆෝන් නම්බරය දීලා තියෙනවායැයි කියා ගියෙමි.

කෙසේ හෝ සෙනසුරාදා ඇක්වයිනස් ආයතනය අසල මගේ වාහනය තිබූ තැන  හඳුනාගනිද්දී මේ චණ්ඩි පෙනුම ඇති තැනැත්තාද විය. මගේ පසුපස තිබූ වාහන ලෙස ඡායාරූපයේ සටහන්ව තිබුණේ ඔහුගේ වාහනයේ අංකයයි. පසුව දැනගත් පරිදි ඔහු වාහන හතරක් ගෙනැවිත් තිබූ පුද්ගලික ආයතනයක රියැදුරෙකි. ටිකක් වේලා ඔවුන් සමඟ කතා කරමින් සිටි මාහට ඔහු දැඩි ස්වරයෙන් කියා සිටියේ ‘මිස් යන්න. තව දවස් දෙකකින් එන්න. අද තෙල් වදින්නේ නෑ’ එතකොට මගේ තැන මා පෙරළා ඇසීමි. තැන දෙන්නම් ඔහු කීය. නේද මචං ගෑනු කෙනෙක් මේ පාරේ තියාගන්නෙ මොකටද යන්න කියමු. ඒ අනුව පැය කිහිපයක් ඇතුළත මට යෑමට ඔවුන්ගේ අනුමැතියත් ලැබිණි. මා කාරය නැවත කාර්යාලයේ තබා බසයෙන් ගෙදර ගියෙමි.

ඉරිදා මා වැඩට එනවිට කරගම්පිටිය පොළෙන් රඹුටන් බෑගයක් පුරවා ගත්තේ ඔවුන්  සඳහාමය. එම බෑගයද සමඟ ගමන් කොට ඔවුන් සිටි තැන එනම් මට නියමිත ස්ථානය සොයා ගත්තේ යශෝධරා දේවි බාලිකා පාසල ළඟදීය. එහෙත් එදිනද රථ පෙළ ගමන් නොකළේය. මා ටික වේලාවක් ඔවුන් සමඟ කතා කරමින් එහෙට මෙහෙට යමින් සිටියෙමි. එදිනද බසයේම ගෙදර ගියෙමි. 18දා සඳුදා වාහන පෙළ ඉදිරියට ඇදෙන්නට විය. මා වාහනය ගෙන ගොස් පෝලිමේ මට හිමිතැන තබා ගත්තෙමි.

දහවල තාපය දැඩි විය. මා ඔවුන්ට ශීත කළ මෙගා බීම බෝතලයක් රැගෙන ආවෙමි. බොහෝ දෙනා ගස් සෙවණට වෙමින් සිටියහ. මාද ගස් සෙවණක් යට පදික වේදිකාවේ වාඩිවී සිටියෙමි. තැනක කාඩ් සෙල්ලම් කරන පිරිසය. මගේ ස්ථානය රැක ගැනීමටත් වඩා මා සමඟම පෝලිමේ දැඩි වෙහෙසින් පීඩා විඳින මේ මිනිසුන්ගේ විඩාව ගැන දැනීමක් මට විය. ඔවුන් සියලු දෙනාට සංග්‍රහ කිරීමට තරම් මුදලක් අත නොවුණත් දෙපස සිටි අතේ ඇඟිලි ගාණට මඳක වැඩි කිහිපදෙනකු මගේ සුළු සංග්‍රහය භුක්ති වින්දේය. මා එහිම වැඩි වේලාවක් ගත කළෙමි.

දවල් කෑම වේලාව පසුවෙමින් තිබුණි. ‘මිස් අපි ළඟ බත් පැකට් එකක් තියෙනවා කන්න හදන්නේ. මිස් ළඟ කෑම තියෙනවාද’ චණ්ඩියකු වැන්නා ඇසුවේය. මං ළඟ මගේ කෑම පෙට්ටිය තියෙනවා මම පැවැසීමි. එහෙනම් අපි කනවා මිස් කන්න. ඔවුන් ත්‍රීවීලරයක බත් එක තියාගෙන හතර දෙනකු එක්ව කන්නට වූහ. මගේ ළඟ තිබුණේ තම්බාපු එළවළුය. තැම්බූ ගෝවා, අර්තාපල් සහ කැරට් එහි විය. මේ දිනවල මා බිත්තර කන නිසා තැම්බූ බිත්තරයක්ද විය. (බොහෝ විට නිර්මාංස ආහාර ගතිමි) මා ඉන් භාගයක් ගෙනගොස් ඔවුන්ට දුනිමි. මා ඉතිරි ටික ආහාරයට ගනිමින් සිටියදීම පින පල දුන්නාක් මෙන් ට්‍රොලියක් වාහන පෙළට තේ සහ කෙටි ආහාර ලබාදෙමින් ඇදෙන්නට විය.

එක් අයකු කඩදාසි පිඟානක් හා අත්පිස්නයක් දුන් අතර ට්‍රොලිය ඇදගෙන ආ සේවකයන් දෙදෙනාගෙන් මාළුපාන් සහ බටර් කේක් ලැබිණි. ස්වල්ප මොහොතකට පසු උණු තේකක්ද සපයන ලදී. මෙම සංග්‍රහය තම බිරියගේ වුවමනාව මත ලබාදුන් බව කින්සි පාරේම පදිංචි නම සඳහන් කිරීමට අකැමැති ඒ දානපති මහතා පැවැසීය. මා ‘මව්බිම’ පුවත්පතේ බව පවසා විස්තර ඇසූ විට ඔහු ඔහුගේ විස්තර පැවැසුවේ ඒවා කිසිවක් සඳහන් කිරීමට අවශ්‍ය නොවන බව කියමිනි. ‘දකුණු අත දෙන දේ වම් අත දැනගන්න ඕනෑ නෑ කියායි’ ජේසුතුමා කියා තියෙන්නේ ඔහු පැවැසුවේ ඉංග්‍රීසි බසිනි. කෙසේ නමුත් ඔහු පැරණි චිත්‍රපටයක් සඳහා මේ වෙද්දී ඉතා ජනප්‍රිය ගීතයක් මුල් වරට ගායනා කළ ගායකයා බවද මට හෙළිදරව් විය. ඒ කතාව ඔබට ඉදිරි දවසක හෙළි කිරීමට එතුමා අවසර දෙන්නේ නම් එය සතුටින් ඉටු කරන්නට සිතා සිටිමි.

18 වැනිදා සඳුදා කින්සි පාරේ වෝඩ් පෙදෙස හරහා යන සංඥා පුවරු පසු කිරීමටද අපේ ‘මව්බිම’ කාර්යාලයට හැරෙන රොස්මිඩ් පෙදෙස පසු කිරීමට ලැබීමද අපට විශාල ජයග්‍රහණයක් විය. එහෙත් එදින 7.15ට පමණ ඉන්ධන ලබාදීම නැවතුණෙන් අපගේ බලාපොරොත්තු සුන්විය.

එතෙක් බොහෝ මිතුරු ලීලාවෙන් මට මගේ කාරය රාත්‍රි කාලයේ රැගෙන යෑමට දුන් වටේ සිටි අයගෙන් මට ආරෝවක් එල්ල වන්නට විය. ඔවුන් කියා සිටියේ අද රෑ කාරය ගත්තොත් පසු දින පෝලිමට ඒමට නොහැකි බවයි. රෑ කාරයේ ගත කරන ලෙස ඇතැමෙක් කියූ අතර කාරයේ යතුර දී කාරය එහි තබා යන ලෙස තවකෙක් කීය. නැති නම් දැන් ෂෙඩ් එකට ආසන්න නිසා අනිත් අය හෙට ලෙඩ ඇදීමට ඉඩ ඇති බව චණ්ඩි පෙනුමැති තැනැත්තාද කීය. ‘මිස්ට දවස් තුනක් චාන්ස් දුන්නා’ ඔහු කීය. දැන් රෑ 9යි. මට යන්න වාහන නෑ ඔෆිස් එකෙත් වාහන නෑ. මේකේ පෙට්රල් ටිකක් තියෙනවා. මං අද වාහනෙන් ගෙදර යන්නම ඕනේ. ඊයෙත් නුගේගොඩ ඉඳලා පයින්ම ගියා’ මාත් අවධාරණයෙන් කියා සිටියෙමි. මිස් හෝටලයක නවතින්න වාහනේ මෙහෙ දාලා. චණ්ඩියා කීය. මූ මොකාටද එන්නේ මට යකා ආවේශ වෙමින් තිබිණි. එය පාලනය කරගත් මා ‘සල්ලි නෑ’ යැයි කීවෙමි. මං සල්ලි දෙන්නම් 2500ට කාමරයක් ගන්න පුළුවන්’ ගැහැනියකට රෑ වෙද්දීත් තනි වෙද්දීත් ලෙහෙසි නැත. මේ සියල්ල මා දන්නා දේය. අප බොහෝ සුව පහසුව ජීවත් වුවද අපගේ කාලයේ ජීවත්වන බොහෝ කාන්තාවෝ මෙවැනි පීඩාවන්ට ලක්වෙති. මං කාර් එක අරන් ගෙදර යනවා. හෙට උදේට එනවා. බලමු තැන නොදෙන හැටි මේ වෙනකොට දවස් 5ක් ඉඳලා මං දැඩිව කීවෙමි. කාරය රැගෙන ගියේ කාර්යාලයටයි. සැකසිය යුතු ලිපි දෙකක් ටයිප් සෙටින් අංශයට දමද්දී කාර්යාලයේද කාන්තාවකට හිටියේ මා පමණකි. දහයට පමණ කාර්යාලයෙන් පිටව නිවෙසට යද්දී පෝලිමේ සිටි බොහෝ දෙනකු වාහනවලට වී මත්පැන් බොන බව දක්නට ලැබිණි. කාර්යාලයෙන් ඒමට පෙර චණ්ඩියකු වැනි තැනැත්තා දුරකථනයෙන් අමතා කාන්තාවකට කතා කළ යුතු ආකාරය ගැන මෙන්ම යුක්තිය සාධාරණය ගැනද තදින් කියා දෙන්නට අමතක නොකළෙමි.

පසුදා උදේම ආ මා සුසමයවර්ධන පාසල ඇති හරස් පාරේ මුල නැවැත්වීමි. මා සමඟ වාද කළ පිරිස එහි විය. වෙනදා මෙන්ම ගුඩ් මෝර්නින් මිස් යැයි කියූ ඔවුන් තුළ කහටක් ඇති බව නොපෙනිණි. බොහෝ වේලා සිටියද තෙල් දෙන පාටක්ද නොවීය. කාරය එහි තිබියදී මා කාර්යාලයට පැමිණියේ යතුර එහි සිටියකුට ලබාදීය. ඔවුන්ගෙන් බොහෝ දෙනකුද සිටියා ඇතිවී එදින හවස් වෙද්දී සිය නිවෙස්වලට ගියේය. ඇතැමකු ඔවුන්ගේ තැන්ද රකිමින් පෝලිමේ සිටියහ.

බදාදා යනු මට කාර්යාලයෙන් හෙළවිය හැකි දිනයක් නොවේ. පෝලිම අතහැරියත් එසේය. එදිනද කිසිවකුට තෙල් ලැබුණේ නැත. අප සමඟ සිටි පිරිසට තෙල් ලබාගත හැකි වූයේ ජූලි 21දා බ්‍රහස්පතින්දාය. ඒ දින අටක් පෝලිමේ සිටීමෙනි.

මෙවර දින හයක් පෝලිමේ සිටියත් මට තෙල් ලබාගත හැකි නොවීය. පෝලිමේ මගේ දෙපස සිටි පිරිස පැවැසුවේ ඔවුන්ට ජීවිතයත් එපාවී සිටි බවයි. සමහර වාහනවල තිබූ තෙල් ටික හිඳී තිබූ නිසා ඔවුන්ට ඒවා තල්ලු කිරීමට සිදුව තිබිණි. මා සිටි අවසන් දිනයේදී ද වාහන බොහොමයක් තල්ලු කෙරිණි. එක වාහනයක් ඉදිරියට තල්ලු කරන කිහිප දෙනා ඊළඟ වාහනයද තල්ලු කරති.

පෝලිමේදී ඇති කරගත් හිතවත්කම් මත මෙසේ ඔවුහු  එකිනෙකාගේ වාහන තල්ලු කරමින් වෙහෙසෙද්දී මටද නිකම් සිටීමට සිත් දුන්නේ නැත. කෙසඟ සිරුරක් ඇති මා ඉදිරියේම සිටි ත්‍රීවීල් රියැදුරු ඉස්සරහ ඇති වෑන් රථය තල්ලු කිරීමට උත්සාහ දරද්දී මා සැමවිටම ඊට අතගැසුවෙමි. ඔවුන් සමඟ දිව ඇවිත් අනෙක් වාහනයද තල්ලු කර මගේ කාරය පණගන්වා ඉදිරියට ගතිමි.

අප ETZ ආයතනය අභියස සිටි ජූලි 15දා මට පිටුපසින් සිටි ඇතුල්කෝට්ටේ නීල් ප්‍රියන්ත මහතාට ඇක්වයිනස් දක්වා ඉදිරියට යෑමට හැකිවිය. ඒ එතැනින් ඉවත් කරගන්නා වාහනයක් වෙනුවටය. ඒ සඳහා ඔහුට රු. 2500ක මුදලක් ගෙවන්නට සිදුවූ බව ඔහු කියයි. එහෙත් නීල් ප්‍රියන්ත මහතාටත් ඉන්ධන ලබාගත හැකිවූයේ ජූලි 21 බ්‍රහස්පතින්දාමය.

ජූලි 15දා ඇක්වයිනාස් ආයතනය අසල තැනක් ලබාදීමට නාඳුනන තරුණයකු මටද යෝජනා කළේය. කීයක් ඕනෙද ඒ තැනට. තැන් විකුණන ජාවාරම ගැන දන්නා මම විමසීමි. අපි දෙන්නෙක් දැන් දවස් 4ක් තිස්සේ ඉන්නවා. බෙදා ගන්න 10,000ක් ඕනේ නැතුව බෑ. ඔහු කීය. පෙට්රල් ලැබෙන්නේ 7000ක. 7000ක පෙට්රල් ගන්න ඔයාලට 10,000ක් දෙන්න ඕනේද මම විමසීමි. ඔහු නිරුත්තර විය. මට සල්ලි නෑ වෙන කෙනකුගෙන් අහන්න මම කීවෙමි.

තැන්  විකිණීමේ ජාවාරමට අමතරව වනාතමුල්ල ආදී ප්‍රදේශවල දාමරිකයන්ද වාහන ඉදිරියෙන් ඇතුල් කර මුදල් උපයන බව මා සමඟ සිටියෝ පැමිණිලි කරමින් සිටියහ. එසේම ඔවුන් පොලිසියටද චෝදනා කළේ නිරන්තරයෙන් බයිසිකල් ගෙනැවිත් සීමා නොතකා ටැංකි පුරවාගෙන යන බව කියමිනි. තවත් විටෙක පොලිසියද ජාවාරම්කරුවන් සමඟ එක්ව කටයුතු කරන බවටද ඔවුහු චෝදනා කළහ.

ටෙලි නාට්‍ය හා චිත්‍රපට ආදිය සඳහා වාහන සැපැයීමේ නිරතව සිටින ඇතුල්කෝට්ටේ නීල් ප්‍රියන්ත මහතා ඉන්ධන නොමැති වීමෙන් තම කටයුතු සියල්ල ඇනහිට ඇති බව පැවැසීය. මා සමඟ පෝලිමේ ඉදිරියේ සහ පිටුපසින් සිටි අය අතර කොළොන්නාවේ සමන් ලසන්ත, ගොතටුවේ තරංග සඳරුවන්, බුද්ධික, නාරාහේන්පිට සමන්, ෆාරුක් යන මහත්වරුන් මෙන්ම අපට ඉදිරියෙන් සිටි පෝලිම යනවාද නැද්ද යන විස්තර ලබාදුන් ත්‍රිරෝද රථ රියැදුරු කරුණාරත්න මහතා සහ කර්ඕඒ ශාලාව අසල ත්‍රිරෝද රථයක් ධාවනය කරන ජගත් යන මහත්වරුන්වද පෝලිමේ ගෙවූ කාලය තුළ ලබාගත් සහාය වෙනුවෙන් ස්තුතිය පළකරමි.

රු කාරියවසම්