තෙල් හිඟය උඩ බඩ පිනුම් ගහන ත්‍රීවීල් ජාවාරමේ කැතම කැත කතාව

0
99

මගේ මිතුරාගේ වාහනය මාලිගාවත්ත, ඛෙත්තාරාම ප්‍රදේශයේ ඇති ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අසල නතර විය. ඊළඟ මොහොතේ ඔහු තම ජංගම දුරකථනය අතට ගෙන තවකකුට කතා කළේය.

“මම ඇවිත් ඉන්නේ. අර තෙල් ටික අරන් එන්න.” ඔහු එසේ කියා දුරකථනය විසන්ධි කළේය.

“ඔන්න බලාගන්න මේ අයගේ බිස්නස් එක කොහොමද කියලා. මම මේ කරන්නේ වැරැද්දක්. ඒත් කරන්න දෙයක් නැහැ. ලංකාවෙන් යන්න කලින් නුවර මහ ගෙදරට යන්න ඕන නිසා වැඩි මිලට තෙල් ගන්නවා. ඔහු එසේ කියා විමසිල්ලෙන් වටපිට බැලුවේය.

මා සමඟ සිටින මේ මිතුරා ප්‍රංශයේ සිට පැමිණි කෙනෙකි. ඔහු පැමිණි දිනයේ සිටම අපේ රටේ පෙට්රල්, ඩීසල් නැත. බස් රථ හා දුම්රිය ගමනාගමනයද සාමාන්‍ය පරිදි නැත. මේ අවුල නිසාම ඔහු වෙහෙසෙන්නේ වැඩි මිලට පෙට්රල් ලබාගෙන මවුපියන් බලන්නට යන්නටය.

“අන්න මිනිහා එනවා.  ඔයා සද්ද නොකර ඉන්න. නැත්නම් මිනිහා හිතයි මම මාධ්‍යවේදියෙක් අරන් ඇවිත් වැඩේ වණ කරන්න හදනවා කියලා.

අප ඉදිරියේ සිය ත්‍රීවීලරය නැවැත් වූ රියැදුරා වටපිට බලා එහි තිබූ බූලියක් රැගෙන වහා අපේ වාහනය ළඟට ආවේය.

“ආ.. මේක ටක් ගාලා වාහනය ඇතුළට දාගන්න මහත්තයා. “ඔහු කීවේ කලබලයෙනි. මගේ මිතුරා එම තෙල් බූලිය රියේ ඩිකියට ඔබා රුපියල් හතළිස් හත්දාහක් ඔහු අතේ තැබීය.

“හරි නේද?” මිතුරා හෙමිහිට ඇසුවේය.

“හරි තව ඕන වුණොත් කියන්න මහත්තයා එහෙම නම් අපි ගියා”

ත්‍රීවීලර් රියැදුරා එසේ කියා යන්නට ගියේය.

“දැක්කනේ තෙල් ලීටර් 15යි.  රුපියල් 45,000යි.  ගෙදර ඉඳගෙන  සල්ලි හොයන මිනිස්සු.”   ඔහු සිනාසෙමින් කීවේය.

“ඒ වුණාට ඉතින් පෝලිමේ ලගිනවනේ දවස් ගණන්

“පිස්සුද ?  මිනිහා පෝලිමේ ලගින්නේ නැහැ. මිනිහා තව මිනිහෙක්ව දවසට රුපියල් 3000 කුලියට පෝලිමේ තියනවා. තෙල් ගහන්නේ වෑන් එකත් අරන් ගිහින්. එතකොට මල්ල කරේනේ. වෑන් එකයි ත්‍රීවීලර් එකයි එකම පෝලිමේ එකම ළඟ.

මේ අපේ රටේ  පෙට්රල්වලට හා ඩීසල්වලට ඇති ඉල්ලුමට සාපේක්ෂව ඇති වී තිබෙන අවාසනාවන්ත කතා ගොන්නක එක් පැතිකඩකි.

පසුගිය සතියේ තෙල් පෝලිම්වල වූ ත්‍රීවීලර් පෝලිම් හා එම රැකියාව කරන ඇතැම් ජාවාරම්කාර තෙල් වෙළෙන්දන් කරන පව්කාරකම් ගැන අපි ඔබට කීවෙමු. මේ වෙළෙන්දන් දිවා රෑ දෙකම ගත කරන්නේ තෙල් පෝලිමේය. අනිසි ලෙස මුදල් හොයන්නේ ඒ තෙල් වැඩි මිලට විකුණා දමමිනි.

මේ ජාවාරම්කාර ත්‍රීවීලර් රියැදුරන් අපේ රටේ ත්‍රීවීලර් රැකියාව කරන සමස්තයම නොවන බව අපි මෙහිදී පුල පුලා මතු කරන්නට කැමැත්තෙමු.  මේ සියලු ජරාජීරණ වැඩ කරන්නේ නාගරික හා අර්ධ නාගරිකව ජීවත්වන මුදල් පසුපසම දුවන අමනුෂ්‍යයන් කොටසකි. ඔවුන්ට හිතක් පපුවක් නැත. ඒ බව වඩාත් හොඳින් තේරුම් ගත හැකි වන්නේ මේ අශුද්ධ වෙළෙ¼දාම පිළිබඳව තවත් කරුණු කාරණා සොයා බලද්දීය.

මේගොල්ලෝ පෝලිම්වල ඉඳලා තෙල් එකතු කරගෙන ඇවිත් විකුණන්නේ සුපිරි වාහන අයිති අයට. ඒ ගොල්ලෝ මේ අයව පෝලිම්වල තියලා තමයි තෙල් ටික හොයා ගන්නේ.

“දැන් බලන්න පාරේ කොයි තරම් සුපිරි වාහන දුවනවද කියලා. ගෙදර වාහන දෙක තුන තියෙන අය ඒගොල්ලන්ගේ රියැදුරු මහත්වරුන්ව පෝලිම්වල තියලත් තෙල් ගහ ගන්නවා. ඊට අමතරව ත්‍රීවීලර් රියැදුරන්වත් පාවිච්චි කරනවා. මුන් අහිංසක මිනිස්සුන් ගනන් ගන්නේවත් නැතිව ලොකු එවුන් ගැනම හිතලා තෙල් ජාවාරමේ යෙදෙනවා.” මැදිවියේ ත්‍රීවීලර් රියැදුරු මහතකු එසේ කීවේ වේදනාවෙන් යුතුවය.

මේ වෙද්දී මහ පාරේ හයර් දුවන ත්‍රීවීලර් සංඛ්‍යාව ඉතා අල්පය. ඒ ඇත්තෝත් කිලෝ මීටරයකට අය කරන ගණන රුපියල් දෙතුන් සියයකි. ඇතැමුන් රුපියල් 500ට අඩුවෙන් ත්‍රීවීලරය පණ ගන්වන්නේද නැත.

අපි දවස් ගණන් පෝලිම්වල ඉඳලනේ තෙල් ගහගන්නේ. ඉතින් පොඩි ගණන්වලට හයර් දුවන්න බැහැ. බොහෝ ත්‍රීවීල් රියැදුරන් පවසන්නේ එවැන්නකි.

අපිත් ගෙදර ඉඳන් සල්ලි හොයන්නේ නැහැනේ. බස්වල එල්ලිලා කිලෝමීටර් ගණන් පයින් ඇවිදලා රස්සාවට එන්නේ. එහෙමත් නැත්නම් ලෙඩකට දුකකට බෙහෙත් ටිකක් ගන්න එන්නේ පුළුවන්කමකට නෙවෙයි. අපෙත් පඩි වැඩිවෙලා නැහැනේ. මේ ත්‍රීවීලර් රියැදුරු කාක්කෝ මේවා ගැන හිතන්නේ නැත්තේ ඇයි? මහ රෝහල අසලදී හමුවුණු රෝගී අම්මා කෙනෙක් කඳුළින් කීවේ මේ අවනඩුව ගැන බලන්නට කවුරුවත් නැතැයි චෝදනා කරමිනි.

සාමාන්‍යයෙන් ත්‍රීවීලරයකට තෙල් ලීටරයකින් ධාවනය කළ හැකි කිලෝමීටර් ගණන 30 සිට 36 දක්වාය. ඒ අනුව ලීටරයකට කිලෝමීටර් 30 ගණනේ බැලූවිට ඔවුන් දැන් උපයාගන්නා මුදල රුපියල් 3000කි. ඒ කිලෝමීටරය රුපියල් 100ක් අය කරන කාලයේදීය. දැන් ඔවුන් ඊට වඩා හම්බ කරන්නේ පෙරකී ලෙස කිලෝමීටරයකට රුපියල් 200කට 300කට වඩා අය කරමිනි.

දැන් මේ මිනිස්සු ගෙදරම ඉඳලා ඒ මුදල හොයා ගන්නේ හයර් දුවන්නේ නැතිවමයි. සාමාන්‍යයෙන් ලීටරයක් රුපියල් 3000කට වික්කොත් ලීටර් 5කින් 15,000ක් හොයාගන්න පුළුවන්. 10ක් වික්කොත් 30,000යි. ඉතින් මොකටද මහන්සි වෙන්නේ? දුවලා දුවලා වාහනයේ ටයර් නාස්ති කරගන්නේ? ඒ හින්දා මේවගේ වැඩ කරනවා. ඒක සාධාරණය කියලා ඔප්පු කරන්ඩ අපේ එවුන්ම අපි එක්ක රණ්ඩුත් කරනවා.

අපේ ත්‍රීවීලර් අයියලා වෘත්තියක් නෙවෙයි කරන්නේ. බිස්නස් එකක්. මිනිස්සුන්ගේ රීරි මාංස හරි බීලා මෙහෙම සල්ලි  හම්බ කරන්නේ ඒකනේ. අපේ හිත මිතුරු මාලිගාවත්තේ ත්‍රීවීලර් රියැදුරකු කීවේ එහෙමය.

ලංකාවේ බොහෝ ප්‍රභූ වාහන මහා මාර්ගවල ධාවනය වන්නේ පයින් ගමන් ගන්නා මගීන්ට ඔච්චම් කරන්නාක් මෙනි. ඒවා මහා මාර්ගවල ඉගිල්ලී යන්නේ ත්‍රීවීලර් තෙල් ප්‍රශ්නයක් රටේ නැතැයි හිතෙන තරමටය.

මේ සියලු වාහන පෙට්රල් හා ඩීසල් සොයා ගන්නේ සූක්ෂ්මවය. එසේත් නැතිනම් අපට නැති තෙල් ඔවුන්ට ලැබෙන්නේ කෙසේද?

මේ හැමෝම පෙට්රල්, ඩීසල් සොයා ගන්නේ ඔය විදිහට තමයි. සමහර පෙට්රල් ෂෙඩ් අයිතිකාරයෝ, ඒ වගේම වැඩ කරන සේවකයෝ, පොලිසියේ වැදගත් මහත්වරුන්ගේ උදවු උපකාර අරගෙන පවා මේ බිස්නස් එක කරනවා. ඕවා නවත්වන්න හරිම අමාරුයි. මොකද එක රටක් එක නීතියක් මෙහෙ නැහැනේ. තවත් ත්‍රීවීලර් රියැදුරකු එසේ කීවේ ඔහු වෘත්තියෙන් ඒ රස්සාවම නොකරන නිසාය.

මම ඔන්ලයින් බිස්නස් ආයතනයක වැඩ කරන කෙනෙක්. මට ඕන තරම් හයර් තියෙනවා. නැත්තේ තෙල් විතරයි. අද අපි වගේ තරුණ අය හුඟක් අසරණ වෙලා ඉන්නේ මේ ත්‍රීවීලර් පෝලිම්වල ඉන්න මැරයන් නිසයි. උන් එක්ක හැප්පෙන්න අපිට බැහැ. බලන් ඉද්දී වාහන ගෙනත් බලහත්කාරයෙන් ඔබනවා. හිටපු ගමන් වාහන දෙක තුන ගෙනත් ඔබලා හයිකාරකම් කතා කරනවා. මෙහෙම යක්කු තමයි පෝලිම්වල වැඩිපුර ඉන්නේ.

ත්‍රීවීලර් රියැදුරන්ට මේ ජාවාරම කිරීමට අනුබල දෙන පෙට්රල් ෂෙඩ් හිමිකරුවන්ද ඇතැම් විට ක්‍රියා කරන්නේ අමානුෂික විධියට. ඔවුන් හිටි හැටියේ පෙට්රල් ඉවරයි කියලා ෂෙඩ් එක වහනවා. නමුත් බඩු තියෙනවා. අපි මේ නිසාම පාරිභෝගික සේවා අධිකාරියට කතා කරලා කියනවා. නමුත් ඔවුන් එන්නම්’ කියලා මඟ හරිනවා. මේ පෙට්රල් හා ඩීසල් තියාගෙන රෑට රෑට හොරෙන් ඇදලා වැඩි ගාණකට විකුණනවා. දැන් මේ රට හොරුන්ගෙන් පිරිලා. මිනිස්සු මේ හොරුන්ගෙන් කොහොම බේරිලා ඉන්නද?

ලංකාවේ සෑම ආයතනයක්ම සෑම තැනක්ම දැන් රජකරන්නේ සුපිරි හොරුන්ය.

මේ හොරුන් මේ විධියට බෝවන්නේ ඔවුන්ටත් ඉහළින් වැජඹුණු ප්‍රසිද්ධියේ හොරකම් කළ දේශපාලනඥයන් නිසාය. ඒ හොරුන්ගේ අඩිපාරේ ගිය නිලධාරි පෙළෙන්තිය වගේම ගෝල බාලයෝද හොරකමට පුරුදු වී ඉබේම චෞර සමාගමක් බිහිවිය.

මේ ත්‍රීවීලර් රස්සාව කරන්නේ මහ ලොකු පවුල්වල අය නෙවෙයිනේ. වතුවල ජීවත්වන එහෙමත් නැතිනම් අඩු ආදායම්ලාභී පවුල්වල අයනේ. මේ මිනිසුන්ට ඒ පෙළෙන්තියේම  මිනිසුන්ගේ ජීවන අරගලය දැනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ. දුප්පත්  මිනිස්සු ජීවත් වෙන්නේ අන්ත අසරණ වෙලා. ඒත් එහෙම අයගෙන්ම තමයි ත්‍රීවීලර්කාරයොත් ගසා කන්නේ. ඒක ගසා කෑමකටත් වඩා ඒකට කියන්නේ අමානුෂිකව කොල්ලකෑමක්. බස් නැවතුම්පොළක වාඩිවෙලා සිටි තාත්තා කෙනකු එසේ කීවේ දුක්මුසුවය.

මම දැන් මෙතැන ඉන්න ත්‍රීවීලර් එකකින් ඇහුවා බොරැල්ලේ ඉඳලා දෙමටගොඩ ස්ටේෂන් එකට යන්න කීයක් ගන්නවාද කියලා. මිනිහා කියනවා රුපියල් 1000ක් ඕන කියලා. ඇත්තටම මෙතැන ඉඳලා කිලෝමීටර් 3ක්වත් එතැනට නැහැ. පේනවාද ගසාකන විධිය?

මේ කාලයේ බොහෝ ත්‍රීවීලර් රියැදුරෝ එක්කෝ මහ පාරේ යන මගී ජනතාවගෙන් මුදල් ගසා කති. එසේත් නැතිනම් තෙල් පෝලිම්වල රැඳී තෙල් ටැංකිය පුරවාගෙන ඒවා සුපිරි ගණන්වලට විකුණති. ඒ කාරණය ස්ථිර වන තවත් දෙබසක් අපට ඇසුණේ බොරැල්ල උපවංශ හෝටලය අසලදීය.

“ඒයි… උබ අද හයර් දුවනවාද…? ෂෙඩ් එක වහලා නිසා උබ අද හයර් දුවනවා නේද? නැත්නම් ඉතින් පෝලිමේම තමයි.”

ත්‍රීවීලර් රථයක් අසලට ආ තරුණයා එසේ කෑගසා ඇසුවේ වටපිටාවේ සිටි හැමෝටම ඇසෙන්නටය. මේ සිදුවීමට සම්බන්ධ ත්‍රීවීලර් රියැදුරු ජාවාරම්කරුවා කිසිවක් නොකියා මහහඩින් සිනාසී වටපිට බැලුවේ ගණනකට නොගෙනය.

මේ වාගේම තමයි අපූරු සිදුවීමක් වූයේ පුංචි බොරැල්ල කින්සි පාරේදීය. එහි තෙල් පෝලිමක සිටි තරුණ ත්‍රීවීලර් රියැදුරන් කීපපොළක් මහ හයියෙන් ත්‍රීවීලරයක තිබී සී.ඩී. යන්ත්‍රයක් උපයෝගී කරගෙන ගී  මිහිර විඳිමින් උන්නේ කිසිදු මානසික පීඩනයක් නැතිවය.

අපි ඊට මඳක් ඔබ්බෙන් සිටි වයෝවෘද්ධ මිනිසුන් කීපපොළක් වෙත ළංවී මෙසේ ඇසුවෙමු.

අර කට්ටිය සතුටින් ඉන්නේ ෂෙඩ් එකට තෙල් ඇවිත්ද?

අපගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඒ වයසක ඇත්තෝ මෙසේ පැවැසුවේ තරහිනි.

පිස්සුද මහත්තයා? දැන් තෙල් විකුණලා ලක්‍ෂ ගණන් හම්බ කරන සතුටට තමයි ඔහොම ඉන්නේ.  ඔය සෙට් එකම පට්ට හොරු. හැමදාම තෙල් පෝලිමේ. ඒකෙන් තෙල් ගහනවා. යනවා. ආපසු ඇවිත් හිටපු තැනටම ත්‍රීවීල් එක තබනවා. උන්ට හරියන්නේ නැහැ.

ලංකාවේ තෙල් පෝලිම්වල රජකරන මේ ත්‍රීවීලර් තෙල් ජාවාරමුන් නිසා දුක් විඳින්නේ අහිංසක මිනිසුන්ය. මෝටර් සයිකලයට එසේත් නැතිනම් තමන්ගේ පෞද්ගලික සැහැල්ලු වාහනයට තෙල් ටික ලබා ගන්නට එන මිනිසුන්මය. පට්ට හොරුන් මැද, ජාවාරම්කාරයන් මැද හැමදාමත් අසරණ වන්නේ ඒ මිනිසුන්මය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ