තෙල් බෙදිල්ල අනාගන්නේ නැතුව අපූරුවට කළ ගාල්ලේ ෂෙඩ් එක

0
255

තෙල් අර්බුදය හෙවත් ඉන්ධන හිඟය ජන ජීවිතයට මහා පරිමාණ බලපෑමක් කළ තවමත් නොවිසඳුණු ප්‍රබල ගැටලුවකි. මෙම අර්බුදයෙන් ජනතාව මුදවාගනු පිණිස රජය ද විවිධ උපක්‍රම යෙදුවේය. එහෙත් තවමත් එයට ස්ථිරසාර විසඳුමක් ලැබී නොමැත. මෙවන් වාතාවරණයක් තුළ පාරිභෝගිකයන් පාරිභෝගිකයන් සමඟද පාරිභෝගිකයන් ආරක්ෂක අංශ සමඟ ද ඉන්ධනහල් සේවකයන් සමඟ ද ගැටුම් ඇති කරගත් අවස්ථා නොකඩවාම වාර්තා වන්නට විය.

ඒ අතර කිසිදු ගැටුමකින් තොරව පාරිභෝගිකයා සාවධානව රඳවාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් පිළිබඳ තොරතුරු ද අපට අසන්නට, දකින්නට ලැබිණි. ගාල්ල, නුගදුව, ආරාධනා පිරවුම්හල ඒ අතර ඉදිරියෙන්ම ඇති පිරවුම්හලකි. ඒ සඳහා ඔවුන් අපූරු සන්නිවේදන උපක්‍රමයක් භාවිත කළේය. ඒ මුහුණුපොතය. කාලය කා දමන, ඕපාදූප පතුරවන තුන්වැනි පන්තියේ විනෝදාස්වාදන මාධ්‍යයක් සේ බොහෝදෙනෙක් විසින් සලකන මුහුණුපොත හරහා ඔවුන් පාරිභෝගික විශ්වාසය දිනාගත්තේය. ඒ සඳහා ඔවුන් භාවිත කළ සන්නිවේදන රටාව ද සිත්ගන්නා සුලු විය. එහි විටෙක මෙවන් දෑ සටහන්ව තිබිණි. “දිගු පෝලිම ඇති නිසා තවදුරටත් පැමිණීම ප්‍රතිඵලදායක නොවනු ඇත”

“සිදුවන අපහසුතාවට අපි අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු”

“පෙට්රල් හා ඩීසල් ඉදිරියේදී දිගටම ලැබෙනු ඇත”

“ඉවසිලිමත් පාරිභෝගික ඔබ සැමට හදවතින්ම ස්තූති”

මේ අපූරු සන්නිවේදන රටාව නිසාම අපටත් මේ පිරවුම්හල පිළිබඳ සොයාබැලීමක් කරන්නට සිත්විය. ඒ පිළිබඳ කතා කළ හැකි මේ ක්‍රමවේදයේ නියමුවාණන් අප මුණගැසුණේ එහෙයිනි. ඔහු ගාල්ල, නුගදුව, ආරාධනා ඉන්ධන පිරවුම්හලේ කළමනාකාර අධ්‍යක්ෂ ළහිරු සම්පත් සමරනායක මුණසිංහය.

2014 වර්ෂයේදී ඔවුන් මෙම පිරවුම්හල ආරම්භ කිරීමත් සමඟම මුහුණුපොතේ පිටුවක්ද වෙන්කර ගත්තේය. එදා සිට අද දක්වාම පාරිභෝගිකයාට වැදගත් වන ඉන්ධන සම්බන්ධ තොරතුරු ඔවුන් මෙහි දෛනිකව සටහන් කරන්නට විය. ඒ සඳහා පුහුණු නිලධාරීන්ද ආයතනයට බඳවාගනු ලැබීය.

පාරිභෝගිකයා සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමටත් පාරිභෝගිකයාගේ විශ්වාසය තහවුරු කරගැනීමටත් විනිවිදභාවයකින් යුතුව සේවාව පවත්වාගෙන යෑමටත් මෙය ඉතා වැදගත් සහ පහසු සන්නිවේදන ක්‍රමයක් විය.

ඒ අනුව අද දවසේ පිරවුම්හල සතුව පවතින ඉන්ධන වර්ග මොනවාද? ඒ ඒ ඉන්ධන කොපමණ ප්‍රමාණයක් පවතීද? අලුත් තොග ලැබෙන්නේ කවදාද? යනාදී ලෙස පාරිභෝගිකයාට වැදගත් වන සියලු තොරතුරු එදිනෙදා මුහුණුපොතේ සටහන් වන්නට විය. එම තොරතුරු පාරිභෝගිකයාට නිවැරැදි අවබෝධයකින් යුතුව ඉන්ධනහල වෙත පැමිණීමටත් ප්‍රමාදයකින් තොරව සේවය ලබාගැනීමටත් පහසු මාර්ගෝපදේශයක් විය.

එහෙත් මෙම සන්නිවේදන ක්‍රමයේ උපරිම ප්‍රතිඵල ඔවුන් භුක්ති විඳිමින් සිටින්නේ වර්තමානයේය. පිරවුම්හල් අසල රොදබඳින පාරිභෝගික ප්‍රජාව හසුරවාගන්න එය ඉතා පහසු දැනුවත් කිරීමේ මාධ්‍යයක් බවට පත්විණි. පසුගියදා රජය මඟින් හ¾දුන්වාදුන් ටෝකන් ක්‍රමයේදී ඒ පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීමත්, ටෝකන් අංක ලබාදීමත් හරි අපූරුවට ඔවුන් කළමනාකරණය කරගත්තේ මේ නවීන සමාජ මාධ්‍ය ජාලය සහ දුරකථන කෙටි පණිවුඩ සේවාව ඔස්සේය. ඒ ඒ පාරිභෝගිකයාට අදාළ ටෝකන් අංකයත් ඉන්ධන ලැබෙන දිනයත් ඒ අනුව පිරවුම්හල වෙත පැමිණිය යුතු වේලාවත් ඉහත ක්‍රමවේද හරහා ඔවුන් පාරිභෝගිකයාට දැනුම්දුන්නේය. ඒ නිසා පාරිභෝගිකයාට දින ගණන් පෝලිමේ සිටීමට අවශ්‍ය නොවිණි. එසේම පාරිභෝගිකයාගේ කාලය කළමනාකරණය කරගැනීමටද මෙම ක්‍රමය පහසුවක් විය. සේවාව ලබාගත් පසු ඒ සඳහා ද ස්තුති කරමින් තවදුරටත් එම ටෝකන් අංකය වලංගු නොවන බව සටහන් කළ කෙටි පණිවුඩයක්ද පාරිභෝගිකයාට යවනු ලැබීය. ඊට අමතරව ක්ෂණික විමසුම් සඳහා දුරකථන අංකයක්ද පාරිභෝගිකයාට හ¾දුන්වා දී ඇත. පැය 24 පුරා මෙම ඉන්ධනහල විවෘතව පවතින්නා සේම මෙම දුරකථන අංකයද විවෘතව පවතී. එයද පාරිභෝගිකයාගේ පහසුව උදෙසා ස්ථාපනය කරවූවක්ය.

වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී අ ජධපඤ ක්‍රමයයි. දැන් ඔවුන් එම ක්‍රමයට අනුව යමින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇත. ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබෙන්නා වූ සහ නොතිබෙන්නා වූ සෑම පාරිභෝගිකයෙක්ටම එම පහසුකම් සලසාදීම ආරාධනා පිරවුම්හල මඟින් සිදු කරයි. මෙහි මුද්‍රණ පිටපතක් පාරිභෝගිකයා අතට ලබාදෙයි. ඉන්ධන පිරවුමට අමතර වූ මේ සියලු සේවාවන් ඔවුන් සපයනු ලබන්නේ නොමිලේ වීම තවත් විශේෂත්වයකි.

ඉන්ධනහල් අසල සිදු වූ උද්ඝෝෂණ, ගුටිබැට හුවමාරු මෙම පිරවුම්හල අසලදී සිදුනොවුණේය. ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම් විවිධාකාරය. එනිසා විටෙක ඔවුන් ආවේගශීලීව හැසිරේ. ඒ බව අවබෝධ කරගෙන ඉවසීමෙන් සහ අවබෝධයෙන් කටයුතු කළ නිසා ගැටුම් ඇතිවීමකින් තොරව සිය සේවාව පවත්වාගෙන යෑමට ඔවුනට හැකිවිය. එහි පූර්ණ ගෞරවය එම ප්‍රදේශය භාරව කටයුතු කරන නාවික හමුදා ගාල්ල කඳවුරේ කමාන්ඩර් කාරියවසම් මහතා වෙත පුදකිරීමට තරම් මුණසිංහ මහතා නිර්ලෝභී පුද්ගලයකුද විය.

එමෙන්ම පාරිභෝගිකයා යම් හික්මවීමක් සහිතව තබාගැනීමට නිවැරැදි තොරතුරු නිවැරැදි ආකාරයට සමාජගත කිරීමද හේතුවක් වන්නේය. එනිසාම නිතර නිතර මුහුණුපොත හරහා දැනුවත් කිරීම් කරමින් සිය පාරිභෝගික ප්‍රජාව අතර සාමය ආරක්ෂා කරගැනීමටද ඔවුහු උත්සාහ දැරූහ. 

සන්නිවේදන පහසුකම් තිබුණත් සන්නිවේදන කාර්යය නිවැරැදි ලෙසින් සිදුකළ නොහැකි වන තැන එම කාර්යය සාර්ථක නොවේ. එනිසා යහපත් ලෙස සන්නිවේදනයේ යෙදෙන ක්‍රමවේද ද අපි හඳුනාගනිමු. එසේ වූ කල පාරිභෝගික විශ්වාසය දිනාගෙන විනිවිදභාවයෙන් යුතුව අඛණ්ඩව සේවාව පවත්වාගෙන යාහැකි බවට ගාල්ල, ආරාධනා පිරවුම්හල අපට සාක්ෂි සපයන්නේය.

එමෙන්ම දියුණු තාක්ෂණික යුගයක වෙසෙන අපි එම තාක්ෂණය සැම හිතසුව පිණිස පවත්වාගෙන යෑමට බුද්ධිමත් වීමද වඩා වටින්නේය. වර්තමානයේ සෑම ව්‍යාපාරික ආයතනයකම සවිකර ඇති CCTV කැමරා එවන් තාක්ෂණික උපකරණයකි. එමඟින් බොහෝදෙනා අපේක්ෂා කරන්නේ තමන්ගේ ව්‍යාපාරයේ ආරක්ෂාව තහවුරු කරගැනීම සහ කාර්යමණ්ඩලයේ වැරැදි අඩුපාඩු බලාගැනීමය. නමුත් ආරාධනා සිය පිරවුම්හලෙහි කැමරා 64ක් සවි කරමින් අපේක්ෂා කළේ පාරිභෝගිකයාට තෙල් බිඳකින් හෝ අවාසි සහගත නොවන අයුරින් සිය ගනුදෙනු පවත්වාගෙන යෑමය. ඒ අනුව නොසෙලයට, පොම්පයට පවා ඔවුන් කැමරා සවිකළේය. එයින් පාරිභෝගිකයා අතර විශ්වාසය වඩවඩාත් තහවුරු කරගත හැකිය. ගනුදෙනුවද විනිවිදභාවයෙන් යුතුව සිදුවේ. ඒ අනුව සේවාවේ ගුණාත්මකභාවය 100%ක් තහවුරු වන්නේය.

තනූජා සූරියබණ්ඩාර