තමාට තමාවත් අනෙකාවත් අහිමි කරන කෝපය

0
56

“අක්කොච්ඡි මං අවධි මං – අවධි මං අජිනි මං අහාසි මෙ යෙ තං උපනයහන්ති – පෙර තෙසං න සම්මති” “අසවල් පුද්ගලයා මට නින්දා කළේය. අසවල් පුද්ගලයා මට පහර දුන්නේය (කායිකව හෝ මානසිකව). අසවල් පුද්ගලයා මට වඩා දක්ෂකම් පෙන්වයි. ඔහු හෝ ඇය මා පරදවා ජයග්‍රහණය කරයි. අසවල් පුද්ගලයා මා සතු දේ පැහැරගත්තේද යනුවෙන් අනුවණ පුද්ගලයා අනුන් ගැන සිතන්නේ තමන්ගේ තරහකාරයකු ලෙසයි. එසේ සිතන ඔහු අනුන් ගැන වෛරයක් ඇති කර ගනියි.”

කෝපය යනු මානසික ආවේගයකි. පෘථග්ජන මිනිසුන් ලෙස අපට කෝපය නම් චිත්ත ස්වභාවය ඇති වීම සාමාන්‍යයි. කෝපය ආවේගයක් ලෙස සිතට පැමිණිවිට අප කළ යුත්තේ කෝප නොවී සිටීම නොව කෝපය පාලනය කර ගැනීමයි. කෝපයේ පළමුවන අවස්ථාව නොමනාපයයි. නොමනාපය සහ අකැමැත්ත වැඩි කාලයක් සිතේ පැවැතීම නිසා තරහා ඇති වේ. තරහව වැඩි කාලයක් සිතේ පැවැතීම නිසා කෝපය හටගනියි. කෝපය, කේ‍රා්ධය, වෛරය ඉන් පසු බද්ධ වෛරය ආදිය ඇතිවේ. මේවා මානසික සිතුවිලි අයහපත් ලෙස පුරුදු පුහුණු කළ විට ඇති වන අවස්ථාය. මෙය මනෝකර්ම හෙවත් මානසිකමය ක්‍රියාවන්වලට අයත් වේ.

තමන් අකැමැති පුද්ගලයෙක් සමඟ වැඩ කිරීමට සිදු වීම. අකැමැති ස්ථානයක රැඳී සිටීමට සිදුවීම, අකැමැති දේවල් කරන්නට සිදුවීම ආදියේදී කෝපය ඇති වෙනවා. අප කතාවට කියන්නේ කෝපය දලුලනවා කියාය. එසේ කියන්නේ කෝප සහගත සිතුවිල්ල සිතේ රඳවා ගෙන සිටීම නිසයි. ධර්මයේ මෙය හ¾දුන්වන්නේ වංචක ධර්මයක් ලෙසයි. වංචක ධර්මවල ස්වභාවය වන්නේ එම අකුසලය තමා තුළ තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව නොදැන සිටීමයි. කෙනකුගේ සිත තුළ වංචක ධර්මයක් ලෙසත් කෝපය තිබිය හැකියි. එමෙන්ම ඇතැමකුගේ සිත තුළ වංචක ධර්මයක් නොවන ලෙසත් කෝපය පැවැතිය හැකියි.

මෙසේ සිතන්න, තමන්ට යම් කෙනකු පිළිබඳව අමනාපයක් තිබෙනවා. ඔහු හෝ ඇය කතා කරන විට එම අමනාපය නොපෙන්වා කටයුතු කරන්න උත්සාහ ගනිමින් අයහපත් ප්‍රතිචාරක් දක්වනවා. එලෙස සිදු කිරීමෙන් පසුව ඇයි මම එහෙම කළේ යැයි සිතා බැලූ විට එයට හේතුව කෝපය බව වැටහෙනවා. එය කෝපය තමන් තුළ තිබෙන බව නොදැන කළ දෙයක්.

කෝපය පුද්ගල බද්ධයි. තමන්ගේ කෝපය ඉලක්ක වන්නේ එක් පුද්ගලයකු වෙතයි. සමහර අවස්ථාවලදී මානසික රෝගී තත්ත්වයන් නිසාද කෝපය ඇති වෙනවා. ඒවාට ඔෟෂධ ප්‍රතිකාර ගත යුතුයි. මේ කෝපය මනුෂ්‍යයකුගේ දියුණුව අඩපණ කරන, අරමුණු කරා යන මාර්ගය අපැහැදිලි කරන පුද්ගල පෞරුෂයේ තිබෙන දුර්වල ලක්ෂණයක්. කේ‍රා්ධය කියන්නේ නිට්ටාවට සුව කළ නොහැකි රෝගයක්. පාලනය කිරීම පමණයි කළ හැක්කේ. කෝපය නිට්ටාවට සුව කරන්නට නම් රහත් බවට පත්විය යුතුයි. රහත් නොවූ ගිහි පැවිදි සැමගේ සිතෙහි ඇතිවන ආවේග තත්ත්වයක් ලෙස කෝපය හ¾දුන්වා දිය හැකියි.

“යො වෙ උප්පතිතං කොධං

රථං භන්තං ච ධාරයෙ

තමහං සාරථිං බ්‍රෑම්

රසමිග්ගහො ඉතරො ජනො”

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී ඉතා වේගයෙන් දුවන රථයක් මෙන් මනාව හසුරුවා ගන්නා තැනැත්තා නියම රියැදුරකු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එසේ නම් අප පෙර සාකච්ඡා කළ පරිදි කෝපය පාලනය කළ හැකි දෙයක් නම්, එය කළ හැක්කේ කෙලෙසද යන්න විමසා බැලිය යුතුය.

කෝපය පාලනය කිරීමට ගත හැකි එක් ක්‍රියාමාර්ගයක් වන්නේ අත් හැරීමයි. කිසියම් මානසික අල්ලා ගැනීමක් නිසා තමයි කෝපය හටගන්නේ. එය මිහිරි අල්ලා ගැනීමක් හෝ අමිහිරි අල්ලා ගැනීමක් විය හැකියි. කැමැත්ත කියන්නෙත් අල්ලා ගැනීම, අකැමැත්ත කියන්නෙත් අල්ලා ගැනීම. ඒ අනුව අත්හැරීම කෝපය දුරු කරන එක් ක්‍රමයක්.

දෙවැනි කාරණාව තමන් තමන් පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත වීමයි. තමන් ඉක්මනින් කෝපයට පත්වන කෙනෙක්. එම නිසා ප්‍රවේසමෙන් සිත කය වචනය හැසිරවිය යුතුය යන්න සිතට ඒත්තු ගන්වා තැබිය යුතුය. තුන්වැන්න වන්නේ තමන්ට කෝප සිතුවිල්ලක් පැමිණි විගස කතා කිරීම හෝ ප්‍රතිචාර දැක්වීම් නොකර නිහඬව සිටීමයි. අපි කෝපයට පත් වූ බව අනෙකා දැන ගන්නේ අපි කතා කරන වචනවලින් හා ප්‍රතිචාරවලින්. එම නිසා කළ යුත්තේ කෝපයක් ඇති වූ විට ඒවායින් වැළකී සිටීමයි. ඒ වගේම කේන්තිය කියන්නේ ආවේගයක්ය, සිතුවිල්ලක්ය කියන එක අවබෝධ කරගත යුතුය. මීට අමතරව කේන්තිය කියන්නේ තමන්ගේ දුර්වලතාවක් යන්නත් වටහා ගත යුතුය. මේ කාරණා තේරුම් ගත් විට අවබෝධ කරගත් විට කේන්තිය පාලනය කර ගැනීමට අපට හැකියාවක් ලැබෙනවා.

කෝපයේ ආදීනව මොනවාද යන්න මීළඟට අපි බලමු. කෝපය හේතුවෙන් තමාට තමා අහිමි වෙනවා. තමන් ප්‍රිය කරන පුද්ගලයෝ අහිමි වෙනවා. රැකියාව අහිමි වෙනවා. සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක් වෙනවා. බොහෝ වෙලාවට මිනිසුන්ට බොහෝ දේ අහිමි වෙන්නේ කේන්තිය නිසයි. ලෝකයේ කෝප ගන්න මිනිසුන් වැඩියි. කෝපය පාලනය කරගැනීමට උත්සාහ දරන පුද්ගලයෝ අල්පයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ කේන්තිය පාලනය කරගන්නා පුද්ගලයා යහපත් පෞරුෂ සම්පන්න පුද්ගලයකු බවයි.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂ, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි