තනිව ජීවත් වුණු මකුළුගස්වැව මහලු මව මරා දැමීමේ අබිරහස මොකක්ද?

0
91

මාතලේ සහ අනුරාධපුර පොලිස් කොට්ඨාස මායිම් වන්නට පිහිටා ඇති මකුළුගස්වැව පොලිස් බලප්‍රදේශයේ ජීවත්වන බොහෝ පිරිසක් ගොවිතැනින් සිය බඩවියත රැක ගනිති. සාමකාමීව ජීවත්වන මොවුන් අතර දරුණු කලකෝලාහළ ගැටුම් නොමැතිවීම නිසා ප්‍රදේශය පුරාද පවතින්නේ සාමකාමී බවකි. සුළු සුළු ආරවුල් සම්බන්ධ පැමිණිලි පොලිසිය වෙත ලැබුණද දරුණු ගණයේ අපරාධ ඉකුත් වසර තුළම පොලිසිය වෙත වාර්තා වී තිබිණි.

2021 ජුනි මස 3 වැනිදා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව පොලිසියක් ලෙස ඇරඹි මකුළුගස්වැව පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් 14 වැනිදා මිනිස් ඝාතනයක් වාර්තා වීමත් සමඟ සාමකාමීව ජීවත් වූ වැසියන් අතර කිසියම් තැතිගැන්වීමක් ඇතිවිණි.

මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ මකුළුගස්වැව පොලිස් බලසීමාවේ අලුත්වැව ප්‍රදේශයෙනි.

ඉකුත් 15 වැනිදා උදෑසන 10.00ට පමණ 119 හදිසි ඇමැතුම් අංශය මඟින් මකුළුගස්වැව පොලිස් ස්ථානය වෙත තොරතුරක් දැනුම්දෙමින් පවසා තිබුණේ අලුත්වැව, බඹරගස්වැව ප්‍රදේශයේ නිවෙසක වයෝවෘද්ධ කාන්තාවක් මරා දමා ඇති බවකි.

ඒ වන විට සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මකුළුගස්වැව පොලිසිය තුළ අර්ධ වාර්ෂික පරීක්ෂණය පවත්වමින් සිටි අතර සිද්ධිය සැලවීමත් සමඟ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන සහකාර පොලිස් අධිකාරිවරයාට ‘සර් අපි ගිහින් බලලා එන්නම්’ යැයි පවසමින් තවත් කණ්ඩායමක් සමඟ අලුත්වැව බලා පිටත්ව ගියේ ලැබුණු තොරතුරේ ඇත්ත නැත්ත දැනගැනීමේ අටියෙනි.

අලුත්වැව, බඹරගස්වැව ප්‍රදේශයේ සිද්ධිය වූ නිවෙසට මකුළුගස්වැව පොලිසියේ සිට දුර කිලෝමීටර් 12කි. නිලධාරීන් සිද්ධිය වූ නිවෙසට ඇතුළු වී පරීක්ෂණ කරද්දී නිවෙසේ සාලයේ කෙළවරක වයෝවෘද්ධ කාන්තාවක් ගෙල සිරකර මරා දමා තිබූ අතර ඇගේ මුහුණ නිලධාරීන්ට ඒ මොහොතේ පැහැදිලිව නොපෙනිණි. තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී ඇගේ ගෙල වයරයකින් සිරකර ඇති බවට සලකුණු තිබූ අතර ඇගේ මුඛයෙන් සහ නාසයෙන් ගලා ගිය රුධිරය රතු පැහැති පොළොව මත විසිරී ගොස් තිබිණි.

ඒ වනවිට මියගිය කාන්තාවගේ දියණිය සහ ඇගේ සැමියා නිවෙසේ රැඳී සිටි අතර සිද්ධිය මුලින් දැක තිබුණේද ඔවුන් විසිනි. ස්ථානාධිපතිවරයා මුලින්ම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසුවේ ඔවුන්ගෙනි.

“මම උදේ නවයට විතර වතුරත් අරගෙන අම්මා බලන්න ආවා. ඇවිත් අම්මේ…අම්මේ කියලා කතා කළා. ‍ෙදාර වහලා තිබුණේ. ඒත් තල්ලු කළාම ‍ෙදාර නිකම්ම ඇරුණා. ගෙට ඇතුළුවෙලා බලද්දී තමයි අම්මා වැටිලා ඉන්නවා දැක්කේ. මම හොඳටම බයවුණා. ඒ පාර මහත්තයට කතා කරලා මහත්තයත් ආවා. ඉන් පස්සේ තමයි පොලිසියට පැමිණිලි කළේ.”

මියගිය කාන්තාවගේ දියණිය ස්ථානාධිපතිවරයා හමුවේ පැවැසුවාය. ඒ සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ හැත්තෑ හැවිරිදි තිදරු මවක් වන අයි.එල්. පියසීලි නමැත්තියක් බව පොලිසිය හඳුනා ගැනිණි.

තිදරු මවක් වුවද පියසීලි එම නිවෙසේ ජීවත්ව ඇත්තේ තනිවමය. ඇගේ දරුවන් තිදෙනාගෙන් ලොකු පුතා විවාහ වී මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටී. දෙවැන්නිය දියණියකි. ඇයද විවාහ වී සැමියා සමඟ මියගිය මවගේ නිවෙසට යාබදව කිලෝමීටරයක් පමණ අෑතින් අලුත්වැව ප්‍රදේශයේම පදිංචිව සිටී. බාලයා යුද හමුදාවේ කපිතාන්වරයකි.

ඔහුට අයත් මොටෝ රියක් අරපරිස්සමට මීට දින කිහිපයකට කලියෙන් මවගේ නිවෙසේ දමා ගොස් තිබුණේ කිසියම් පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහා ඔහුට බුත්තල බලා යෑමට සිදුව තිබූ හෙයිනි. කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ දියණිය පොලිසිය හමුවේ පැවැසුවේ මව මරා දැමූ ඝාතකයන් නිවෙසේ තිබූ මල්ලිගේ රථයද පැහැරගෙන ගොස් ඇති බවකි.

එමෙන්ම මව පැලැඳි කරාබු දෙක සහ ඇය සතුව තිබූ ජංගම දුරකථනයද ඝාතකයන් රැගෙන ගොස් ඇති බව ඇය පොලිසිය හමුවේ පවසන්නට වූවාය. ඒ අනුව පොලිසිය නිගමනය කළේ කාන්තාව මරා දැමීමෙන් පසු ඇගේ කනේ ඇති කරාබු ජෝඩුව මොවුන් කඩාගෙන යන්නට ඇති බවය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා මාතලේ සොකෝ නිලධාරීන්, ඇඟිලි සලකුණු නිලධාරීන් මෙන්ම නිල සුනඛයාද සිද්ධිය වූ ස්ථානයට කැඳවා තිබිණි.

අපේ අම්මා අවුරුදු පහළොවක් විතර වෙනමම තනියම තමයි මේ ගෙදර ඉන්නේ. ගේ අස්පස් කරගෙන තනියම උයාගෙන කනවා. මමයි මහත්තයයි නිතරම අම්මා බලන්න එනවා. 14 වැනිදා උදේත් මගේ මහත්තයා ඇවිත් ගේ පිටුපස්සේ තියෙන අපේ කුඹුරු කෑල්ලේ වැඩ ටික කරලා තේ එකකුත් බීලා දහයට විතර පැළවලට වතුර ටිකක් දාන්න කියලා ගෙදර ඇවිත් තිබුණා. දහයට විතර අම්මා පැළවලට වතුරත් දාලා තිබුණා.

අද උදේ නවයාමාරට විතර මම වතුරත් අරගෙන අම්මා බලන්න ආවා. මල්ලිගේ කාර් එක ගෙදර ඉස්තෝප්පුවේ තියෙන්නේ. ඒක තිබුණෙත් නැති නිසා මම හිතුවා මල්ලි ඇවිල්ලා අම්මා කොහේ හරි එක්කරගෙනවත් ගිහින්ද කියලා. මම ගෙදර ඇතුළට ගියා, ‍ෙදාර වහලා තිබුණේ. ඒත් ‍ෙදාර තල්ලු කළාම එකපාරට ඇරුණා. මම ගේ ඇතුළට යද්දී අම්මා සාලයේ බිම වැටිලා ඉන්නවා දැක්කේ.”

මියගිය කාන්තාවගේ දියණිය  පොලිසිය හමුවේ පවසන්නට වූවාය. නිලධාරීහු ඇගේ කතාවට හොඳින් සවන් දී සිටියහ. පසුව සිදුවීම මාතලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාටද දැනුම් දුන් අතර ඔහුගේ උපදෙස් මත අධිකරණයට කරුණු වාර්තා කිරීමට මකුළුගස්වැව පොලිසිය පියවර ගත්තේය. ඉන් අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයාද මියගිය කාන්තාවගේ නිවෙසට පැමිණ සිද්ධිය නිරීක්ෂණය කරමින් අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුව සිද්ධිය වූ නිවෙසට දඹුල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා පැමිණි අතර ඉන් අනතුරුව පැවැති මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පියසීලිගේ මරණයට හේතුව නිශ්චිතව දැනගැනීම සඳහා ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරන්නට විය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දඹුල්ල අධිකරණ වෛද්‍යවරයා එහි නිගමනය ලබාදෙමින් පැවැසුවේ පියසීලි මරා දමා ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවය.

ඉන්පසු විමර්ශන සිදුකෙරුණේ හැත්තෑ හැවිරිදි පියසීලි ඝාතනය කළේ කවුදැයි සොයාගැනීමටය. එමෙන්ම ඇගේ නිවෙසින් පැහැරගත් වාහනය කුමන ප්‍රදේශයකට රැගෙන ගියේද යන්න දැනගැනීමටද පොලිසියට අවශ්‍ය විය. පියසීලි මරා දැමූ ස්ථානය අසල වැටී තිබූ පිරිමියකුගේ යැයි සැක කෙරෙන හිසකෙස් කිහිපයක් සොකෝ නිලධාරීන්ට හමුවී තිබූ අතර එය විමර්ශනයට කිසියම් පිටිවහලක් ගෙන දුන්නේය. එම හිසකෙස් ඝාතකයාගේ බවට පොලිසිය සැක කළේය.

කෙසේ වෙතත් පියසීලි ඝාතනයේ සැකකරුවන් කොටුකර ගැනීම සඳහා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් දෙමින් ස්ථානාධිපතිවරයා ඒ මොහොතේම සිය ඔත්තුකරුවන්ටද ඝාතනය ගැන දැනුම්දෙමින් කිසියම් හෝඩුවාවක් සොයාගැනීමට උත්සුක විය.

“මේ අම්මගේ පුතෙක් ඉන්නවා. හමුදාවේ කපිතාන් කෙනෙක්. එයාගේ කාර් එකක් තියෙන්නේ  ඔය මැරුණු අම්මගේ ගෙදර. ඒ පුතාත් සිද්ධිය වුණු හවසත් අම්මගේ හෑන්ඩ්ෆෝන් එකට කෝල් එකක් දීලා තියෙනවා.  එතකොට ෆෝන් එක රිං වෙලා පස්සේ කට් වෙලා. ඉන් පස්සේ පහුවදා උදේත් ඒ පුතා අම්මට කතා කරලා තියෙනවා. එතකොටත් හෑන්ඩ්ෆෝන් එක ඕෆ්.”

“ඒ නිසා අපි සැකකළා ඒ ෆෝන් එකත් ඒ අම්ම මරපු පුද්ගලයන් ළඟ ඇති කියලා.  ඒ නිසා අපි ඒ ෆෝන් එකේ ඩීටේල් එකකුත් අරගෙන ඒ ඔස්සේ විමර්ශනයක් කරන්නත් සූදානම් වෙලා හිටියේ.”

මේ අතරතුර මකුළුගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි ගමනක නිරත වී නැවත පොලිස් ස්ථානය වෙත එමින් සිටියේය. ඒ මොහොතේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයට කිසිවකු විසින් ඇමැතුමක් දුන්නේය. ඒ පෞද්ගලික ඔත්තුකරුවකුගෙනි.

“සර්… දමුණුමුල්ලේ ගැරේජ් එකක් ගාව සුදුපාට කාර් එකක් තියෙනවා. දැන් ගොඩක් වෙලා ඉඳන්. කවුරුත් පේන්න නැහැ.” ලැබුණු ඔත්තුව අත්නොහැරිය ස්ථානාධිපතිවරයා රියැදුරු බණ්ඩාරට ජීප්රිය නැවත පැමිණි දෙසට හරවන ලෙස කීවේය. පොලිස් ස්ථානයට යෑම පසෙක තබා ඔහු දමුණුමුල්ලට ගියේ ඉන් පසුවය. දුන් හෝඩුවාව නිවැරැදි බව ස්ථානාධිපතිවරයාට වැටහිණි. ගරාජයක් ඉදිරිපිට මාර්ගයේ සුදු පැහැති නිසාන් වර්ගයේ මොටෝ රියක් තිබිණි.

මීට පැය කිහිපයකට පෙර වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කර එම නිවෙසේ තිබියදී පැහැරගෙන ගිය මෝටර් රථයද සුදු පැහැති නිසාන් වර්ගයේ එකක් බව වටහාගත් ස්ථානාධිපතිවරයා වහා රියේ අංකය පරීක්ෂා කළේය.

“18-7209 හරි මේ මේක තමයි… ඕක අල්ලන්න එපා. ෆින්ගර් ප්‍රින්ට් ඇති. සිය නිලධාරීන්ට එසේ පැවැසූ ස්ථානාධිපතිවරයා වහා නිසාන් රථයට පොලිස් ආරක්ෂාව ලබාදී රථය ඇඟිලි සලකුණු නිලධාරීන් වෙත යොමු කළේය.

සියුම් නිරීක්ෂණයක් කළ එම නිලධාරීහු වැඩි කාලයක් යන්නට මත්තෙන් මෝටර් රථයේ තිබී ඇඟිලි සලකුණු දෙකක් සොයා ගත්හ. ඒ අනුව එම සලකුණු දෙක පියසීලි මරා දැමූ ඝාතකයන්ගේ වන්නට ඇතැයි සැකකළ නිලධාරීන් එම සලකුණු නඩු භාණ්ඩ ලෙස තබා ගත්තත් කිසියම් හෝ මොහොතක සිද්ධියට අදාළ සැකකරුවන් කොටුකරගත් සැණින් එම ඇඟිලි සලකුණු අල්ලාගත් පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණුවලට සැසඳේ දැයි බලා නියම අපරාධකරු හඳුනාගැනීම සඳහාය.

ඉන් අනතුරුව ස්ථානාධිපතිවරයාගේ උකුසු ඇස් යොමුවූයේ මෝටර් රථය අතහැර දැමූ ස්ථානයට නුදුරින් පිහිටි ගරාජය වෙතය. ගරාජය වෙත ගිය ස්ථානාධිපතිවරයා එහි හිමිකරුගෙන් ප්‍රශ්න කොට ඒ මොහොතේම ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

මම දැක්කා සර්, දෙන්නෙක් ඕක තල්ලු කරගෙන ආවා.  තව එක්කෙනෙක් කාර් එකේ ඩ්‍රයිවින් සීට් එකේ හිටියා. අපි ඇහුවම කිව්වේ පෙට්රල් ඉවරවුණා කියලා.

“ඔයාට ඒ අය හඳුනාගන්න බැරිවුණාද?”

“ඔව් සර්.. මට එයාලව හඳුනාගන්න බැරිවුණා. පෙට්රල් ටිකක් අරගෙන ඇවිත් කාර් එක අරගෙන යන්නම් කියලා තමයි ඔතන දාලා ගියේ. හැබැයි අර අතන තියෙන කඩේට ගිහින් තුන්දෙනාම තේ බොනවත් දැක්කා.”

ගරාජ් හිමියා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කීවේය. ඉන් අනතුරුව ස්ථානාධිපතිවරයා හැරුණේ ගරාජයට නුදුරින් ඇති වෙළෙඳසල වෙතය. නිලධාරීන් එම වෙළෙඳසලේ හිමිකරුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමසුවේය.

හොඳ වෙලාවට එතැන සී.සී.ටී.වී. කැමරාවක් තිබුණා. අපි ඒ කැමරාව නිරීක්ෂණය කළා. ඒ කැමරාවක මේ තුන්දෙනා කාර් එක තල්ලු කරගෙන එන දර්ශන පැහැදිලිව වීඩියෝගත වෙලා තිබුණා. පස්සේ අපි ඒ දර්ශන දන්න කියන ඒ අහල පහළ අයට පෙන්නලා ඇහුවා මේ අය කවුද කියලා හඳුනාගන්න පුළුවන්ද කියලා. එතකොට ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක් හඳුනගන්න පුළුවන් වුණා. එක්කෙනෙක් කාර් එක තල්ලු කරපු එකෙක්, රසික කියලා. අනෙකා වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ ආව ගිහාන් කියලා. මේ හඳුනාගැනීම අපේ විමර්ශනවලට ලොකු පිටිවහලක් වුණා.”

සැකකරුවන් දෙදෙනකු හඳුනාගත් ආකාරය ස්ථානාධිපතිවරයා සඳහන් කළේ එලෙසය. ඒ අනුව ඝාතනය සිදුවී පැය 5ක් යන්නටද මත්තෙන් ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු මෙසේ හඳුනාගැනීමට හැකිවීම විමර්ශනවලට මහත් රුකුලක් ගෙන දුන්නේය.

සැකකරුවන් කවුදැයි හඳුනාගැනීමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සිය උසස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා කොටුකරගත යුතු ආකාරය ගැන විමර්ශන කණ්ඩායම සමඟ කතාබහ කරන්නට විය. එහිදී ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන්ට පැවැසුවේ උපක්‍රමශීලීව මොවුන් දෙදෙනා කොටුකරගත යුතු බවය.

ඒ අනුව වෙනත් ක්‍රමයක් උපයෝගී කරගෙන රසික සහ හෂාන් පොලිසිය වෙත ගෙන්වාගත් ස්ථානාධිපතිවරයා ඔවුන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය.

“සර්. එදා මම ගලේවල සමුපකාර ෂෙඩ් එක ගාව තෙල් පෝලිමේ ඉන්නකොට පැණියා කාර් එකක් තල්ලුකරගෙන එතැනට ආවා. එතකොට වෙලාව තුනට විතර ඇති. එයා ඇවිත් කිව්වා එයාගේ කාර් එකේ වී ගෝනි එකහමාරක් විතර තියෙනවා ඒක විකුණලා සල්ලි ටිකක් ගමු කියලා. පස්සේ අපි ඒ වී ගෝනි විකුණලා රුපියල් පන්දාහක් ගත්තා.

ඉන් පස්සේ පැණියා මට කිව්වා උගේ ගෑනිගේ කරාබු දෙක තියෙනවා මේක උකස් කරලා සල්ලි අරන් බොමු කියලා. ඒත් එයා කිව්වා එයා ගාව අයිඩෙන්ටිය නැහැ කියලා.

මා ගාවත් අයිඩෙන්ටියක් තිබුණේ නැහැ. පස්සේ මම කිව්වා මගේ යාළුවෙක් ඉන්නවා හෂාන් කියලා උෟට කියලා කරාබු දෙක විකුණමු කියලා. පස්සේ හෂාන් හම්බවෙලා මේ ගැන කිව්වම උෟත් කිව්වා උගේ අයිඩෙන්ටිය තියලා කොමියුනිකේෂන් එකකින් රුපියල් 1500ක් අරගෙන තියෙන්නේ. එක් දහස් පන්සීය බේරලා දුන්නොත් අයිඩෙන්ටිය තියලා කරාබු දෙක උකස් කරමු කියලා පස්සේ පැණියා හෂාන්ට එයා අත තිබුණු පොඩි හෑන්ඩ්ෆෝන් එකක් දීලා කිව්වා ඕක  එතැනට දීලා අයිඩෙන්ටිය අරන් වරෙන් කියලා. පස්සේ හෂාන් ඒ ෆෝන් එක අරගෙන ගිහින් ඒක දීලා අයිඩෙන්ටිය අරන් ආවා. අයිඩෙන්ටිය තියලා පැණියා ගෙනාපු කරාබු දෙකට රුපියල් 7500ක් ගත්තා. ඒකෙන් වයින් ෂොප් එකට ගිහින් බියර් බෝතල් ටිකක් අරගෙන ගිහින් දමුණුමුල්ල වැව ළඟ ඉඳලා ඒවා බිව්වා.

එතකොට  ටිකක් රෑ වෙලා. පැණියා කිව්වා කාර් එකේ තෙල් නැති නිසා මේක තල්ලු කරගෙන යන්න බැහැ ඒක නිසා මේ කාර් එක දන්න කෙනකුගේ ගෙදරක දාලා යමු කියලා. පස්සේ ඒක මම හඳුනන කෙනකුගේ ගෙදර දාලා මමයි හෂානුයි ගෙවල්වලට ගියා. පැණියා කිව්වා හෙට උදේට හම්බවෙමු කියලා. එච්චරයි සර් අපි දන්නේ. අපි වෙන මුකුත් දන්නේ නැහැ. ගෑනු කෙනෙක් මරලා පැණියා ඇවිත් ඉන්නේ කියලා දන්නෙත් නැහැ. කාර් එක හොරකම් කරපු එකක් කියලා දන්නෙත් නැහැ. කරාබු දෙකයි ෆෝන් එකයි කාගේද කියලා දන්නෙත් නැහැ.

රසික පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කීවේය. හෂාන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කීවේද රසික කී පිළිතුරුමය. තමා අයිඩෙන්ටිය ලබාගෙන පැණියා ගෙනෙන ලද කරාබු දෙක උකස් කඩයකට උකස් කර මුදල් ලබාගත් බවත් ඒ හැරෙන්නට වෙන කිසිදු ක්‍රියාවකට තමා සම්බන්ධ නැති බවත් ඔහු දිවුර දිවුරා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේය.

“හරි එතකොට කොහොමද හොරකම් කරපු කාර් එක උඹලා තුන්දෙනා අර ගැරේජ් එක ළඟට අරගෙන ආවේ. ස්ථානාධිපතිවරයා රසිකගෙන් සහ හෂාන්ගෙන් විමසුවේය.

“සර් අපි දෙන්නා ගෙදර ගියාට පස්සේ පැණියා අපිටත් හොරෙන් කාර් එක අරගෙන යන්න හදලා තියෙනවා. මිනිහා කොහේට හරි ගිහින් ඩීසල් වගයක් හොයාගෙන ඇවිල්ලා පෙට්රල් කාර් එකට දාලා ඒක ස්ටාට් කරගන්න හදලා තියෙනවා. ඒත් ඩීසල් නිසා කාර් එක ස්ටාට් වෙලා නැහැ.

“අපි දෙන්නා උදේ යනකොට පැණියා කාර් එක ළඟ වාඩිවෙලා හිටියා. එතකොට තමයි එයා කිව්වේ මට පෙට්රල් හම්බවුණේ නැහැ. ඩීසල් වගයක් හම්බවුණා. ඩීසල් ටික ගෙනත් කාර් එකට දැම්මා ඒත් ස්ටාට් වුණේ නැහැ කියලා. පස්සේ අපි උෟට බැන්නා. යකෝ පෙට්රල් වාහනයකට ඩීසල් දානවද වරෙන් ගැරේජ් එකක් ළඟට ගිහින් ඕක කියලා මොනවා හරි කරගනිමු කියලා එහෙම කියලා තමයි තුන්දෙනාම කාර් එක තල්ලු කරගෙන ගැරේජ් එක ළඟට ආවේ අපි කාර් එක ගැරේජ් එක ඉස්සරහ දාලා ආවා.

හෂාන් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කීවේය.

හරි ඔය උඹලා කියන කතාවනේ. ඕක ඇත්ත නැත්ත අපි හොයාගන්නම් කෝ”

ස්ථානාධිපතිවරයා රසිකටත් හෂාන්ටත් පැහැදිලි කළේය.

සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන් විසින් පුද්ගලයකුට විකුණන ලද පියසීලිට අයත් ජංගම දුරකථනයත් ඔවුන් විසින් රන් බඩු කඩයකට උකස් කරන ලද පියසීලිගේ කරාබු දෙකත් පොලිස් නිලධාරීන් විසින් සොයා ගත්තේය.

කොහොම හරි ඔය කාන්තාව මරලා පැය 5ක් හයක් ගතවන්නටත් කලින් අපිට මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙන්නෙක් අල්ලගන්න පුළුවන් වුණා. ප්‍රධාන සැකකරු තවමත් හැංගිලා ඉන්නේ. මිනිහා මත්කුඩුවලට ඇබ්බැහි වුණු කෙනෙක්. අල්ලගත්ත දෙන්නා කියන්නේ උන් මේ කාන්තාව මරපු එකට සම්බන්ධ නැති බවයි. ඒත් අපිට ඒක තවම නිශ්චිත වශයෙන් කියන්න බැහැ. උන් පොලිසියෙන් බේරෙන්න එහෙම කියනවා වෙන්නත් පුළුවන්. කෝකටත් උන් දෙන්නත් මේ සිද්ධියට සම්බන්ධ දැයි හරියටම දැනගන්න ප්‍රධාන සැකකාර පැණියා කියන පුද්ගලයා අල්ලගන්න ඕන. මිනිහා දැන් ගමෙන් පැනලා අපි අද හෙටම මිනිහා අල්ලගන්නවා.”

මේ පිළිබඳව කළ විමසීමකදී මකුළුගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා අවධාරණය කළේය.

මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස්, මාතලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක, සහකාර පොලිස් අධිකාරි චන්දන විජේසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත මකුළුගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. නිමල් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න සහ ගම්ලත් සැරයන් ජගත් (732) හා කොස්තාපල් දිසානායක (81166) යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශනවලට එක්ව සිටියහ.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් සකස් කෙරිණි.)

කීර්ති මෙන්ඩිස්