ජේ.ආර්.ගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය එපා!

0
40

ලියන්නට තිබෙන කරුණු කාරණා බොහෝය. කියන්නට තිබෙන කතාද කෙළවරක් නැත. ප්‍රශ්නය, ඒ කිසිවක් මේ මොහොතේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුමක් නොවීමය. ඒවායින් කුසගින්නේ පෙළෙන්නන්ගේ බඩ කට පිරෙන්නේ නැති වීමය.

සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ නොඇසූ කන්ව සිටියදී ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන කතා කළේ තරුණ අරගලකරුවන් පමණි. ඔවුන්ට ම්ලේච්ඡ අන්දමින් පහරදී  පලවා හැරීම ප්‍රශ්නවලට පිළිතුරක් නොවේ. අද රට මුහුණ දෙන ප්‍රශ්න කිසිවක් වර්තමාන තරුණ ප්‍රජාව විසින් ඇති කළ ඒවා නොවේ.

පවතින ආර්ථික අර්බුදය ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ආධාරය නැතිව විසඳාගත නොහැකිය. ජාත්‍යන්තරය ඉල්ලා සිටින්නේ  ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරගන්නා ලෙසය. දැන් විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපට ජේ.ආර්. ජයවර්ධනගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් සිහිපත් කර දෙමින් සිටී.

රනිල්ගේ ආණ්ඩුවේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව කිසිදු ගැටලුවක් නැත. පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ඊට ලැබී තිබේ. රනිල්ගේ ආගමනය පිළිබඳව සමස්ත ජනතාව තුළ රතිඤ්ඤා පත්තු කරන්නට හෝ මහ පාරේ කිරිබත් කන්නට තරම් උද්දාමයක් ඇති කළේ නැත. එක පැත්තකින් ජනතාව ඉන්නේ පාන් කියා ගන්නටත් බැරි තැනකය. දිනූ පිලට හෝයියා කියන දේශපාලනයෙන් අපේ රට අෑත් වෙමින් තිබේ.

අතීතයේ මෙන් පාර්ලිමේන්තුවේ සිදුවන බල පෙරළිවලින් දැන් රටේ ජනතාව පී්‍රති ප්‍රමෝදයට පත් වන්නේ නැත. රට මුහුණ දෙන ප්‍රශ්නවලට විස¾දුම් සපයන්නා වශයෙන් පාර්ලිමේන්තුව සැලකීමද ජනතාවගෙන් අෑත් වෙමින් තිබේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය සම්බන්ධයෙන් ගත්කල එය එතරම් හොඳ තත්ත්වයක් ද නොවේ.

අර්බුදයකට මුහුණ දුන් කල සාමූහිකව ඊට මුහුණදී විසඳුම් සෙවීම පෙරදිග ලෝකයේ යහපත් සංස්කෘතික ලක්ෂණයකි. අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා මාස ගණනාවක් තිස්සේ රට තුළ පැවති සංවාදය මේ වන විට ඇසෙන්නේ නැත. අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන හෝ අන්තර්කාලීන පාලනයක් ගැන කතා කරන්නේ ද නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුට හිමි වූ පලා ගිය ජනාධිපතිවරයාගේ ධුර කාලයේ ඉතිරි කොටස වූ අවුරුදු 2 1/2 තමන් කැමති පරිදි ඉදිරියට ඇදගෙන යෑමට හෙතෙම තීරණය කර ඇතුවාට සැක නැත. නව ජනාධිපතිවරයා “මිස්ටර් ක්ලීන්” යනුවෙන් විරුදාවලි ලැබූවකු නිසා ලෝකයේ රටවල් අපට වැඩි වැඩියෙන් සලකනු ඇතැයි සිතන්නේ නම් එය මුළාවකි. ජාත්‍යන්තරය බලන්නේ සොරකම්වලින් වංචාවලින් තොරව සද්භාවයෙන් රට මුහුණදී සිටින ප්‍රශ්න විසඳා ගැනීමේ අවංක වුවමනාවක් රටේ පාලකයන්ට තිබේ ද යන්නය.

විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් තවදුරටත් අප මුහුණ දෙන අර්බුදයේ දිග පළල ගැන දේශනා අසන්නට රටේ ජනතාව සූදානම් නැත. ප්‍රශ්නවලට කඩිනම් විස¾දුම් අවශ්‍යය. එහිදී ජනතාවට පැවරෙන වැඩ කොටසක් වේ නම් වහෙන් හොරෝ නොකියා කෙළින්ම පැවැසිය යුතුය. රටේ ජනතාව සිටින්නේ දේශපාලන නරිනාටක තිත්ත වූ තැනකය.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රටේ සිවුදිගින් පැමිණ රැකෙම්වා මියෙම්වා කියා වෙඩි වරුසා මැද ජනාධිපති මන්දිරයට කඩා පැන්නේ ජීවත් වනවාද මියෙනවාද දෙකෙන් ඕනෑම එකක් භාරගන්නට සූදානමින් බව අමතක නොකළ යුතුය. රටේ පුරවැසියන්ට ජීවත් වීම සඳහා මේ දූපත හැර වෙනත් තැනක් නැත.

ආණ්ඩුව ප්‍රථමයෙන් කළයුත්තේ ඉන්ධන ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න විසඳා පාරේ පෝලිම්වල සිටින මිනිසුන් තම පුරුදු රැකී රක්ෂාවලට යැවීමය. මාස ගණනාවක් තිස්සේ ගෙදරට වී සිටින දරුවන් නැවත පාසල්වලට යැවීමය. අවුරුද්දකට ආසන්න කාලයක් වසා දමා ඇති විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමය. අත්‍යවශ්‍ය ඔෟෂධ හිඟය නිසා රෝගීන් මියයෑම වළක්වන පියවර ගැනීමය. ජේ.ආර්.ගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැවතත් ශ්‍රී  ලංකාවට අවශ්‍ය නැත.