ජනපති තෝරපු දියවන්නා සටනේ කවුරුත් නොදන්න ඇතුළත කතාව

0
196

ජනපති තෝරද්දී රහසක් නොවූ රහස් ඡන්දය

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ මෙන්ම පාර්ලිමේන්තු ඉතිහාසයේද නව සලකුණක් තබමින් රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථානුකූලව හා නීතියට අනුව අටවැනි විධායක ජනාධිපති ලෙස පසුගිය 20වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩි කැමැත්තෙන් තේරී පත්විය.

පැවැතියේ රහසිගත ඡන්ද විමසීමක් වුවත්, ඡන්දය දුන් ආකාරය ගැන නම් රහසක් නැත. රනිල් එජාප නායකයා වන අතර එම පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කළේ රනිල් පමණි. අවම වශයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කරන්නට ඔහුගේ නම යෝජනා ස්ථීර කරන්නටවත් ඔහුට පාක්ෂිකයකු සිටියේ නැත. නම යෝජනා කළේ පාර්ලිමේන්තුවේ සභානායක මෙන්ම මේ රටේ වමේ ව්‍යාපාරයේ ප්‍රබලතම නායකයකු වූ බොරලුගොඩ සිංහයා ලෙස විරුදාවලි ලත් පිලිප් ගුණවර්ධනගේ පුත්‍රයාය. දේශපාලනයේ වෙනස්වීම් ඔහොම තමයි. රනිල්ට පක්ෂව ඡන්ද 134ක් ලැබුණු අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඩලස්ට ලැබුණේ ඡන්ද 82කි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිමිකර ගත්තේ ඡන්ද 03ක් පමණි. ප්‍රකාශිත මෙම ඡන්ද අනුව ජනතා විමුක්ති පෙරමුණ හැර පාර්ලිමේන්තුව නියෝජනය කළ අනෙක් සියලුම පක්ෂවල මන්ත්‍රිවරුන් අඩු වැඩි වශයෙන් රනිල්ට ඡන්දය දී තිබේ. දැන් කවුරුත් කියන්නේ රනිල්ට ඡන්දය නොදුන් බව කියාද?

මහින්ද දමපු ඡන්දෙන්

ඩලස් පැරදුණාලු

පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ කීවේ, අපි ඩලස්ව ඉදිරිපත් කළා. ඡන්දේ දුන්නා පැරදුණා කියායි. මහින්ද එහෙම කීවේ හෘද සාක්ෂියට එකඟවදැයි දන්නේ නැත. ඡන්දය ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු මහින්ද එහෙම කීවත් පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මුලදීම ප්‍රකාශ කළේ රනිල්ට ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ තීරණය කළ බවයි. මහින්ද පොහොට්ටු පක්ෂයේ නායකයායි. ඔහු පොහොට්ටු ලේකම්ගේ ප්‍රකාශය ගැන කිසිවක් කීවේ නැත. ඒ ප්‍රකාශය ගැන පුදුම වෙනවා කීවේ පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස්ය. ඔහු එහෙම කීවත් ඩලස්ගේ නම යෝජනා කිරීමත් නිසා දැන් ඔහුගෙන් පක්ෂයේ නිදහසට කරුණු විමසන්නට යයි. පක්ෂයේ සභාපතිගෙන් එසේ කරුණු විමසන්නට යනවා නම් මහින්ද ඩලස් ගැන කළ සඳහන පිළිගන්නට ඔහුගේ පක්ෂයේ සමස්ත සාමාජිකයන් සූදානම්ද?

ගමට යායුතු නිසා

රනිල්ට ඡන්දේ දීම

රනිල්ට ඡන්දය නොදී ගමට එන්න බැරිවේ යැයි පොහොට්ටුවේ නායකයකු ප්‍රකාශ කර තිබූ බවද මහින්ද නොදැන සිටින්නට පුළුවන් කමක් නැත. එසේ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂද මන්ත්‍රිවරුන් පෙලඹුවේ රනිල්ට ඡන්දය දීමට බව දේශපාලන ආරංචිවලට රහසක් නොවේ.

එසේම සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍යයට කීවේ සජබ කිසිම මන්ත්‍රිවරයකු රනිල්ට ඡන්දය නොදුන් බවයි. ඔහු එසේ කීවත් සජබ මන්ත්‍රිවරු 15 දෙනකු රනිල්ට ඡන්ද දී තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යයට කීවේ පක්ෂය සමඟ 9 දෙනකු සිටින බවත් ඔවුන්ගේ ඡන්දය හිමිවන්නේ ඩලස්ට බවත්. එසේ කීවත් චාමර සම්පත් හා ශ්‍රීලනිප ජේ‍යෂ්ඨ සභාපති නිමල් සිරිපාල රනිල්ට ඡන්දය දුන් බව පවසා තිබිණි. නිමල් සිරිපාල රනිල්ගේ ජයග්‍රහණය ගැන පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට සිය සතුට පළකරනු දක්නට ලැබිණි. ශ්‍රී ලනිපයේ ආරංචි මාර්ග කීවේ ඩලස්ට ලැබුණේ ශ්‍රීලනිප ඡන්ද 3ක් පමණක් බවයි.

මිලියන 200ට

අලෙවි වූ මන්ත්‍රිවරු

එසේම මේ ඡන්දයේදී මන්ත්‍රිවරුන් මුදලට යටවුණු බවටද චෝදනා එල්ල වෙයි. ශ්‍රීලනිප නායක මෛත්‍රිපාලද එවැනි චෝදනා ප්‍රසිද්ධියේම එල්ලකර තිබිණි. එසේම ජාතික ජන බලවේගයේ (ජවිපෙ) හිටපු මන්ත්‍රිවරයකු වූ නලින්ද ජයතිස්ස සමහර මන්ත්‍රිවරු මිලියන 200ට ඉහළ ලංසුවලට වැඩ කළ බවයි. එපමණක් නොව, නාමයෝජනා දින ඩලස් හමු වූ සමහර මන්ත්‍රිවරු ඔහුට ජය පතා ඡන්දය දෙන බවට පොරොන්දු වී පසුව රනිල්ට ඡන්දය දෙන බවට රූපවාහිනි ඔස්සේ කළ ප්‍රකාශද අසන්නට ලැබිණි. අවසන් පැය කීපයේදී ඒ අයගේ මතය හදිසියේ වෙනස්වුණේ මුදලට නොවේ නම් වෙනත් දේකටද? ඒ බව නම් දන්නේ නැත.

විගී රනිල්ට දමපු

කොන්දේසි මොනවාද?

දෙමළ හා මුස්ලිම්වරු නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රිවරුන්ගේ බහුතර ඡන්දය ලැබුණෝ රනිල්ටය. විග්නේශ්වරන් මන්ත්‍රිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ රනිල් අපේ කොන්දේසිවලට එකඟ වූ නිසා අපි ඔහුට ඡන්දය දුන්නා කියායි.

මෙම සටහන තැබුවේ රනිල්ට ඡන්දය දිනා ගන්නට පරිසරය සැකසුණු ආකාරය ගැනය.

එසේම රනිල් පාර්ලිමේන්තුවට ගෙන එන්නටත් ඔහු ජනාධිපති පුටුවේ වාඩි කරවන්නට දැඩි උත්සාහයක් වෙහෙසක් මෙන්ම මුළු කාලයම වැය කළ පුද්ගලයෙක්ද එජාපයේ සිටියේය. ඔහු එජාප සභාපති වජිර අබේවර්ධනය.

ගෝඨාභය යටතේ රනිල්ට අග්‍රාමාත්‍ය ධුරය ලැබුණු දා සිටම ඔහු ජනාධිපති පදවියට ගෙන එන්නට වජිර සියලුම දේශපාලන පක්ෂවලට සම්බන්ධ මන්ත්‍රිවරු හමුවිය. ඔහුගේ කොළඹ නිවෙස එම කාලය තුළ වෙන් කරගෙන තිබිණේ එම මන්ත්‍රිවරුන් හමුවීමට, සාකච්ඡා කිරීමට මෙන්ම ඔවුන්ගේ ඡන්දය රනිල්ට ලබාදීමටය. මේ ක්‍රියාවලියේදී වජිර හැසුරුණේ රනිල්ගේ ඡන්ද සටනේ “කැම්පේන් මැනේජර්” ලෙසයි.

වජිරගේ නිවෙසේ සිට

අවසන් මෙහෙයුම

දියත් වෙයි

ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා නාමයෝජනා භාරගැනීමට පෙර දින රනිල් ඔහුගේ ජයග්‍රහණය සඳහා විශේෂයෙන් මන්ත්‍රිවරුන් හමුවීමට ස්ථානය ලෙස තෝරා ගත්තේ වජිරගේ කොළඹ නිවසයි. ඉකුත් 18 වැනිදා සවස 3.00 සිට රාත්‍රි 11 දක්වා රනිල් පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡාවලදී එම මන්ත්‍රිවරුන් සෘජුව කියා සිටියේ රනිල්ව ජයග්‍රහණය කරවන බවය. රනිල්ට ඔවුන්ගේ සහතිකය දෙමින් පිටව යද්දී රාත්‍රි 12 පසුවන තුරුත් රනිල්ට වජිරගේ නිවෙසේ රැඳී සිටින්නට සිදු විය. මධ්‍යම රාත්‍රිය ළංවන විටත් රනිල් හමුවන්නට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පැමිණෙමින් සිටියහ. ඔවුන්ගේ කතාවට විෂයය වූයේද රනිල්ගේ ජයග්‍රහණය ගැනයි.

මේ අතර රනිල්ගේ ජයග්‍රහණයෙන් පසුවද 20 වැනිදා වජිරගේ නිවෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 100කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් පැමිණියේ එහි සිටි රනිල්ට සුබ පතන්නටය. ඇතැම් මන්ත්‍රිවරුන් මුලදී හොරෙන් හොරෙන් වාගේ වජිරගේ නිවෙසට පැමිණ රනිල්ව හමුවුවත් මෙදින එළිපිටම එනු දක්නට ලැබිණි. පැමිණි මන්ත්‍රිවරුන් වෙනුවෙන් රාත්‍රි භෝජනයක්ද පැවැති බවද වාර්තා විය.

ඩලා මම ඡන්දය දාන්න

ආවේ ඔයා නිසාමයි

ජනාධිපති තෝරා ගන්නා අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 20දා පාර්ලිමේන්තුවට පැමිණියේ තරමක අපහසුතාවකින් බව පෙනෙන්නට තිබිණි. ඔහු පාර්ලිමේන්තුව තුළට එද්දී ඩලස් හමුවිය. මහින්ද ඩලස්ට කථා කරමින් “ඩලා මම ඔයා නිසාමයි ඡන්දය දාන්න ආවේයි” කීවේය. ඩලස් කිසිවක් නොකියා කට කොනකින් සිනාසුනේය.

ඡන්දය පැවැති දින උදය වරුවේ මන්ත්‍රිවරු පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදෑසන ආහාරය ගනිමින් සිටියහ. ඩලස්ද ඒ පිරිස අතරට ගොස් මන්ත්‍රිවරුන් ආහාර ගනිමින් සිටි මේසයෙන් මේසයට ගොස් මන්ත්‍රිවරුන් සමඟ සුහද කතාබහක යෙදුණේය. ඩලස් එසේ මන්ත්‍රිවරුන් සමඟ කතාබහ කරමින් සිටියදී රනිල් එහි සිටි අයගේ නෙතට ගැටෙද්දී දක්නට ලැබුණේ කොළයක් හා පෑනක් ගෙන එහි යමක් සටහන් කරන අයුරුයි. ඔහුගේ සටහන වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නම් ලිස්ට් එකකි. නම් ලැයිස්තුව සටහන් කරගත් රනිල් ඔවුන් තමා වෙත කැඳවාගෙන සාකච්ඡාවක යෙදිනි. ඒ සාකච්ඡාව දේශපාලන ප්‍රශ්නයක් ගැනවත්, වෙනත් විෂයක් ගැනවත් නොව රනිල් ජනාධිපති තරගයට ඉදිරිපත් වී සිටීම ගැනය.

මම දැනටමත්

ඡන්දයෙන් දිනලා

රනිල් මන්ත්‍රිවරුන්ට පැවැසුවේ ඔහුට ලැබෙන ඡන්ද ගැනයි. මට පොහොට්ටුවෙන් මෙච්චර ඡන්ද ගණනක් තියෙනවා. සජබෙනුත් මෙච්චර ඡන්ද ලැබෙනවා. අනෙක් පක්‍ෂවලිනුත් මෙච්චර මෙච්චර ඡන්ද ලැබෙනවාය කියමින් මම දැන් ඡන්දේ දිනලයි ඉන්නේයි මන්ත්‍රිවරුට පැවැසුවේය. මන්ත්‍රිවරු කිසිවක් නොකියා රනිල්ට ජයපතා යන්න ගියහ.

මම ඩලස්ට

ඡන්දෙ දෙන්නේ

නෑ සනත්

මුහුණටම කියයි

ඩලස් පාර්ලිමේන්තුවට එද්දී පුත්තලම දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රි සනත් නිශාන්ත හමුවිය. ඔබතුමාට මම කිහිපවරක් කෝල් කළා, ඔයා ආන්සර් කළේ නෑනේ. ඩලස් සනත් මන්ත්‍රිවරයාට කීවේය.

සනත් ඩලස්ගේ කෝල් එකට ආන්සර් නොකළේ මන්දැයි උත්තර දෙන්නට ගියේ නැත. ඩලස්ටත් අදහා ගන්නට බැරි විදිහට සනත් කියා තිබෙන්නේ කොහොමත් මම ඔබතුමාට ඡන්දය දෙන්නේ නෑ. ඔබතුමා මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න කියලා ලියුමක් ලියපු කෙනෙක්. ඒ නිසා මම කොහොමද ඔබතුමාට ඡන්දය දෙන්නේයි ඩලස්ගෙන් ඇසූ නිශාන්ත, මම ඔයාට ඡන්දය දෙන්නේ නෑ යි මූණටම කියා තිබේ.

ධම්මික පෙරේරාට

රනිල් කී රහස

බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරයට පත්ව ඇමැති ධුරයක්ද හිමි වූ ධම්මික පෙරේරා ජනාධිපති තෝරාගන්නා ඡන්ද විමසීමේදී ඡන්දය දී ආපසු අසුන් ගැනීමට එද්දී රනිල් වික්‍රමසිංහ ඔහුට යමක් කීවේය.

රනිල් කියා තිබෙන්නේ තමාට ජනාධිපති වෙන්න ව්‍යාපාරිකයෙක් ඡන්දය දෙන ප්‍රථම වතාව මෙය බවයි.

ධම්මික ඇමැති තනතුරු දරමින් සිටියදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් වන්නැයි කළ ප්‍රකාශය සිහියට පැමිණි රනිල් එසේ කීවාදැයි නොදනී.

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී අගවිනිසුරු හමුවේ ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන් චාම් උත්සවය වෙනුවෙන් වැය වූ සම්පූර්ණ මුදල තමාගේ පෞද්ගලික මුදලින් දරාගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත.

ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාව සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබියදී කීපවරක් විදුලිය විසන්ධි වීම කෙසේ සිදුවී දැයි සෙවීමට රහස් පොලිසියට පරීක්ෂණයක් පැවැත්වීමට පවරා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අවස්ථාවට විදුලිය සැපයීමේ කාර්යය පාර්ලිමේන්තුවේ විදුලි ජනන යන්ත්‍ර හරහා සිදුකිරීමට සැලසුම් කර තිබියදී විදුලිය විසන්ධි වීම ප්‍රශ්නකාරී බවද කියති.

රනිල් දිවුරුම් දෙන අවස්ථාවේම විදුලිය විසන්ධි වීම රට තවත් අඳුරට යෑමක් බවට ඇතැම්හු පවසන අතර තවත් අය පවසන්නේ රට අඳුරෙන් එළියට එන බව එම සිදුවීමෙන් පෙන්නුම් කළ බවයි.

තනතුරු දෙන්නම්,

පිලිස්සුණු ගේ හදා

දෙන්නම් ඡන්දේ දෙන්න

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රිවරුන් පිරිසක් නාමයෝජනා භාරදුන් මොහොතේ සිට ඡන්දය දීම ගැන වෙනම මෙහෙයුමක යෙදී සිටි බවට තොරතුරු වාර්තා වී තිබිණි. ඔවුන් රනිල්ට සහාය දෙන්න සූදානම් බව රනිල් දැනුවත් කරන්නට කටයුතු කරමින් ඒ පිරිස පවසා තිබෙන්නේ ඡන්දය දීමට නම් තමන්ට පුදපඬුරු දෙන්න කියායි. රනිල්ට එම තොරතුරු දැන ගන්නට ලැබුණු අවස්ථාවේ ඔහු එම පිරිසට දැනගන්නට සලස්වා තිබෙන්නේ තමන් කිසිවකුට පුද පඬුරු දෙන්නට සූදානම් නැති බවයි.

රනිල් ඒ පිරිස දැනුවත් කර තිබෙන්නේ තනතුරු දෙන්නම්, ගිනි තබා විනාශ කළ නිවාස හදා දෙන්නම් නැතිනම් එම නිවාස ඉදිකර ගන්නට සාධාරණ වන්දියක් ලබාදීමට කටයුතු කරන්නම්, එම නිවාස අලුත්වැඩියා කරගන්නා තුරු ජීවත්වීමට තාවකාලිකව නිවාස ලබා දෙන්නම් යනුවෙනි. කිසිසේත් පුද පඬුරු දෙන්නට ලෑස්ති නැති බවද රනිල්ගේ දැනුම්දීම විය. රනිල්ගෙන් ලැබෙන පඬුරු ප්‍රතික්ෂේප කළ එම මන්ත්‍රි පිරිස අනෙක් අපේක්ෂකයන් හමුවන්නට ගිය බවට ආරංචිය.

අවලංගු වූ

ඡන්ද පත්‍රිකා හතර

ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්ද පත්‍රිකා 4ක් අවලංගු විය. එසේ අවලංගු වූ ඡන්ද පත්‍රිකාවලින් දෙකක මනාපය පළකර තිබුණේ රනිල්ට බව පැවැසේ. අනෙක් ඡන්ද පත්‍රිකා දෙක හිතා මතාම අවලංගු කර ඇති බවද කියති. එම ඡන්ද පත්‍රිකා දෙක අවලංගු කර තිබෙන්නේ සජබ මන්ත්‍රිවරුන් දෙදෙනකු විසින් බවටද කතා පැතිරෙයි.

ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ රෝහල්ගතව සිටි මන්ත්‍රිවරුන් දෙදෙනකු පාර්ලිමේන්තුව පැමිණියේය. ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තුව තුළට පැමිණියේ එහි කාර්ය මණ්ඩල සේවකයන්ගේ උදව්වෙනි. එක් මන්ත්‍රිවරයකු පැමිණ සිටියේ ඔහුට ප්‍රතිකාර සඳහා රෝහලෙන් ලබාදී ඇති සේලයින් බෝතලයද සමඟය.

එසේ රෝහල්ගතව සිටියදී ඡන්දය දෙන්නට පැමිණියේ කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රි සමන්ප්‍රිය හේරත් හා දිගාමඬුල්ල දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රි ඩී. වීරසිංහය.

රනිල් කියන්නේ

රාජපක්ෂලාගේ

අවතාරයක්ලු

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ තරගයට සජබ නායක, විපක්ෂ නායක තරග කරන බව මුලදී ප්‍රකාශ කර තිබිණි. එහෙත් අවසන් පැයේදී එය වෙනස් වී ඩලස් අලහප්පෙරුමට සහාය දීමට සජබ තීරණය කළේය. ඒ අනුව ඩලස් තරගයට ඉදිරිපත් කරමින් ඔහුගේ නම යෝජනා කළේ සජිත් විසිනි.

මේ වෙනස් වීම හදිසියේ වූවක් නොවේ. පක්ෂ අභ්‍යන්තරයේ සජිත් තරගයට ඉදිරිපත් කරන්නට සාකච්ඡාවෙමින් තිබියදී තීරණයක් ගැනීමට සජිත් ඉකුත් 18 වැනිදා පෙරවරු හා පස්වරු පක්ෂ කණ්ඩායමේ රැස්වීම් දෙකක් කැඳවා තිබිණි. ඔහු තම කණ්ඩායමට කියා සිටියේ හැමෝටම තමන්ගේ අදහස් දක්වන්න පුළුවන්. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඕනෑ තරම් තියෙනවා. අපි දිගටම සාකච්ඡා කරලා ගතයුතු හොඳම තීරණය ගනිමුයි කීවේය.

රටම වගේම අපි හැමෝම දන්නවා ඔබතුමා කිසිම වේලාවක මේ රටේ අරගලය පාවා දුන්නේ නෑ. ඒ වගේම පස්ස ‍ෙදාරෙන් ගිහින් තනතුරු ගත්තෙත් නෑයි කී කවින්ද ජයවර්ධන මේ අයට මේක කරන්න බෑ කියලා ඔප්පුවෙලා ඉවරයි. මේ වෙලාවේ ඉල්ලන්නේ ඔබතුමාවයි. ඒ සඳහා ඔබතුමා මේකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න ඕනෑයි කීවේය.

මුජබර් රහුමාන්ද ඒ මතයම අනුමත කරමින් මේ වෙලාවේ ඔබතුමා මේක මඟහරින්න එපා. රාජපක්ෂලා ඉන්නා වෙලාවේ අපි ආණ්ඩුව භාරගන්නේ නෑ කිව්වා. දැන් ගෝඨා ගිහින් ඉවරයි. ඔබතුමා වගකීම භාර ගන්නැයි කීවේය.

අශෝක අබේසිංහ ටිකක් තදින් කතා කරමින් රනිල් කියන්නේ රාජපක්ෂවරුන්ගේ අවතාරයක්. එයා ආවොත් මේ රට ඉවරයි. ඒ නිසා කරුණාකරලා මේ අවස්ථාවේ ඔබතුමා ඉදිරිපත් වෙන්න. තනතුරු දෙකෙන් එකක් හරි ගන්නැයි බල කරමින් කීවේ එහෙම නැත්තන් මින් ඉදිරියට මම නම් දේශපාලනය කරන්නේ නෑ කියායි.

ගේට්ටුවෙන් එළියේ

තීන්දු අරගෙන

ඇතුළට එන්නේ නෑ

සජිත් ඔහුගේ දේශපාලන ඉතිහාසයත් පියා අගමැති හා ජනාධිපති වශයෙන් කටයුතු කරද්දී ඔහුගෙන් ලද ආභාෂය ගැනත් කරුණු දැක්වූ සජිත් ගේට්ටුවෙන් එළියේ ඉඳගෙන තීන්දු අරගෙන මම ඇතුළට එන්නේ නෑ. අපි වගකීම භාරගන්න ලෑස්තියි. 1 හෝ 2 තනතුරු දෙකෙන් එකක් භාරගෙන අපි රට ගොඩ නඟමුයි පාක්ෂිකයන්ට ශක්තියක් ලබා දුන්නේය. සජිත්ගේ ඒ ප්‍රකාශයට මන්ත්‍රි කණ්ඩායම ඔල්වර හඬ දෙමින් සතුට පළ කළහ.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර දැන් කැන්වසින් කරන්න. අද දවල් අපි ඩලස් හමුවෙනවා සවස තව කණ්ඩායම් කිපයක් හමුවෙනවා. අද රෑ වෙන කොට අන්තිම තීරණය ගන්න පුළුවන් යැයි දැනුම් දුන්නේය.

ඩලස්ගේ නම

සජිත් යෝජනා කිරීම

ඉකුත් 14 වැනිදා උදේ 7.30 වන විට සජිත් පාර්ලිමේන්තුවට ආවේය. 9 වන විට පාර්ලිමේන්තු කණ්ඩායම රැස්විය. ඒ සමඟම සාකච්ඡාවට අමුත්තෙක්ද පැමිණියේය. ඒ ඩලස්ය. මන්ත්‍රි කණ්ඩායම අත්පොළසන් දී ඩලස් පිළිගත්තේය.

තමා තරගය සඳහා නාමයෝජනා ඉදිරිපත් නොකරන බව හා ඩලස්ට සජබ සහාය පළකරන බව දැනුම් දුන් සජිත්, තමා මෙම තීන්දුව ගත්තේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින් 19වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමටත්, රට ආර්ථික, සමාජ. සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යෑම උදෙසා කැපවෙමින් බව කීවේය.

ඩලස් අලහප්පෙරුම, අද ආරම්භ වන්නේ සම්මුතිවාදී ගමනක්. දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිතේ ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වන බවයි. එසේ රටේ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා ගත් ඓතිහාසික තින්දුව ගැන සතුට පළ කළේය.

පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ සැණින් සජිත් නැඟී සිටි ජනාධිපතිවරයා ලෙස ඩලස්ගේ නම යෝජනා කළේය. මෙය පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිට බොහෝ දෙනා විශ්මයට පත්කළ හේතුවක් විය.

ඡන්දයෙන් ඩලස් පරාජයට පත්වූවත් සජිත් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පාර්ලිමේන්තුවේ පවතින විකෘතිය විසින් එළියේ ජනමතය නියෝජනය නොවූ බවයි.

වජිර, මුරුත්තෙට්ටුවේ

හිමියන්ට කිව්වේ

මොනවාද?

ජනාධිපති ලේකම් සමන් ඒකනායක පසුගිය 21 වැනිදා කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. මේ අවස්ථාවට වජිර අබේවර්ධන ඇතුළු සීමිත පිරිසක් සහභාගී වූහ.

පෙරේදා (22දා) දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව එදින සවස නාරාහේන්පිට අභයාරාමයට පැමිණ ආගමික වතාවත්වල නිරතව මහා සංඝයා වහන්සේගේ ආශීර්වාදය ලබා ගත්තේය. වජිර මේ අවස්ථාවටද සහභාගි වී විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟද පිළිසඳරක යෙදිණි.

අරගලයට පහරදීම

ජාත්‍යන්තරයේ

කනස්සල්ල

‘පුදනකොටම කාපි යකා’ කියන්නාක් මෙන් රනිල් ජනාධිපති ධුරයේ දිවුරුම් දී වැඩ භාරගෙන පැය 24ක් ගත වන්නටත් පෙර ආරක්ෂක හමුදා ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි බිම අත්පත් කරගෙන සිටි අරගලකරුවන්ට පහරදී පන්නා දැමීම ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක් හා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හෙළාදකිමින් විරෝධය පළකර තිබේ.

පසුගිය සිකුරාදා (22දා) අලුයම එම ස්ථානයට කඩාවැදුණු ආරක්ෂක හමුදා එහි රැඳී සිටි පිරිස්වලටත් මාධ්‍යවේදීන්ටත් පහරදී තිබේ. පහරකෑමට ලක්වූ කිහිපදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කොට තිබේ.

ජනාධිපතිවරයා තනතුරේ දිවුරුම් දී වැඩ භාර ගැනීමෙන් පසු පළමු රාජකාරි කටයුත්ත වූයේ ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් එහි ප්‍රධානීන් සමඟ රටේ ආරක්ෂක තත්ත්වය ගැන සාකච්ඡා කිරීමයි.

ඇමරිකාව, එංගලන්තය, නෙදර්ලන්තය යන රටවල් මේ ප්‍රහාරය ගැන කනස්සල්ල පළකර නිවේදන නිකුත්කොට තිබේ.

හදිසි නීති යටතේ

ත්‍රිවිධ හමුදාවලට

වැඩි බලතල

ත්‍රිවිධ හමුදා බළඇණි කණ්ඩායම් තුනක් රාත්‍රි 12.30ට පමණ පරණ ලෝටස් පාරේ මාර්ග බාධක යොදා එම මාර්ගයෙන් පිටවීම හා ඇතුළුවීම වළක්වා ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාල පිටුපසින් ඇති මාර්ගයද ඒ ආකාරයට මාර්ග බාධක යොදා දහසකට ආසන්න ආරක්ෂක භට පිරිසක් පැති තුනකින් ලේකම් කාර්යාල භූමියට පිවිස ඇත. එහි රැස්ව සිටි පිරිසට ඉවත්වන ලෙසට ආරක්ෂක අංශ දැනුම්දී ඇතත් ඒවා නොසලකා එම පිරිස් ආරක්ෂක හමුදා සමඟ වචන හුවමාරුවක යෙදී පසුව උණුසුම් තත්ත්වයකට පත්ව තිබේ.

රටේ දැනට හදිසි නීතිය ක්‍රියාත්මක වන බැවින් ආරක්ෂක අංශවල ඉල්ලීමට කන්දී පිටව නොයන්නේ නම් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට සිදුවන බවද ඔවුන් අනතුරු අඟවා ඇත.

ඒ කිසිවකට අවනත නොවූ අරගලකාර පිරිස ආරක්ෂක අංශ සමඟ ගැටුම්කාරී තත්ත්වයට සූදානම් වෙද්දී ලේකම් කාර්යාල භූමියේ සියලුදෙනාම බලය පාවිච්චි කර පලවා හැර ලේකම් කාර්යාල භූමිය හමුදාව යටතට පවරාගෙන ඇත.

පසුගිය මැයි 09 වැනි දින කොළඹ ඇති වූ අරගලකරුවන්ගේ උද්ඝෝෂණ හා රාජ්‍ය ආයතනවලට කඩාපැනීමේ ක්‍රියාවලිය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන් යටතට පත්කර ගත් අතර පසුව කාර්යාලයට ඇතුළුවන ‍ෙදාරගුළුද කඩා දමා කාර්යාලය තුළට පිවිස එහි තිබූ ලිපි ලේඛන හා භාණ්ඩවලට අලාභහානි කර තිබිණි.

වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වූ අවස්ථාවේ කැරලිකරුවන්ට කීවේ ගෝඨාගෝගම අත්නොහරින ලෙසත් එම ස්ථානය වැඩිදියුණු කරගන්නට පහසුකම් සලසන බවත්ය. එසේ එම කාර්යය සඳහා අගමැතිවරයා විසින් රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද පත්කරන ලදී.

ජනපති ඡන්දය දා මන්ත්‍රි

නිවාසවල ලයිට් කපලා

අනුප්‍රාප්තික ජනාධිපති තෝරන තරගයේදී පොහොට්ටුවේ පූර්ණ සහාය රනිල් වික්‍රමසිංහට බව මහ ලේකම් සාගර කාරියවසම් පසුගිය 15 වැනිදා සිකුරාදා නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි. පොහොට්ටු පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ නෙලුම් මාවත කාර්යාලයේදී තීරණාත්මක රැස්වීමක් කැඳවා රනිල් ජයග්‍රහණය කරවීමට සියල්ල සැලසුම් කර පොහොට්ටුවේ දිස්ත්‍රික් ප්‍රධානීන් ඇතුළු මන්ත්‍රිවරුන් විශාල පිරිසක් රැස්වීමට පැමිණ සිටියහ. ඒ පිරිසේ හැමෝටම වෙන වෙනම වගකීම්ද පැවැරිණි. ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. එම්. චන්ද්‍රසේන, නාමල් රාජපක්‍ෂ, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් මූලික මෙහෙයුමට මැදිහත්වූහ.

ජනාධිපතිවරණ ඡන්දය සැලසුම් කරද්දී බැසිල් බොහොම විශ්වාසයෙන් සිය කණ්ඩායමට අඟහරුවාදා කීවේ හරි අපේ ගණන 133යි. අලුත් ජනාධිපතිවරයා තෝරන බදාදා පාන්දර 5.30ට පමණ ප්‍රසන්න රණතුංගට සංජීව එදිරිමාන්නගෙන් කෝල් එකක් ආවේ විජයපුර මන්ත්‍රි නිවාසවලට රාත්‍රි 11.30ට විදුලිය නැති බවය.

බැසිල්ගේ ටාගට් එකටත් වඩා එක ඡන්දයක්

ප්‍රසන්න යූඩී එකට කතා  කර විදුලිය නැති ප්‍රශ්නය දැනුම් දුන් අතර ප්‍රසන්නත් කංචනත් සම්බන්ධවී පැය භාගයක් තුළ විදුලිය ලබාදීමට කටයුතු කෙළේ. එසේ නොකළා නම් මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවට එන්න සිදුවන්නේ මූණ කටවත් සෝදන්නේ නැතිවය. ඡන්දය අවසානයේ පොහොට්ටුවේ සහාය ලැබූ රනිල්ට ඡන්ද 134ක් ලැබී තිබිණි. බැසිල්ගේ ගණන් හැදිල්ලටත් හසු නොවී ඡන්දේ දුන්නේ කවුද කියා පොහොට්ටුවේ අයත් හොයනවා.

රනිල්ගේ දිනුම

ෂුවර් දැයි මහින්ද

ප්‍රසන්නගෙන් අහයි

ඡන්ද මෙහෙයුමට සම්බන්ධව සිටි නිමල් ලංසා පැත්තකට වී සිටියේ කනස්සල්ලකින් මෙනි. ඔහු පැත්තකට වී සිටියේ රනිල් පරාදවන බව ස්ථිර වශයෙන්ම දන්නා නිසා යැයි එතැන සිටි සජබ මන්ත්‍රිවරයෙක්  පවසන්නට විය.

ප්‍රසන්න රණතුංග සභා ගර්භයට ගියේ මන්ත්‍රි නාම ලේඛනයද රැගෙනය. ඡන්ද ප්‍රකාශ කරන මන්ත්‍රිවරයාගෙන් මන්ත්‍රිවරයාට ලකුණු කළ ඔහු 113 සම්පූර්ණ වන බව දැනගත් වහාම රනිල් ළඟට ගියේය.’සර් දැන් 13ක් අපට වැටිලා තියෙන්නේ”යි ප්‍රසන්න කීවේය.

ඉන්පසු ඔහු ගියේ මහින්ද රාජපක්‍ෂ ළඟටය. සර් දැන් අපිට බහුතරය තියෙනවයි ප්‍රසන්න මහින්දට කීවේය.මහින්ද එකවරම ඇසුවේ ෂුවර්ද කියායි.

ඔව්.. ඔව්… හොඳටම ෂුවර් මම මේ ලකුණු කරලා තියෙන්නේ ප්‍රසන්න මහින්දට මන්ත්‍රි ලැයිස්තුව පෙන්නුවේය.

බෙනට් රූපසිංහ