ගෝල්ෆේස් සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම කරුණු සොයයි

0
19

ගාලුමුව‍ෙදාර අරගලකරුවන්ට පසුගිය සිකුරාදා (22දා) අලුයම ආරක්ෂක අංශ කළ පහරදීම් හා අත්අඩංගුවට ගැනීම් පිළිබදව ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කරුණු සොයා බැලීය.

අරගල භූමිය අවට සිටි නීතිඥවරුන්, මාධ්‍යවේදීන්, ආබාධිත රණවිරුවන්, ස්වාමීන් වහන්සේලා, වෙනත් ආගමික පූජකවරුන්,කුඩා දරුවන් සමග සිටි කාන්තාවන්, නිර්පාක්ෂික අරගලයේ සාමාජිකයන් හා මාර්ගයේ ගමන් කළ පිරිස් පොලිසියේ හා හමුදාවේ ප්‍රහාරයන්ට හා විවිධ වදහිංසාවන්ට  ලක්වූ බවට කොමිසමට  සාක්ෂි ලෙස ලැබී තිබේ.

 ගාලුමුව‍ෙදාර අරගල භූමිය හා ඒ ආශි්‍රත ප්‍රදේශ නිරීක්ෂණයට පැමිණි ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීහු  ත්‍රිවිධ හමුදාව, පොලිසිය, නීතිඥයන්, ආගමික පූජකවරුන්, අරගල භූමියට සම්බන්ධ පිරිස් ඇතුළු පාර්ශ්ව ගණනාවකින් සාක්ෂි සටහන් කර ගත්හ. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් සිකුරාදා ඉවත්වන බවට බ්‍රස්පතින්දා අරගලකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබියදීත් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් අරගලකරුවන් ඇතුළු හිංසාවට ලක්වූ සියලු දෙනාගේ මානව හිමිකම් කඩවී ඇතැයි එහිදී සාක්ෂි ලබාදුන් නීතිඥයන් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්හ.

මෙවැනි වාතාවරණයක් යටතේ ආරක්ෂක අංශ පහරදීමක් සිදුකරනු ඇතැයි තමන් කිසිසේත්  බලාපොරොත්තු නොවුණු බව ප්‍රකාශ කළ කොමිසමේ නිලධාරීහු අරගලකරුවන්ගේ පොත්පත් හා අනෙකුත් උපකරණ ලබාදීමට පියවර ගන්නා ලෙසද පොලිසියෙන් ඉල්ලා සිටියහ. ආරක්ෂක අංශ සාමාජිකයන් අරගලකරුවන්ගේ අට්ටාල කඩා දමා ඇති ආකාරය නිරීක්ෂණය කළ කොමිසමේ නිලධාරීන් සියලු සිද්ධි ඇතුළත් කොට වාර්තාවක් සකස් කරන බවද ප්‍රකාශ කළහ.

අමිත් මධුරංග ගමගේ