ගංගා ඇළ ‍ෙදාළ මායිම් කරගෙන ඉස්සර රට බෙදපු මොනවද මේ කෝරළ

0
68

මම මේ අමුතු මාතෘකාව තෝර ගත්තේ කරුණු කිහිපයක්ම නිසයි. එකක් මේ කෝරළය කියන එක රටේ තාමත් ජනී ජනයා අතර තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරන්න බොහෝ වෙලාවට පාවිච්චි වෙනවා. අනෙක් අතට අපේ බොහෝ කටයුතුවලදී මේ කෝරළය කියන පාලන ඒකකය ඇතැම් වෙලාවට ව්‍යවහාර වෙනවා. ඒ වුණාට කෝරළ ගැන බොහෝ දෙනෙක් හරි හැටි දන්නෙත් නෑ. වැඩි දෙනෙක් කෝරළය ගැන මොනවත්ම දන්නෙ නෑ කියලම කියන්න පුළුවන්. තව සමහරු හිතාගෙන ඉන්නේ කෝරළය කියන එක පෘතුගීසීන් හදාපු පාලන ඒකකයක් කියලා. ඒ නිසා මේ කෝරළ ගැන විස්තර දැනගැනීම වැදගත්.

මේ කෝරළ කියන පාලන ඒකකය කෝට්ටේ රාජධානියෙ පාලන ඒකක හැටියට පටන්ගත්තු ඒවා බව පෙනෙන නිසා අපි කෝට්ටේ රාජධානිය ගැන ටිකක් බලමු. ආචාර්ය ටිකිරි අබේසිංහ පරංගි කෝට්ටේ කියලා පොතක් ලියලා තියෙනවා. මේ පොතට අනුව කෝට්ටේ රාජධානියට අයත් ප්‍රදේශ ලෙස දිසාවනි නමින් හැඳින්වෙන පාලන ඒකක හතරක් සඳහන් කරනවා. ඒ මාතර, සබරගමුව, හතර කෝරළේ, හත් කෝරළේ යනුවෙනුයි. මෙතැනදි තුන් කෝරළය ගැන සඳහනක් නැති නිසා තුන්කෝරළය සීතාවක රාජ්‍යයට අයිති බලප්‍රදේශය නිසා එසේ සඳහන් නොවුණා විය හැකියි. රයිගම් පස්යොදුන් කෝරළ දෙක රයිගම රාජ්‍යයට අයිතිව තිබුණු බව පැහැදිලියි. කෝට්ටේ අගනගරය දෙපැත්තේ තිබුණු සල්පිටි කෝරළය සහ හේවා ගම්කෝරළය දිසාවනියකට අයත් නොවී අග රජු භාරයේම තියෙන්න ඇති.

අපි දැන් කෝට්ටේ, සීතාවක, රයිගම කියන තුනට බෙදුණු කෝට්ටේ රාජධානියේ තිබුණු කෝරළ ගැන බලමු. 

සල්පිටි කෝරළය

කෝට්ටේ අගනුවර ආශ්‍රිතව තිබුණු සල්පිටි කෝරළේ, පටන් ගන්නේ කොළඹ කොටුව අසලිනුයි. වර්තමාන ස්ථාන අනුව බැලුවම කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් බේරේ වැවේ වතුර මුහුදට ගලන ඇළ මාර්ගය අසලින් පටන් අරගෙන එක් පසෙකට මුහුද මායිම් කරගෙන මොරටු ගඟ නැත්නම් බොල්ගොඩ කළපුවේ ජලය මුහුදට වැටෙන තැන දක්වාම මුහුද සල්පිටි කෝරළයේ බටහිර මායිමයි. නැඟෙනහිර පැත්තෙන් ආසන්න වශයෙන් සල්පිටි කෝරළේ මායිම වර්තමාන ලකුණු අනුව කිව්වොත් බේරේ වැව එක් පසෙකට මායිම්ව කොල්ලුපිටිය හා බම්බලපිටිය, කුරු¾දුවත්තෙන් වෙන්වන මායිම දිගේ දකුණට කුරු¾දුවත්ත හා තිඹිරිගස්යාය වෙන්කරන මායිම දක්වා එනවා. එතැනින් කුරුඳුවත්ත හා තිඹිරිගස්යාය වෙන්කරන මායිම දිගේ හීන් ඇළ දක්වා එනවා. හීන් ඇළ දිගේ නාරාහේන්පිට හා බොරැල්ල වෙන්කරන මායිම හදාගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලින් ඇවිත් උතුරු පැත්තට ඒ හීන් ඇළ දිගේම ගිහින් රාජගිරියෙ ඉඩම් ගොඩකිරීමේ සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉස්සරහින් ශ්‍රී ජයවර්ධනපුර මාවත පසුකර ආයුර්වේද රෝහලට නැඟෙනහිරින් රාජගිරිය බොරැල්ල පාර පනිනවා. ඉන් පසුව ඔබේසේකරපුර පහුකරලා වටෙන් හීන් ඇළ දියවන්නාවට සම්බන්ධ වෙන ඇළ දිගේම ඇවිත් රාජගිරිය අයි.ඩී.එච්. පාර පැනලා දියවන්නා වැවට වැටෙනවා.

දියවන්නාව දිගේම ඇවිත් පාර්ලිමේන්තුව පහු කරලා කිඹුලාවල හන්දිය පැත්තෙන් දියවන්නාව දිගේ ඇවිත් පන්නිපිටියෙ ලියනගොඩ වෙල්යායේ වතුර දියවන්නාවට ගලන ඇළ දිගේ ඇවිත් බොරැල්ල කොට්ටාව පාරේ පොල්වත්ත හා කලල්ගොඩ හන්දි දෙක අතර තියෙන බෝක්කුව පහු කරනවා. ඊට පස්සෙ පන්නිපිටිය හෝකන්දර පාරේ ලියනගොඩ වෙල්යාය මැද්දෙන් තියෙන ඇළ දිගේ ඇවිත් පන්නිපිටියෙ පෝරගොඩැල්ලේ වෙල්යායෙ ඉස්මත්තට එනවා. ඊට පස්සෙ වගුරුබිමක් ඔස්සේ කොට්ටාව ආනන්ද විදුහල පිටිපස්සෙන් ඇවිත් ආනන්ද විදුහලත් කොට්ටාව හන්දියත් අතරින් බොරැල්ල පාර පනින මායිම් රේඛාව හයිලෙවෙල් පාර පනින්නේ කොට්ටාවෙ ලාෆ්ස් සුපර් මාර්කට් එක පහු කරනකොටම මහල්වරාව පැත්තට තියෙන බෝක්කුව යටිනුයි. එතැනින් පස්සෙ මේ මායිම යන්නෙ කොට්ටාවත් දිගන ගමත් අතර වෙල්යාය ඉස්මත්තෙන් කොට්ටාව නගරයත් බංගලාවත්ත කොටසත් අතරිනුයි. ඒ විදියට සල්පිටි කෝරළේ මායිම කොට්ටාව ධර්මපාල විදුහල හා පින්හේන හන්දිය අතරින් හොරණ පාර පැනලා මාකුඹුර  වෙල්යායේ කොට්ටාව ආසන්න හරියෙන් මත්තෙගොඩ විද්‍යාදීප විදුහල මායිමෙන් ඇවිත් යළිත් ආපහු හොරණ පාර පැනලා මත්තෙගොඩ ගමත්, මාඹුල්ගොඩ හා බ්‍රාහ්මණගම කියන ගම් වෙන්කරන වෙල්යාය මැද ඇති ඇළ දිගේ ඇවිත් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගොස් දීපංගොඩ ඇළට සම්බන්ධ වෙනවා.

දීපංගොඩ ඇළ දිගේ ඉහළට යන සල්පිටි කෝරළේ මායිම නියඳගල හා මාගම්මන ගම අතර ඇති වෙල්යාය ඔස්සේ, අපේ මාඹුල්ගොඩ දූවේ පුරාණ විහාරස්ථානයේ ඉඳන් බැලුවම පේන දුරින් සල්පිටි කෝරළේ මායිම් රේඛාව උතුරු දෙසට විහිදෙනවා. එහෙම ගිහින් මාගම්මන හා උඩුවන ගම් මායිම දිගේ දියගම කිරිවත්තුඩුව ගම් සල්පිටි කෝරළේට ඇතුළු කරගෙන කිරිවත්තුඩුව හා තලගල වෙන්කරන මායිමෙන් හොරණ පාර හරහා ගොස් කෝරලඉම හන්දියෙන් හොරණ-කොළඹ මාර්ගය පැනලා ගිහින් එතැන වෙල්යායෙ ජලය බොල්ගොඩ කළපුවට ගලා බසිනා ඇළ මාර්ගය දිගේ බොල්ගොඩ කළපුවට වැටී එතැනින් බොල්ගොඩ කළපුව හරහා මොරටුව පාලම හා පානදුර එගොඩඋයන පාලම යටින් මුහුද දක්වා ගමන් කරනවා.

මේ විදියට මායිම් වී ඇති සල්පිටි කෝරලය උඩුපත්තුව හා පල්ලෙපත්තුව විදියට පත්තු දෙකකට බෙදලා තියෙනවා. මේ පත්තු දෙකට උඩුපත්තුවට ගම් 25කුත් පල්ලෙපත්තුවට ගම් 80කුත් විදියට ගම් 105ක් අතීතයේ අයත් වුණා. වර්තමානය අනුව බැලුවොත් තිඹිරිගස්යාය, කෝට්ටේ, දෙහිවල, රත්මලාන, මොරටුව, කැස්බෑව, මහරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සම්පූර්ණයෙන්ම අයිති වන්නේ සල්පිටි කෝරළයටයි. සල්පිටි කෝරළේ උඩුපත්තුවට අයිති මාගම්මන, දියගම කිරිවත්තුඩුව, කහතුඩුව, කිරිගම්පමුණුව, මත්තෙගොඩ ආදී වශයෙන් ගම්  25ම අයත්වන්නේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි.

හේවාගම් කෝරළය

හේවාගම් කෝරළය ආරම්භ වන්නේ සන්ත බස්තියම් ඇළ කැලණි ගඟ සම්බන්ධ වන ස්ථානයෙනුයි. එතැන සිට කැලණි ගඟ දිගේ ඉහළට යන මායිම සීතාවක ගඟේ අවිස්සාවේල්ලට උඩින් මා‍ෙදාළ වැටෙන ස්ථානය දක්වාම තියෙනවා. උතුරු මායිමට කැලණි -සීතාවක ගංගා දෙක තියෙද්දි හේවාගම් කෝරළේ අනෙක් මායිම් ටිකත් අපි බලමු. මා‍ෙදාළ දිගේ සීතාවක ගඟේ සිට දකුණු පැත්තට එන මායිම ලබුගම ජලාශේ මැද්දෙන් ඇවිත් ඉංගිරිය මීපෙ මාර්ගයේ තියෙන හඳපාන්ගොඩ හා බෝපෙ ගම් මායිම දිගේ තවත් දකුණු දිසාවට ඇවිත් කිරිවත්තුඩුව ගමේ උතුරු මායිමේදී සල්පිටි කෝරළේ මායිමට සම්බන්ධ වෙනවා. ඉන් පස්සෙ බටහිර දිසාවට සල්පිටි කෝරළ මායිම දිගේම දියවන්නාව හරහා රාජගිරියෙ ඔබේසේකරපුරට උතුරෙන් හීන් ඇළට දෙමටගොඩ ඇළ සම්බන්ධවෙන ස්ථානය දක්වාම එනවා. හීන් ඇළට දෙමටගොඩ ඇළ සම්බන්ධ වන ස්ථානයේ ඉඳන් හේවාගම් කෝරළේ මායිම යන්නෙ දෙමටගොඩ ඇළ දිගේ සන්ත බස්තියම ඇළටයි. එතැන ඉඳන් සන්ත බස්තියම ඇළ දිගේ කැලණි ගඟ දක්වාම හේවාගම් කෝරළ මායිම දිගු වෙනවා. හේවාගම් කෝරළේ පත්තු හතරකට බෙදලා තියෙනවා. ඒ උඩුපත්තුව, අධිකාරි පත්තුව, මැදපත්තුව හා පල්ලෙපත්තුව විදියටයි. හේවාගම් කෝරළේ අධිකාරි පත්තුව කියන්නෙ වර්තමාන කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට අයිති ප්‍රදේශයයි. මේ පත්තුවට ගම් 16ක් එදා අයිතිව තිබුණා. උඩුපත්තුව වර්තමාන සීතාවක ප්‍රාදේශීය ලේකම් කොටසට අයත් වෙන්නේ. උඩුපත්තුවට ගම් 31ක් එදා අයිතිව තිබුණා. මැදපත්තුව ගම් 43ක් ඒ ගම් වර්තමානයේ අයිතිවෙන්නෙ පාදුක්ක හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි. හේවාගම් කෝරළේ පල්ලෙපත්තුවට එදා ගම් 40ක් අයිති වුණා. ඒ ගම් අද අයත් වන්නේ ප්‍රධාන වශයෙන් කඩුවෙල හෝමාගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටයි.

තලවතුගොඩ, කලල්ගොඩ, කොට්ටාව, මාකුඹුර, මාලපල්ල, රුක්මලේ, කියන ගම් හය හේවාගම් කෝරළේ පල්ලෙපත්තුවට අයිති ගම්. ඒ වුණාට ඒ ගම් අද අයිතිවෙන්නේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. ඔය ආකාරයට හේවාගම් කෝරළේට එදා ගම් 130ක් අයිතිව තිබුණා. මේ සල්පිටි – හේවාගම් කෝරළ දෙක වර්තමාන කොළඹ දිස්ත්‍රික්කෙට අයත් වෙනවා.

සියනෑ කෝරළය

කැලණි ගඟට උතුරෙන් වර්තමාන ගම්පහ දිස්ත්‍රික්කෙට අයිති ප්‍රදේශයේ තියෙන කෝරළ තමයි සියනෑ, අලුත්කූරු, හා හාපිටිගම් කියන නම්වලින් හඳුන්වන්නේ. සියනෑ කෝරළේ පත්තු හතරකට බෙදලා තිබුණා. ඒ අධිකාරිපත්තුව ගංපත්තුව, මැදපත්තුව හා උඩපත්තුව විදියටයි. අධිකාරි පත්තුවට අයත් වුණේ් ගම් 39ක ප්‍රමාණයක්. වත්තල, පෑලියගොඩ, කැලණිය, බියගම, යබරලුව දක්වා කැලණි ගඟ දිගේ තිබුණු ගම්මාන හා ඊට ඇතුළතින් තිබුණුු ගම්මාන මේ ගම්වලට ඇතුළත් වුණා. ඊළඟට ගං පත්තුවට අයත් වුණේ කැලණි ගඟබඩ යබරළුවෙන් ඉහළට තියෙන ගම් බව පෙනෙනවා. දෙකටන, ගිරිදර, ‍ෙදාම්පෙ, පූගොඩ, සමනබැද්ද, තිත්තපත්තර ඇතුළු ගම් 66 සියනෑ කෝරළේ ගංපත්තුවට අයිති වුණා. මැද පත්තුව මේ කෝරළේ ලොකුම පත්තුවයි. ඊට ගම් 121ක් අයත් වෙලා තිබුණා. මේ මැදපත්තුවට වර්තමාන ගම්පහ ඇඹරළුව, කලගෙඩිහේන, මුදුන්ගොඩ වගේ ප්‍රදේශ අයිති වුණා. සියනෑ කෝරලේ උඩුපත්තුවට අයිති වුණේ අත්තනගල්ල නිට්ටඹුව වාගේ ගම් කේන්ද්‍ර කරගත් ගම් 52කුයි. මේ ආකාරයෙන් සමස්ත සියනෑ කෝරළයටම ගම් 305ක් එදා අයත්ව තිබුණා.

අලුත්කූරූ කෝරළය

අලුත්කුරු කෝරළය සියනෑ කෝරළේට උතුරෙන් පිහිටි කෝරළයයි. මේ කෝරළය පත්තු තුනකින් සමන්විතයි. ඒ දාස්පත්තුව, දුංපත්තුව හා රාගංපත්තුව කියන පත්තු තුනයි. මෙයින් දාස් පත්තුවට රද්‍ෙදාළුව, සීදුව, කටුනායක වගේ මුහුද පැත්තෙන් තියෙන ගම් හා ඊට ඇතුළෙන් තියෙන ගම් 57ක් අයිති වෙනවා. දුංපත්තුවට අයිති වෙන්නෙ කිඹුලාපිටිය, කටුවැල්ලේගම, වගේ මීගමුවට ඇතුළෙන් තියෙන ගම් ඇතුළු ගම් 46ක්. රාගම් පත්තුව, රාගම, මාබිම, කිරිඳිවිට වගේ ගම්  36ක් අයත් වන පත්තුවක්. මේ විදියට අලුත්කුරු කෝරළේ සමස්ත ගම් සංඛ්‍යාව 139ක් වෙනවා.

හාපිටිගම් කෝරළය

හාපිටිගම් කෝරළය පිහිටලා තියෙන්නෙ හතර කෝරළේට මායිම්වයි. එක් පැත්තකින් මාඔයත් තවත් පැත්තකින් සතර කෝරළේ මායිමත් ඇතිව පිහිටලා තියෙන හාපිටිගම් කෝරළේට උඩු පත්තුව හා යටිපත්තුව කියලා පත්තු දෙකක් තියෙනවා. උඩුපත්තුව කේන්ද්‍ර වෙන්නේ වර්තමාන මීරිගම ප්‍රදේශයට, එතැනින් සතර කෝරල මායිම කිට්ටුව බෝතලේ ගමත් හාපිටිගම කෝරළේ උඩු පත්තුවට අයිති ගම් 66ට ඇතුළත් වෙනවා. යටි පත්තුව කියන්නෙ කොටදෙණියාව ප්‍රදේශය ඒකට ගම් 70ක් අයිතියි. ඒ විදිය සමස්ත හාපිටිගම් කෝරළේට ගම් 136 අයිතියි.

පිටිගල් කෝරළය

මහඔයෙන් හා දැදුරු ඔයෙන් මායිම් වෙනකොට සෙ තියෙන්නේ පිටිගල් කෝරළය විතරයි. පිටිගල් කෝරළය කොටස් තුනකට බෙදල තියෙන්නේ. උතුරු, දකුණු හා මැද කියලයි. උතුරු පිටිගල් කෝරළේට ගම් 44ක් අයිතියි. දකුණු පිටිගල් කෝරළේට ගම් 38ක් අයිතියි. පිටිගල් කෝරළේ මැද කොටසට ගම් 57ක් අයිතියි. මේ විදියට සමස්ත පිටිගල් කෝරළේට ගම් 139ක් අයත් වුණා. මේ අන්දමට බෙන්තර ගඟේ මෝයත් දැදුරුඔය මෝයත් අතර බස්නාහිර වෙරළට ඇතුළෙන් සබරගමු පළාත් සීමාව තෙක් තියෙන කෝරළ නවයක් ගැන තොරතුරු සාකච්ඡා කළා. මෙන්න මේ කෝරළ නවය නව කෝරළය කියන නමින් හ¾දුන්වන බවයි පැහැදිලි වෙන්නේ. මීට පරි බාහිරව තියෙන කෝරළ ගැනත් අපි සැකෙවින් දැනගනිමු.

හත් කෝරළය

කෝට්ටේ රාජ්‍යයට අයිතිව තිබුණු හත් කෝරළය ගැන කියනවා නම් පත්තු හතකින් සමන්විත නිසා ඊට හත් කෝරළය නම ව්‍යවහාර කරන බවයි පෙනෙන්නෙ. ඒ පත්තු හැඳින්වෙන්නෙ හත්පත්තු නමිනුයි. දෙමළ හත් පත්තුව, කටුගම්පොල හත්පත්තුව, දේවමැදි හත් පත්තුව, වන්නි හත්පත්තුව, දඹදෙනි හත් පත්තුව, වෑඋඩවිලි හත්පත්තුව, හිරියාල හත්පත්තුව කියන්නෙ සත්කෝරළේට අයිති පත්තු හතටයි. මේ හත්කෝරළේට අයිති ගම් 495 අතීතයේදි තිබුණු බවයි පෙනෙන්නෙ. හත්කෝරළේ කියලා හඳුන්වන්නෙ වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික්කයයි. හතර කෝරළේ කියන්නේ කෝරළ හතරකින් සමන්විත සිංහලේ රාජ්‍යට අයිතිව තිබුණු දිසාවක්. ඒ කෝරළ හතර පරණකුරු කෝරළේ, බෙලිගල් කෝරළේ, කිණිගොඩ කෝරළේ, ගල්බොඩ කෝරළේ යනුවෙන් හැඳින්වෙනවා. මේ කෝරළ හතර වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටසක් ලෙසයි තියෙන්නේ.

තුන් කෝරළය

තුන් කෝරළේ් කියලා හඳුන්වන පරණ සීතාවක රාජ්‍යයේ කේන්ද්‍රීය බල ප්‍රදේශය ගැන බලමු. අටලුගම් කෝරළය, දෙහිගම්පල් කෝරළය, පනාවල්කෝරළේ කියන කෝරළ තුනට තමයි තුන්කෝරළය කියලා හඳුන්වන්නෙ. තුන්කෝරළයත් කෑගල්ල දිස්ත්‍රික්කේ කොටසක්. තුන්කෝරළය හතර කෝරළේ හා පාත බුලත්ගම කියන කොටස් තුන එකතුවෙලා වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කය හැදිල තියෙනවා.

පැරණි සබරගමුව රත්නපුර දිස්ත්‍රික්කය ලෙස අද හඳුන්වනවා. සබරගමුවෙ කෝරළ හතක් පිහිටලා තිබුණා. ඒ කුරුවිටි කෝරළේ, නව යොදුන් කෝරළේ, කුකුළු කෝරළේ, අටකලන් කෝරළේ, මැද කෝරළේ, කඩවත් කෝරළේ, කොලොන්න කෝරළේ කියන කෝරළ හතයි. බෙන්තර ගඟේ දකුණු ඉවුරේ ඉඳන් වලවේ ගඟ දක්වාම කෝට්ටේ රාජ්‍යය තිබුණා. මේ ප්‍රදේශයේ වර්තමාන ගාලු දිස්ත්‍රික්කය ගාලුකෝරළය ලෙස හැඳින්වූවා. ගාලු කෝරළේ පත්තුවලට බෙදල තිබුණා. ඒ වැල්ලබඩපත්තුව තල්පෙපත්තුව, හිනිදුම් පත්තුව, ගඟබඩපත්තුව හා බෙන්තර වලල්ලාවිටි කෝරළේ හැටියට. මෙතැනදි විශේෂයක් වෙන්නෙ මේ බෙන්තර වලල්ලාවිට කෝරළය කියන එකයි. ගාලු කෝරළේ අනිකුත් බෙදීම් පත්තු හැටියටත් බෙන්තර ගඟේ දකුණු ඉවුර කෝරළය ලෙසත් හැඳින්වීමේ වෙනස ඇතිවුණේ බෙන්තර ගඟේ උතුරු ඉවුරේ තියන වලල්ලාවිටි කෝරළේ නමේ ආභාසයෙන් විය හැකියි. ගාලු නගරය මේ බෙදීම්වලට අයිතිවුණේ් නෑ. එය කඩවත් හතර නමින් හැඳින්වුණා. වර්තමාන මාතර දිස්ත්‍රික්කෙ කෝරළ කිහිපයක් හා පත්තුවලට බෙදලා තිබුණා. ඒ වැලිගම් කෝරළේ, මොරවක් කෝරළේ, කඳුබොඩ පත්තුව, වැල්ලබොඩ පත්තුව, ගඟබොඩ පත්තුව ලෙසයි. මේ විදියට පරණ කෝට්ටේ රාජධානිය තුළ තිබුණු කෝරළ රාශියක් අපිට පෙන්වන්න පුළුවන් වෙනවා.

ඔන්න ඔය මම විස්තර කරපු කෝරළවලින් වලල්ලාවිටි, පස්යොදුන්, රයිගම්, සල්පිටි, හේවාගම්, සියනෑ අලුත්කුරු, හාපිටිගම් සහ පිටිගල් කියන කෝරළ නවය නව කෝරළය ලෙස හැඳින්වෙනවා. ඕකට කොළඹ නගරයත් එකතු වුණහම කොළඹ නව කෝරළය කියලා හ¼ඳුන්වනවා.

කොළඹ නව කෝරළය

නව කෝරළය ගැන ජිය වෙබකොට තොටමුණු කියලත් කියැවෙන නිසා මේ වෙලාවෙම නව තොටමුණු මොනවද කියලත් අපි සොයා බලමු. තොටමුණු කියන්නෙ කෝට්ටේ සමයෙ භාවිත කළ වරායන්වලටයි. මේ නව කෝරළය පටන්ගන්න දකුණු සීමාව බෙන්තර ගඟයි. මේ ආසන්නයේ පැරණි තොටමුණක් තියෙනවා බේරුවල තොටමුණ. විශේෂයෙන්ම වෙළඳාමේ යෙදුණු මුස්ලිම් වෙළෙ¾දුන් වැඩි වශයෙන් භාවිත කළ වරායක් නිසා බේරුවල අවට මුස්ලිම් ජනතාව වැඩිපුර ජීවත් වෙනවා. ඊළඟට වරායක් තිබුණේ කළුතර මෝය ආශ්‍රිතවයි. එතැන කළුතර තොටමුණ ලෙස හැඳින්වුණා. තවත් වරායක් පානදුර ගංමෝය ආශ්‍රිතව තිබුණා. ඒක පානදුර තොටමුණ ලෙස හැඳින්වුණා. මේ පානදුර තොටමුණෙන් යාපනා රාජ්‍යයේ ආර්ය චක්‍රවර්ති රජතුමා කෝට්ටේ රාජ්‍යයට ආක්‍රමණයක් සඳහා ගොඩබැස්ස බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊළඟට තියෙන තොටමුණ වෙන්නේ කැලණි ගඟ ආශ්‍රිත තොටමුණ වූ කොළඹ වරායයි.

කොළඹ නගරය මේ තොටමුණ ආශ්‍රිත පාලන ප්‍රදේශයයි. වත්තල ආශ්‍රිතවද පැරණි තොටුපළක් වූ බවට සාධක පවතී. වර්තමානයේ ද ධීවර කටයුතු සඳහා යොදා ගැනෙන ධීවර වරායක් හැඳල ආශ්‍රිතව ඇත. ඉන් පසුව මීගමුව ආශ්‍රිතව වරායක් මෙන්ම වෙනම පාලන ඒකකයක්ද විය. ඒ අනුව මීගමුවද පැරණි තොටමුණක් සේ හඳුනාගත හැකිවේ. මීගමුවෙන් ඉහළට දැදුරු ඔය, මෝදර දක්වා මහ ඔය, ගිං ඔය හා දැදුරු ඔය මෝදරවල් බටහිර වෙරළට විවෘත වනු දැකිය හැකියි. මේවා ආශ්‍රිතව අතීතයේ වරායන් පැවැතීම සාමාන්‍යයෙන් සිදුවන්නට ඇත. හලාවත ප්‍රදේශයේ මුතුපර පිහිටා තිබූ බැවින් මුතු කිමිදීම ව්‍යාපාරයක් ලෙස අතීතයේ සිටම සිදුව ඇත. මේ මුතු මිලදී ගැනීම සඳහා දහස් ගණන් ජනී ජනයා ගැවසුණු වෙළෙඳ වරායක් ඒ ආශ්‍රිතව පිහිටා තිබූ බව නිසැකය. ඊට අතිරේකව ඉරණවිල ප්‍රදේශය වර්තමානයේද ධීවර වරායන් ස්ථාපිතව ඇත. මේ අනුව නව තොටමුණට අදාළ ඉතිරි තොටමුණු මීගමුව‍ෙදාරත් දැදුරු ඔය මුව‍ෙදාරත් අතර ස්ථාපිතව තිබෙන්නට ඇතැයි සිතීම සාධාරණය.

කොළඹ හිටපු දිසාපති සුනිල් කන්නන්ගර