කෝටි 36 මැණික් හොරාගෙ දරු පවුලෙ දුක දැකපු මුදලාලිගෙ කරුණාව

0
108

පුරාණ විද්‍යාත්මක වස්තූන් බොහොමයක් ඇති ගාලු කොටුව මේ වන විට දේශීය මෙන්ම විදේශිකයන්ගේද සිත් දිනාගත් ඓතිහාසික ස්ථානයකි. ගාලු කොටුවේ සංචාරය සඳහා පැමිණෙන බොහෝ දෙනකු එහි පිහිටා තිබෙන සමුදුර කෞතුකාගාර නැරැඹීමට අමතක නොකරති. වර්තමානයේ ගාලු කොටුව තුළ ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අධිකරණ සංකීර්ණය ඇතුළු වගකිව යුතු ආයතන රාශියක් මෙන්ම වෙළෙඳසල් සංකීර්ණයක්ම පිහිටා ඇත.

සමහර වෙළෙඳසල් විදේශිකයන් වෙනුවෙන්ම පවත්වාගෙන යන්නකි. මැණික් සහ ස්වර්ණාභරණ අලෙවිහලක් වන අයිඩා වෙළෙඳසලද මේ අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. විදේශිකයන් වෙනුවෙන්ම පවත්වාගෙන යන මෙම අයිඩා වෙළෙඳසල් දිවයිනේ ප්‍රමුඛ සංචාරක නගර කිහිපයකම පවත්වාගෙන යන්නකි. වටිනා මුතු මැණික් හා දියමන්තිවලින් සැකසුණු දෑ බොහොමයක් මෙම වෙළෙඳසල් තුළ විදේශිකයන්ගේ සිත් ඇද ගන්නා විලාසයෙන් තැන්පත් කර තිබේ.

ඉකුත් දින ජූලි මස 3 වැනිදා උදෑසන  ගාලු කොටුවේ පිහිටා ඇති අයිඩා මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳසලේ කළමනාකාර උදාර සම්පත් මහතා ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණ සිටියේ සිය වෙළෙඳසල බිඳ එහි තිබූ මැණික් හා ස්වර්ණාභරණ කිසිවකු විසින් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් යොමු කිරීම සඳහාය. කළමනාකරු ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ වන විටත් සිද්ධිය ඔහු විසින් දැනගෙන තිබිණි.

අයිඩා සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඒ බව ඒ වන විටත් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති හා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දී තිබූ අතර ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමත් සමඟ හෙතෙම ඒ වන විටත් ක්‍රියාත්මක වී තිබිණි.

“මම 2 වැනිදා රෑ 7.30ට විතර ෂොප් එක වහලා අද උදේ නවයයි තිහට විතර ෂොප් එක ඇරියා. අරින කොටම මම දැක්කා ෂොප් එක හැම තැනම වීදුරු කටු වැටිලා තියෙනවා. තවත් බලනකොට වීදුරු කබඩ් ඇරලා. ජුවලරි දාපු පෙට්ටිවල තියෙන ජුවලරි අරගෙන, ඒවයේ පෙට්ටි එහෙ මෙහෙ දාලා තිබුණා. මට හිතුණා කවුරු හරි ඇතුළට ඇවිත් ජුවලරි හොරකම් කරලා කියලා. හැබැයි ෂොප් එකේ ‍ෙදාරවල් ඇරපු බවක් පෙනුණේ නැහැ. ෂොප් එක ඇතුළෙත් එළියේත් සී.සී.ටී.වී. කැමරා තියෙනවා. කෝකටත් මම බොස්ට කතා කරලා සිද්ධිය කිව්වා. බොස් කිව්වා පොලිසියට යන්න කියලා.

කළමනාකාර උදාර සම්පත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ කියන්නට විය. ඔහුගේ පැමිණිල්ල සටහන් කිරීමට උපදෙස් දීමෙන් අනතුරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කණ්ඩායමක් සමඟ ගාලු කොටුවේ පිහිටි අයිඩා මැණික් සහ ස්වර්ණාභරණ අලෙවිහල වෙත ගියේය. ඒ වන විට ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජේ‍යෂ්ඨ නිලධාරීන්ද සිද්ධිය ගැන දැඩි අවධානයක් යොමු කර තිබූ අතර ස්ථානයට ගිය නිලධාරීන්ගේ උකුසු ඇස් යොමු වූයේ සැකකරු මෙම අලෙවිසලට ඇතුළු වූ ආකාරය සොයා ගැනීමටය.

පොලිසිය සඳහන් කළේ වෙළෙඳසල තුළ තිබුණු රුපියල් කෝටි 36කට ආසන්න මැණික් සහ ස්වර්ණාභරණ පැහැර ගෙන ගොස් තිබූ බවය.

ඒ සමඟම ගාල්ල සොකෝ නිලධාරීන් ඇඟිලි සලකුණු නිලධාරීන් මෙන්ම නිල සුනඛයාද වෙළෙඳසල වෙත කැඳවා තිබිණි.

“ඉන් පස්සේ අපි ඒරියා එකම සීල් කරලා මේ සොරකම් කරපු ආකාරය සොයලා බැලුවා. ෂොප් එක ඇතුළේ තියෙන සී.සී.ටී.වී. කැමරා චෙක් කළා. එළියේ තියෙන කැමරා බැලුවා. එතකොට අපිට පෙනුණා එක්තරා පුද්ගලයෙක් කරේ බෑග් එකකුත් එල්ලගෙන බිත්තියක් දිගේ ෂොප් එකට නඟිනවා. මිනිහා කලිසමක් ඇඳලා හිටියේ, මුහුණ සම්පූර්ණයෙන්ම වහගෙන හිටියේ. මිනිහා ෂොප් එකේ වහලෙන් උඩ තට්ටුවට ඇතුළු වෙනවා. වහලෙන් බහින්නේ ෂීට් එකක් කඩලා.

මිනිහා ෂොප් එකට ඇතුළුවෙන්නේ පාන්දර දෙකට විතර. පස්සේ මිනිහා ෂොප් එක ඇතුළේ බලබල පහළ තට්ටුවට යනවා. මිනිහා මේකේ සී.සී.ටී.වී. කැමරා තියෙනවා කියලා දැනගෙන වෙන්න ඇති එහෙම මුහුණ වහගෙන යන්නේ. ඒත් එක්කම මිනිසා ලයිට් ඕෆ් කරනවා. කරලා ටෝච් එකක් ගහගෙන පහළ තට්ටුවට ගිහින් මිනිහා වටිනවයි කියලා හිතන අතට අහුවුණු රත්රන් බඩුයි, මැණිකුයි, දියමන්ති අරගෙන අර කරේ පිටිපස්සේ එල්ලගෙන ආව බෑග් එකට දාගන්නවා.

පස්සේ අර ආපු විධියටම ආයේත් සිවිලිමෙන් වහලට නැඟලා ආපු ඒ විධියටම තාප්පයෙන් බැහැලා යනවා. එතකොට වෙලාව පාන්දර 3.45යි. ඒත් අපිට මිනිහා හඳුනාගන්න බැහැ.

පස්සේ අපි පාර දිගේ තියෙන සී.සී.ටී.වී. චෙක් කළා. එහෙම චෙක් කරද්දී අපිට පෙනුණා කැමරාවක මිනිහා පාර දිගේ කුඩයකුත් ඉහළගෙන ටවුම පැත්තට යනවා. කුඩේ ඉහළගෙන යන්නේ පාරේ තියෙන සී.සී.ටී.වී. කැමරාවලට මිනිහාගේ මූණ කවර් කරගෙන.”

“කොහොම හරි මිනිහා ගාල්ල බස් ස්ටෑන්ඩ් එක ළඟට එනකම්ම කැමරාවල සටහන් වෙලා තිබුණත් එතැනින් එහාට කිසිම කැමරාවක මුකුත් සටහනක් නැහැ. ඒ නිසා අපි හිතුවා එතැනින් එහාට මිනිහා බස් එකක නැඟලා යන්න ඇති කියලා.”

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමේදී ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

එතැන් පටන් පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාද විමර්ශන භාරගෙන නිලධාරීන්ට උපදෙස් දෙමින් සැකකරු කොටු කර ගැනීම සඳහා වෙහෙසව කටයුතු කළේය.

ඉන් අනතුරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු අපරාධ විමර්ශන නිලධාරීන් මීට පෙර මෙවන් සොරකම්වල යෙදුණු පුද්ගලයන් ගැන තොරතුරු සොයන්නට වුහ. සොරකම් තනිවම සිදුකරන පුද්ගලයන් ගැනත් එවැනි හොරකම් කිරීමෙන් පසු හිරේ විලංගුවේ වැටී මේ වන විට නිදහස්ව පැමිණි පුද්ගලයන් ගැනත් එකිනෙක කරුණු කාරණා සොයන්නට වූහ.

“ඉන් පස්සේ අපි මේ පුද්ගලයාගේ රූපය සටහන් වුණු කැමරා දර්ශන ‘සූම්’ කර කර මිනිහාගේ ගමන් විලාසය නිරීක්ෂණය කළාට මිනිහාගේ අඩුපාඩු, ඇඟේ තියෙන සලකුණු ඉතා සියුම්ව පරීක්ෂා කළා. එමඟින් හරි මිනිහා කවුද කියලා හඳුනා ගන්න. ඔහොම දින ගණනාවක් පරීක්ෂා කර කර එක එක සැකකරුවෝ පස්සේ පන්න පන්න ඉන්න කොට මාතර පොලිසියේ රාලහාමි කෙනකුට තොරතුරක් ලැබුණා.”

එම තොරතුර ලැබී තිබුණේ තිහගොඩ පොලිසියේ රාජකාරි කරන කොස්තාපල් චනුක මෙන්ඩිස්ටය. (67794).

චනුක තිහගොඩ පොලිසියට පැමිණ තිබුණේ සානුකම්පිත හේතු මත තාවකාලික රාජකාරි සඳහාය. අයිඩා ජුවලරි වෙළෙඳසල කඩා බිඳ රුපියල් කෝටි ගණනක රන්, මැණික්, දියමන්ති පැහැරගෙන ගිය බව ඔහුට දැනගන්නට ලැබිණි. කලක් මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කළ චනුක අපරාධ විමර්ශනය ගැන වැටහීමක් ඇති නිලධාරියෙක් විය.

චනුකද මෙම අපරාධය ගැන විමසිලිමත් විය. දවස් පහක් තිස්සේ තනිවම තොරතුරු සෙවීය. එය ඉතා වෙහෙසකාරී විය. ඒත් චනුක සිය උත්සාහය අත් හැරියේ නැත. රන් ආභරණ ආයතනයට ඇතුළු වූ පුද්ගලයා හඳුනා ගැනීමට චනුකට හැකි වූයේ ඒ උත්සාහය නිසාය. වහා ඔහු මේ බව පොලිසියේ උසස් නිලධාරීන්ට දන්වා සිටියේය. එය විමර්ශනයට මහඟු වටිනාකමක් ගෙන දුන්නේය.

චනුක දුන් තොරතුරු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශන කණ්ඩායම වෙත යොමු කළේය. ඒ සමඟ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද සැකකරු ගැන අවධානයෙන් සිටියහ.

චනුක කළ ක්‍රියාවේ වටිනාකම දත් පොලිස්පතිවරයා වහා ඔහුට ගාල්ල මූලස්ථාන පොලිසියට මාරු වීමක් ලබාදුන්නේ විමර්ශනය සාර්ථකව සිදුකරන්නටය. ඒ ඉකුත් 11 වැනිදාය. ඉන් අනතුරුව විමර්ශන කණ්ඩායමට එක්වූ ඔහුද සැකකරු කොටු කර ගැනීමේ මෙහෙයුමට උර දුන්නේය. සැකකරු ගැවසෙන ස්ථාන මෙන්ම ඔහු සැරිසරන ප්‍රදේශ කරාද චනුක ඇතුළු නිලධාරීහු අවධානයෙන් සිටියහ.

ගතවූයේ දින දෙකකි. සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ලබාගැනීමට චනුක සමත් විය. සැකකරු මත්කුඩු පානය කිරීම සඳහා දඩල්ලට බස් රියක පැමිණෙන බවත් චනුකට දැනගත හැකි විය. ඔහු වහා මේ බව උසස් නිලධාරීන්ට කීවේය.

පොලිස් අධිකාරි උපුල ක්‍රියාත්මක විය. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළුව චනුකද සිය නිල රථයේ දමාගත් පොලිස් අධිකාරිවරයා ලැබුණු තොරතුරට අනුව දඩල්ල බලා යමින් සිටි පෞද්ගලික බස් රිය පසුකරගෙන ගොස් මාර්ගය හරස් කර රථය නතර කළේය. නිලධාරීන් වහා බසය නතර කර එහි සිටි මගීන් එකිනෙකා පිරික්සන්නට විය. ඒ බස් රිය තුළ සිටි සැකකරු හඳුනා ගැනීමටය. සැකකරු හැඳ සිටින්නේ දම් පාට සහ සුදු පැහැති කමිසයක් බවටත් තොරතුරු ලැබී තිබිණි. නිලධාරීන් බසය පිරික්සද්දී සැකකරු හීන් සීරුවේ  මගීන් අතරින් ලිස්සා යන්නට උත්සාහ දරද්දී චනුක වහා ඔහු හැඳිනගෙන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද සමඟින් ඔහු අල්ලා ගත්හ.

සැකකරු යමින් සිටියේ මත්කුඩු පානය කිරීමට බව තහවුරු විය. පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකව රුපියල් පනස් දහසක් විය. එහෙත් ඔහු අයිඩා ජුවලරි සාප්පුව කැඩූ බව පිළිගත්තේ නැත. එහෙත් පොලිස් නිලධාරීන් ඔහුට වඩා දක්ෂ විය. ඔහුගෙන් ඇත්ත නැත්ත දැනගැනීමට පොලිස් නිලධාරීන්ට එතරම් වේලාවක් ගියේ නැත. සී.සී.ටී.වී. කැමරාවල සටහන් රූපද පරීක්ෂා කිරීමෙන් පසු රන් ආභරණ ආයතනයට කඩාවදින්නේ මොහු බව ස්ථීරවම තහවුරු කරගත් පොලිස් අධිකාරිවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් ඉන් අනතුරුව කෝටි 36 සොරකමේ සුල මුල එකින් එක අනාවරණය කරගත්තේය.

සැකකරු සම්පත් කුමාර නමැති උඩුගම, 18 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් විය. උද්‍යාන අලංකරණ කිරීමේ රැකියාවක නිරත මොහු දැඩිසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු විය.

“මට කරදර කරන්න එපා සර් මම ඇත්ත කියන්නම්. මම ගත්ත බඩු සේරම මගේ ගෑනිගේ මහගෙදර වත්තේ ටොයිලට් එක පිටිපස්සේ වළදාලා තියෙනවා. මම ඒ සේරම දෙන්නම් සර්”

“එතකොට උඹ ළඟ ඔය රුපියල් පනස් දාහක් කොහෙන්ද?”

“එතැන තියෙන බඩුවලින් එක මුද්දක් මම විකුණුවා සර්. ඒකෙන් හම්බ වුණු සල්ලි තමයි මේ…”

“කොහේටද ඒක විකුණුවේ…”

සම්පත් කුමාර ඇත්තම කීවේය. ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු පොලිස් අධිකාරි සෙනෙවිරත්න මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායම වහා සැකකරුද සමඟ ඔහුගේ බිරියගේ මහ ගෙවල් පිහිටි උඩුගම, 18 කණුව, අලුත්වත්ත ප්‍රදේශයට ගියහ. සැකකාර සම්පත් නිලධාරීන් ඉදිරියේ සොරා ගන්නා ලද රන්, මැණික්, දියමන්ති වළ දැමූ ස්ථාන දෙකක් පෙන්වා සිටියේය. ඒවා ප්ලාස්ටික් කෑන්වල අසුරා වළ දමා තිබිණි. සමහරක් රන් ආභරණ සිගරැට් පැකට්ටු තුළද බහා තිබිණි.

එහි එක් වළක රිදී ස්වර්ණාභරණ තොගයක් විය. නිලධාරීන්ට එය මහත් ප්‍රශ්නයක් ගෙන දුන්නේය. ඒ අයිඩා ජුවලරි ආයතනයෙන් රිදී ස්වර්ණාභරණ සොරකමක් ගැන පැමිණිලි නොලැබී තිබූ නිසාය.

“උඹට කොහෙන්ද මේ රිදී බඩු”

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සැකකරුගෙන් විමසීය.

“සර්.. ඒවා ගත්තේ විමලරත්න එක කඩලා” සැකකාර සම්පත් කීවේය. පසුව කළ විමර්ශනයේදී හෙළි වූයේ ගාල්ල, ජාකොටුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන ආයතනයකට ඇතුළු වී එහි තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක රිදී ස්වර්ණාභරණ මෙසේ කොල්ල කා ඇති බවය. එම ආයතනයටද මොහු ඇතුළු වී තිබුණේ වහලෙනි.

කෙසේ වෙතත් අයිඩා ජුවලරි ආයතනයෙන් සොරාගත් කෝටි 36කට ආසන්න රන්, දියමන්ති, මැණික් අතරින් මොහු විකුණා තිබුණේ එක මුද්දකි. එහෙත් ජාකොටුවැල්ල ආයතනයෙන් සොරාගත් ස්වර්ණාභරණ තවත් දෙදෙනකු සමඟ එක්ව විකුණා මුදල් ලබාගෙන තිබිණි.

නිලධාරීන් සමඟ අයිඩා ජුවලරි ආයතනයේ හිමිකරුද උඩුගම ප්‍රදේශයේ සැකකරුගේ බිරිය සහ දරුවන් පදිංචිව සිටි නිවෙසට ගොස් තිබිණි.

ස්වර්ණාභරණ සොයා ගැනීමෙන් පසු ආයතනයේ හිමිකරු සැකකරුගේ බිරිය අමතමින් විමසුවේ ‘ඇයි නංගි මෙච්චර මිලියන ගාණක බඩු වළදානකම් ඔයා දැක්කේ නැද්ද යනුවෙනි.”

අනේ මහත්තයෝ මම මේ මුකුත් දන්නේ නැහැ. එදා රෑ මමයි දරුවෝ දෙන්නයි රෑට කන්න විධියක් නැතිව බඩගින්නේ හිටියේ. මාමණ්ඩි තමයි පාන්ගෙඩි දෙකක් ගෙනත් දුන්නේ. පාන් කන්න පොල් සම්බෝලයක් හදන්න මම කුස්සියට ගියාම තමයි…”

ඇය දෙනෙතින් වැගිරෙන කඳුළු කැට අත්ල පිසදමමින් හිමිකරු සහ නිලධාරීන් ඉදිරියේ පවසන්නට වූවාය. ඒ කතාව ඇසුණ අයිඩා හිමිකරුගේ හිත උණු වී ගියේය. තම ආයතනයේ රුපියල් කෝටි ගණනක ස්වර්ණාභරණ, මැණික්, දියමන්ති සොරකම් කළ පුද්ගලයාගේ බිරිය හා දරුවන් කෙරෙහි හදවත උණුවුණු හිමිකරු තම අත තිබූ රුපියල් තිස් පන්දහසක මුදලක් ඇය අත තැබීය.

“පින් සිද්ධ වෙයි මහත්තයෝ…”

ඇය හීන් සැරේ මිමුනුවාය. “ඔය සල්ලිවලින් ගෙදරට අඩුපාඩු ටිකක් ගන්න…” හිමිකරු කීවේය.

කිසිම මිනිහෙක් කරන දෙයක් නෙමේ මහත්තයා කළේ. වෙන අය හොරුන්ට වෛර කරනවා. මහත්තයා ඒ අයගේ දරුවන්ට කන්න මුදලුත් දුන්නා. එතැන සිටි ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේය. 

අල්ලාගත් රන්, මැණික්, දියමන්ති සහ රිදී තොගය ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති, ගාල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු සෙසු නිලධාරීන් ඉදිරියේ පරීක්ෂාවට ලක් වූ අතර ඒවා හඳුනා ගැනීම සඳහා අයිඩා සමූහ ව්‍යාපාර අධිපතිවරයාද පැමිණ තිබිණි.

සිද්ධිය සඳහා ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සහ පොලිස් පරීක්ෂක වසන්ත ඇතුළු කණ්ඩායමක් යොදවා තිබූ අතර පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්නගේ මෙහෙයවීම යටතේ විමර්ශන සිදු කෙරිණි.

මීට වසර කිහිපයකට කලින් මෙම ආයතනයටම අයත් කළුතර උතුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ස්වර්ණාභරණ හලක්ද කඩා බිඳ රුපියල් ලක්ෂ ගණනක ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් තිබූ අතර එවකට කළුතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රවි විජේගුණවර්ධන මහතාගේ මෙහෙයවීම මත එම රන් ආභරණ තොගයද සමඟ සැකකරුද අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත්දා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. එදිනද පොලිස් නිලධාරීන් සමඟ අයිඩා ආයතන සමූහයේ හිමිකරුද අධිකරණ භූමිය වෙත පැමිණ සිටියහ. ඒ අතරතුර අයිඩා හිමිකරුගේ නෙත ගැටුණේ අත්අඩංගුවට ගෙන සිටි සැමියා දැකබලා ගැනීමට පැමිණි ඔහුගේ බිරිය වෙතය.

කළ වරද පිළිගැනීමෙන් පසු ගාල්ල මහෙස්ත්‍රාත් පවිත්‍ර පතිරත්න මහත්මිය ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන්නට නියම කළාය. ඇඟිලි සලකුණු වාර්තා ලබාගැනීමෙන් පසු දඬුවම් පමුණුවන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එමෙන්ම සැකකරු සොරකම් කළ රුපියල් කෝටි 36ක මැණික්, ස්වර්ණාභරණ, දියමන්ති තොගය අධිකරණ නියෝග මත ආයතනයේ හිමිකරුට ලබාදීමට පොලිසියට නියෝග කෙරිණි.

දෑතට මාංචු දැමූ සැමියා බන්ධනාගාර බසයෙන් රැගෙන යෑමෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටතට යමින් සිටි ඔහුගේ බිරිය අසලට ගිය ස්වර්ණාභරණ ආයතනයේ හිමිකරු ඇගේ සහ දරුවාගේ සුව දුක් විමසා ඔවුන් වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂයක මුදලක් ඇය අත තබන්නට තරම් කාරුණික වූයේය.

එමෙන්ම දින දහයක් ඇතුළත මෙවන් රුපියල් කෝටි ගණනක සොරකමක් සිදුකළ පුද්ගලයා කොටු කර ගැනීමට දායක වූ කොස්තාපල් චනුක මෙන්ඩිස් (67794) නිලධාරියා දුන් තොරතුර විමර්ශනයේ සාර්ථක භාවයට ඉවහල් වූ අතර මෙවන් නිලධාරීන්ගේ දක්ෂතාව අගය කිරීම පොලිස්පතිවරයා ඇතුළු දකුණු දිසාවේ උසස් පොලිස් නිලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි. එවන් පහළ නිලධාරීන් අගය කිරීම තුළින් මෙවන් විමර්ශනවලට සෙසු නිලධාරීන්ගේ දායකත්වය හා උනන්දුව, කැපවීම ලබාගැනීමට හැකිවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

විමර්ශන සාර්ථක කර ගැනීම සඳහා ගාල්ල මූලස්ථාන පොලිසියට ස්ථාන මාරු ලබාදී තිබූ කොස්තාපල් චනුක එම විමර්ශන අවසන් කිරීමෙන් පසු නැවත තිහගොඩ පොලිස් ස්ථානය වෙත අනුයුක්ත කර තිබිණි.

දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ අදාළ කොස්තාපල්වරයා කළ සේවය අගය කරන බවත් ඉදිරියේදී ඔහුට ත්‍යාගයක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, ගාල්ල කොට්ඨාස භාර හිටපු ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙහෙය වීමෙන් ගාල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජී.ජී. ආනන්ද, පොලිස් පරීක්ෂක වසන්ත උප පරීක්ෂක නුවන් තරංග සහ මෙන්ඩිස්, සැරයන්වරුන් වන නිරෝෂන් (34357), හසන්ත (58987), චන්ද්‍රසේන (7964), චතුරංග (2986), කොස්තාපල්වරුන් වන විහඟ (93790), චාමික (26884), චතුරංග (93254), සුරංග (74643), උෟෂාන් (72878) සහ නිමන්ත (3804) ඇතුළු නිලධාරීහු මෙම විමර්ශනයට එක්ව සිටියහ.

කීර්ති මෙන්ඩිස්