කඳුළු ගෑස් ගර්භණී අම්මලාටත් හානි කරනවා

0
166

මෑතක සිට අප දකින, අපට පෙනෙන දුර්ලභ ඝනයේ සිදුවීමක් බවට පත්වී තිබෙන්නේ කඳුළු ගෑස් ප්‍රහාරය. ඒ කඳුළු ගෑස් ප්‍රහාරවලදී දැන් දැන් ඇසෙන්නට දකින්නට ඇත්තේ කල් ඉකුත්වූ කඳුළු ගෑස් පවා අරගලකරුවන් වෙනුවෙන් පාවිච්චි කෙරෙන බවය. ඊට සාපේක්‍ෂව ඊළඟට අපට නිරන්තරයෙන්ම දකින්නට ලැබෙන තවත් සිදුවීමක් බවට පත්වී තිබෙන්නේ පෙට්රල් පෝලිම්වල ඉන්නා ජනතාව බටයක් ආධාර කොට ගෙන වාහනයේ ටැංකිවල ඇති තෙල් බෝතල්වලට එකතු කිරීමට ගන්නා උත්සාහයය.

මේ කාරණා දෙකම නිරෝගී පුද්ගලයන් රෝගී වීමට තදින් බලපාන්නේය. ඒවා නොකළයුතු දේවල් බව වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසය. මේ පිළිබඳව සොයා බැලීමට අප ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතාව සම්බන්ධ කර ගත්තේ අරගලයේ නියුතු ජනතාව හා තෙල් පෝලිම්වල ඉන්නා පිරිස දැනුවත් කිරීමේ අදහසින් යුතුවය.

“මේ කාලයේ කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්වෙන පිරිස අධිකයි. අපි මුල සිටම ‘මව්බිම’ පුවත්පත හා එක්ව මේ සම්බන්ධව ජනතාව දැනුවත් කළා. එහිදී අපි මනාව කරුණු දක්වමින් කිව්වේ කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක් නොවී ඉන්නා තරමට හොඳයි කියලා. මොකද මෙහිදී වැඩිපුරම අවදානම් සහගත තත්ත්වයට පත් වන්නේ හුස්ම ගන්න බැරි විදිහේ අපහසුතා ඇතිවූ විටයි.”

“ඇත්තටම කිව්වොත් කඳුළු ගෑස්වල ඇති රසායනික ද්‍රව්‍යවලින් සංවේදී ස්නායුවලට තමයි වැඩිපුර බලපෑම් ඇතිවන්නේ.”

“මේ නිසා කඳුළු ගෑස්  ප්‍රහාරයකට ගොදුරුවූ සැණින්ම පිරිසුදු ජලයෙන් ඔබේ දෙනෙත් විනාඩි 10-15 ක් පමණ සෝදා දැමිය යුතුයි. ඒ වගේම පිරිසුදු වාතාශ්‍රය ඇති තැනකට යා යුතුයි.

මෙහිදී ඇතැමුන් කඳුළු ගෑස් වැදුණු සැණින් දුවනවා. වේගයෙන් ඇවිදිනවා. ඒක සුදුසුම නැහැ. එමඟින් පෙණහලුවලට ඇතිවන  බලපෑම වැඩියි.

කඳුළු ගෑස් ප්‍රහාරවලදී අපි සැලකිය යුතුම දේ හැටියට සඳහන් වන්නේ ආරක්‍ෂාවය. එහෙත් මෑතකදී එල්ල වුණු බොහෝ කඳුළු ගෑස් ප්‍රහාරවලදී කල් ඉකුත්වූ කඳුළු ගෑස් පිළිබඳව කතා බහ වැඩිවිය. මේ සම්බන්ධව අපේ විශේෂඥ වෛද්‍යවරයා ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.

“දැනට කල් ඉකුත්වූ කඳුළු ගෑස් පිළිබඳව ඇති ගැටලු පිළිබඳව එතරම් තොරතුරු වාර්තා වන්නේ නැහැ. ඒ කියන්නේ මේ සම්බන්ධව සුදුසු පරීක්‍ෂණ සිදුවී නැහැ. ඒ නිසා නිට්ටාවටම මෙසේ වන බව පැහැදිලිව කියන්න බැහැ.”

නමුත් කඳුළු ගෑස් නිසා පෙර කී විදිහට ඇතිවන අපහසුතාවන්ට කාන්තා පාර්ශ්වයට ඇතිවන මාසික ඔසප් චක්‍රයේ සංකූලතා හා ගර්භණී කාලයේදී සිදුවන ගැටලු සම්බන්ධව වාර්තා වී තිබෙනවා. ඒ නිසා කාන්තා පාර්ශ්වය ඒ සම්බන්ධවත් ප්‍රවේශම් වෙන එක හොඳයි.

මීට අමතරව මේ කාලයේ බොහෝ දෙනා කරන තවත් නරක දෙයක් වන්නේ බටයක් ආධාර කොටගෙන කටින් පෙට්රල් උරන එකය. මෙසේ උරා ගන්නා තෙල් කෑන් එකකට හරි බෝතලයකට හරි ඔවුන් තෙල් එකතු කරන්නේ ටැංකියට වැඩිපුර තෙල් ටිකක් ලබා ගැනීමේ අදහසින්. ඇත්තටම මේක නුසුදුසු දෙයක්. මේ නිසාවෙන් ඔබේ පෙණහැල්ලට සිදුවන හානිය ඉතා වැඩි බව කිව යුතුයි.

තෙල් පෝලිම්වල සිටින බොහෝ දෙනා මෙසේ ටැංකියේ ඇති තෙල් එකතු කරන්නේ කිසිදු වග විභාගයකින් තොරවය. එහිදී මේ සම්බන්ධව වැඩිපුර යොමුවී සිටිනු දක්නට ලැබෙන්නේ යතුරුපැදි පදවන අයයි. වෛද්‍ය කපිල පියසේන මහතාගෙන් අප මේ පිළිබඳව තවදුරටත් විමසා සිටියේ පසුගිය දිනෙක කරාපිටිය රෝහලේදී තරුණ වෛද්‍යවරයකු පවා මේ හේතුව නිසාවෙන් මියගිය නිසාය.

පෙට්රල් හා ඩීසල්වල තියෙන රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට සුදුසුම නැහැ. මේ නිසා තමයි ජීවිත හානි පවා ඇති වන්නේ.

මීට පෙර අපිට හමුවී තිබෙන රෝගීන් දෙස අවධානය යොමු කළොත් ඔවුන් හැමෝම වගේ ගැරේජ්වල වැඩකරන අය. දැන් තමයි තෙල් පෝලිම්වලත් එවැනි මරණ ගැන අහන්න ලැබෙන්නේ.

ඇත්තටම තෙල් කටින් උරන්න ගැනීම නිසා පෙණහැල්ලට විතරක් නෙවෙයි ගලනාලයට හානි සිදුවෙනවා. විශේෂයෙන්ම ඩීසල් නිසා පසුකාලීනව පිළිකා රෝගීන් බවට පවා පත්වීමේ ප්‍රවණතාව වැඩියි.

මේ නිසා අපි මෙහෙම අයට එසේ කරන්න එපා කියන ගමන් මෙහෙමත් කියන්න වෙනවා.

ඔබ බැරි වෙලාවත් මේ විදිහේ තත්ත්වයකට මුහුණ දී තෙල් බටයෙන් තෙල් පෙවුණොත් වමනය කරන්න එපා. ඉබේම වමනය කළොත් කරන්න දෙයක් නැහැ. නමුත් වුවමනාවෙන් කරන්න එපා. මොකද එහෙම වුණාම තමයි පෙණහැල්ලට වගේම ශරීරයේ අභ්‍යන්තරයට තවත් දරුණු විදිහට හානි සිදුවෙන්නේ.

මෙවැනි අයට මුලින්ම වමනය වගේම ක්ලාන්ත ගතිය, හිසරදය, ඇඟපත මලානික වීම, වලිප්පුව, සිහි නැතිවී යෑම විතරක් නෙවෙයි, මරණය වුණත් සිදුවෙන්න පුළුවන්.

තවත් අයට මුත්‍රා වගේම ඉබේම අසූචි පිටවෙන්නත් පුළුවන්. ඒ එවැනි මොහොතක ඇතිවන රෝගී තත්ත්ව. නමුත් පසුකාලයේදී වකුගඩුවලට වගේම බඩවැල්වලට වගේම උගුරේ ආබාධ වුණත් ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි.

මේ නිසා පෙරකී රෝගී ලක්‍ෂණ ඇතිවුණත් විතරක් නෙවෙයි. ඔබට යම් කිසි අපහසුතාවක් දැනෙනවා නම් වහාම රෝහලකට යන්න. මොකද මේ විදිහට රසායනික ද්‍රව්‍ය රැසක් අඩංගු පෙට්රල් හා ඩීසල් ඔබේ ශරීරයට සුදුසුම නැති නිසා.”

සාමාන්‍යයෙන් අපේ රටේ බොහෝ දෙනා අකමැත්තෙන් වුවද මේ තහනම් ක්‍රියාවට සම්බන්ධ වී සිටින්නේ පවතින තෙල් ගැටලුවට මුහුණ දිය නොහැකි නිසාය. එහෙත් ජීවිතය මේ හැම දේකටම වඩා වටිනා බව අප මතක් කළ යුතුමය. නිරෝගීකම ඒ හැම දේකටම වඩා ඉදිරියෙන් සිටිනා බවත් අප යළි යළිත් මතක් කර ගත යුතුමය.