ඊර්ෂ්‍යාව කේ‍රා්ධය වපුරන්නා සැබෑ මුස්ලිම්වරයෙක්ද?

0
17

මිනිසාට ආගමක් ලැබී ඇත්තේ නිවැරැදි මාර්ගයේ ජීවත්වීමට මිස එකිනෙකා භේදකොට වෙන් කිරීමට නොවන බව තේරුම් ගත යුතුය. මෙය සිදුකළ යුත්තේ විවිධත්වය තුළ එකමුතුකම ගොඩනැඟීම තුළින්ය. මෙම කරුණ හොඳින් තේරුම් නොගන්නේ නම් මිනිසාට කිසිමදාක සැනසීමෙන් ජීවත්වීමට ලැබෙන්නේ නැත.

පරමාණුවේ සිට දැවැන්ත ක්‍ෂීරපථ දක්වා වූ සෑම දෙයක්ම අනේ‍යාන්‍ය වශයෙන් එකමුතුව ක්‍රියාකිරීම නිසා විශ්වය විනාශ නොවී පවතින්නේය. එසේම පරමාණුව තුළ අනේ‍යාන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධන ආරෝපණ සහ ඝෘණ ආරෝපණවලින් යුක්ත අංශු කිසිම විරුද්ධත්වයක් නොමැතිව ඉතා හොඳින් බැඳී පැවතීම නිසා ඒවායේ පැවැත්ම සිදු වන්නේය. තවද විශ්වයේ ඇති ගිනිගෙන දැවෙන තාරකා සහ ග්‍රහවස්තු ඉතා හොඳ සමඟියකින් එකතු වී තිබීම නිසා ඒවා විනාශ නොවී තිබෙන්නේය. එහෙත් මිනිසාගේ ඊර්ෂ්‍යාව, කේ‍රා්ධය, වෛරය සහ තණ්හාව නිසා සහයෝගයෙන් ජීවත් වීම අපහසු වී ඇත.

සෑම දහමකින්ම උගන්වා ඇත්තේ මිනිසාට හොඳ කිරීමට මිස නරක කිරීමට නොවේ. ඉස්ලාම් දහම මේ සඳහා බොහෝ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් පෙන්වා දී ඇත. අසල්වැසියා කුමන ජාතිකයෙක් වුවත් ඔහු බඩගින්නේ සිටින විට ඔහුට නොදී තමන් පමණක් කුස පිරෙන්නට කන්නේ නම් ඔහු නබිතුමාගේ අනුගාමිකයෙක් නොවන බව පවසා ඇත. තවද තමන්ට ලැබෙන දෙයක් තව කෙනෙකුට ලැබෙනවා නම් එහිදී ඔහු වෙනුවෙන්   ඊර්ෂ්‍යාවත් කේ‍රා්ධයත් ඇතිවනවා නම් ඔහු සැබෑ මුස්ලිම්වරයකු නොවන බවද නබිතුමා පවසා ඇත. මේවායින් පෙනී යන්නේ මුස්ලිම්වරයකු තමන්ට මෙන්ම අනෙක් අය වෙනුවෙනුත් ජීවත් විය යුතුයි යන්නයි.

ඉස්ලාම් දහමේ අනිවාර්ය කොට ඇති සෑම ආගමික කටයුත්තක් වෙනුවෙන්ම ජනතාව එකමුතු වන්නේය. ඒ අනුව මුස්ලිම්වරු දිනපතා ඉටුකරනු පස්වේලා සලාතය සාමූහිකව සිදුකරනු ලැබීමෙන් උස් පහත් භේදයකින් තොරව සෑම කෙනකුම උරෙන් උර ගැටී සිට ගෙන සහෝදරත්වය පෙන්නුම් කරනු ලබති. උපවාසය සකාත් සහ හජ් වන්දනයද එසේමය. උපවාසය නිසා ඇති හැකි අය නැති බැරි අයගේ කුසගින්න ගැන හොඳින් වටහා ගනිති.

ධනවතුන් ඔවුන්ගේ වස්තුවෙන් නියමිත කොටසක් වසරක් පාසා නැති බැරි අයට දීමෙන් ඔවුන් අතර අනේ‍යාන්‍ය වශයෙන් හොඳ හිත වර්ධනය කර ගනිනි. එසේම හජ් වන්දනයේදී ලෝකයේ වෙසෙන සෑම භාෂාවක්ම කතාකරන සෑම රටකටම අයත්වන වෙනස් වර්ණයන් තිබෙන සියලුදෙනාම සහෝදරත්වය පෙන්නුම් කරනු ලබති.  මෙයින් ලැබෙන පුරුද්ද නිසා මුස්ලිම්වරුන්ට ඕනෑම ජාතියක් සමඟ සුහදව ජීවත්වීම ප්‍රශ්නයක් වන්නේද නැත.

කෙසේ වෙතත් මුස්ලිම්වරුන් පිළිබඳ බොහෝ දෙනකුට ඇත්තේ වැරැදි මතයන් වීමට හේතුව ඉස්ලාම් දහම ගැන ඔවුනට නිසි අවබෝධයක් නොමැතිකම විය හැකිය. මේ නිසා ඔවුන් කළ යුත්තේ ඉස්ලාම් දහම ගැන සමාජයේ පවතින කටකතාවලට නොරැවටී නිවැරැදි මූලාශ්‍ර මඟින් ඉස්ලාම් දහම හදාරා එම වැරැදි මත දුරු කර ගැනීමය.

මුස්ලිම්වරුන් පිළිබඳ කුමන කෙනකු වැරැදි කීවත් ඔවුන්ගෙන් තවත් කෙනකුට යහපතක්ම වනවා මිස අයහපතක් සිදු නොවිය නොහැකිය.  මුස්ලිම් නමින් පෙනී සිටින කෙනකුගෙන් එවැනි වැරැදි සිදුවන්නේ නම් එය එම තැනැත්තාගේ වැරැද්දක් මිස ඉස්ලාම් දහමේ වැරැද්දක් විය නොහැකිය.  ලෝකයේ වෙසෙන මිනිසුන් සමඟ සස¼දා බැලීමේදී අදටත් දහම සමඟ වැඩිම බැඳීමක් ඇති ජාතිය ලෙස මුස්ලිම්වරුන්ව පෙන්වා දිය හැකිය.

එකමුතුකම බලය වේ. එහෙත් බොහෝ අයට අවශ්‍යව තිබෙන්නේ එකමුතුකම විනාශකොට ඔවුන්ගේ බලය රැක ගැනීමයි. මෙය ලොවපුරා දැකිය හැකි අලුත්ම ප්‍රවණතාවකි. අල්කුරානයට අනුව මිනිස් වර්ගයා පැවත එන්නේ එක් මවකගෙන් සහ පියකුගෙන්ය. එම නිසා ලොව සිටින සියලුම දෙනා සහෝදරියන් වේ.

“මිනිසුනි, නියත වශයෙන්ම අපි නුඹලාව පිරිමියකුගෙන් සහ ගැහැනියකගෙන් මැවුවෙමි. තවද නුඹලා එකිනෙකාව හඳුනා ගැනීම පිණිස ජාතීන් ලෙසද ගේ‍රා්ත වශයෙන්ද නුඹලාව පත් කළෙමු”

(කුර්ආනය 49:12)

මල් වත්තක අලංකාරය ඇති වන්නේ එහි විවිධ වර්ගයේ ගස් කොළන් සහ විවිධ පාටවල මල් තිබුණොත් පමණි. එකම වර්ගයේ සමනලුන් සිටි විට එහි දැකුම්කලු බවක් නැත. එම නිසා විවිධ වර්ගයේ සමනලුන් සිටිය යුතුය. මිනිසාටද විවිධ හැකියාවන් තිබේ. ඒවා නිසි පරිදි ප්‍රයෝජනයට ගත්විට රටක් දියුණු කළ හැකිය. එසේම රටක විවිධ භාෂාවන් කතා කරන අය සිටිති. විවිධ ආගම් අදහන අය සිටිති. ඒ සියලු දෙනාම රටක පුරවැසියන් වන විට එක සමානව සැලකිය යුතුය. කෙනෙක් තවත් කෙනකුගේ ආගමට ගැරහිය යුතු නැත. ඒවායේ වැරැදි සෙවීමට වඩා තමන්ගේ වැරැදි හදාගැනීම ඉතා වැදගත්ය. මේ නිසා කුරානය මෙසේ පවසා ඇත.

“ඔවුන් අල්ලාහ් හැර නමදින වෙනත් දේවල්වලට අපහාස නොකරනු. එසේ කළහොත් ඔවුන් දැනුම නොමැතිකමින් වැරැදි විදියට අල්ලාහ්ට අපහාස කරනු ඇත. මෙලෙසම අපි සෑම සමූහයාටම ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාරවත් කර පෙන්වා ඇත්තෙමු. අනතුරුව ඔවුන්ගේ සමිඳුන් වෙතම ඔවුන් යනු ඇත. එවිට ඔහු (අල්ලාහ්) ඔවුන් කරමින් සිටි දේවල් ගැන ඔවුනට දන්වා සිටිනු ඇත.

(කුර්ආනය 16: 108)

විය යුතු බොහෝ දේවල් දැන් සිදුවී හමාරය. අප අනාගත පරපුරවත් මෙම විනාශයෙන් ගලවා ගැනීමට ක්‍රියා කළ යුතුය. නැතහොත් අපට දෙවියන්ගේ කෝපයට පාත්‍ර වීමට සිදුවනු ඇත. එවිට අපගේ මතු පරම්පරාවත් අපට ශාප කරනු ඇත. මිනිසා කුමන මතයක් දැරුවත් යම් දවසක මරණයට පත් වන්නේය. එදාට ඔහු ගෙන යන්නේ තමන් කළ හොඳ හෝ නරක පමණි. මෙය හොඳින් තේරුම් ගන්නේ නම් මිනිසා වැඩි වැඩියෙන් හොඳ කිරීමට පෙලඹෙනු ඇත. එහෙත් අවාසනාවට බොහෝ අයට මරණය අමතක වී ඇති නිසාදෝ ආගම් නිසාද දේශපාලන මතනිසාද භේද භින්න වෙමින් කුළල් කන්නෝය. මෙය ජාතී භේද නොසලකා හොඳින් තේරුම් ගත යුතුය.

ශෙයින් අබිදුල්ලාහ් අබ්දුල්

රහ්මාන් දේශකතුමාණන්