ඉල්ලන්න ඔබට දෙනු ලැබේ සොයන්න ඔබට සම්බවේ

0
40

පිපුණ මලේ රුව

ඒ එම දනී දෝ

මලකි දුවේ නුඹ

හැඩ රුව බලන්නෙපා

හැඩ රුව බලන්නෙපා

නැති බැරිකම – මුතු මාල හතක් වී

නැති බැරි කම – මුතු මාල හතක් වී

කඩුල්ල පැන ඒ

නුඹ අත කර ළනදා

නුඹ අත කර ළනදා

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක හා රංගන ශිල්පී ලූෂන් බුලත්සිංහලයන් රචනා කළ එම ගීතයට හඬ මුසු කරන්නේ විශාරද නන්දා මාලනියයි.

තමන්ට උරුම දිළිඳුකම නිසා නිවෙසේ මුළුගැන්වී සිටින දියණියට සිය මව කියනවා ‘දුව ලස්සනයි. මගේ දුව හැඩකාරයි. ළඟදීම සහකරුවෙක් ඔබව සොයාගෙන එයි’ කියලා.

ඇත්තටම අද බොහෝ අය තමන්ට ඇති දේ ගැන සෑහීමකට පත් වෙන්නෙ නැහැ. නිතරම බලන්නෙ තමන්ට ඇති දේ ගැන ප්‍රමාණවත් නොවන විධියට. තමන්ට වඩා අනෙක් අයට ඇති දේ ගැන හිතමින් ළත වෙනවා. තමන්ට ඉතා හොඳ උසස් ප්‍රමිතියෙන් යුතු දෙයක් තිබුණත් ඊට වඩා හොඳ ඉස්තරම් පන්නයේ දෙයක් ගැන කල්පනා කරනවා, සිහින මවනවා.

උදාහරණයක් විධියට අපි මෙහෙම හිතමු, සන්නිවේදනය අපි පටන් ගත්තේ මොනතරම් ප්‍රාථමික මට්ටමින්ද? අද කවුරු හරි තමන්ගෙ කෙනකුගෙ අත සැප සනීප අහල ලියුමක් යවනවා නම් ඒ බොහොම කලාතුරකින් තමයි. සමහරු ලියුම් කියවන්නෙත් නැහැ. සියලු තොරතුරු දැන ගන්නෙ දුරකථනය මඟින්. ඉස්සර අපි සන්නිවේදනය කළේ දුරකථනයෙන් සවන්දීමෙන් හා කතා කිරීම මඟින්. නමුත් දැන් ලෝකයේ කොහේ හිටියත් ඒ ඉන්න තැන පරිසරය ඇතුළුව කතා කළ යුතු අයගේ රූපය දිහා බලාගෙන අපේ සන්නිවේදනය කරන්න පුළුවන්. නමුත් ඊටත් වඩා තවත් ප්‍රබල සන්නිවේදන ක්‍රම සොයන්න පර්යේෂකයන් උත්සාහ ගනිමින් ඉන්නවා. ඒ පවතින තත්ත්වයෙන් තෘප්තිමත් විය නොහැකි නිසා. එය ග්‍රහණය කර ගැනීමට ග්‍රාහකයින් බලා සිටිනවා. නමුත් ආපසු හැරී බැලුවොත් කෙනකුට පණිවිඩයක් දෙන්න මෙන්ම කෙනකුගෙන් පණිවිඩයක් ලබා ගන්නත් තව ක්‍රම කොපමණ අපට තියෙනවාද? ඒත් සමහර අවස්ථා අපේ හිතට මදියි. අපේ සිතින් විමසුවතොත් අපට කියන්නෙ තවත් දේ රැස්කර ගන්න කියලා.

බයිබලයේ අපට උගන්වන්නෙ කියාදෙන්නෙ අප එකතු කරගත යුත්තේ එලොවට වැඩදායක දේ බවයි. එලොවට වැඩදායක වන්නට නම් දෙවියන් වහන්සේගේ නාමයෙන් හෙවත් උන්වහන්සේ මුල්කර ගනිමින් කරන ක්‍රියා. නමුත් අපි බොහෝ වෙලාවට දකින්නෙ අහන්න ලැබෙන්නේ මිනිසුන් විසින් කරන දේවල්.

මිනිසුන්ගෙන් ප්‍රසිද්ධිය ලබා ගන්න. මිනිසුන් අතරින් හොඳ නම තියාගන්න. අපි අනන්තවත් දැකලා තිබෙනවා ඇතැම් අයගේ නම මුල් කරගෙන ක්‍රීඩාගාර, ප්‍රජාශාලා, පාසල්, පස්නැවතුම්පොළවල්, සතිපොළවල් ආදි තවත් බොහෝ ස්ථාන නම් කර තියෙනවා. ඇතැම් අයට සත් ගුණවත් සමාජ සේවක ජන හිතකාමී ආදී යෙදුම්වලින් හඳුන්වනවා. සමහර විට ඒ අය තමන්ගේ ගමේ මළ ගෙවල් පහකටවත් නොගිය අය වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට කීර්තිධර නමක් ආරෝපණය කිරීමෙන් තවත් පිරිසකට යමක් කමක් කරගන්න පුළුවන්. හේතුව මිනිසුන්ගේ නම මුල්කර ගනිමින් කරන වැඩ නිසා. අධික වස්තු දේපළවලට උරුමකම් කියන නිසා. එයින්ම නම බබළන නිසා.

ඊට බයිබලයේ දැක්වෙන්නේ මෙවන් අදසක්. එය ක්‍රිස්තුන් වහන්සේගේම ප්‍රකාශයක්.

“මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩද, කාවෝද, ඒවා කා දමති. හොරුද උමං කැණ ඒවා සොරා ගනිති. එහෙත් ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කර ගන්න. එහිදී මලකඩවත් කාවෝවත් ඒවා නාස්ති නොකරති. සොරුද උමංකැණ ඒවා සොරා නොගනිති. ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් එතැනය.” (මතෙව් 6.19-21)

මොනවද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන මේ වස්තුව? මොනවද විනාශ වෙන්නේ? මොනවද විනාශ නොවන්නේ? මලකඩ හෝ කාවුන් කා නොදමන්නේ?

මෙලොව අපේ ජීවිත කාලය ඉතා සීමා සහිතයි. දැන් අපේ ආයු ප්‍රමාණය දළ වශයෙන් අවුරුදු හැට පහක් පමණ කියලා කියනවා. සංඛ්‍යා ලේඛන මඟින් උපුටා දක්වනවා. නමුත් අපි සමාජයේ දකින සමහර පුද්ගලයන්ට තියෙන දේපළ වස්තුව උරුමය දිහා බැලුවම කල්පනා කළාම ඒවා පරම්පරා ගණනකට ඇති. නමුත් අයිතිකරු ජීවත් වන්නේ කොපමණ කෙටි කාලයක්ද? සාමාන්‍යයෙන් කියන්නෙ කැස්බෑවෙක්, ඉබ්බෙක් වසර හාරසියයක් තරම් ජීවත් වෙන්න ආයුෂ තියෙනවා කියලා. එතකොට මහා දේපළක් උරුමකම් කියන්නෙ එවැනි  සතෙක් වගේ ජීවත් වෙන්නද? අන්න එතැනදී හොඳින් හිතලා බලන්න. අක්කර සිය දහස් ගණනක් ඉඩම් තියෙන අය තවත් අක්කර දහස් ගණනක් වතුපිටි තියෙන අය නිවාස, වාහන, ගොඩනැඟිලි තියෙන අය ‘දැන් මට මේ ඇති’ කියා හිතලා තෘප්තිමත් වෙනවද? නැද්ද?

සමහර වෙලාවට හිතෙනවා ඒ ඉඩමට වත්තට යන්න හොඳ පාරක්. ඒ පාරෙ කොනටම විදුලිය සපයන්න. පරණ වාහන අලුත්වැඩියා නොකර විකුණන්න. ඒත් අඩුවට නෙවෙයි. හැකි උපරිම ඉහළ මුදලකට. ඊට පස්සේ සුපිරි මට්ටමේ ඉස්තරම් පහසුකම් තියෙන තවත් වාහන තොගයක් ගන්න. සෑහීමකට පත්වෙනවද නැහැ. ඒ පාර මෙන්න ආරංචි වෙනවා තමන්ට තර්ජන ගර්ජන වැඩියි කියලා. කවුරු හරි කෙළින් මූන බැලුවත් සැකයි. ඒ මනුස්සයගෙන් පස්සේ කරදර වෙයි කියලා. ඇයි මේ තරම් අසුබවාදී ප්‍රශ්න සිහි උපද්දවා ගන්නේ? බලන්න ක්‍රිස්තුන් වහන්සේගෙම වචන “ඔබේ වස්තුව කොතැනක ඔබේ සිතත් එතැනය.” (ශු. මතෙව් 6.21) හරිම පැහැදිලියි සරලයි.

බලන්න අපි මේ දිනවල අපි නිතර සැලකිලිමත් වෙනවා විදුලිය විසන්ධි වන වේලාව දැන ගන්න කල් තියාම. අපි නොසිතන වෙලාවක විදුලිය විසන්ධි වුණාම සොයනවා ගිනි පෙට්ටිය, ඉටිපන්දම තියෙන තැන. ඇයි ඒ? අපේ ආරක්‍ෂාවට. රාත්‍රියට පවතින අනාරක්‍ෂිතකමට අපි අකමැති නිසා.

අපිට අසනීපයක් වුණාම කොහොමද? වෛද්‍යවරයා හමුවෙන්න යනවා. වෛද්‍යවරයා පැමිණෙන වෙලාව ගැන විමසිලිමත් වෙනවා. තමත්ගෙ වාරය එනතුරු නොඉවසිලිමත් වෙනවා. හේතුව අපි ලෙඩ වෙන්න කැමැති නැහැ. ලෙඩෙක් කියලා හඳුන්වනවට අපි ආස නැහැ. ඒ වගේ තමයි අපි හරි හම්බ කරගත් දේ සොර සතුරන්ට ගොදුරු වනවට අපි  අකමැතියි. අපි කැමැති දේ අපෙන් නැති වෙනවට අපට ධනය වස්තුව කීර්තිය දේපොළ අධිකව තිබෙන හැම දෙනාම එහෙම නැහැ. එවන් අය අතරත් අල්පේච්ඡ ජීවිත ගත කරන අය සිටිනවා. තමන්ට ඇති සියලු දේ අහිමි වන බව තේරුම් ගෙන ජීවත් වෙන අය සිටිනවා. කොටින්ම තමන් මැරෙන බව, නැසෙන බව අවබෝධ කරගෙන දිවි ගත කරන අය ඉන්නවා.

ඇත්තටම අපට ජීවත් වෙන්නට අනාගත පරිභෝජනයට තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපට අවශ්‍ය ආකාරයට ප්‍රමාණවත් දේ තිබෙනවා. නමුත් අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. අපට යම් නිවේදනයක් නිකුත් කළ පසුව, එනම්, දින දෙකකට ජල සැපයුම අත්හිටුවනවා හදිසි අලුත්වැඩියාවක් වැනි නිවේදන එලෙස නිකුත් කරනු ලැබේ. එවිට අපි ඉක්මනින්ම ජලය පුරවා රැස්කර ගන්නවා. එහිදී පැය ගණන් ඇතුළත දින කිහිපයකට සෑහෙන ලෙස ජලය පරිස්සම් කර ගැනීමට අප කටයුතු කරනවා.

ඒ අපි කරදර වෙන්න කැමැති නැති නිසා. අන්න ඒ වගේ අපි අනෙක් දේ ගැනත් පුරුදු වෙනවා නම් හැඩ ගැහෙනවා නම් පිටතින් අපට එන කරදර අඩුයි. බලන්න අද තමන්ට කියල නිවෙසක් නැති මිනිස්සු කී දෙනෙක් ඉන්නවාද? පවුල් කීයක් නම් මහ මඟ කඩපිල්වල පාරවල් දෙපස හිසට සෙවණක්, කුසට අහරක් නැතිව ඉන්නවද, දිවි ගෙවනවද? ඒ වගේම හිතන්න කිසිවකු හිමිකමක් නොකියන හෝ හිමිකමක් තිබුණත් කවුරුවත් නැතිව හතර වටේ වල් වැදුනු නිවාස කීදාහක් අපේ රටේ තියෙනවාද? කිසිම ප්‍රයෝජනයකට ගන්නෙ නැතිව සියලු පහසුකම් සහිතව අත්හැර දැමුණු ගොඩනැඟිලි කොතරම් අපේ රටේ තිබෙනවාද?

අපි අහල තියෙනවානේ “බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ” කියල කියමනක්. ඒ වගේ තමයි සමහර වෙලාවට අපි වුණත් පොදි ගහගෙන තියෙන දේවල්. තවත් කෙනකුට භාවිත කළහැකි, තවත් කෙනකුට අලුත්වැඩියා කරගෙන ප්‍රයෝජනයට ගත හැකි දේවල් කොපමණ අපට තියෙනවාද? නමුත් අපි සමහර වෙලාවට හිතුණොත් ඒවා දෙනවා. නොහිතුණොත් අතනින් මෙතනට මෙතනින් වෙන තැනකට දාලා විනාශ කර ගන්නවා.

ක්‍රිස්තුන් වහන්සේ තම පළමු අනුගාමිකයන්ට හෙවත් අපි ඔවුන් හඳුන්වන්නෙ ශ්‍රවකයන් කියලා. ඔවුන්ට යාච්ඤා කරන හැටි ඉගැන්වූ ආකාරයේ තුනක දැක්වෙනවා.

“අපගේ දවස් පතා භෝජනය අද අපට දුන මැනව” (මතෙව් 6.11) යනුවෙන් ඒ කියන්නෙ අපට අදට අවැසි දේ ගැන හිතමු. අනාගතය ගැනත් හිතන්න ඕනි තමයි. නමුත් මෙහිදී ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නෙ මම මට මගේ කියමින් හෝ අපි අපට අපේ කියමින් තොග පිටින් ගොඩ ගහගන්න එපා කියලා. අපට ප්‍රමාණවත් දේ තබා ගනිමු. තවත් අයට ඇති සම්පත් බෙදා ගන්නට අවස්ථාව දෙන්න කියලයි. මීට හොඳ අත්දැකීමක් සහිත උදාහරණයක් මම දක්වන්නම්. දංකොටුවෙ තියෙනවා ළමා අධ්‍යාපනික ආයතනයක්. අපි එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දෙව්සත්හල කියාය.

පැවිදි ජීවිතයට ඇල්මක් දක්වන පිරිමි දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය එහිදී ලබා දෙනවා. එහි රජයේ අනුමත පාසලක්ද තියෙනවා. එම ආයතනයේ දරුවන්ගේ නඩත්තුවට විශාල වියදමක් දැරිය යුතු නිසා එහි අධ්‍යක්‍ෂ පියතුමා දවසක් දරුවන් සමඟ වැඩ කරන කොට කියනවා “දැන් පුතේ එළවළු පලතුරු හරි මිලයි. ඒත් ඒවා උසස් තත්ත්වයෙනුත් අඩුයි. මම හිතනවා පුතාලා අතරේ කෘෂිකර්මයට භෝග වගාවට දක්‍ෂ ළමයි ඉන්නවා කියලා. ඒ නිසා අපට අවශ්‍ය එළවළු අපි වගා කරමු කියලා” ළමයින්ට හරි සතුටුයි. හේතුව තමයි දරුවන්ට වැටහුනා පියතුමා ඔවුන්ව අගය කිරීම ගැන.

ළමයි පිරිසක් ළහි ළහියේ පාත්ති සකස් කළා. තව පිරිසක් එළවළු පැළ ගේන්න ගියා. තව පිරිසක් එදිනෙදා ආහාරයට ගන්න එළවළුවලින් බීජ තෝරා ගෙන වේළෙන්න සකස් කළා. දැන් සියලුම පාත්ති සූදානම්. ඒවායෙ තියෙනවා. ගෝවා, මාළු මිරිස්, අමු මිරිස්, වම්බොටු, කෙසෙල්, කරවිල, කතුරුමුරුංගා, දෙහි ආදිය හොඳට සරුවට වැවෙනවා. පිරිසක් උදේට වතුර දානවා. තව කණ්ඩායමක් හවසට සාත්තු කරනවා. බලන්න ඒ පියතුමා හිතුවෙ දරුවන්ගෙ දක්‍ෂතාවයෙන් සහ තමන් සතු සම්පත් කළමනාකරලා ඉන් ප්‍රයෝජන ගන්න. අපි නොහිතුවට අපට ඇති අපට හැකි කොපමණ දේ තිබෙනවාද?

අපට ඇති දේ ගැන සොයන්න. විමසන්න. සැලකිලිමත් වෙන්න දිරිගන්වන ප්‍රකාශයක් කරනවා ක්‍රිස්තුන් වහන්සේ මෙහෙම.

“ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. සොයන්න ඔබට සම්බවේ. තට්ටු කරන්න ඔබට ‍ෙදාර අරිනු ලැබේ” කියලා (ශු. ලූක් 11.9)

“ඉල්ලන්න” කියන්නෙ යදින්න. අයැදීම. දෙවියන් වහන්සේට විවෘත වන්න. තම ඉල්ලීම දෙවියන් වෙත යොමු කරන්න. “සොයන්න” තමන් තුළ දෙවියන් වැඩ සිටිනවාද? තමන් දෙවියන් වහන්සේ පිළිගැනීමට සූදානම්ද? “තට්ටු කරන්න” තමන් ඉල්ලන දේ තමන්ට මෙන්ම අනෙක් අයටද යහපත පිණිසද එය සමාජයට වැඩදායක පිණිසද තමන්ගේ හෘද සාක්‍ෂියෙන් විමසන්න. අපි යාච්ඤා කරනවා කියන්නෙ දෙවියන් වහන්සේට ඇහුම්කන් දෙන එකයි. කෙනෙක් හිතන්න පුළුවන් දෙවියන් වහන්සේ කතා කරන හඬ ඇහෙනවාද කියලා. ඇත්තෙන්ම ඒ හැඟීම දැනෙන්නෙ අපේ හදවතටයි. හෙවත් දැනෙනවා උන්වහන්සේ අප සමඟයි කියලා.

බයිබලයේ උත්පත්ති කතාවෙ තියෙනවා දෙවියන් වහන්සේ ලෝකය මවා එය තවත් වැඩි වර්ධනය කරන්නට  මිනිසාට පැවරුවා කියලා.

එහෙම නම් අපට මොනවද කරන්න බැරි? අපට මොනවද නැත්තෙ? ඇත්තටම අපට බොහෝ දේ ප්‍රමාණයටත් වඩා අධිකව තියෙනවා. අවාසනාවකට පළමුව අපට උපදින්නෙ අසුබවාදී චේතනාවක්. මට බැහැ. අපිට අමාරුයි කියලා හිතෙන අවස්ථාව මුලින්ම බැහැර කළොත් බොහෝ දේ සාර්ථක කරගන්න පුළුවන්. දිනාගන්න පුළුවන්. අපේ සංතෘප්තිය වන්නෙ ජීවිතය දිනා ගැනීමයි. අන් ජීවිතද ගොඩනැඟීමට අත දීමයි. ඒ අපේ මනුස්සකමයි.

මංගල ජයවර්ධන

ගිංතොට

ජාතික කතෝලික සංවිධානය