ආශාවට කොයින්ද වයසෙන් බාධා

0
659

ආශාවන් (desire) කියන දේවල් හරිම පුදුමාකාරයි. විවිධාකාර වූ මිනිස් ආශාවන් හරිම කෙටීකාලීන වුණත් මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරන්නෙත් ආශාවන්ම තමයි. ආශාවන් ගැන පාදක කරගෙන නිර්මාණය වුණු අමුතු විධියේ හොලිවුඩ් චිත්‍රපටයක් තමයි X කියන්නේ. අවුරුද්දේ ආපු වෙනස්ම ගණයේ හොරර් – ස්ලැෂර් ටයිප් එකේ ෆිල්ම් එකක් විදියට “X” චිත්‍රපටය ගැන විචාරකයන්ගෙන් සහ ප්‍රේක්ෂකයන්ගෙන් තිබෙන්නේ ධනාත්මක ප්‍රතිචාර. මොකක්ද ස්ලැෂර් (Slasher) කියන්නේ? ස්ලැෂර් කියන්නේ චිත්‍රපට ප්‍රවර්ගයක් (Genre) ‘ස්ලැෂර්” ටයිප් එකේ ෆිල්ම් එකක් කියන්නේ එක් මිනීමරුවෙක් විසින් මිනිසුන් පිරිසක් පසුපස හඹාගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ ත්‍රාසජනක චිත්‍රපට ප්‍රභේදයක්. උදාහරණයක් විදියට ඇල්ෆ්‍රඩ් හිචිකොචි අධ්‍යක්ෂණය කරපු “Psycho” වගේ ෆිල්ම් එකත් අයත් වෙන්නේ ස්ලැෂර් කියන චිත්‍රපට ප්‍රභේදයට.

“X” චිත්‍රපටයේ කතන්දරය සඳහා කාලාවකාශය බවට පත්වෙන්නේ ඇමරිකාවේ 1979 කාල වකවානුව. නිල් චිත්‍රපට (Blue Film)  නිළියක් වන “මැක්සින් මින්ක්ස්” සහ ඇගේ පෙම්වතා වන වේන්, සෙසු නළුවන් වන Bobby –Lynne සහ Jackson Hole චිත්‍රපට අධ්‍යක්ෂ RJ සහ RJගේ පෙම්වතිය ලොරේන් සමඟින් ඇමරිකාවේ ටෙක්සාස් වෙත චාරිකාවක නිරත වන්නේ වැඩිහිටියන්ට පමණයි ගණයේ චිත්‍රපටයක් (adult film) රූගත කිරීමේ අරමුණෙනි.

මොවුන් චිත්‍රපටය රූගත කිරීම සඳහා ටෙක්සාස් ප්‍රදේශයේ පාළු ප්‍රදේශයක පවතින ගොවිපළක් තෝරා ගන්නා අතර මෙම ගොවිපළ පවත්වාගෙන යන්නේ වයස අවුරුදු 60ක් පමණ වයස්ගත වූ දෙපළක් විසිනි. මෙම ගොවිපළහි වාසය කරන වයස්ගත කාන්තාව විසින් මොවුන් රහසිගතව රූගත කරන ලිංගික දර්ශන දකිනවා. එතැන් පටන් මැක්සීන් ඇතුළු චිත්‍රපට කණ්ඩායමට අත්විඳින්නට සිදුවන්නේ බිහිසුණු අන්දමේ දරුණු ගණයේ සිදුවීම් මාලාවකටය.

නියම “හොරර්” රසය සමඟ භයංකාරීත්වය කැටි වූ සන්ත්‍රාසගත අත්දැකීමක් නොඅඩුව රූප විද්‍යාව (iconography) උපරිමයෙන් යොදා ගනිමින් හොරර් චිත්‍රපටයන්ට නවමු හැඩයක් සහ අපූර්වාත්මක නවෝත්පාදනයක් ලෙසින් චිත්‍රපටය පුරාවටම කුතුහලය (Thriller) වහනය වන Horrific ගතිය ඉස්මතු කරන ලේ වැකි දර්ශනවලින් මුසපත් කරනවා. පැයයි විනාඩි හතළිස් අටක් පුරාවටම ප්‍රචණ්ඩත්වය සමඟ මුසුවන ඝාතන රැල්ලක ස්වභාවය නිරූපණය කරන්නේ දාම ඝාතක ( Serieal Killer) චිත්‍රපටයක ලක්ෂණ පෙන්වනවා. චිත්‍රපටය ආරම්භ වන්නේම කතාවේ මුල, මැද සහ අග පිළිවෙළින් නොවේ.

ඒ නිසාම චිත්‍රපටයේ අවසානය වන තුරුම කුතුහලය වැඩි කරන්නට කතාව කීමේ ආකෘතිය බලපාලා තිබෙනවා. Cinematography සහ Combination එක ක්ලැසික් – හොරර් චිත්‍රපටයක ලක්ෂණ පෙන්වන්නට හේතු වන අතර චිත්‍රපටයේ මූලික තේමාව බවට පත්වන වයසට යෑම, තාරුණ්‍යය සහ අතීතයට ඇති ආශාව සහ අහිමි වූ ලිංගික ආශාව පිළිබඳ අදහසක් චිත්‍රපටයේ යටි පෙළින් මතු කරන බවක් පෙනෙන්ට තිබෙනවා.

“X” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Ti West විසින්ය. චිත්‍රපටයේ රඟපාන නළු නිළියන් අතර Mis Goth Jenna Ortega, Martin Henderson, Brittany Snow, Owen Campbell, Stephen Ure සහ Scott Mescudi (Kid Cudi)  වේ. ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නේ වෙනස් ධාරාවේ හොරර් ෆිල්ම්ස් නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගත් “A24” චිත්‍රපට නිෂ්පාදන ආයතනය විසිනි. “A24” නිෂ්පාදන ආයතනය විසින් නිර්මාණය කරපු ජනප්‍රිය ගණයේ Horror Films චිත්‍රපට තමයි Hereditary (2018), Midsommar (2019), “The Lighthouse (2019) වගේ Cult Clssic ටයිප් එකේ හොරර් ෆිල්ම්ස්. චිත්‍රපටය මුළුමනින්ම පාහේ රූගත වී ඇත්තේ නවසීලන්තයේ. IMDB ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මීටරය 6.6/10 දක්වා කරකවපු “X” චිත්‍රපටය, රොට්න් ටෝමැටෝස් හෙවත් කුණු තක්කාලි වෙබ් අඩවියට අනුව 62%ක ලකුණු සංඛ්‍යාවක් ලබා ඇති අතර ගූගල් අන්තර්ජාල අඩවියේ ඉන්න සිනමා පරිශීලකයන්ගේ (Google Users) 90%කගේ මනාපය දිනාගන්නට “X” චිත්‍රපටය සමත් වෙනවා.

“X” ලැබූ සාර්ථකත්වයත් සමඟ මෙහි එකක් ලෙස Pearl නමින් චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිත බව අධ්‍යක්ෂ “ටයි වෙස්ට්” පවසා තිබුණා. කාලයක පටන් හොරර් නමැති ශානරීය චිත්‍රපටයන් පිළිබඳ කතා කළහොත් හොලිවුඩය තුළ පැමිණෙන බොහෝමයක් හොරර් ශානරයට අයත් චිත්‍රපටයන් එකම සාම්ප්‍රදායික රාමුවකට කොටුව අලුත් යමක් ලබා දෙන්නට වූ අපොහොසත්කම නිසාවෙන් ප්‍රේක්ෂකයන්  හොරර් චිත්‍රපටවලින් අෑත්වීමක් දක්නට ලැබුණා. ආගමට සීමා වූ හුදු ප්‍රපංචයනුත්, ලේ පමණක් සහිත දර්ශනයන් සහ ශබ්ද සහ රූප හරඹයක මායාවනුත්, යටගිරියෙන් මොරදීම් වැනි සිනමා ප්‍රයෝග නිසාවෙන් හොරර් චිත්‍රපට එකම රාමුවකට සිර වී තිබීම දක්නට ලැබිණි. “X” යනු මෑතකදී නැරඹූ ගුණාත්මක හොරර් චිත්‍රපටයකි. වෙනස් විධියේ ⁣හොරර් චිත්‍රපටයක ආස්වාදය ලබාගන්නට කැමැති නම් “X” කියන්නේ නරඹන්නට ඊට සුදුසුම චිත්‍රපටයක් විදියට ඉහළින්ම නිර්දේශ කරන්නට කැමැතියි.

මලින්ත විතානගේ