අරගල කලබල මැද්දේ ලන්ඩන් ඉඳන් ආපු ගමනායක බිරිය ‘මව්බිම’ට කී රහස්

0
139

කරුණා ගමනායක ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වූ උපතිස්ස ගමනායකගේ බිරියය. ඇය දැනට පදිංචිව සිටින්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය. ජනතා විමුක්ති පෙරමුණේ යටිබිම්ගත සංවිධාන කටයුතුවල නිරතව සිටියදී 1989 නොවැම්බර් 13 වැනිදා මෙරට ආරක්ෂක අංශ විසින් උපතිස්ස ගමනායක අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලදී. එ.ජා.ප. භීෂණ සමයේ අසීරුවෙන් දිවිගලවා ගත් කරුණා ප්‍රථමයෙන් සිංගප්පූරුවටද, අනතුරුව රුසියාවටද, පසුව හන්ගේරියාව, රුමේනියාව, බල්ගේරියාව හරහා ඉතාලියටද ගමන් කළාය. 1993 දී බි්‍රතාන්‍යයට පැමිණි ඇයට බි්‍රතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබාදී ඇත. කරුණා ගමනායක එවකට ලංකාවේ සිටි ඇගේ දරුවන්ද එංගලන්තයෙන් කැඳවා ගන්නා අතර එහිදී උසස් අධ්‍යාපනයක් ලැබූ දියණිය දැන් එරට වෛද්‍යවරියකි. පුත්‍රයා කාර්මික ක්ෂේත්‍රයේ උසස් රැකියාවක නිරතව සිටී.

කරුණා ගමනායක ජ.වි.පෙ. දේශපාලන කටයුතුවලට පිවිසෙන්නේ 1970දී පාසල් සිසුවියකව සිටියදීය. රඹුක්කන ප්‍රදේශයේදී 1971 අරගලයට සම්බන්ධ වන කරුණා දීර්ඝ කාලයක් සිරදඬුවම් විඳ නිදහස ලබා පැමිණ නැවත ජ.වි.පෙ. ගොඩනැඟීමේ කටයුතුවලට දායක වන්නීය. ජ.වි.පෙ. කාන්තා අංශයේ නායිකාවක වන කරුණා 1979දී උපතිස්ස ගමනායක සමඟ විවාහ වීමෙන් පසුව ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් අෑත් වෙයි.

බණ්ඩාරගම, මහවිල ප්‍රදේශයේ රහසිගතව පදිංචිව සිටි ගමනායක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඉතා අසීරුවෙන් දරු දෙදෙනා සහ කරුණා දිවි රැක ගනිති. රට සහ රටේ ජනතාව ගැන ඇති ඇල්ම ආදරය බිඳකුදු අත්නොහැර සිටින කරුණා ගමනායක මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදු වන දේශපාලනික පරිවර්තනයන් කෙරෙහි දැඩි අවධානයකින් සිටිමින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ලන්ඩන් නුවර කේන්ද්‍රකොට පවත්වාගෙන යන බහුජන සංවිධාන රැසකට සම්බන්ධව කටයුතු කරන්නීය. ලන්ඩන් නගරයේ සිදු කෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාරයන්ටද ඇය දායකත්වය දෙන්නීය.

“ගෝඨා ගෝ ගම” අරගලකරුවන් විසින් ගෙනගිය අවිහිංසාවාදී විරෝධතා ව්‍යාපාරයන් පිළිබඳව දැඩි ගෞරවයක් හා ආදරයක් දැක්වූ කරුණා ගමනායක දෙසතියකට පෙර ලංකාවට පැමිණියාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගෝල්ෆේස් පිටියට රැස්වූ ජූලි 9 වැනිදා එම මහජනතාව අතර සිට උස් හ¾ඩින් සටන් පාඨ කියන්නට අවස්ථාව ලැබීම ස්වකීය ජීවිතයේ ලද භාග්‍යයක් මෙන්ම ආශ්වාදනීය අවස්ථාවක්ද වූ බව කරුණා නැවත ලන්ඩන් බලා යෑමට ප්‍රථම පැවැසුවාය. කරුණා ලද විශේෂ අත්දැකීම පිළිබඳව ඇය මෙසේ අදහස් පැහැදිලි කළාය.

කරුණා ගමනායක

“ලන්ඩන් නගරයේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන් අතර විවිධ බහුජන සංවිධාන පවත්වාගෙන යනවා. කොළඹ පක්ෂ සංවිධාන හරහා සබඳතා ඇතිව තමයි බොහෝවිට එම කටයුතු සිදුවන්නේ. දේශපාලන රැස්වීම් කරනවා වගේම බහුජන සංවිධාන මඟින් උද්ඝෝෂණ පවත්වනවා. ලංකාවේ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා ව්‍යාපාර උද්ඝෝෂණ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා ව්‍යාපාර උද්ඝෝෂණවලට සහාය පළ කරමින්  බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සමීපයේ සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල අප නිතරම උද්ඝෝෂණ පවත්වනවා.

ලංකාවේ ජනතාව ඉන්ධන, ගෑස්, කිරිපිටි පෝලිම්වල දුක් විඳීම ගැන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයන් දැඩි වේදනාවකින් ඉන්නේ. ලංකාවේ ආණ්ඩුව ගැන ඔවුන් තුළ දැඩි කලකිරීමක් පවතිනවා. ඔවුන් ජනතාවට උදවු කරන්න කැමැත්තෙන් හා සූදානමින් ඉන්නේ. ජනතාවට විශ්වාසදායි ආණ්ඩුවක් බිහි වෙනවා නම් එක පුද්ගලයා පවුම් සීය සීය බැගින් එවලා දැනට තිබෙන පෝලිම් නැතිකර දමන්න ඔවුන්ට පුළුවන්.

ජනතාවට පිළිගත හැකි ආණ්ඩුවක් ඇති වෙලා අපනයන බෝග සංවර්ධනය කර රටේ ආර්ථිකය නැවත තහවුරු කර ගන්නා තෙක් රට ගෙනියන්න අතදෙන්න විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පුළුවන්. විශාල ව්‍යාපාර හිමි ශ්‍රී ලාංකික ධනවතුන් ලන්ඩන් නගරයේ සිටිනවා. ඔවුන් දැනට දේශපාලනයෙන් අෑත්ව සිටියත්, අප සමඟ අදහස් පළ කරනවා රට නිවැරදි වෙනවා නම් ලංකාවට පැමිණ ආයෝජනය කරන්න ඔවුන් සූදානම් බව.

නමුත් විශ්වාසදායි ස්ථාවර ආණ්ඩුවක් නැතිව කිසි කෙනෙක් උදවු කරන්න ඉදිරිපත් වන්නේ නෑ. මේ ආණ්ඩුවට නම් සතයක් එවන්නේ නෑ කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. තමන්ගේ ගෙවල්වල ඥාතීන්ගේ වියදමට සුළු මුදලක් පමණයි ඔවුන් ලංකාවට එවන්නේ. මහජන මුදල් ගසා කන්නෙ නැති නිවැරදි පාලනයක් ඇති වෙනවා නම් ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යන ශ්‍රී ලාංකික ප්‍රජාව මේ රටට ආපසු එන්න පැකිළෙන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් අරයා අඳුරනවා මෙයා අඳුනනවා  කිව්වට ඕනිනම් ඔහුට ඩිනාර් එකක් දෙයි. ඊට වඩා ලැබෙන්නේ නෑ. මට කියන්න තියෙන්නේ රටේ මිනිස්සු විඳින වේදනාව මම දන්නවා. ඔවුන් වෙනුවෙන් මට පුළුවන් හැම සහයෝගයක්ම මම දෙනවා. අපි හැම කෙනෙක්ම මේ රටේ ජනතාව වෙනුවෙන් බොහෝ දුක්විඳ තිබෙනවා. නමුත් අපට ප්‍රතිඵලයක් දකින්න ලැබුණේ නෑ. 70 දශකයේ අපි ජනතාව වෙත ගිහින් ඔවුන් විඳින, මුහුණ දෙන ප්‍රශ්න තේරුම් කර දුන්නා. අද එහෙම අවශ්‍ය නැහැ. ජනතාව පීඩාව අත්විඳිනවා. ඔවුන්ට නායකත්වය දීම පමණයි කරන්න තියෙන්නේ. අද තත්ත්වය එදාට වඩා හැම අතින්ම වෙනස්.

ජුලි 9 වෙනිදා අරගලය

ජුනි 9 වැනිදා අත්දැකීම කිසිසේත් අමතක කරන්න බැහැ. ඒ ලක්ෂ සංඛ්‍යාත සෙනඟ අතර මා සිටිය යුතුමයි කියන අදහස මා තුළ තිබූ නිසයි ලන්ඩන්වල සිට පැමිණියේ. එවැනි උදේ‍යාගයක්, ජවයක්, බලයක් මින් පෙර මා දැක නැහැ. මා හ¾දුනන අය ඔවුන් අතර සිටියේ නෑ. අපි අනෙක් සහෝදරියන් සමඟ ඉදිරියට ගියා. ක¾දුළුගෑස් ගහනකොට ආපස්සට ආවා. මේ විදිහට කීප වාරයක් සිදුවෙද්දී අන්න දැන් ඉස්සරහට කඩාගෙන යනවා කියා සියල්ලන්ම එකවර ඉදිරියටම යන්න පටන් ගත්තා. අපිට පිටිපස්සෙන් හිටි හමුදාවේ ළමයිවත් දැනගෙන හිටියේ නෑ බැරියර් කඩාගෙන උද්ඝෝෂකයන් ඉදිරියට ගිය බව.

මා අසල සිටි හමුදා සෙබළ දරුවාට මම කිව්වා

“අන්න ගේට්ටුව කඩල සෙනඟ ඇතුළට යනවා” කියලා.

ඒ ළමයා හිනා වුණා.

එතැන හමුදාවේ ළමයි දෙන්නෙක් හිටියා. මම කිව්වා,

“පුතේ ඔයාලට දැන් කරන්න තියෙන්නේ අපිත් එක්කම එන එකයි. ඔයාලගේ අම්මලාට තියෙන්නෙත් අපට තියෙන ප්‍රශ්නමයි පුතේ” කියලා.

කොල්ලෝ දෙන්නම බිම බලාගෙන හිනා වුණා. අපට හුස්ම ගන්නවත් බැරි තරම් අතුරු-සිදුරු නැති මහ සෙනඟ. අපි සෙනඟ ගොඩේ පීනනවා වගේ ඉදිරියට ඇදිලා ගියා. සෙනඟ බ්ලොක් වෙලා හිර වුණාට පස්සේ අපි අසීරුවෙන් ආපස්සට ආවා.

ඊට පස්සේ අරලියගහ මන්දිරය ළඟට ඇවිදගෙන ගියා. අපි යද්දි පිරිසක් එතැන ගේට්ටුව ඇරගන්න උත්සාහ කරනවා. ගේට්ටුවෙ ඇරුණහම ඉස්සෙල්ලම ඇතුළට ගියේ අපි. මන්දිරයේ ‍ෙදාරවල් ඇරලා දාලා තිබුණා. එහි සිටි කාටවත් කිසිවකට හානි කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. හමුදාවේ අය දෙතුන් දෙනෙක් පැත්තකට වී හිනාවෙවි කතා කරමින් සිටියා. උඹලා ඕන දෙයක් කරගනිල්ලා කියන්න වාගේ.

අපි මන්දිරයේ ඇවිදලා බලලා ඩ්‍රයිවර්ලා, සේවකයන් හිටි කාමරවලටත් එබී බැලුවා. මන්දිරයේ  වාසය කළ උදවිය උපරිම සැප වින්දාට අර සේවකයන්ගේ කාමර අමු ජරා අපායක් වගේ තිබුණේ. අරලියගහ මන්දිරයට හානි කරලා කියලා මාධ්‍යවල පෙන්වූවාට අපි නම් දැක්කේ එහි සිටි හැමදෙනාම ඉතාමත් සාමකාමීව ඒවා  බලාගෙන පිටව යන අන්දමයි. කිසිම කෙනෙක් කිසිම දේකට අතවත් තියෙනවා අපි දැක්කෙ නෑ. මා හිතන අන්දමට ඔය කඩාබිඳ තිබෙන්නේ වෙනත් කණ්ඩායම් සහ පිරිස්වල සැලසුම්වලට අනුව පසුව අවස්ථාවකදීයි.

පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණය

බත්තරමුල්ලේ පොල්දුව මංසන්ධිය අසල පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයටත් සම්බන්ධ වෙන්න මට පුළුවන් වුණා. අපි ඒ ස්ථානයට ගියේ පස්වරු 2.00ට විතර. එහි සංවිධානය කර තිබුණේ අඛණ්ඩව පවත්වාගෙන යන උද්ඝෝෂණ වැඩසටහනක්. ඒ ස්ථානයේ උද්ඝෝෂකයන්ට රැඳී සිටීමට අවශ්‍ය ටෙන්ට් පවා ඉදිකර තිබුණා. අප පොල්දුව වටරවුමට ගිහින් නොබෝ වේලාවකින් ජ.වි.පෙ. නායකයන් වූ ලාල්කාන්ත හා සුනිල් හ¾දුන්නෙත්ති පැමිණ ජනමාධ්‍යවලට වොයිස් කට් දුන්නා. එතැන කිසිම ප්‍රචණ්ඩ වාතාවරණයක් තිබුණේ නෑ. ජාතික ජන බලවේගය හරිනි අමරසූරිය මන්ත්‍රිවරියත් ඇවිත් බී.බී.සී. එකට වොයිස් කට් එකක් දුන්නා.

අනෙකුත් සංවිධායකයන් උද්ඝෝෂණය කරගෙන යද්දි ලාල්කාන්ත සහ හ¾දුන්නෙත්ති සහෝදරවරු වෙනත් අවශ්‍ය කටයුත්තක් සඳහා එතැනින් බැහැරව ගියා. උද්ඝෝෂණය දිගටම පැවතියා. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයක් කිරීම පමණයි එතැන සිදු වුණේ. තරුණ සහෝදරියන් කිහිපපොළක් සමඟ මා බිම වාඩි වී උද්ඝෝෂණය දියත්වන අයුරු බලා සිටියා. අ¾දුර වැටෙන්නට ළං වෙද්දි ජ.වි.පෙ. උද්ඝෝෂණයට අයත් නොවන පිරිසක් හමුදා බැරියරය තිබූ ස්ථානය අසලට යනවා අපි දුටුවා. 

ඔවුන් එහි ගොස් නොබෝ වේලාවකට පසුවයි කලබලකාරී තත්ත්වයක් ඇති වුණේ. ඒ අවස්ථාවේදී එතරම් බලපෑමක් නොවන ක¾දුළු ගෑස් තුන හතරක් අප සිටි දෙසට එල්ල කළා. එයින් එතරම් කලබලකාරී තත්ත්වයක් ඇතිවුණේ නැහැ. විසිරුණු පිරිස නැවත බිම වාඩිවුණා. උද්ඝෝෂණය කරන ළමයි පෙර සේම නැවතත් උද්ඝෝෂණය පටන් ගත්තා. එතැන පාර්ලිමේන්තුව වටලන්න යන කතාවක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ උද්ඝෝෂණයක් ආරම්භ කර පවත්වාගෙන යන්න  පමණයි සංවිධානය කර තිබුණේ. අපි සමහර දෙනා වාඩි වී සිටියේ එහි සවිකර තිබූ තාවකාලික කූඩාරම්වලයි.

නැවතත් තත්ත්වය සාමකාමී වූ අතර අපි ගෙන ගොස් තිබූ බත් පාර්සල්, පාරේ වාඩි වී සිටි ස්ථානයේම ලිහාගෙන කෑවා. ඒ වනවිට රාත්‍රි 7ට ආසන්නව පැවතියා. හමුදා බැරියරය අසල ගැවසුණු පිරිස හමුදාව සමඟ පැටලිල්ලක් ඇති කර ගැනීමට අරඅඳින බව උද්ඝෝෂණයේ සංවිධායකයන්ට පෙනී ගියා.

කලබල ඇති කරන පිරිස කවුද කියා කිසිවෙක් දන්නේ නෑ. එහි සිදුවන දේ පක්ෂයේ පාලනයෙන් තොරව සිදුවන්නක් බව කාටත් පැහැදිලි වුණා.

ජ.වි.පෙ. අයට එතැනින් ඉවත්ව එන ලෙස කෑ ගසනු ඇසුණා. අපේ ළමයි එතැනින් ඉවත් වෙද්දී අපේ අය නොදන්නා තවත් පිරිසක් කලබලකාරීන්ට එකතු වුණා. පක්ෂයේ පිරිස දියත උයන දෙසට ඉවත් වුණා. ඒ සමඟම විදුලිය විසන්ධි වූ අතර පාර්ලිමේන්තු පාර දෙසින් අ¾දුරේ මහා ගාලගෝට්ටියක් ඇසුණා. ඒ වෙලාවේ ක¾දුළු ගෑස් මහ ගොඩක් ගහලා මුළු පළාතම වලාකුළකින් වගේ දුමෙන් වැසී ගියා. අඬනවා, කෑගහනවා, හූ කියනවා, වෙඩි තියෙනවා, නොයෙකුත් ශබ්ද ඇසුණා. අපි එතැනින්  ඉවත් වෙලා යන්න ගියා.

අපි ගෙවල්වලට ගියාට පස්සේ රාත්‍රි ප්‍රවෘත්තිවලින් තමයි දැක්කෙ අර 2.00ට විතර ලාල්කාන්තලා කරපු ප්‍රකාශ 6.00ට විතර කරපු ඒවා හැටියට සිද්ධියට ගළපලා සංස්කරණය කරලා ඒවා ජ.වි.පෙ.ට සම්බන්ධ කරලා 71 වගේම නීතිඥවරු, ආණ්ඩුවේ දේශපාලනඥයෝ අතේ පැළවෙන බොරු කියනවා.

මුළු රටම එක හ¾ඩින් නුඹලා බැහැලා පලයල්ලා කියද්දිත් සත්‍ය විකෘති කරමින් අතීතයේ වගේම වර්තමානයේත් ධනපති පන්තියත් ක්‍රියා කරනවා. නිර්ධන පන්තිය පන්තියක් හැටියට  සංවිධානය කරනවා හැරෙන්නට වෙනත් විස¾දුමක් මා දකින්නේ නැහැ.”

උදේනි සමන් කුමාර