අපේ ආදිවාසි කතුන් බැද්දේ තනිවෙද්දී ඉන්දියාවෙ ආදිවාසි කතක් ජනපති පුටුවට

0
65

ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා ලෙස පසුගිය බ්‍රහස්පතින්දා පත් වූ ද්‍රෞපදි මුර්මු ලෝකයේම අවධානය දිනා ගනිමින් ඉන්දියානු දේශපාලන ඉතිහාසය තුළ වාර්තාවක් තැබීමට සමත් වූවාය. ඒ ගෝත්‍රික ජන කොට්ඨාසයකින් එරට ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව ලෙසිනි. මේ වනවිට 64 වැනි වියෙහි පසුවන මුර්මු ලබන 25 වැනි දින ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට නියමිතය. මේ වනවිට එම ධුරයේ කටයුතු කරන රාම් නාත් කෝවින්ද්ගේ ධුර කාලය ඊට පෙර දින අවසන් වේ.

ඉන්දියානු ඉතිහාසය තුළ  එරට ජනාධිපති ධුරයට පත්වන දෙවැනි කාන්තාවද මුර්මුයි. එම පදවියට පත් පළමු කාන්තාව වූයේ ප්‍රතිභා පටිල්ය. ඇය ජනාධිපති ධුරය හෙබවූයේ 2007 වසරේ සිට 2012 වසරේ දක්වායි. ප්‍රතිභා ඉන්දියාවේ 12 වැනි ජනාධිපතිවරයා විය. ද්‍රෞපදි වැනි කාන්තාවකට එරට ඉහළම පදවියට පත්වීමට හැකිවීම බොහෝදෙනා සලකන්නේ ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයන්ගේ තවත් ජයග්‍රහණයක් ලෙසිනි.

ද්‍රෞපදි අයත් වන්නේ ඉන්දියාවේ ඉතා අවවප්‍රසාදිත ගෝත්‍රයක් ලෙස සැලකෙන සන්තාල් නමැති ගෝත්‍රයටයි. එය වනාන්තර ආශ්‍රිතව දිවිගෙවන ගෝත්‍රයක් ලෙස සැලකේ. මෙම ගෝත්‍රයට අයත් ජනයා ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක විසිර සිටින බව සඳහන් වේ. ඇසෑම්, ජර්ඛාන්ද්, බිහාර්, ඔදිෂා, බටහිර බෙංගාලය වැනි ප්‍රාන්තවල මෙම ගෝත්‍රයට අයත් ජනයා වාසය කරති. ඉන්දියාවේ විශාලම ගෝත්‍ර අතර තුන්වැනි තැන පසුවන්නේ සන්තාල් ගෝත්‍රයයි.

ද්‍රෞපදි මුර්මු උපන්නේ ඔදිෂා ප්‍රාන්තයේයි. 1958 ජුනි 20 වැනි දින ඇය උපත ලැබුවේ එම ප්‍රාන්තයේ උපර්බේදා නමැති ගෝත්‍රික ගම්මානයකය. ඉතා පීඩිත, අවවප්‍රසාදිත සහ සමාජයේ ප්‍රධාන ප්‍රවාහය තුළ කිසිදු වැදගත් ස්ථානයක් අහිමි මෙවැනි ගෝත්‍රයක උපන් කෙනකු, විශේෂයෙන් කාන්තාවක ඉන්දියාවේ ජනාධිපති පුටුව දක්වා පැමිණීම අතිශයින් සුවිශේෂී කාරණයක් ලෙස බොහෝ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ද්‍රෞපදිගේ ජීවිතය බොහෝ දුක් කම්කටොලුවලින් සහ අභියෝගවලින් පිරි එකක් ලෙස සැලකේ. ඇය විවාහ වී සිටි ශ්‍යාම් චරන් මුර්මු 2014 වසරේ මියගිය අතර ඇයගේ පුතුන් දෙදෙනාද මේ වනවිට ජීවතුන් අතර නැත. සැමියා සහ පුතුන් දෙදෙනා ඇයට අහිමි වූයේ වසර හතරක් වැනි කෙටි කාලයක් තුළය.

ද්‍රෞපදි ඉන්දියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ අගමැති නරේන්ද්‍ර මෝදිද අයත් වන භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙනි. ජනාධිපති තරගය තුළ ඇයගේ ප්‍රතිවාදියා වූයේ යශ්වන්ත් සිං ය. ඔහු ඉදිරිපත් වූයේ එක්සත් විරුද්ධ පක්ෂය නමැති සන්ධානයකිනි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන සෝනියා ගාන්ධි සභාපතිත්වය දරන ඉන්දියානු ජාතික කොංග්‍රසයද මෙම සන්ධානයට අයත්ය.

ඉන්දියාව තුළ ප්‍රධාන ගෝත්‍රවලට අයත් මිලියන 84ක පමණ ජනතාවක් වාසය කරන බව සඳහන් වේ. ඔවුහු ජන කණ්ඩායම් 700කට පමණ අයත් වෙති. දිළි¾දුභාවයෙහි ගිලී සිටින ඔවුන්ට අධ්‍යාපනික පහසුකම්, සෞඛ්‍ය පහසුකම් ආදිය හිමිවන්නේ ඉතා අවම වශයෙනි. ආර්ථික වශයෙන් මෙන්ම සමාජයීය, සංස්කෘතික වශයෙන් ද ඔවුන් දැඩි ලෙස කොන් කරනු ලැබ සිටින කොට්ඨාසයකි.

ද්‍රෞපදි ජනාධිපති පදවියට පත්වීම නිසා ඉන්දියාවේ ගෝත්‍රික ජනයාට සෙතක් අත්වේවිද යන්න සම්බන්ධයෙන්ද මේ වනවිට සංවාදයක් ඇතිව තිබේ. ඇතැම් නිරීක්ෂකයන් පවසන්නේ එවැන්නක් සිදු නොවීමටද ඉඩ ඇති බවයි. මෙයට පෙර මෙම ධුරයට පත් අවවරප්‍රසාදිත ජනකොටස්වලට අයත් නායකයන්ගෙන් තම ජනතාවට එවැනි කැපීපෙනෙන සේවයක් සිදු වී ඇත් ද යන ප්‍රශ්නය ඔවුහු මතු කරති. වත්මන් ජනාධිපති කෝවින්ද් ද ඉන්දියාවේ පහත් යැයි සම්මත දාලිත් කුලයට අයත් කෙනෙකි. නමුත් එම කුලයේ ජනතාවට සිදුවන අසාධාරණයන් ගැන ඔහු ප්‍රමාණවත් තරම් හඬක් නොනැඟූ බව මෙම නිරීක්ෂකයෝ පෙන්වා දෙති. 2021 වසර තුළ පමණක් දාලිත් ජනයාට එරෙහිව සිදුව ඇති අපරාධ සංඛ්‍යාව 50,000කට වැඩි බව සංඛ්‍යාලේඛන සඳහන් කරයි.

කෙසේ නමුත් තවත් සමහර දේශපාලන නිරීක්ෂකයන් පවසන්නේ ද්‍රෞපදිගෙන් ඉන්දියාවේ ගෝත්‍රික ජනයා වෙනුවෙන් සේවයක් ඉටු වනු ඇති බවයි. ද්‍රෞපදිගේ ජයග්‍රහණය ගැන නිල වශයෙන් ප්‍රකාශයට පත්වීමට පෙර සිටම ඇයගේ ගම්පියසේ ජනතාව ඇගේ ජයග්‍රහණය සමරන්නට පටන්ගෙන තිබිණි. ලඩ්ඩු වැනි රස කැවිලි ගම පුරා බෙදා හරිමින් ඔවුන් සතුටු වූ බව සඳහන් වේ. එක් පුවත් වාර්තාවක සඳහන් වූයේ, ගම්වැසියන් ලඩ්ඩු 20,000ක් පමණ සාදා තිබූ බවයි. ජන කලාකරුවන් සහ ගෝත්‍රික නැටුම් ශිල්පීන් වීදි පුරා නටමින් ගයමින් ගිය බවක් ද වාර්තා විය.

ද්‍රෞපදි දේශපාලනයට පිවිසෙන්නට පෙර ගුරුවරියක ලෙස කටයුතු කළ කෙනෙකි. ඇය භාරතීය ජනතා පක්ෂයට බැඳී තිබුණේ 1997 වසරේයි. ද්‍රෞපදි 2015 වසරේ ජර්ඛාන්ද් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට ද පත් වූවාය. එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට පත් පළමු කාන්තාව ලෙසද ඇය වාර්තාවක් පිහිටුවා තිබේ.

ඉන්දියාවේ ජනාධිපතිවරයා තෝරා ගැනෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සහ ප්‍රාන්ත සභාවල නියෝජිතයන් ඡන්දය ලබාදෙන විශේෂ ක්‍රමයක් මඟිනි.

සනත් වික්‍රමගේ