අඳුරටත් වඩා බිහිසුණු අඳුර

0
604

අඳුරට මම ආස අඳුර අඳුරම හින්දයි හරිම කාව්‍යාත්මකයි එහෙම නේද? අන්ධකාරය, අඳුර කියන්නේ අපි හිතන තරම් සෙල්ලම් දෙයක් නෙමෙයි. අඳුරට සාප කරමින් නොසිට එක පහනක් හෝ දල්වන්න. හැබැයි මේ ලියමන කියෙව්වට පස්සේ නම් ඔයාලා ඔය කියන දේ මොන තරම් විහිළුවක්ද කියල ඔයාලා තේරුම් ගනියි. මේ හැමදේටම කලින් බුදු දහමෙහි එන අන්ධකාරය ගැන පොඩ්ඩක් අපි විමසමු. ඒක තිබෙන්නේ සූත්‍ර පිඨකයේ සංයුක්ත නිකායේ සච්ච සංයුක්තයේ පපාත නම් වග්ගයේ. ඒකෙදි බුදුරදුන් මෙහෙම වදාරනවා.

“මහණෙනි, මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් ආනුභාව ඇති, මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය යම් තැනෙක නොලබත් නම් ලොව අතර පවත්නා හිස් වූ ආවරණ රහිත වූ අඳුරු කරන එබඳු ගන අඳුරෙක් ඇතැයි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇද්දැ?”යි. මහණ, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇතැයි. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුර කවරේ දැයි?”

බුදුරදුන් මේ සූත්‍රයේදී අන්ධකාරය විග්‍රහ කරන්නේ පාපයක් විධියට. නමුත් මම දැන් උපුටා දක්වපු කොටසට වෙනකන් බුදුරදුන් කියන දේ මේ ලියමනට සෘජුවම අදාළයි. බයිබලයේ උත්පත්ති පොත අන්ධකාරය ගැන මෙහෙම කියනවා.

පටන් ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය. පොළොව හිස්ව, පාළුව තිබුණේය. මහා ජල කඳට ඉහළින් අන්ධකාරය විය. දෙවිගේ බලය ජලය මතුපිට ක්‍රියාත්මක වෙමින් තිබුණේය. දෙවි, “මම ආලෝකය ඇති කරමි” යයි කීවේය. එවිට ආලෝකය ඇති විය. දෙවි ආලෝකය හොඳ බව දුටුවේය. ඉන්පසු දෙවි ආලෝකය හා අන්ධකාරය සඳහා වෙන වෙනම කාලවල් දෙකක් නියම කළේය. දෙවි ආලෝකය දවාල කියාද අන්ධකාරය රාත්‍රිය කියාද හැඳින්වීය.

උත්පත්ති පොතේ කියන විධියට ලෝකය හිස්ව අන්ධකාරව පැවතිලා තිබෙනවා. ආලෝකය කියන දෙය බිහි වෙන්නේ ඊට පස්සේ. ඒකෙන් අපිට නිගමනයට එන්න පුළුවන් අඳුර කියන්නේ ලෝක පැවැත්මේ මූල පදාර්ථය. අපි අද කතා කරන්න යන්නේ ‘Dark Matters’ එහෙමත් නැත්නම් අඳුරු පදාර්ථ පිළිබඳව.

මේ අඳුරු පදාර්ථ ගැන ලෝකයේ විද්වතුන් දක්වපු නිර්වචනයන් 100%ක් නිවැරදියි කියල අපිට කියන්න බැහැ. මොකද මේ දේවල් විද්‍යාවට එපිටහින් පවතින දේවල්. අපි අඳුරු පදාර්ථ ගැන කතා කරන දේවල් වුණත් අඳුරේ අතපත ගානව වෙන්න පුළුවන්. මේක හරියට අර ඔස්කා වයිල්ඩ් කිව්ව වගේ අඳුරු කාමරයක ඉන්න කළු පූස් පැටියෙක් අල්ලනව වගේ වැඩක්. හරියට උත්තර නැති ප්‍රශ්නයකට  උත්තර හොයන්න යනව වගේ පැරඩොක්සිකල් වැඩක් මේක.

ක්‍රි.ව. 1930 ගණන්වලදී ෆ්‍රිට්ස් ස්විස්කි (Fritz Zwicky) කියන ස්විට්සර්ලන්ත තාරකා විද්‍යාඥයා, දුර අෑත මන්දාකිණියෙ පොකුරුමය දෘශ්‍ය ස්කන්ධයක් ඔවුන් සතු ශක්ති ප්‍රමාණයේ වේගයට වඩා ඉතා වේගයෙන් එකිනෙක කක්ෂගත වන බව දකිනවා. ෆ්‍රිට්ස් ස්විස්කි මේක නිරීක්ෂණය කරල කියනවා. අඳුරු පදාර්ථය ලෙස හැඳින්විය හැකි නොපෙනෙන පදාර්ථ මෙම මන්දාකිණියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් අෑතට ඇදිලා යනවා කියලා.

එතැන් පටන් පර්යේෂකයන් මෙම අද්භූත පදාර්ථයන් විශ්වය පුරාම සොයා ගන්න පුළුවන් කියන එකත්, ඒවා තරු සහ මිනිසුන් වැනි සාමාන්‍ය දේ සෑදෙන ද්‍රව්‍යවලට වඩා හය ගුණයකින් විශාල බවත් තහවුරු කර ගන්නවා.

මොකක්ද මේ අඳුරු පදාර්ථයක් කියන්නේ.

ව්‍යාකූලත්වයට කරුණක් නම් අඳුරු පදාර්ථ යනු කුමක්ද යන්න පිළිබඳව පර්යේෂකයන්ගේ මතය තවමත් අවිනිශ්චිත මට්ටමක තිබීම. මුල් කාලයේදී සමහර විද්‍යාඥයන් අනුමාන කළේ විශ්වයේ අතුරුදන් වූ ස්කන්ධයන් කුඩා දුර්වල තරු සහ කළු කුහරවලින් එය සෑදී ඇති බවයි. නමුත් සවිස්තරාත්මක නිරීක්ෂණ මඟින් ඔප්පු වුණා අඳුරු පදාර්ථයන්ගේ බලපෑම සොයා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් වස්තු ලෝකයේ නොමැති බව.

විශ්වයේ ඇති සියලුම පදාර්ථවලින් 80%කට වඩා ප්‍රමාණයක් සෑදී ඇත්තේ විද්‍යාඥයන් කිසිදා දැක නැති මේ අ¾දුරු පදාර්ථවලින්. (ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙය 95% වැනි බවය) මේවා පවතිනු ඇතැයි විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ එකී පදාර්ථ නොමැතිව තාරකා, ග්‍රහලෝක සහ මන්දාකිණිවල හැසිරීම සරලව අර්ථවත් නොවන නිසා කියල කියවෙනවා. මේ අපි අ¾දුරු පදාර්ථ පිළිබඳව සරලවම දන්න දේ එහෙමත් නැත්නම් දන්නවා කියලා හිතන දේ.

මේ අඳුරු පදාර්ථ අපිට සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ. ඒවා ආලෝකයක් හෝ ශක්තියක් විමෝචනය නොකරනවා වගේම ආවේණික සංවේදක සහ අනාවරක මඟින් අනාවරණය කළ නොහැකි වෙනවා. අඳුරු පදාර්ථයන්ගේ නොපැහැදිලි ස්වභාවයේ යතුර එහි සංයුතිය තුළ තිබිය යුතු බව විද්‍යාඥයෝ සිතනවා. මේවා දෘෂ්‍ය පදාර්ථය, බැරියොනික් පදාර්ථ ලෙසද හැඳින්වෙනවා. එය බැරියෝනවලින් සමන්විත වෙන අතර ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන වැනි උප පරමාණුක අංශු අති විශාල ප්‍රමාණයක් හඳුන්වන නාමයකි. එහිදී විද්‍යාඥයන් අනුමාන කරන්නේ අඳුරු පදාර්ථ සෑදී ඇත්තේ කුමකින්ද යන්න පිළිබඳව පමණි. ඒවා බැරියෝනවලින් සමන්විත විය හැකි නමුත් එය බැරියෝනවලින් සමන්විත නොවීමද විය හැකියි. මේ විධියට බලන විට මේ අඳුරු පදාර්ථය විවිධ වර්ගයේ අංශුවලින් සමන්විත වෙන්න පුළුවන්. අපි මේකෙ ව්‍යුහය මොන වගේද කියලත් විමසා බලමු.

බොහෝ විද්‍යාඥයන් සිතන්නේ අඳුරු පදාර්ථය බැරියෝනික් නොවන පදාර්ථවලින් සමන්විත වෙනව කියලා. මේවායෙහි අභ්‍යන්තරයෙහි දුර්වල ලෙස අන්තර්ක්‍රියා කරන දැවැන්ත අංශු (WIMPS / Weakly Interacting Massive Particles) පවතිනවා. මෙසේ ප්‍රෝටෝනයක ස්කන්ධය මෙන් දහයේ ගුණයක සිට සිය ගුණයක ස්කන්ධයක් මේවායෙහි ඇතැයි විශ්වාස කෙරෙනවා. නමුත් සාමාන්‍ය පදාර්ථ සමඟ ඒවායේ ඇතිවන දුර්වල අන්තර්ක්‍රියා හේතුවෙන් WIMPS හඳුනාගැනීම අපහසු වෙනවා. නියුට්‍රලිනෝ සහ නියුටි්‍රනෝවලට වඩා බර සහ මන්දගාමී දැවැන්ත යැයි උපකල්පිත මේ අංශු, තවමත් හඳුනාගෙන නැතිවුවත් අඳුරු පදාර්ථයෙහි පවතින ප්‍රධාන අංශු ලෙස පිළිගැනෙනවා.

නිසරු නියුටි්‍රනෝ යනු තවත් මේවායෙහි පවතින අංශුවකි. නියුටි්‍රනෝ යනු නිත්‍ය පදාර්ථ සෑදෙන්නේ නැති අංශු වේ. නියුටි්‍රනෝ ගලායන දිය පහරක් සේ සූර්යයාගේ සිට ගලා බසින නමුත් ඒවා සාමාන්‍ය ද්‍රව්‍ය සමඟ කලාතුරකින් අන්තර් ක්‍රියා කරනවා. ඒ වගේම ඒවා පෘථිවිය සහ එහි වැසියන් හරහා ද ගමන් කරන බවද විද්වතුන් සොයාගෙන තිබෙනවා.

මෙසේ දැනට සොයාගෙන ඇති විද්‍යාඥයන් දන්නා නියුටි්‍රනෝ වර්ග තුනක් සහ සිවුවැනි වර්ගය විධියට සොයාගත් නිසරු නියුටි්‍රනෝද අඳුරු පදාර්ථයේ අපේක්ෂකයකු ලෙස ප්‍රස්තූත කෙරෙනවා. මෙහි පවතින නිසරු නියුටි්‍රනෝවල ගුරුත්වාකර්ෂණය හරහා නිත්‍ය පදාර්ථ අන්තර් ක්‍රියාකරන බවද විද්වතුන් සොයාගෙන තිබෙනවා.

මෙසේ එක් එක් නියුටි්‍රනෝ විශේෂ තුළ ඊටම අන්‍ය වූ විභේදන රටාවක් තිබේද යන්න තවත් කැපී පෙනෙන ප්‍රශ්නවලින් එකක් බව මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවර සහ ඇන්ටාක්ටිකාවේ අයිස් කියුබ් නියුටි්‍රනෝ නිරීක්ෂණාගාරයේ සහයෝගිතාකරු ටයිස් ඩියන්ග් (Tyce DeYoung) Space.com වෙබ් අඩවියට කියා තිබෙනවා.

කුඩා උදාසීන අක්ෂය සහ ආරෝපණය නොකළ ෆොටිනෝ  යන සෛද්ධාන්තික අංශු දෙකම අඳුරු පදාර්ථයන් සඳහා විභව ස්ථාන දරන්නා වෙනවා. අඳුරු පදාර්ථ හා සමාන නොවන ප්‍රතිපදාර්ථය වැනි දෙයක්ද තිබෙනවා. එම ප්‍රතිපදාර්ථයන් අත්‍යවශයෙන්ම දෘශ්‍ය පදාර්ථ අංශුවලට සමාන නමුත් ප්‍රතිවිරුද්ධ විද්‍යුත් ආරෝපණ සහිත අංශුවලින් සමන්විත වෙනවා. මෙම අංශු ප්‍රතිප්‍රෝටෝන සහ පොසිට්‍රෝන (හෝ ප්‍රති ඉලෙක්ට්‍රෝන) ලෙස හැඳින්වෙනවා. මෙලෙස ප්‍රති-අංශු සහ අංශු හමු වූ විට, ද්‍රව්‍ය වර්ග දෙක එකිනෙක අවලංගු කිරීමට තුඩු දෙන පිපිරීමක් සිදු වෙනවා. අපි ජීවත් වන්නේ පදාර්ථයෙන් සෑදුණු විශ්වයක ඒ නිසාවෙන් අඳුරු පදාර්ථයක පවතින තරම් ප්‍රති-පදාර්ථයක් අපේ අවට නොපවතින බව පැහැදිලිවම පේන්න තිබෙනවා. එසේ නොවුණහොත් මේ පවතින කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. අඳුරු පදාර්ථවල මෙන් නොව භෞතික විද්‍යාඥයන්ට ඔවුන්ගේ රසායනාගාර තුළ ප්‍රති-පදාර්ථ නිපදවීමේ හැකියාවත් පවතිනවා.

මෙහෙම හිතන්න, අපිට අඳුරු පදාර්ථ දැකීමේ හැකියාවක් නැහැ එහෙම නම් අපි මේ අඳුරු පදාර්ථ පවතින බව දැනගන්නේ කොහොමද? පිළිතුර තමයි ගුරුත්වාකර්ෂණය. මේවායෙහි ස්කන්ධයට සමානුපාතික වන පදාර්ථවලින් සෑදූ වස්තූන් යොදන බලය නිසා තමයි අපිට මේව ගැන හොයාගන්න පුළුවන් වෙන්නේ. 1920 ගණන්වල සිට තාරකා විද්‍යාඥයන් උපකල්පනය කරල තිබෙනවා විශ්වයේ ක්‍රියාත්මක වන බව පෙනෙන ගුරුත්වාකර්ෂණ බලය හුදෙක් දෘශ්‍ය පදාර්ථයට වඩා ප්‍රබල ලෙස පෙනෙන නිසා අපිට පෙනෙන ප්‍රමාණයට වඩා වැඩි පදාර්ථ ප්‍රමාණයක් විශ්වයේ අඩංගු වෙනවා කියලා.

යේල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු වන පීටර් වෑන් ඩොක්කුන් ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රශ්නයක් නැඟුවා. ඔහු එහිදී අහනවා තරුවල චලිතයන් තුළ කොපමණ ද්‍රව්‍යයන් ප්‍රමාණයක් තිබේද? යන්න ගැන. මේ චලිත කාර්යයේ ක්‍රියාවලිය කුමන ස්වරූපයක් ගත්තත් අඳුරු පදාර්ථවල බලපෑම මෙහි ඇති බව පීටර් ඩොක්කුන් කියා තිබෙනවා.

1970 ගණන්වල සර්පිලාකාර මන්දාකිණි පරීක්ෂා කරන තාරකා විද්‍යාඥයන් අපේක්ෂා කළේ මධ්‍යයේ ඇති ද්‍රව්‍ය පිටත දාරවලට වඩා වේගයෙන් චලනය වන ආකාරයයි. ඒ වෙනුවට, ඔවුන් ස්ථාන දෙකෙහිම තරු එකම වේගයකින් ගමන් කරන බව සොයා ගත් අතර, මන්දාකිණිවල දැකිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ස්කන්ධයක් ඇති බවද මේ නිරීක්ෂණයෙන් පෙන්නුම් කළා. ඉලිප්සාකාර මන්දාකිණි තුළ වායුව පිළිබඳ අධ්‍යයනයන් දෘෂ්‍ය වස්තූන් තුළ ඇති ප්‍රමාණයට වඩා වැඩි ස්කන්ධයක අවශ්‍යතාවය පෙන්නුම් කළා. මන්දාකිණි පොකුරු ඒවායේ අඩංගු එකම ස්කන්ධය සාම්ප්‍රදායික තාරකා විද්‍යාත්මක මිනුම්වලට පෙනෙන ස්කන්ධය නම් වෙන්ව පියාසර කරන බවද ඔවුන් උපකල්පනය කළා.

විවිධ මන්දාකිණිවල අඳුරු පදාර්ථ විවිධ ප්‍රමාණවලින් ඇති බව මේ විධියට පෙන්වා දෙන්න පුළුවන්. 2016දී Van Dokkum ප්‍රමුඛ කණ්ඩායමක් Dragonfly 44 නම් මන්දාකිණියක් සොයා ගත් අතර එය සම්පූර්ණයෙන්ම පාහේ අඳුරු පදාර්ථවලින් සමන්විත බව ඔවුන් පෙන්වා දුන්නා. අනෙක් අතට, 2018 සිට තාරකා විද්‍යාඥයන් අඳුරු පදාර්ථ නොමැති බව පෙනෙන මන්දාකිණි කිහිපයක් සොයා ගන්න සමත් වුණා.

මන්දාකිණිවල පවතින තාරකා කක්ෂවලටද, ආලෝකයේ ගමන් පථයටද ගුරුත්වාකර්ෂණ බලයේ බලපෑම පමණක් නොව අන් බලපෑම්ද  බලපාන බව පසුකාලීනව සොයා ගන්න පුළුවන් වෙනවා. ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් 20 වැනි සියවසේ මුල් භාගයේදී පෙන්වා දෙනවා විශ්වයේ ඇති දැවැන්ත වස්තූන් ඒවායේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ආලෝකයට නැමෙන බව සහ ශක්තීන් විකෘති‍යට පත් කරන බව. මෙම සංසිද්ධිය Gravitational Lensing ලෙස හැඳින්වෙනවා. පසුකාලීනව මන්දාකිණි පොකුරු මඟින් ආලෝකය විකෘති වන ආකාරය අධ්‍යයනය කිරීමෙන් තාරකා විද්‍යාඥයන් විශ්වයේ අඳුරු පදාර්ථ සිතියමක් නිර්මාණය කිරීමට පවා සමත් වෙනවා. අද තාරකා විද්‍යා ප්‍රජාවෙන් අති බහුතරයක් අඳුරු පදාර්ථ පවතින බව පිළිගන්නා දෙයක් බවට පත්වෙලා තිබෙනවා.

අ¾දුරු පදාර්ථයේ පැවැත්ම පිළිබඳව පෙන්වා දෙන බොහෝ සාක්ෂි තිබෙනවා වගේම මේ සොයා ගැනීමත් සමඟ සෞරග්‍රහ මණ්ඩලය තුළ වස්තූන්ගේ චලිතය විස්තර කරන ගුරුත්වාකර්ෂණ නියමයන් බිඳ වැටීමද සිදුව තිබෙනවා. අවකාශයේ වක්‍රතාවය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි.

අ¾දුරු පදාර්ථ අපට නොපෙනෙන නිසා අපට එය අධ්‍යයනය කළ හැකිද? මෙම දේවල් ගැන වැඩිදුර ඉගෙන ගැනීමට ප්‍රවේශයන් දෙකක් තිබෙනවා. තාරකා විද්‍යාඥයන් විශ්වයේ ඇති ද්‍රව්‍ය පොකුරු සහ වස්තූන්ගේ චලිතය දෙස බැලීමෙන් විශ්වයේ අ¾දුරු පදාර්ථ ව්‍යාප්තිය අධ්‍යයනය කරනවා. අනෙක් අතට අංශු භෞතික විද්‍යාඥයන් අ¾දුරු පදාර්ථය සෑදෙන මූලික අංශු හ¾දුනා ගැනීමේ ගවේෂණයක නිරන්තරයෙන් යෙදී සිටිනවා. Alpha Magnetic Spectrometer නමින් හැඳින්වෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සවිකර ඇති පරීක්ෂණ උපකරණයකින් කොස්මික් කිරණවල ඇති ප්‍රති-පදාර්ථ හ¾දුනා ගන්නවා. 2011 සිට, එය විශ්වය හරහා ගමන් කරන අංශු සංයුතිය පිළිබඳ සිත් ඇදගන්නාසුලු අවබෝධයක් ලබා දෙමින් ඒ උපකරණය කොස්මික් කිරණ වර්ග බිලියන 100 ගණනක් පිළිබඳ සොයාදී තිබෙනවා.

පෘථිවිය වටා ගමන් කරන දුරේක්ෂ කිහිපයක් අඳුරු පදාර්ථයේ බලපෑම් පිළිබඳව ලුහුබැඳීම් සිදු කරනවා. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ Planck නම් අභ්‍යවකාශ යානය, 2013දී එලෙස අඳුරු පදාර්ථ ලුහුබඳිමින් පර්යේෂණ කරමින් ක්‍රියා විරහිත කළ යානයකි. වසර හතරක් Lagrangian Point 2 නම් යානාව කොස්මික් ක්ෂුද්‍ර තරංගවල ව්‍යාප්තිය සිතියම්ගත කළ තවත් යානයකි. එය මහා පිපිරුමෙන් විශ්වයේ සිදුවූ ධාතු විසිරීම පිළිබඳව මෙන්ම මයික්‍රෝවේව් පසුතලයන්හි අඳුරු පදාර්ථ ව්‍යාප්තිය පිළිබඳ අක්‍රමිකතා අධ්‍යයනය කළේය. 2014දී, NASA හි Fermi Gamma-ray අභ්‍යවකාශ දුරේක්ෂය අපගේ මන්දාකිණියේ  අඳුරු පදාර්ථ පිළිබඳව බොහෝ අනාවරණයන් සිදු කළා.

නමුත් අ¾දුරු පදාර්ථ පැමිණෙන්නේ කොහෙන්ද? යන්න පිළිබඳ පැහැදිලි පිළිතුරක් තවමත් නැහැ. පසුකාලීනව සොයාගත් න්‍යායන් කිහිපයක් මෙයට අසම්පූර්ණ උත්තර දී තිබෙනවා. 2021 දෙසැම්බරයේදී The Astrophysical Journalහි ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් තර්ක කරන්නේ අඳුරු පදාර්ථ කළු කුහරවලට සංකේන්ද්‍රණය වී තිබිය හැකි බවත්, ඒවායේ ගුරුත්වාකර්ෂණ බලය නිසා අවට ඇති සියල්ල ගිල දමන ප්‍රබල ද්වාර නොවන බවත්ය. එනිසා අද අප දකින විශ්වයේ අනෙකුත් සියලුම මූලද්‍රව්‍ය සමඟ මහා පිපිරුමේදී අඳුරු පදාර්ථ නිර්මාණය වීමට ඉඩ තිබුණු බව කියන්න පුළුවන්. සුදු වාමන තරුව සහ නියුට්‍රෝන තරු වැනි තාරකා අවශේෂවලද අඳුරු පදාර්ථ විශාල ප්‍රමාණයක් ඇතැයි කියනවා.

ඉතින් මුළු විශ්වයේම පවතින අඳුරු පදාර්ථ නම් සයුරෙන් කුඩාම කුඩා දිය ‍ෙදා්තක් තමයි මේ. අපි කතා කරන හැමදේම මේ විශ්වයේ තිබෙන ද්‍රව්‍යවලින් කොපමණ ප්‍රමාණයක්ද කියන දේ ගැන නැවතත් හිතන්න ඉඩ තබල මම මේ ලියමන අහවර කරන්නම්.

ගිහාන් සචින්ත